හදිසියේම හිතෙනවා අද නම් ලියන්නම ඕනෑ කියලා

- සුධර්මා සුභාෂිණී
නොවැම්බර් 5, 2020

ඇය රජයේ බැංකුවක විධායක නිලධාරිණියකි. ඒ අදය. එහෙත් අසූව දශකයේ ඇය කවියට පෙම්බැඳී යුවතියක ලෙස සිළුමිණ, යොවුන් ජනතා ඇතුළු පුවත්පත් රැසකට නිර්මාණ එව්වාය. ඒවා පළවීමෙන් මහත් සතුටට පත් වූවාය. අසූව අගභාගයේ ඇති වූ සමාජ දේශපාලනික වාතාවරණය නිසා කවි සිත සිඳී ගියද නව සහශ්‍රයේදී ඇය යළි පිබිදුණාය. 2003 වසරේ සියපත් විල කාව්‍ය සංග්‍රහය ලියා 2004 වසරේ පාට පියාපත් සමඟ පියාපත් ලද ඇගේ නිර්මාණකරණය අලුත් වැස්ස, සඳතරණි, දෙසැම්බර් මල්, වැස්සක් ඕනෑය, ඒ අමුතු විලෝ ගස සහ පුංචි මාළු පැටියාට ස්තූතියි වැනි කවි, කෙටිකතා, යොවුන් සාහිත්‍ය සහ ළමා කතා ඔස්සේ පියෑඹීය. අද ඇය සරසවියට කියන්නේ තාගෝර් ජීවනය සහ දුඹුරු කාන්තාව පිළිබඳවය. ඈ නමින් සුධර්මා සුභාෂිණීය.

 

මගේ මුල්ම කෙටි කතා පොත පාටපියාපත් 2004 වසරේ පළ කළේ කාලයක් එකතු කළ වස්තුබීජ ඇසුරෙන්. එය රාජ්‍ය සම්මාන සඳහා නිර්දේශ වෙලා ප්‍රශස්ත කෘති සම්මානය ලබනවා. ඒත් මගේ කාර්යබහුල ජීවන රටාව නිසා ආයෙත් මම නිර්මාණකරණයට හරියට පිවිසෙන්නේ වසර 2015 විතර. ඒ වෙද්දි මගේ කතා ප්‍රස්තුතවලින් කීපයක් ඉතිරි වෙලා තිබුණා. 'ඒ අමුතු විලෝ ගස' නිර්මාණය වුණේ ඒ කතා එකතුවක් ලෙසයි. 'දුඹුරු කාන්තාව' 2020 ලියැවෙන්නේ තුන්වැනි කෙටි කතා සංග්‍රහය විදිහට. ගෙවුණු අවුරුදු පහක පමණ කාලයේ අත්දැකීම්, අත්විඳීම් ඔස්සේ මගේ සිතේ මතු වුණු විවිධ සිතිවිලි තමයි මේ කතාවලට මුල් වුණේ.

 

ඇය නිර්මාණකරණයේ යෙදෙන්නේ කාර්යබහුල ජීවන රටාවක සිටින මවක් බිරියක් මෙන්ම විධායක නිලධාරිණියක් ලෙසය.

මම රාජ්‍ය බැංකුවක හම්බන්තොට දිස්ත්‍රික්කය බාර විධායක නිලධාරිනියක් නිසා කාර්ය බහුලයි. මා ගැනවත් කල්පනා කරන්න වෙලාවක් නැති තත්ත්වයක් තිබුණේ. මම ලියන්න කම්මැළියි. ඒ නිසා නිරන්තර ලියන්න බැහැ. එත් මට ලියන්න හිතුණාම, ලියන්න ගත්තාම ලියැවෙනවා. සමහර කෙටි කතා අවුරුදු ගණන් මගේ හිතේ කැකෑරි- කැකෑරි තිබෙනවා. ශ්‍රී රාම් වැනි කතා රාජකාරීවලින් දැඩි ලෙස කලකිරෙන, වෙහෙසට පත්වෙන අවස්ථාවල ඒවායින් මිදෙන්න මතු වූ කතා. බස් එකේ යද්දි, රාජකාරියේදි, සෙනඟ එක්ක කතා කරන අතර පවා ඒවාට අදාළ කොටස් හිතට එකතු වෙද්දි මම සටහන් දාගන්නවා. හදිසියේ මට හිතෙනවා අද නම් ලියන්නම ඕනේ කියලා. මම කලින් නිදා ගන්න කෙනෙක් නිසා රෑ මැද ඇහැරිලා ලියන වෙලාවලුත් තිබෙනවා. දරාගන්නම බැරිනම් කන්තෝරුවේදිත් සටහනක් හරි දාගන්නවා.

