නඳුනිගෙන් මට එහෙම තහංචි නැහැ

-මාධව විජේසිංහ
නොවැම්බර් 5, 2020

අපි අවුරුදු පහක් ආදරය කළා

ඩග්ලස් රණසිංහ නඳුනිගේ ලොකුතාත්තා. තිලකා රණසිංහ නඳුනිගේ නැන්දා

අපිට ඕනේ වුණේ සද්ද බද්ද නැතුව විවාහ වෙන්න

ඔක්කොටම කිව්වා නම් වෙඩින් එක ගන්න BMICH එකත් මදි වෙනවා

දෙරණ Little Star සහ Champion Star කියූ සැණින් ඔබට සිහිපත් වන අය අතර එහි පූරකත්වය දරන මාධව විජේසිංහ යන නම විශේෂයි. කලක් ගීත රූප රචනාවල යෞවනත්වයේ සංකේතයක් වූයේ මේ තාරුණයායි. නව පරපුරේ දක්ෂ නිවේදකයකු මෙන්ම රංගන ශිල්පියෙකු වන මාධව පසුගියදා (ඔක් 26) විවාහප්‍රාප්ත වුණා. අලුතින් ඇරඹි ජීවිතය ගැන කතාබහකට අපි ඔහු එකතු කරගත්තා.

කොහොමද ඉතින් අලුත් ජීවිතේ?

අලුත් ජීවිතේ ඉතාම හොඳයි. ඉතාම සතුටින් ගෙවිලා යනවා.

මාධවගේ අත ගත්ත ඇය ගැනත් කියමු?

එයාගේ නම නඳුනි රණසිංහ. නඳුනි මට මුණගැහෙන්නේ විවාහ මංගල උත්සවයකදී. මම එහි දෙවැනි මනමාලයා, ඇය තමයි දෙවැනි මනාලිය. එතැනදි නෙමෙයි ආදර සම්බන්ධයක් ඇති වෙන්නේ. ඉන් වසරකට විතර පසුව තමයි අපි දෙන්නා දැන හඳුනගෙන ආදරය කරන්න පටන්ගන්නේ. වසර පහක් අපි ආදරය කරලා විවාහය දක්වා ආවා. නඳුනි වෛද්‍ය උපාධිය හදාරලා ලංකාවෙ වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්.

ඇය රණසිංහ පවුලේ දියණියක්?

ඔව්. නඳුනිගේ තාත්තා ලයනල් රණසිංහ. ඩග්ලස් රණසිංහගේ සහ තිලකා රණසිංහගේ සහෝදරයා. ඒ පවුලම කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒත් නඳුනි කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඒත් ඇයට කලා හැකියා තියෙනවා.

විවාහයත් එක්කම මාධවට ලොකු පවුලක් හම්බ වෙනවා. කොහොමද අලුත් පවුල?

ගොඩක් හොඳයි. ඉතාම.හොඳ නිහතමානී මිනිස්සු ඉන්න පවුලක් මට ලැබුණා. ඩග්ලස් රණසිංහ මහත්මයා මම බොහොම ආදරයෙන් මතක් කරනවා. එයා නදුනිගේ ලොකු තාත්තා. පවතින වසංගත තත්ත්වය එක්ක විවාහ උත්සවයට එන්න එතුමාට හැකියාවක් තිබුණේ නැහැ. එතුමාගේ ආදරණීය බිරිඳත් පුතත් සහභාගි වුණා. ඒත් ඔහුගෙන් උණුසුම් සුබපැතුම් අපට ලැබුණා. ඒ වගේම තිලකා නැන්දාව මතක් කරන්න ඕනෙ. තිලකා රණසිංහ මහත්මිය. ඒ වගේම සාරංග, දිනක්ෂි මගේ හොඳ යාළුවෝ. ඒ යාළුකම එක්ක දැන් නෑදෑකමත් තියෙනවා.

මාධව විවාහ වෙන්න කල් ගත්තා වැඩි නැද්ද?

නැහැ. එහෙම හිතෙන්නේ නැහැ සුදුසුම කාලය එළඹෙන තෙක් අපි හිටියා. ඒ කාලෙදි අපි දෙන්නගෙම ඉගෙනීමේ වැඩ කටයුතු වගේම වෘත්තිය ජීවිතේ වැඩ කටයුතුවලට වෙහෙසුණා. අපිට හිතුණා මේක තමයි විවාහ වෙන්න සුදුසුම කාලය කියලා.

මාධව විවාහ වුණේ බොහොම චාම් විදිහට?

