අපි නළු නිළියන්ගේ පොකට් කැලැන්ඩර් එකතු කරපු පරපුරේ අය

සුරේඛා අත්තනායක
නොවැම්බර් 5, 2020

රාජේෂ් ඛන්නා ඉන්න ෆිල්ම් හොය හොයා බලපු කාලයක් තිබුණා

ප්‍රොජෙක්ටර් හයර් කරගෙන ගෙදර චිත්‍රපටි බැලුවා

“හරියට නටාගන්න බැරි වුණාද?” කියලා අම්මා ඇහුවා

අයියලා අක්කලා චිත්‍රපටි බලන්න යද්දි මම අඬනවා

චාම් නිසා වසන්ති චතුරාණිව අනුකරණය කළා

 

මිනිසා සහ කලාව කියන්නේ වෙන් කරන්න බැරි දෙයක්. කලාව කියන දේ උපතේ සිට මරණය දක්වා මිනිසා හා බැඳීලා තියෙනවා" ඇය සිතන පරිදි කලාව එසේය. කලාවට කිසිසේත් සම්බන්ධ නොවූ වෙනත් ක්ෂේත්‍රයක් නියෝජනය කරන ඇයටද කලාවෙන් වෙන් වී සිටින්නට නොහැකි සෙයකි. අංශු මාත්‍රයක කලාවක් නොගෑවුණු විද්‍යා විෂයන් හැදෑරූ ඇය මේ වන විට රාජ්‍ය අංශයේ විධායක නිලධාරිණියකි. ඇය පොල් සංවර්ධන අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, වැවිලි අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා, සුරේඛා අත්තනායක. කලාව ගැන ඇයට කතා බොහෝය. කලාව ඇයට දැනුණු හැටි සරසවියට පැවසුවේ මෙසේය.

 

කලාව කියන දේ දැනෙන්න පටන්ගන්න කොයි කාලේ ඉඳලාද?

දරුවෙක්ගේ රසවින්දනය පටන්ගන්නේ අම්මාගේ නැළවිලි ගීවලින් කියලා කියනවානේ. ඒත් මට මතක කාලේ ගත්තොත්, මම ඉස්කෝලේ දෙකේ තුනේ පංතියේදී නුවර කඳුරට සේවයට ගිහින් සිංදුවක් කිව්වා මතකයි. සිංදු කියන්න ලොකු හැකියාවක් මට නැහැ. ඒත් මම සංගීතයට ආසයි.

 

ගෙදරින් කලාවට තිබුණු නැඹුරුව කොහොමද?

මගේ අම්මායි තාත්තයි කලාවට සම්බන්ධවත් කලාවට නැඹුරුවක්වත් නැහැ. ඒත් මම කලාවට කැමති නම් එයාලා මාව ඒ දෙයට යොමු කරනවා. මගේ ගම නුවර දොළපීල්ල. අපේ ගමේ අවුරුද්දකට සැරයක් පන්සලේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයේ සරස්වතී පූජාවේ සරස්වතියට හිටියේ මම.

 

ඉස්කෝලේදී සෞන්දර්ය කියලා විෂයක් හදාරලා තියෙනවාද?

සෞන්දර්ය විෂයන් හදාරන්න තිබුණේ අපිට හයේ පංතියේ ඉඳලා. මම ආසාව නිසාම තෝරගත්තේ නැටුම් විෂය. චිත්‍රවත් සංගීතයවත් බැරි නිසා තමයි මම නැටුම් තෝරගත්තේ. මට ටිකක් හෝ නැටුම් විෂය පුළුවන් වෙයි කියලා හිතුණා. මම සාමාන්‍ය පෙළ කළේ නුවර මහාමායා විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ච් සාමාර්ථ 7යි. ඛ් සාමාර්ථයයි. ඛ් සාමාර්ථය නැටුම්වලට. මම ගෙදර ඇවිත් අම්මාට ප්‍රතිඵල කිව්වාම අම්මා ඇහුවේ "ඇයි හරියට නටාගන්න බැරි වුණාද?" කියලා. (සිනාසෙමින්)

 

 

ඉස්කෝලේ යන කාලේ චිත්‍රපටි බලලා ඇති?