මට මගේ පවුලේ වගේම මගේ මහත්තයාගේ පවුලෙත් නෑදෑ පිරිසක් ඉන්න නිසා කතා සාගරයක් විතර තිබෙනවා. මේ බොහෝ කතාවලට පදනම් වැටෙන්නේ ඒවායින්. මුලින් නවකතාවක් ලියන්න හිතුවත් 'සිහින චැනලය' වැනි කතා බිහිවන්නේ ඒ කතාවල එන චරිත වගේම අපේ ගමේ, විවිධ ප්‍රදේශවල රාජකාරී කිරීමේදී හමුවන චරිත ආදිය ඇසුරින්. එහි ඉන්න සමහර අය අවරුදු තිස්ගණන් වෙලාවත් ඔය ආනන්ද විද්‍යාලය ඉදිරියේ තිබෙන පාරෙන් බැහැරව ගමකට ට්‍රිප් එකක් ගිහින් නැහැ. ඒත් ඒ අය වැලිගම වැනි පැතිවලින් කොළඹට සංක්‍රමණය වූ අය. ඔවුන්ගේ අපේක්ෂාවන් සීමිතයි. එක අතකට ඒකත් හොඳයි. බොහෝ දෙනෙක් මට ඒ කතාවට ප්‍රතිචාර දැක්වූවා.

ඇත්තටම ශ්‍රී රාම් වගේ කතා අපට අත්දැකීමෙන් ලැබෙනවා. සමස්ත රාජ්‍ය සේවයේම තිබෙන යල්පැන ගිය චක්‍රලේඛ දිහා බලද්දි හිනා යනවා.හැබැයි ඒ තේමා මගේ පරිකල්පනය පෝෂණය කළා. මටත් හිතිලා තිබෙනවා තමන්ගේ තිබෙන පෞද්ගලික අඩුපාඩුකම් සමාජයේ තව කෙනකු පිටින් යවන මිනිසුන්ට මෙච්චරටම නපුරු වෙන්න පුළුවන්ද කියලා. පස්සේ මම ඒ පුද්ගලයන් ආශ්‍රය කරන්න ගත්තාමයි දැනගත්තේ ඔවුන්ගේ ජීවිතවල තිබෙන ප්‍රශ්න නිසා දෛවය පිළිබඳ ඇතිවන වෛරය තමයි ආදේශ කරන්නේ සමාජයට. අප සමහර දේවල් ගැන තීරණ ගද්දි ඒ අයගේ ජානමය ලක්ෂණ සහ ඔයවැනි ප්‍රශ්න අපේ රාජකාරියට කෙතරම් බලපානවාද? කියලා කියන්නයි ශ්‍රී රාම් ඉන්දියාවේ කතාවක් වගේ ලීවේ.

 

මේ සියල්ල ඇය ලියා ඇත්තේ යථාර්ථවාදී ආකෘතියෙනි. ඒ ගැන ඇය පවසන්නේ මෙසේය.

මම ජීව විද්‍යාව අංශයෙන් විශ්වවිද්‍යාලයේ ගියත් 1991 බැංකු තරග විභාගයෙන් ආ රැකියාව නිසා දැන් ගණකාධිකරණය වැනි විෂයයන්ට යොමු වුණා. මම යථාර්ථවාදි ආකෘතියෙන් සියලුම කතා ලියන අතර 'තවම ජීවතුන් අතර' කියන කතාව යම් අත්හදාබැලීමක් කරන්න හිතුවා. එය මම පුංචි කාලේ අහපු ඇත්ත කතාවක්. දුප්පත් ගෑනු ළමයෙක්ගේ දෛවය ගැන. මට හරක් රංචුවක් දැක්කත් ඒ කතාව මතක් වෙනවා. ඒත් මේ කතාව ලියන්න පොටක් පෑදුණේ නැහැ කියලා හිතමින් ඉන්න අතර සහ මම විදේශගත වෙද්දි දුටු චිත්‍රපටයක බැටලුවන් ටිකක් දැකීමෙන් මෙහි ආකෘතියට චිත්‍රපටයක ස්වභාවය දුන්නොත් හරි යයි කියලා හිතුණා.

