මේ Teens නොවේ Sri Lanka

නොවැම්බර් 26, 2020

සිරස ටීවී ගෙන එන නවතම රියැලිටි අත්දැකීම ‘ද වොයිස් ශ්‍රී ලංකා’ පසුගිය සෙනසුරාදා ඇරැඹුණා. ලබන වසරේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකාවේ කටහඬ ලෙස කිරුළු දරන්නේ කවුද යන්න තීරණය කිරීමේ තරගාවලියේ උණුසුමයි එතැන් සිට සෑම සති අන්තයකම ඔබට අත්විඳීන්නට ලැබෙන්නේ. ද වොයිස් ටීන්ස් ආදී අන්තර්ජාතික වරලත් වැඩසටහන් රැසක ප්‍රධාන භූමිකාව දරන The Voice Sri Lanka පිළිබඳ ඔබේ කුතුහලය ඇවිස්සූ පැන රැසකට අප පිළිතුරු සපයා ගත්තේ සිරස ටීවී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල්ගෙන්...

මොකක්ද මේ සිරස ගෙනෙන අලුත්ම රියැලිටිය?

'ද වොයිස් ශ්‍රී ලංකා' කියන්නේ ලෝකේ රටවල් 145ක පමණ තිබෙන වරලත් වැඩසටහනක්. ඒ කියන්නේ Franchise Show එකක්. වරලත් වැඩසටහන් තවත් රටක කරන්න පුළුවන් මුල් රටෙන් අවසරයක් අරගෙන පමණයි. ඒ වගේම ඒ වැඩසටහනේ ගුණාත්මකබව පවත්වාගෙන යන්න ඒ අය යම් යම් නිර්ණායක හඳුන්වා දී තිබෙනවා. ඒවා පිළිපදිනවාද කියා බලන්න වරලත් නියෝජිතයකු වැඩසටහනේ අයිතිය සතු රටෙන් පත් කර තිබෙනවා.

 

මේ වැඩසටහනේ මව් රට කුමක්ද?

මේ වැඩසටහන බිහිවුණේ නෙදර්ලන්තයේ. ඒ කියන්නේ ඕලන්දයේ.. වොයිස් ඔෆ් හොලන්ඩ් කියලයි මෙය පටන්ගත්තේ, 2010 වසරේ. ඉන්පසු ධ්ඊඍITV කියන අන්තර්ජාතික සමාගම එය මිලට ගෙන දැන් අයිතිය තිබෙන්නේ ඔවුන්ට. එනිසා The Voice of UK, The Voice of Australia, Voice Of US උඉ ආදි වශයෙන් මෙය තිබෙනවා.

සිරස අපි ඕලන්දයේ කණ්ඩායමකුත්, එංගලන්තයේ කණ්ඩායමකුත්, සිංගප්පූරුවේ කණ්ඩායමකුත් ලෙස කණ්ඩායම් තුනක් සමඟ කටයුතු කරනවා. මේ වැඩසටහන සඳහා පත්කර ඉන්න යුරෝපියානු ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිකාව ඉන්නේ සිංගප්පූරුවේ. වොයිස් ටීන් කරද්දි ඇය අපේ රටට සාමාන්‍යයෙන් අවස්ථා පහක් දහයක් පමණ ආවා, නියමිත පරිදි වැඩසටහන කෙරෙනවාද බලන්න. ඒත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් සිදු නොවන නිසා මේ වෙද්දි අප සම්බන්ධ වන්නේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ යි.

 

මෙය ද වොයිස් ටීන්ස් වැනිම තරගාවලියක්ද?

වොයිස් තරගාවලියේ වොයිස් ටීන් සහ වොයිස් කිඩ් යෞවන වයසේ පසුවන්නන් සහ කුඩා දරුවන් වෙනුවෙන් තිබෙන තරග. Voice teen අප ළඟදි නිමා කළා. මේ වර තමයි අපි වොයිස් තරගාවලියේ ප්‍රධාන තරගය කරන්නේ. මෙයට වයස අවුරුදු 18 ට වැඩි ඕනෙම කෙනෙකුට ඉදිරිපත් වන්න පුළුවන්.

 

The Voice Sri lanka තරගය ගන්නේත් අනෙක් රියැලිටි තරගවල ස්වභාවයමද?

