ගායකයෙක් නොවුණා නම් අද මම ක්‍රිකට් ගහනවා

මිහිඳු ආරියරත්න
නොවැම්බර් 19, 2020

 

“සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුණේ”

 

අපේ කනට නුහුරු නුපුරුදු ශබ්ද සහ නාදරටා සමඟ මුසු වුණු ගැඹුරු කටහඬ මේ පදවැලත් සමඟම ඔබට සිහිපත් වනවා නිසැකයි. ඔහු නමින් මිහිඳු ආරියරත්න. මිහිඳු ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කණ්ඩායම් සංගීතයෙන්. බටහිර ආරේ විවිධ ශෛලීන් ස්පර්ෂ කරමින් තමන්ටම ආවේණික අනන්‍යතාවක් තරඟකාරී සංගීතය ක්ෂේත්‍රය තුළ ගොඩනඟාගන්නට සමත් ඔහු මේ වනවිට සුවිසල් ප්‍රේක්ෂකාගාරයක් ආදරය දිනා හමාරයි. මිහිඳු මේ වනවිට විදේශගත වී සංගීතය පිළිබඳ වැඩිදුර හදාරමින් ඉන්නේ. ඒ පිළිබඳ තතු විමසන්නට අන්තර්ජාල තාක්ෂණය හරහා අප ඔහුව සම්බන්ධ කරගත්තා.

 

දුරු රටක ගෙවන ජීවිතය කොහොමද?

දුර රටක ගෙවන ජීවිතය හොඳයි. වරදක් නැහැ. මම ඉන්නේ කැනඩාවේ. ලංකාව තරම් සැප පහසු නැහැ. ආතල් එකේ ඉන්න බැහැ. ඒත් හොඳීන් ඉන්නවා. ඍතු හතරක් තියෙනවා. ඒක තමයි වෙනසකට තියෙන්නේ. ලංකාව වගේ නැහැ.

 

ලංකාව අතහැරලා වෙන රටකට ගියේ ලංකාව එපා වුණු නිසාද?

මම කැනඩාවට ආවෙ සංගීතය ගැන ඉගෙන ගන්න. මම නැවත ලංකාවට ලබන වසරේ එන්න බලාපොරොත්තු වෙනවා.

 

මිහිඳු කැනඩාවේ ඉඳන් ඉගෙන ගන්න මොනවද?

මම කැනඩාවට ආවේ Music performance and technology  ඉගෙනගන්න. ඊට පස්සේ මට හිතුණා ඒ පැත්ත මම යම්තාක් දුරට දන්න නිසා Music Business  පැත්ත ඉගෙනගන්න. සංගීතඥයෙක් කරන්නේ නැති සංගීතඥයෙක් වෙනුවෙන් කරන දේවල් ටික තමයි බිස්නස් පැත්තට අයිති වෙන්නේ. අපි දන්නේ නැත්තෙත් ඒ පැත්ත නිසා මම එය ඉගෙන ගන්න තීරණය කළා. ඒක ලංකාවට අලුත් විෂයක්.

 

Music Business ගැනත් ඉගෙනගෙන මිහිඳු ඉස්සරහට ලංකාවේ සංගීතයෙන් ලොකු පෙළහරක් පායිද?

