පුරුදු කරලා ගත්තත් නයා නයාමයි...

නව පරපුරේ රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු
නොවැම්බර් 19, 2020

ඇය පුළිඟු ටෙලි සිතුවමේ පොඩි වෙද නෝනාය. එමෙන්ම චාරුණි වෙමින් interනැසනල් හැඩ කරන්නීය. හොඳ වැඩේ ටෙලි සිතුවමේ නිරාශා ලෙසින් ද ඇය මේ දිනවල දී ඔබ හමුවට එයි. ඇය නමින් තරින්දි ප්‍රනාන්දුය. මේ අප ඇය ඔබට සමීප කරන මොහොතයි.

 

තරින්දි, ඔබ මේ වසරේ ටිකක් කාර්යබහුල වුණා නේද?

ඔව්. පුළිඟු, හොඳ වැඩේ සහ  interනැසනල් කියන නාට්‍ය තුනේම වැඩ පටන්ගත්තෙ මේ වසරේ. ගිය අවුරුද්දේ මම එතරම්ම නිර්මාණවලට දායක වුණේ නැහැ. ජිම් එකට ගිහින් මගේ ඇග හදාගන්න වෙහෙසුණා. එහෙම බලන කොට ගිය අවුරුද්දේ මාස හයක් විතර නිර්මාණවලට මම දායක වෙලා නැහැ. හැබැයි මේ අවුරුද්ද ඊට හාත්පසින්ම වෙනස් එකක් වුණා. කොරෝනා නිසා මේ දවස්වල ෂූටිං නැති වුණත් මම කලින් කියපු නාට්‍ය තුනේම ෂූටිං පටන් ගත්තේ මේ අවුරුද්දේ. ඒ නිසා නොසිතූ විරූ ලෙසට මම ටිකක් බිසි වුණා.

 

පුළිඟු, හොඳ වැඩේ සහ ඉන්ටර්නැසනල් කියන නාට්‍ය ත්‍රිත්වයෙ ඔබ රඟපාන චරිත අතුරින් ඔබට වඩාත් සමීප?

මේ චරිත තුනම එකිනෙකට වෙනස්. ඒ චරිතවලින් ඔබ වඩාත් කැමැති මොකද්ද කියල කවුරුහරි මගෙන් ඇහුවොත්, මම කියන්නේ මේ චරිත තුනටම එක වගේ මම ආසයි කියලා. එකක් කියලා එහෙම වෙනම උත්තරයක් මම දෙන එකක් නැහැ. පොඩි වෙද නෝනා කියන්නේ ගැමි චරිතයක්. ඒක වෙනම චරිතයක්. මම හිතනවා ඉන්ටර්නැසනල් එකේ චාරුණී කියන චරිතය මට වඩාත් සමීපයි කියලා. ඇය කතාබහ කරන විදිහ, ඇවිදින විදිහ, හැසිරෙන විදිහ ටිකක් මම වගේ. චාරුණි කියන්නෙ එච්චර දඟකාර චරිතයකුත් නෙමෙයිනේ. හැබැයි හොඳ වැඩේ එකේ නිරාෂාගේ ඒ ගුණ ටිකකුත් මට තියෙනවා කියලා මට හිතෙනවා.

 

නිළියක් විදිහට ඔබ වඩාත් සතුටට පත්වන්නේ කුමන අවස්ථාවන්වලදීද?

මම සාමාන්‍යයෙන් මගේ ටෙලි නාට්‍ය අත හරින්නේ නැතුව බලනවා. ටීවී එකේ බැරි වුණොත් යූටියුබ් එකෙන් හරි ඒව නරඹනවා. එහෙම අන්තර්ජාලය හරහා ටෙලිනාට්‍ය නරඹන කොට එක එක කමෙන්ට් වැටෙනවානේ. මම නිළියක් විදියට වඩාත් සතුටට පත් වන්නේ මගේ රංගනය ගැන මගේ රසිකයෝ එවන අන්න ඒ කමෙන්ට් කියවන වෙලාවට.

 

සමහර bad comment එහෙමත් ඔය අතරේ තියෙනවා නේද?