මමත් නදුනිත් බලාපොරොත්තු වුණේ සද්ද බද්ද බොහොම අඩුවෙන් ඉතාම චාම්ව විවාහ වෙන්න. මගේ යහළු යෙහෙළියෝ ඥාති හිතමිත්‍රාදීන් මම දන්න කියන කලා ක්ෂේත්‍රයෙන් ඔක්කොම අයට විවාහය කියනවා නම් මට වෙඩින් එක ගන්න BMICH  එකත් මදි වෙනවා. රටේ මේ වෙනකොට පවතින තත්ත්වය නිසාත් මමයි නදුනියි දෙන්නම වැඩිපුර සද්ද බද්ද දාලා විවාහ වෙන්න අකමැති නිසාත් බොහොම පුංචියට තමයි විවාහ මංගල්‍යය ගත්තේ. අපි දෙන්නා සැලසුම් කළේ පෝරුවෙ චාරිත්‍ර කරලා විවාහ ගිවිස ගැනීමෙන් ඒ කටයුතු නිමා කරන්න. මවුපියන්ගෙ බලවත් ඉල්ලීම මත තමයි මේ තරමින් හරි උත්සවයක් ගත්තේ. මම විවාහයට ආරාධනා කරන්න හිටපු අයගෙන් සියයට දහයකටවත් මට ආරාධනා කරගන්න බැරි වුණා. ඒ නිසා හැමෝටම කියන්න තියෙන්නේ ආරාධනා නොකළාට අමනාප වෙන්න එපා කියලා.

විවාහය ගත්තේ කොරෝනා සහ ඇදිරි නීති මැද?

ඒ වෙනකොටත් ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ඇඳීරි නීතිය දාලා තිබුණේ. අවසාන මොහොතෙදිත් මම සෞඛ්‍ය අංවලින් සහ PHI මහත්වරුන්ගෙන් අවසර අරගෙන උපදෙස් ලබාගෙන තමයි විවාහය ගත්තේ. ඇත්තටම අපිට විවාහයට අත්සන් කරන්න පෑනක් අරගෙන ගියේ නෑ කියලත් මතක් වුණෙත් නැහැ. අන්තිමටම අපිට එතැනට ගියාම අත්සන් කරන්න පෑනක් තිබුණෙ නැහැ. විවාහ රෙජිස්ට්‍රාර්ගේ පෑනෙන් තමයි අත්සන් කළේ. මොකද ඒ තරම් අපිට මේකට සුදානම් වෙන්න කාලයක් තිබුණේ නැහැ. අපි නිතරම කළේ ප්‍රවෘත්ති බල බල දැන් මොකද තත්ත්වය? මේක කරනවද? නැද්ද? නතර කරනවද? පවතින වාතාවරණය එක්ක කරන්න පුළුවන්ද? කියල හිතපු එක. අපි දෙන්නගෙම අදහස වුණේ විවාහ උත්සවය ගන්නවා වගේම හැමෝම පරිස්සම් වෙන්න ඕනෙ කියන එක.

මේ වෙද්දි සුබපැතුම් ගලා එනවා ඇති?

සෑහෙන්න සුබපැතුම් ගොඩක් එනවා, මේ වෙද්දි එමින් පවතිනවා. ඒ හැම කෙනෙකුටම මම පුළුවන් හැම වෙලාවකම පෞද්ගලිකව ස්තූති කරනවා. කොච්චර සුබ පැතුම් එනවද කියනව නම් මට අත්‍යවශ්‍ය දුරකථන ඇමතුමක් ගන්න බැරි තරමට මගේ දුරකථනය කාර්යබහුලයි. ඒ හැම සුබ පැතුමක්ම හදවතින් එන සුබපැතුම්. ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම අපේ විවාහයට උදවු උපකාර කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඔවුන් නම් වශයෙන් මතක් කළොත් දීර්ඝ ලැයිස්තුවක් නිසා මේක පොදුවේ හැමෝටම ස්තූති කරන්න අවස්ථාවක් කරගන්නවා.

මේ දවස්වල කලා ක්ෂේත්‍රයේ කෙරෙන වැඩ කටයුතු ගැන කිව්වොත්?

මම ටීවී දෙරණ නාළිකාවේ නිවේදකයෙක් විදිහට දෙරණ Little Star  සහ දෙරණ Champion Star වැඩසටහන් දෙක මෙහෙයවනවා. ඒ වගේම මගේ වැඩසටහන් නිෂ්පාදන ආයතනයේ වැඩකටයුතු කරගෙන යනවා. ඒකේ වැඩිපුර සිදුකෙරෙන්නේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරීම. වෙළෙඳ දැන්වීම් ඇතුළු නිෂ්පාදන වැඩ වැඩකටයුතු එකේ සිද්ධ වෙනවා. ඊට අමතරව මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය දෙකක් තියෙනවා විකාශය වෙන්න නියමිත. කොහොම වුණත් දැන් තියෙන තත්ත්වය නිසා අපි හැමෝම ගෙවල්වලට වෙලා පරිස්සමින් ඉන්නවා.

වඩා කැමති නිවේදනයට ද රංගනයට ද?