නෑ. එහෙම ලොකු ලොකු දේවල් කරන්න බලාගෙන නෙමෙයි මම ඉගෙනගන්නේ. සල්ලි ගොඩක් හම්බ කරන්න බලාගෙන නෙමෙයි. සංගීතඥයෙක් විදිහට අපි කැමැත්තෙන් කරන කලාව වෙළෙඳපොළට විකිණෙන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. සංගීතඥයෙක් විදිහට නොයෙක් ආකාරවලින් මුදල් හම්බ කරන්න පුළුවන්. ඒවායින් බාගයක්වත් ලංකාවේ සංගීතඥයින් දන්නෙ නැහැ. උදාහරණයක් විදිහට screening services පාවිච්චි කරන හැටි, යූටියුබ් පාවිච්චි කරන හැටි, Online Concert  එකක් කොහොමද කරන්නේ කියන දේවල් අද ලංකාවේ සංගීතඥයෝ දන්නේ නැහැ. දැන් පවතිනවා වගේ වසංගතයක් මැද වුණත් Music  බිස්නස් එකේදී නිකන් ඉන්න බැහැ. මේ වගේ වසංගතයක් මැද වුණත් මෙහෙ ප්‍රාදේශීය වශයෙන් ප්‍රසිද්ධ සංගීතඥයෝ පවා මුදල් හම්බ කරනවා. ඒ වගේ දේවල් ඉගෙන ගන්න තමයි මම මේ විෂය තෝරාගත්තේ.

 

මේ වෙද්දි ලංකාවේ විවිධ ගායකයන් විවිධ රැලි ඔස්සේ තම නිර්මාණ කරනවා. ඒත් මිහිඳු?

මම කරන්නේ මම කැමැති දේ. මම රැල්ල බලලා මාකටින් බලලා සංගීතය කරන්නේ නැහැ. ගීතයක් කරන්න ආරාධනා ආවාමත් මම බලන්නේ මට මේ ගීතය විඳීන්න පුළුවන්ද මට මේ ගීතය ගායනා කරන්න පුළුවන්ද කියලා විතරයි. මම සින්දුවක් කරනකොට මට හිතට දැනෙන දේ මම විඳීන දේ තමයි කරන්නේ. එක රැල්ලට යනවද නැද්ද කියන එක මම දන්නෙ නැහැ. ඒක රැල්ලක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. මට විඳීන්න පුළුවන් නම් මම නිර්මාණයක් කරනවා.

 

ඒ කියන්නේ මිහිඳු සින්දු හදන්නේ තමන්ට විඳීන්න ද?

ඔව්. මම විශ්වාස කරනවා මම වින්දොත් තමයි ඒක අනිත් අයට විඳීන්න පුළුවන් කියලා. ක්ෂේත්‍රයේ මම දන්න ගොඩක් මගේ යාළුවෝ ඉන්නවා රැල්ලට යන නිර්මාණ කරලා තමන්ට දැනෙන නිර්මාණ කරන්න බැරුව. මොකද රසිකයෝ එයාලගෙන් ඉල්ලන්නේ කලින් කරපු රැල්ලට යන නිර්මාණ. ඒකට අපිට මොකුත් කියන්න බැහැ මොකද එයාලා ඒ නිර්මාණ කරන්නේ මුදල් හම්බ කරන්න. ජීවත් වෙන්න. නමුත් ඒ ගායකයන්ට පසුව ඒ රැල්ලෙන් මිඳිලා ඒගොල්ලො ආස දෙයක් කරගන්න බැරි තත්වයක් තියෙනවා. ඔවුන්ගේ ප්‍රේක්ෂකාගාරය හැදිලා තියෙන්නේ වෙන පැත්තක. මම පෞද්ගලිකව හඳුනන එක්තරා ගායකයෙක් ඉන්නවා, ඔහු ප්‍රේක්ෂකාගාරය ඉල්ලන ජාතියේ මල් සින්දු කියලා පසුව ඔහුට අවශ්‍ය වුණා අපි කරනවා වගේ රොක් සින්දු ගායනා කරන්න. ඒත් ඔහුට ඒක කරගන්න බැරි වුණා. මොකද ප්‍රේක්ෂකාගාරය ඔහුගෙන් ඉල්ලන්නේ ඒ මල් සින්දු. ඔහු ඉතාම දක්ෂ ගායකයෙක්. ඒ අතින් මම වාසනාවන්තයි මම කැමති දෙයක් කරගෙන ඉන්න ලැබෙන නිසා.

 

මිහිඳුව රසිකයන් දැනගන්නේ "චකිතයෙන්" නේද?