හැම මනුස්සයාම එක වගේ නැහැනේ. ඔය වගේ කමෙන්ට් ඕන තරම් අය දානවා. සමහරු ඉරිසියාවට බොරු බොරු දේවලුත් දානවා. එහෙම නෙමෙයි ඇත්තටම අපේ අඩුපාඩුවක් වැරැද්දක්, විවේචනයක් පවසලා තියෙනවා නම්, මම ඔහුට හෝ ඇයට බනින්නේ නැහැ. අපිට හිතෙනවා නම් ඔහු හෝ ඇය යම් දොසක් කියලා තියෙන්නේ අපේම හොඳටයි කියලා මම ඒවට පිළිගන්නවා. වැරැද්දක් තියනවා නම් හදා ගන්න එකනෙ කරන්න ඕනේ.

 

ඔබ වෙනත් වෘත්තියක ඉඳල කලාවට ආව කෙනෙක්. අද වන විට ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

මම වසර හතරක් බැංකු ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. ඒ කාලය අතරතුර දී බැංකු දෙකක මම වැඩ කළා. එහෙම රස්සාවකට ගියේ රංගනයට හීනයක් නොතිබුණ නිසා නෙමෙයි. පාසල් වේදිකාවේ ඕනෑතරම් කලා කටයුතුවලට මම සහභාගි වෙලා ඇති. නමුත් මම උසස් පෙළට කොමස් තෝරාගත්තා අන්න එතනින් තමයි බැංකු ක්ෂේත්‍රයට යොමු වුණේ. මගේ මවගේ හදිසි වියෝව නිසා මම ඒ රස්සාව දාලා එනවා. ඔය අතරේදියි මට හිමි හිමීට කලාවට එන්න මඟ හැදුණේ.

 

ඔබගේ මව බලාපොරොත්තු වුණේ ඔබ රංගනයෙන් ඉදිරියට යනවා දැකීමට ද?

නැහැ. මගේ අම්මා මට කැමති ක්ෂේත්‍රයක් නියැළෙන්න අවස්ථාව දුන්නා. හැබැයි මම ඇයට වරින් වර කියලා තියෙනවා මම නිළියක් විදියට කවද හරි ටීවී එකේ අම්මට පේන්න ඉන්නවා කියලා. එහෙම රඟපාල කවදාහරි සම්මානයක් අරගෙන ඒක අම්මට ගෙනත් දෙනවා කියලාත් මම කියනව. එතකොට අම්ම කියනවා පුළුවන් දෙයක් නම් කරලා බලන්නකෝ කියලා. හැබැයි මට එකක්වත් අම්මා ඉන්නකොට සඵල කරගන්න බැරි වුණා. මම නිළියක් විදිහට රඟපානවාවත් අම්මාට බලන්න බැරි වුණා. හැබැයි මම දන්නවා අම්මා අද අප අතර නැති වුණත් මට අම්මගේ ආශිර්වාදය තියෙනවා කියලා. ඒකයි මට මේ ගමන මෙච්චර දුරට එන්න වාසනාව උදා වුණේ.

 

පුලිඟු ටෙලි නාට්‍යයේ නයෙක් එක්කත් ඔබට රඟපාන්න තිබුණ කියන්නෙ ඇත්තද?

අම්මෝ ඔව්. ඒ දර්ශනය මතක් වෙද්දි අදටත් ඇඟ හිරි වැටෙනවා. එහි කතාවට අනුව ළමයෙකුට නයෙක් දෂ්ට කරනවා. පොඩි වෙදනෝනා විදිහට මම භාවනා කරලා ඒ නයාවම ගෙන්නලා විස අද්දලා ඒ ළමය සනීප කරනවා. ඒ දර්ශනයට අනුව මම භාවනා කරමින් ඉද්දි තමයි නයා එන්නෙ. හැබැයි මම ඒ අවස්ථාවේ දී ඇස් දෙක වහ ගෙන හිටියත් හොරෙන් බලාගෙන හිටියේ නයා කොයි වෙලාවෙ මගේ ගාවට එයිද කියලා. මේ සඳහා පුරුදු කරපු නයෙක් ගත්තත් නයා නයාමනේ. ඒ නිසා ඒ දර්ශනය අරන් ඉවර වෙනකන් මං හිටියේ කියාගන්න බැරි බයකින්.

 

කවදද ඔබේ නළු පෙම්වතාව මාධ්‍ය ඉදිරියට ගේන්නේ?

ඒකට නම් තව කල් තියෙනවා. නිසි කාලය ආවම ඔහු මම පෙන්වන්නම්කෝ.

 

මොනවද තරින්දිගේ ඉදිරි නිර්මාණ?

දාම් කියලා නාට්‍යයක් එන්න තියෙනවා ඒක ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයක්.