ඒක හරියට වඩා ආදරේ වම් ඇහැට ද දකුණු ඇහැට ද වගේ ප්‍රශ්නයක්. (සිනාසෙමින්) පුංචි කාලේ ඉඳන් මේ ක්ෂේත්‍ර දෙකටම මම බොහොම ආදරය කරපු කෙනෙක්. ඒ ආසාව සහ ආදරය තමයි මාව මෙච්චර දුරක් අරගෙන ආවේ. මම කිසිම කලා පවුලකට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. මගේ මව්පියන් කලාවට සම්බන්ධ නැහැ. පුංචි කාලයේ ඉඳලා නිවේදකයෙක් විදිහට ළමා වැඩසටහන්වලට වගේම ළමා නළුවෙක් හැටියට චරිත නිරූපණය කරලා තියෙනවා. 1993 ඉඳලා මම ක්ෂේත්‍රයේ වැඩ කරනවා. පාසල් යන කාලේ නිවේදකයෙක් හැටියට ස්වාධීන රූලවාහිනී නාළිකාවේ සහ සිරස ටීවී නාළිකාවේ වැඩසටහන් මෙහෙයවලා තියෙනවා. දෙරණ නාළිකාවේ වසර පහළොවක් මම සේවය කරනවා.

ඒ ගත වුණු කාලය ගැන තෘප්තිමත්ද? මාධව විජේසිංහට ඊට වඩා වැඩ කරන්න තිබුණ කියලා හිතෙන්නේ නැද්ද?

මම වැඩ බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. මට ලැබෙන අවස්ථාවන් මගේ සහෝදර කලා ශිල්පීන් සමඟ බෙදා හදාගෙන කරන වෙලාවල් තියෙනවා. මට නිර්මාණ දෙකක් ලැබිලා තියෙනවා නම් තව නිර්මාණයක් ආවාම, ඒක මම යාලුවෙකුට දෙන්න පුළුවන් නම් දෙනවා. ඒ මගේ හැටි, පුංචි කාලෙ ඉඳලම මම එහෙමයි. ඒ වගේම පහුගිය කාලේ මගේ අධ්‍යාපන වැඩ කටයුතු සහ මගේ පෞද්ගලික වැඩ කටයුතු කීපයක් නිසා මම කාර්යබහුල වුණා. ඉතින් මම දැන් සූදානම් ටිකක් වැඩිපුර වැඩ කරගෙන යන්න. හොඳ නිර්මාණ ලැබුණොත් ඒ නිර්මාණ වෙනුවෙන් මහන්සි වෙලා කැප වෙලා වැඩ කරනවා.

ඉදිරියේදී මාධවට බිරිඳගෙන් රංගනයට තහංචි ඒවිද?

පසුගිය අවුරුදු පහ ඇතුළත මගේ ජීවිතයේ සාර්ථකත්වයට මගේ අම්මා වගේම නඳුනිත් හේතුවක් වුණා. ඒ කාලය ඇතුළත නඳුනිට කිසිම විදිහකින් අවශ්‍ය වුණේ නැහැ ලෝකයාට ඇය මගේ පෙම්වතිය බව පෙන්නන්න. ඇයට හොඳ දැක්මක් තියෙනවා. ඒ දැක්මත් එක්ක එයා මට ගොඩක් අවස්ථාවන්වලදී හරි පාර පෙන්නුවා. කලා ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් එයත් එක්ක බොහොම යාළුයි. ඒ නිසා නඳුනි මට එහෙම තහංචි දාන්නේ නැහැ.

විවාහය වුණෙත් කොරෝනා අස්සේ. යන්න තිබුණු ගමන් බිමන් සීමා වුණා?

ඔව්. මම හිතන විදිහට අපි හැමෝම ඒ වගකීම ගන්න ඕනේ. මේ වෙලාවේ අපි සෞඛ්‍ය අංශ දෙන උපදෙස් සහ නීතිරීතිවලට අනුව වැඩ කරන්න ඕනේ. ඒ නිසා අපි දෙන්නට ඇත්තටම කොහෙවත් යන්න එන්න පුළුවන් කමක් නැහැ. ඇඳීරි නීතිය නිසා අපි දෙන්නත් පවුලේ අය එක්ක ගෙදරට වෙලා ඉන්නවා.

ඒ කියන්නේ දැන් මාධව සැමියෙක් හැටියට ගෙදර වැඩපලවලට උදවු වෙනවා ඇති?

අපි තාම ජීවත් වෙන්නේ මගේ අම්මලා තාත්තලා එක්ක. අපි වෙනම නිවහනකට යන්න බලාපොරොත්තුවෙන් හිටියේ. නමුත් මේ වෙලාවේ හැටියට යන්න බැහැ. තනියම ජීවත් වෙන කාලෙක අපි දෙන්නා හොඳීන් ජීවිතය කළමනාකරණය කරගෙන එකිනකාට උදවු කරගෙන ජීවත් වෙයි.

ඡායා - Two Rings