මම පොඩි කාලේ ඉගෙන ගත්තේ මහනුවර පූජාපිටිය ප්‍රාථමික විද්‍යාලයෙන්. ඉස්කෝලේ අවුරුද්දකට වාරයක් ටඪතථ ටඥඵබඪමචත එකක් පෙන්නුවා. චිත්‍රපටි පහක් සතියක් එක දිගට පෙන්නුවා. එතකොට මම හතරේ පංතියේ විතර ඇති. 1985දී විතර. එතකොට හොඳ චිත්‍රපටි ගොඩක් ආපු කාලේ. ඒත් අපිට පෙන්නුවේ ගොඩක් පැරණි චිත්‍රපටි. අජාසත්ත, කඩවුණු පොරොන්දුව වගේ චිත්‍රපටි. ඉතින් අපි හරිම ආසාවෙන් ඒ ටික බැලුවා.

 

මුලින්ම හෝල් එකක චිත්‍රපටියක් බලපු දවස මතකද?

හෝල් එකක චිත්‍රපටියක් බලන්න ගියේ මම දහයේ පංතියේදී විතර. මගේ පවුලේ ඉන්නේ අක්කලා දෙන්නයි අයියයි. එයාලා මට වඩා ගොඩක් වැඩිමල්. එතකොට එයාලා ඔක්කොම ඉස්කෝලෙන් අස් වෙලා. එයාලට චිත්‍රපටි බලන්න යන්න ගෙදරින් අවසර තිබුණා. මට අවසර නැහැ. ඒගොල්ලෝ යන්න ලෑස්තිවෙන වෙලාවේ ඉඳලා මම අඬනවා ෆිල්ම් බලන්න යන්න ඕනේ කියලා. අඬන නිසාම ඕලෙවල් කාලේ වෙද්දි අවසර දුන්නා ෆිල්ම් බලන්න යන්න. මුලින්ම හෝල් එකකට ගිහින් බැලුවේ "සිංහ පැටව්" චිත්‍රපටිය. අක්කලා දෙන්නත් එක්ක ගියේ. නුවර ඕඩියන් එකෙන් බැලුවේ.

 

විශ්වවිද්‍යාලයේ කලා වැඩවලට සම්බන්ධ වුණේ නැද්ද?

මම ඉගෙනගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්. විශ්වවිද්‍යාලයේදී නාට්‍ය, ප්‍රසංග ගොඩක් අපේ විද්‍යා පීඨයෙන් කළා. ඒවායේ සංවිධාන කටයුතුවලට සහභාගී වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ ඉද්දි ඇති තරම් නාට්‍ය බැලුවා, චිත්‍රපටි බැලුවා. මනමේ, සිංහබාහු, නරිබෑණා, ගබ්සාව වගේ වේදිකා නාට්‍ය ගොඩක් බැලුවා ඒ කාලේ.

 

එතකොට යාළුවෝ එක්ක චිත්‍රපටි බලන්න ගියේ නැද්ද?

ගොඩක් චිත්‍රපටි බලන්න ගියා. ඒ අනූව දශකය නිසා චිත්‍රපටි යම් ප්‍රමාණයක් හැදුණානේ. ඒ සියල්ලම වගේ බලලා තියෙනවා. ගුරු ගෙදර, නොමියෙන මිනිස්සු, සරෝජා, ගෙදර බුදුන් අම්මා, දෙව් දුව වගේ චිත්‍රපටි යාළුවෝ එක්ක ගිහින් බැලුවා මතකයි. විශ්වවිද්‍යාලයේ අපේ යාලුවෝ හිටියා දහතුන්දෙනෙක්. මේ අය එක්ක තමයි චිත්‍රපටි බලන්න ගියේ.

 

දෙතුන් වතාව බලපු චිත්‍රපටි තියෙනවාද?

මම ගොඩක් පොඩි කාලේ ගාමිණී ෆොන්සේකාටයි, නදීකා ගුණසේකරටයි තියෙන කැමැත්තට "චංචල රේඛා" චිත්‍රපටිය දෙවතාවක් බැලුවා. මී අඹ අත්තේ කොහෝ කොහෝ, කීන දම් මිටක් ඒ සිංදු තාමත් මතකයි.

 

ඒ කාලේ නළු නිළියන්ගේ ඡායාරූප එකතු කරන්න ඇති නේද?

නළු නිළියන්ගේ ඡායාරූප තියෙන පොකට් කැලන්ඩර් එකතු කළා මම. මං ළඟ ගොඩක් ඒවා තිබ්බා. සබීතා, මාලිනී, ගීතා, සංගීතා, විජය, ගාමිණී තව ගොඩක් අය ඒ කැලැන්ඩර්වල හිටියා. අපේ කාලේ ගොඩක් අය ඒ කැලැන්ඩර් එකතු කළා.