ඔව්. ඒ සින්දුව මම කියන්නේ 2010දී. ඊට කලින් මම සිංහල සින්දු කරලා තිබුණේ නැහැ. ඊට කලින් මම ඉංග්‍රීසි සින්දු කීපයක් කරලා තිබුණා. එතකොට මම හිටියේ Nemesis සංගීත කණ්ඩායමේ. එතකොට තමයි "චකිතය" ගීතය ආවේ. සිංහල සින්දු අහන ප්‍රේක්ෂකයන් අතරට ගිය නෑ කියපු පළවෙනි සින්දුව තමයි "චකිතය".

 

ඒ වගේ hit  වෙන වැඩක් ආයිමත් නොකෙරුණේ ඇයි?

"චකිතය"ට පස්සේ ප්‍රේක්ෂකයන් අතරට ගියේ "යන තැනක ඉන්න සෑමදා" ගීතය. චකිතය ශෛලියේ රොක් සින්දු මම ගොඩක් කළා. සිහිනය සොයා, යාත්‍රිකයා වගේ ගීත කීපයක් කළා. දැන් කට්ටිය මාව හඳුන්වන්නේ "යාත්‍රිකයා" කියලා. යාත්‍රිකයා නමින් මම  concert series  එකකුත් කළා. ඉන්පසුව වෙස් ටෙලිනාට්‍යයේ තේමා ගීතය මම ගායනා කළා. ඒ 2015දී "යන තැනක ඉන්න සෑමදා ගීතය". ඊට පෙර "මිසිස් පෙරේරා" කියලා ගීතයක් කළා. ඒක හාස්‍යෝත්පාදක ගීතයක්. "අනාවැකියක්" කියලා ගීතයක් කළා. ඒක මෑතක ප්‍රසිද්ධ වුණා. චකිතය වගේ සින්දුවක් ඉතිං ආයෙ කියන්න බැහැ. මොකද ඒ වගේ සින්දුවක් ආයි මගෙ අතින් කෙරෙන එකක් නැහැ.

 

පසුගියදා එළිදක්වපු "මා සඟවා" ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඒකට මම හිතුවට වඩා ප්‍රතිචාර ගොඩක් තියෙනවා. මගේ සින්දු අහන රසිකයන් අතර ගොඩක් ඒ ගීතය ප්‍රසිද්ධ වුණා. ඒ වගේම ප්‍රබුද්ධ තලේ රසිකයන් පවා මේ ගීතය අගය කළා. ඒක වසන්ත කුමාර කොබවක මහත්මයාගේ පද රචනයෙන් සහ මහේෂ් විතානගේගේ සංගීතයෙන් කරපු ගීතයක්. හුඟක් අය ඒ ගීතය ප්‍රශංසාවට ලක් කළා. ඒ ගීතය වෙනම තැනකට මාව මගේ රසිකයන් අරගෙන ගියා. ඒකට වසන්ත කුමාර කොබවක මහත්මයාගේ ආභාසය එක හේතුවක් වෙන්න ඇති.

 

මිහිඳු කියන්නේ කණ්ඩායම් සංගීතයෙන් ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. දැන් bandකෙරුවාව අතෑරලාද තියෙන්නෙ?

දැනට නම් ඇත්තටම band  කෙරුවාව කෙරෙන්නෙ නැහැ. ඒත් මං මෙහෙ ඇවිල්ලා සුදු ජාතිකයින් තුන් දෙනෙක් එක්ක  Rock Band එකක් පටන් ගත්තා. ඒත් කොරෝනා නිසා ඒකත් කරගන්න බැරි වුණා. මම මුලින්ම හිටියේ Nemesis සංගීත කණ්ඩායමේ. ඊටපස්සේ "වායෝ" සංගීත කණ්ඩායමට බැඳුණා. 2018 අප්‍රේල් මාසේ ඉඳලා මම "වායෝ" බෑන්ඩ් එකෙන් අයින් වුණා. 2018දී තමයි මම කැනඩාවට එන්න හිටියේ. ඒක අවුරුද්දකින් පරක්කු වුණා. තාමත් "වායෝ" කියන්නේ මගේ පවුල වගේ.