දුඹුරු කාන්තාවත් ඒ වගේ වැලිගම, අහංගම, හික්කඩුව වැනි පැතිවල කටයුතු කරද්දි ලැබුණු අත්දැකීමක්. බැංකුවල අපට විවිධ අය මුණ ගැහෙනවා. අපේ ක්ෂේත්‍රයේදී බොහෝ දේවල් ගැන අවබෝධය තිබිය යුතුයි. මොකද නිවාස ණයක් දුන්නත් ඉදිකිරීම් ගැන වගේම ලෙඩ රෝගවල පහසුකම් සපයද්දි ඒවා ගැන අවබෝධය තිබිය යුතුයි.

 

ඇගේ ප්‍රථම පරිවර්තන කාර්යය තාගෝර් ජීවනයයි.

2005 විතර දිල්ලියේ ගිය අවස්ථාවක වෙලාව අඩු නිසා තාගෝර් සහ ගාන්ධි ගැන ලියැවුණු පොත් ටිකක් එකතු කරගද්දි ඒ පොත් සාප්පුවේ හිටිය කෙනෙක් මට අරන්දුන්නා උඩ රාක්කෙකින් මේ පොත. ඒකෙ නම බරපතළ නිසා කාලයක් නොකියවා හිටියත් කවි නිසා බලන්න හිතුණා. ඒවා 2015 පරිවර්තනය කරන්න පටන් ගත්තා. ඒ මගේ පළමු අත්දැකීම නිසා හරි අපහසුවක් දැනුණා. අනෙක මට තේරුණා මෙහි පුංචි වචනයකට පවා ශබ්දකෝෂ අර්ථය හරි නොයන අවස්ථා තිබෙන බව. පසුව පොත ඉංග්‍රීසියට පරිවර්තනය කළ ඉන්දු දත් ගැනත් මම හෙව්වා. ඇය තාගෝර්තුමා හා සමකාලීනව ජීවත් වූ බෙංගාලි ලේඛිකාවක්. ඒ නිසා ඇයට එතුමාගේ භාෂාව සමීපයි. හැබැයි සිංහලට පරිවර්තනය කරගෙන යද්දි මට දැනුණා මුලින් ගත් අර්ථය නෙවෙයි දෙවැනුව බලද්දි තිබෙන්නෙ කියලා. ඒ නිසා හතර වතාවක් සංස්කරණය, සංශෝධනය කරන්න සිදු වුණා. ඇතැම් වෙලාවලදී මට හිතුණා ඉංග්‍රීසි පරිවර්තනය කළ කෙනාටත් වඩා තාගෝර්තුමාගේ නිර්මල අදහසට මම සමීප වුණාද කියලත්.

එතුමා පුවත්පත් රැසක කර්තෘ, සංස්කාරක වෙලා සිටි නිසා තමයි ඔහුගේ මේ ලිපි රැකිලා තිබෙන්නේ. ඒ කාලේ ලේඛකයාම තමන්ගේ ලිපි ලොකු රැස්වීම් ශාලාවල කියවන්න ඕනෙලු. ඉන්දු දත් යාළුවන් වෙනුවෙන් තමයි මේවා පරිවර්තනය කර තිබෙන්නේ. තාගෝර්තුමා 1861 ඉපිද 1941 මියැදුණා. ඉන් වසර දහයකට පසු 1951 මෙය මුද්‍රණය වුණා.

 

රබීන්ද්‍රනාත් තාගෝර් යනු මෙරට පිරිසකට කවියකු වුවද තවත් පිරිසකට කවියකු නොවේ. ඒ ගැන ඇයගේ අදහස මෙසේ වීය.

මම කිසිම සාහිත්‍ය ගුරුකුලයකට හෝ සංගමයකට අයත් වන්නේ නැහැ. මොකද මම විශ්වවිද්‍යාලයේ ඒ විෂයයන් හැදෑරුවේ නැති නිසා. මම කැමැති දේවල් තමයි මම කියවන්නේ. නිරායාසයෙන් ස්වභාවිකවම කියවූ දේවල් තමයි මට විෂය වෙන්නේ. ඒ නිසා තාගෝර් ගැන නිශේධනාත්මක අදහසක් මට නැහැ. මට තිබුණේ එතුමා විද්‍යාව, කලාව, ගණකාධිකරණය, බැංකු ක්‍රම ගැන පවා හැදෑරූ දාර්ශනිකයෙක් කියන අදහසයි. මම වාහන එලවන්න බය නැති වුණේ තාගෝර් තුමා කියූ දෙයක් නිසා. යමෙක් වේගයට අනුගත වුණාම එයත් භාවනාවක් වැනිය කියලා එතුමා දාර්ශනිකව කියලා තිබෙනවා. එය කවියකුට කරන්න බැහැ. ඉතින් දාර්ශනිකයකු ඉදිරියේ කවිය කියන උපකරණය හරි පුංචියි කියලා මට හිතෙනවා.