 

වැඩිපුරම ආකර්ෂණය වුණු නළුවා කවුද?

මට එහෙම කියන්න තරම් ලොකු ආකර්ෂණයක් නළුවන්ට තිබ්බේ නැහැ. මගේ අක්කා එහෙම නළුවන්ගේ ෆොටෝ පත්තරවලින් කපලා අරගෙන ඒවා පොත් පිරෙන්න ඇලෙව්වා මතකයි. මට එහෙම සිනමා පිස්සුවක් තිබුණේ නැහැ. ඒත් මම කැමතිම නළුවා ගාමිණී ෆොන්සේකා. ඒකට හේතුව ඔහුගේ තාත්වික රංගනය. ඒ පෞරුෂයට මම කවදත් කැමතියි.

 

ඔබ අනුකරණය කරපු නිළිය කවුද?

වසන්ති චතුරාණි. ඒක ඇත්තටම අනුකරණයක් නෙමෙයි. ඇය හරිම සරල කෙනෙක්. ඇය කරපු හැම චරිතයක්ම වගේ හරිම චාම්, සරල, අහිංසක චරිත. මමත් ඇය වගේ ඇන්දා. මම ගොඩක් මෝස්තර කරන්න කැමති කෙනෙක් නෙමෙයි.

 

කැමතිම නිළිය කවුද?

ඒ නම් මාලිනී ෆොන්සේකා. හේතුව මාලිනී ෆොන්සේකා තරුණ කාලේ ඉඳලා වියපත් වෙනකල් ලැබුණු හැම චරිතයක්ම ඉතාමත් හොඳීන් රඟපාන කෙනෙක්. තරුණ චරිත, මහලු චරිත, ගැමි චරිත, බටහිර පන්නයේ චරිත මේ හැම එකක්ම හරිම හොඳට රඟපාන කෙනෙක් එයා.

 

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?

මෑතකාලයේ බැලුවා හොඳ චිත්‍රපටියක් ධර්මයුද්ධය කියලා. මම ඒකට කැමතියි. ඒක පවුලේ කතාවක්. මවුපියන් දරුවන් වෙනුවෙන් කොයිතරම් කැප කිරීම් කරනවාද කියලා ඒකෙන් පේනවා. ඊට අමතරව නිධානය, ගැහැණු ළමයි, චංචල රේඛා වගේ චිත්‍රපටිවලට කැමතියි.

 

ඉන්දීය සිනමාවේ ඔබ කැමති දේවල් ගැනත් කතා කරමු?

ඉස්සර මම ගොඩක් හින්දි ෆිල්ම් බැලුවා. අමිතාබ් බච්චන්ටයි රාජේෂ් ඛන්නාටයි මම ගොඩක් කැමතියි. රාජේෂ් ඛන්නා ඉන්න ෆිල්ම් හොය හොයා බලපු කාලයක් තිබුණා. නිළියන් අතර මධුරි ඩික්සිත්ටයි , ශ්‍රී දේවිටයි කැමතියි. කැමතිම චිත්‍රපටිය අභිමාන් තමයි.

 

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

අන්තිමටම බැලුවේ "ගෝල්". ඒක ඩීවිඩී එකකින් බැලුවේ ලොක්ඩවුන් කාලේ. විශ්වවිද්‍යාල කාලයට පස්සේ සිනමාශාලාවකට ගිහින් චිත්‍රපටියක් බැලුවේ නැති තරම්. ඒකට හේතුව මගේ සැමියා සිනමාශාලාවලට ගිහින් චිත්‍රපටි බලන්න කැමති නැහැ. මමත් ඒ තරම් කැමති නැහැ. ඒ නිසා අපි ප්‍රොජෙක්ටර් එකක් හයර් එකට අරගෙන හරි ගෙදර දාලා බලනවා. මොකද අපි දෙන්නා ඒ තරම් ෆිල්ම් බලන්න ආසයි. කොහොමත් ලැප්ටොප් එකෙන් අපි ඕනෙම ෆිල්ම් එකක් බලනවා. දැනටත් ඉතින් සිකුරාදා රෑ මොකක්හරි චිත්‍රපටියක් බලනවා. දැන් නම් ගොඩක් බලන්නේ ඉංග්‍රීසි චිත්‍රපටි.

 

සංගීතයත් එක්ක ඔබට කොහොම ගනුදෙනුවක්ද තියෙන්නේ?