 

නිතරම ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබුණු කෙනෙක් වුණු ඔබට වර්තමානයේ පවතින වසංගත තත්ත්වයත් එක්ක ලංකාවේ සංගීතය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මේ වෙලාවේ අපේ කට්ටිය හැමෝම හිර වෙලා ඉන්නේ. මම ලංකාවේ හිටියා නම් මටත් වෙන්නේ ඒක තමයි. සංගීතඥයන් විදිහට අපිටත් ප්‍රේක්ෂකයන් විදිහට ප්‍රේක්ෂකයන්ටත් සජීවීව සංගීත අත්දැකීම රසවිඳීන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. ලංකාවේ ආර්ටිස්ට් කෙනෙකුට මුදල් හම්බ කරගන්න live performance  ඇරෙන්න වෙන විදියක් නැහැ. වෙනත් ආදායම් මාර්ග යම්තාක් දුරට තියෙනවා. නමුත් ඒවායින් ජීවත් වෙන්න අමාරුයි. මම හිතනවා ඒක ඉස්සරහටවත් වෙනස් විය යුතුයි කියලා. වසංගත තත්ත්වය සියයට සියයක්ම නැති වෙනකන් සෞඛ්‍යාරක්ෂිතව සංගීත ප්‍රසංග පවත්වන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. පහුගිය කාලේ මම දැක්කා BnS ලා Drive in concert" එකක් එහෙම කරනවා. 

 

ලංකාවේ තත්ත්වය එහෙම වුණාට ලෝකෙ තත්ත්වය ඊට වඩා වෙනස් නේද?

ඔව් ලෝකෙ තත්ත්වය වෙනස්. ලෝකේ සාමාන්‍ය මට්ටමේ ගායකයන් පවා ඔවුන්ගේ ගීතවලින් යම්කිසි මුදලක් හම්බ කරගෙන ජීවත් වෙන්න පුළුවන් තත්වයක් තියෙනවා. මේ වගේ වසංගත තත්වයකදී ඒ අය online concert  කරනවා. කොරෝනා වසංගතයත් එක්ක සියයට සියයක් හොඳ තත්ත්වයක නැති වුණත් ගායකයන්ට යම්තාක් දුරකට මුදල් හම්බ කරලා ජීවත් වෙන්න පුළුවන්.

 

මිහිඳුට ක්ෂේත්‍රයේ හොඳම යාළුවෙක් ඉන්නවා ද?

ක්ෂේත්‍රයේ ඔක්කොම මගේ යාළුවෝ තමයි. නම් ගොඩක් කියන්න පුළුවන්. වඩා සමීප අය ගත්තොත් කමාජ් තමයි මගේ දුකට සැපට ඉන්න මිතුරා. ඒ වගේම අපේ music oven සාමාජිකයන් ටික. මනුරංග (විජේසේකර) අයියා, ළහිරු (පෙරේරා) අයියා, සනුක වික්‍රමසිංහ, සුපුන් පෙරේරා, චිකා (විරේෂ් කුරේ), ඉන්ද්‍රචාපා ලියනගේ, චිත්‍රාල් (සෝමපාල) අයියා වගේ අය මට සමීපයි. රංගනය පැත්තෙන් සුමිරාන් ගුණසේකර, චත්‍ර වීරමන් මගේ පාසල් මිතුරන්, කළණ ගුණසේකර අයියාත් මට සමීපයි.

 

රඟපාන්න ආරාධනා ඇවිත් නැද්ද?

එක්තරා නාළිකාවකින් ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් කරන්න මට ආරාධනාවක් ආවා. මම ඒකට ගියේ නැහැ. මොකද මම විදේශ ගත වෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ. මගේ ගීතවල රූප රචනාවල ආසාවෙන් රඟපානවා. මම කැමතියි රඟපාන්න. මම හොඳ සිනමා රසිකයෙක්. මම රඟපානවා නම් රඟපාන්නෙ විනෝදාංශය සඳහා පමණයි. මම කැමති චරිතයක් ලැබුණොත් හොඳට චරිතය අධ්‍යයනය කරලා රඟපාන්න කැමතියි.