ජලයේ තිබෙන අනන්‍ය ගතිය ජලයේ ආගමයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට ආගම වෙනස් වෙනවා. නිර්වචනයක් නැහැ. ඒවායේ හිරවන්න එපා එවිට තමයි ජාතිවාදී ආගම්වාදී ගැටලු ඇති වෙන්නේ කියලා තාගෝර්තුමා කියනවා. ඒවා දාර්ශනික මත.

 

ඒ වගේම ඔහු පිදුම් ලැබූ නොබෙල් සාහිත්‍ය සම්මානය ගැන පවා ඔහුගේ වෙනස් මතය කවියකින් කියා තිබුණා. ඔහු අකීකරුව පාසල් නොගිහින් පැන ගිය එකේ වන්දිය ගෙවීමට ශාන්ති නිකේතනය හැදුවා කියන්නෙත් එතුමාමයි. එවැනි දාර්ශනිකයකුගේ පොතක පරිවර්තනයේ නියම අර්ථය ගන්න අන්තර්ජාල ශබ්දකෝෂ වගේම වෙනත් සියලු දැනුම යොදන්න සිදුවෙනවා. වරින් වර සංස්කරණය කරද්දියි තේරුණේ මුල් අවස්ථාවේ සමහර වෙලාවට සම්පූර්ණයෙන් වෙනස් අදහස් ලියා තිබුණා කියලා. මේ පොත ගැන සෑහෙන කතා වෙනවා. ප්‍රතිචාර ලැබෙනවා. මට ඒ ගැන සතුටුයි.

 

තාගෝර් ජීවනය ඇයගේ නිර්මාණශීලී ජීවන ගමන තවත් අතකට හැරවූවා වැනිය.

මේ පොත නිසා මම පරිවර්තන කරන්න පෙලඹුණා. අපේ නිර්මාණ ලෝකෙට නොයන්නේ ඒවා පරිවර්තනය නොවන නිසා. තාගෝර්තුමා ලෝකයම දන්නේ ඔහුගේ අදහස් ඉංග්‍රීසියෙන් කී නිසා. අපේ සංදේශ කාව්‍ය ඊට වඩා පැරැණි වුණත් අපි නිතරම දූපත් මානසිකත්වය කියන මම කියන්න අකමැති වචනය නිසා මේ විදිහට සැඟවී, සීමා වී තිබෙනවා කියලා හිතෙනවා.

තාගෝර්තුමාගේ කාලේ තාක්ෂණයෙන් අද තරම් දියුණු නොවුණත් විවිධ රටවල සාහිත්‍ය අතර සම්බන්ධයක්, අධ්‍යයනයක් තිබිලා තිබෙනවා. ඒ නිසා මම කාන්තාවන්ගේ නිර්මාණ පරිවර්තනයට අතගැසුවා. ඈන් බ්‍රැඩ් ස්ට්‍රීට් පළමු ඉංග්‍රීසි කිවිඳීය ලෙස, ඇනා ඇක්මටෝවා යුද්ධ දෙකක් ඇති වූ රුසියාව වැනි රටක ඉපැදුණු අයකු ලෙස, මායා ආන්ජලෝ මාටින් ලූතර් කිංගේ සමයේ සිටියකු සහ ඉන්දියාවේ සරෝජිනී නායිදු වැනි කිවිඳීයන්ගේ අධිරාජ්‍ය විරෝධී අරගලය වෙනුවෙන් සහ අනෙක් විෂයයන් අලළා ලියවුණු කවි කීපයක් පරිවර්තනය කිරීමට දැන් කටයුතු කරගෙන යනවා. තාගෝර් ජීවනය නිසා තවත් පරිවර්තන කීපයක් සඳහා ආරාධනා ලැබීමත් මට සතුටක්.

 

ඇයගේ ඉදිරි කටයුතු ගැනත් අපි ඇසීමු.

2006 පමණ ලියූ තරමක් රොමැන්තික ගුණ සහිත නවකතාවක් වන සඳතරණි සංස්කෘතික අමාත්‍යාංශයේ තෝරාගත් කෘතිවලින් එකක් ලෙස මුද්‍රණය කළා. එය නැවත මුද්‍රණයට කටයුතු කරනවා. ඒ අතර තවත් නව කතා දෙකකට කරුණු එකතු කරමින් ඉන්නවා.