මම ගීත අහන කෙනෙක්. ගීත අහන ගමන් මුමුණන්න කැමති කෙනෙක්. ඒකට මම ඉස්සර ඉඳලා ආසයි. යම් තාක් දුරකට හොඳීන් ගීතයක් කියාගන්න පුළුවන් මට. (සිනාසෙමින්) සංගීතය මම හදාරලා නැහැ. නමුත් මගේ දියණිය දැන් නෙලූ අධිකාරිගෙන් සංගීතය ඉගෙන ගන්නවා. ඒ නිසා දැන් මමත් ඒකට යෙදිලා ඉන්නවා. ඊට අමතරව නිතර වාහනයේ යද්දි එද්දි ගීත අහනවා. ඇත්තටම මම ගොඩක් ගීත අහන්නේ අපේ වෘත්තිය ජීවිතවල සහ පෞද්ගලික ජීවිතවල පීඩනය අවම කරගන්න.

 

කටහඬට ලෝභ හිතුණු ගායකයා සහ ගායිකාව කවුද?

මම නිතරම ගීත අහන කැමතිම ගායකයා සුනිල් එදිරිසිංහ. ඔහුගේ ගීත ගොඩක් අහනවා. මම කැමතිම ගායිකාව නෙලූ අධිකාරී. ඔවුන් දෙපළගේම ගීත නිවිසැනසිල්ලේ අහන්න පුළුවන්. විවේකී මනසින් රසවිඳීන්න පහසු ගීත ඒවා.

 

සුරේඛා අත්තනායකට කලාව කියන දේ ගැන නිර්වචනයක් ඇති?

මිනිසා සහ කලාව කියන්නේ වෙන් කරන්න බැරි දෙයක්. කලාව කියන දේ උපතේ සිට මරණය දක්වා මිනිසා හා බැඳීලා තියෙනවා. කලාව කියන දේ එකිනෙකාට විවිධයි. එකිනෙකා තමන්ගේ ජීවිතේ රිද්මය, අත්දැකීම් එක්ක තමන්‍ට අනුව කලා රසවින්දනය හැඩගස්වා ගන්නවා. කලාව හැම කෙනෙක් තුළම තියෙන දෙයක්.

 

එදා සහ අද සිනමාව ගැන මොකද හිතෙන්නේ?

ඉස්සර සිනමාව ගොඩක් දුරට කලාත්මකබවට සහ ගුණාත්මකත්වයට බරයි. දැන් එහෙම නැහැ. දැන් සිනමා නිර්මාණ කරන්නේම වාණිජ පරමාර්ථවලින්. ඒත් දැන් සමාජයට යම් පණිවිඩයක් දෙන්න පුළුවන් නිර්මාණ හැදෙනවා. දරුවන් උදෙසා සිනමා නිර්මාණ බිහිවීමේ ප්‍රවණතාවකුත් තියෙනවා. ඒ නිසා වාණිකරණයෙන් ටිකක් වෙනස් වුණු බවකුත් පේනවා.

 

රාජ්‍ය නිලධාරියකුගේ ජීවිත කතාවක් චිත්‍රපටියකට නඟන්න කිව්වොත් ඔබ තෝරගන්නේ කාගේ ජීවිත කතාවද?

එහෙම නම් මම තෝරගන්නේ ලලිත් වීරතුංග සර්ගේ ජීවිත කතාව. රාජ්‍ය නිලධාරියකුගේ පැත්තෙන් ඔහුට එන අභියෝග සහ ඒවාට මූණදෙන විදිහ හැමෝටම ආදර්ශයක්. පසුකාලීනව ගැටලුවලට මුහුණදුන්නාට ඊට පෙර විවිධ පක්ෂවල ජනාධිපතිවරු සහ රාජ්‍ය නායකයන් සමඟ වැඩ කරලා තියෙනවා.

 

චිත්‍රපටියක රඟපාන ආරාධනාවක් ආවොත් භාරගන්නවාද?

අපෝ නැහැ. බැරි දේවල් කරන්නේ නැහැ.

 

චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න ආරාධනාවක් ආවොත්?

මම හිතන්නේ නැහැ මම ඒක කරයි කියලා. මම කලාවට ගොඩක් කැමතියි. කලාව රසවිඳීන්න කැමති වුණාට එහි නිරත වෙන්න කැමැත්තක් නැහැ. මට වඩා ඒ පැත්තට දක්ෂ අය ඉන්න නිසා ඒකට මම අතගහන්න ඕනේ නැහැ.