 

ගායකයෙක් නොවුණා නම් මිහිඳු කවුරු වෙයිද?

2008 සිට 2012 දක්වා මම "කර්මාන්ත සංඛ්‍යානය සහ ගණිතමය මූල්‍යය" උපාධිය හැදෑරුවා කොළඹ විශ්වවිද්‍යාලයේ. ඊටපස්සේ මම 2012 ඉඳලා 2015 වෙන තෙක් පෞද්ගලික ආයතනයක පරිසර තිරසර විධායක ලෙස වැඩ කළා. ඊට පස්සේ තමයි මම පූර්ණකාලීන සංගීත ශිල්පියෙක් විදියට “වායෝ” කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ. මම ගායකයෙක් නොවුණා නම් කලින් රස්සාවම කරයි. එහෙම නැත්තං ක්‍රිකට් ගහයි. මොකද මම ක්‍රිකට් ක්‍රීඩාවට හරි කැමතියි. මම sports club එකකත් ක්‍රිකට් ගැහුවා කාලයක්.

 

ලෝකයේ නව ප්‍රවණතාත් සමඟ ලංකාව ඇතුළේ සංගීත ගමන ඉදිරියේදී යන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

මම කරගෙන ඉන්න කලාව කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඒක ඒ විදියටම කරගෙන යනවා. මම හිතන්නේ ලංකාවේ Music Business Opportunities  තව ගොඩක් ඉස්සරහට එයි. සංගීතය කරන අය හැටියට ඒවා ළඟා කර ගැනීමත් අපේ වගකීමක්. Screening Services, Youtube, Apple Music  වගේ දේවල්වලින් අලුත් මාර්ග විවර කර ගන්න පුළුවන්. ඉදිරියේදී අපිට Online Concerts  බලාගන්න පුළුවන් වෙයි. මම මීට කලින් සංගීතය ඉගැන්වීම් කටයුතුත් කළා. දැන් මේ තත්ත්වයත් එක්ක virtual classes කරන්න පුළුවන් වෙයි. ඉස්සරහට virtual  ලෝකයක් එක්ක සංගීතයත් virtual වෙයි.

 

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

ජනවාරිවල මගේ අලුත් ගීතයක් එනවා Music video  එකත් එක්ක. ඒක කැනඩාවෙදි කළේ. තව ගීත කීපයක් කළා. ඒවත් අහන්න ලැබෙයි ඉදිරියේදී. ඊටපස්සේ ලබන අවුරුද්දේ මුල හෝ මැද ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා. ඇවිත් ප්‍රසංග කීපයකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

මිහිඳු නියෝජනය කරන සංගීත ශෛලියට කැමති, ක්ෂේත්‍රයට එන්න බලාගෙන ඉන්න අයට මොකක්ද කියන්න තියෙන්නේ?

ඒ අයට මට කියන්න තියෙන්නේ තමන්ගේ හිතට එකඟව තමන් කරන දේ කරන්න කියලා. Musicවලදි වුණත් ඒක එහෙමම තමයි. මමත් කළේ එකම තමයි. සම්පූර්ණ කාලයම යොදවලා Rock, Metal වගේ Music  කරන්න බැහැ. තවත් ආදායම් මාර්ගයක් තියාගෙනයි මේ සංගීත ශෛලිය කරන්න එන්න වෙන්නේ. වෙළෙඳපොළ තත්ත්වයත් එක්ක මාකර්ට් කරන්නත් වෙනවා. මමත් අවුරුදු අටක් විතර වෙන වෙන දේවල් කරලා මූල්‍යමය පසුබිම හදාගෙන තමයි 2015දී පූර්ණකාලීනව රැඳෙන්න ක්ෂේත්‍රයට ආවේ.