මෙහි සංස්කෘතිය ටිකක් වෙනස්. රසවත්ම කොටස තමයි බ්ලයින්ඩ් ඔඩිෂන් එක. මෙහි විනිශ්චය මණ්ඩලයක් නෙවෙයි ඉන්නේ කෝචර්ස් ලා. ඒ කියන්නේ පුහුණුකරුවන්. බ්ලයින්ඩ් ඔඩිෂන් එකේදි ඒ කෝචර්ස් ලා ඉන්නේ අනෙක් පැත්ත බලාගෙන. තරගකරුවන්ගේ හඬ සහ ගායනය අනුව තෝරාගෙන පසුව පිරිස පුහුණු කරන්නේත් අර කෝචර්ස්ලාමයි. බැට්ල් සහ නොකවුට් රවුන්ඩ්ස් එහෙමත් තිබෙනවා. ලයිව් ඔඩිෂන් කියලා වටයකුත් තිබෙනවා. ඒවාට ඉදිරිපත් කරන්නේ පුහුණුකරුගේ කණ්ඩායමක් හැටියටයි. ජනතා කැමැත්ත සලකනු ලබන අවස්ථාවකුත් මෙයට ඇතුළත්.

 

කවුද මෙවර පුහුණුකරුවන්?

භාතිය සහ සන්තුෂ්, කසුන් කල්හාර, උමාරියා සිංහවංශ සහ සශිකා නිසංසලා. කසුන් කිසිදාක මෙවැනි විනිසුරු මඬුල්ලක් නියෝජනය නොකළ කෙනෙක්. භාතිය සහ සන්තුෂ් දෙදෙනාත් සහභාගීත්වය ලබා දුන්නාට විනිසුරුවන් ලෙස කටයුතු කර නැහැ. ඔවුන් මේ සඳහා සහභාගී වන්න එකඟ වුණේ තරගයේ තිබෙන අන්තර්ජාතික ප්‍රමිතිය නිසාමයි. මෙය ඉතාම ඉහළ මට්ටමින් ගුණාත්මකබව රැකගත යුතු වැඩසටහනක්. හිතෙන හිතෙන වෙලාවට වැඩසටහන දිගු කරන්න අඩුකරන්න බෑ. ජනප්‍රිය වුණා කියලා වැඩසටහන් ගණන වැඩි කරන්නත් බෑ. හිතුණු වෙලාවට වයිල්ඩ් කාඩ් කියලා තරගකරුවන් ආපසු ඇදගෙන යන්නනත් බෑ.

මෙහි භාතිය - සන්තුෂ් කියන්නේ එක්කෙනකු හැටියටයි සලකන්නේ. පුටු හතරයි තිබෙන්නේ. පටිගත කිරීම් කරන්නේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ.

 

පවතින කොවිඩ් -19 තත්ත්වය හමුවේ තරගකරුවන්ගේ, පුහුණුකරුවන්ගේ සහ නරඹන්නට පැමිණෙන්නන්ගේ සෞඛ්‍යාරක්ෂක කටයුතු සැලසුම් කර තිබෙන්නේ කෙසේද?

මෙය අන්තර්ජාතික වරලත් වැඩසටහනක් නිසා මෙය අයිති ආයතනය අපට කොවිඩ් මඟ පෙන්වීම් දී තිබෙනවා අනුගමනය කරන්න. ඒ නිසා අපි කැමැති වුණත් නැතත් ඒ නීති රීති ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවිඩ් වැළැක්වීමේ මාර්ගෝපදේශ අනුව යමින් අනුගමනය කළ යුතු වනවා. ඔවුන්ගේ නියෝජිතයන් පැහැදිලිවම එය අධීක්ෂණය කරනවා.

ලංකාවේ නීති රීති මාලාව අනුව සෑම පුහුණුකරුවන් දෙදෙනකු අතරම මීටරයක දුරක් තැබීම, භාතිය සන්තුෂ් දෙදෙනාට අසුන පැනවීමේදී පවා වීදුරුවක් යොදා ඒ දෙන්නාගේ දුරස්ථභාවය තහවුරු කිරීම වැනි පියවර ගෙන තිබෙනවා.

අපේ ස්ටයින් මැදිරියේ සාමාන්‍යයෙන් 500කට අසුන් පනවන්න පුළුවන් වුණත්, විශාල සංඛ්‍යාවක් මෙය නරඹන්න එන්න බලාපොරොත්තුවෙන් සිටිනවා වුණත් අපි සහභාගී කරගන්නේ තරගකරුවන්ගේ පවුල්වල අය විතරයි.

ස්ටයින් මැදිරි සංකීර්ණයට අනන්‍ය කෝවිඩ් මර්දන ක්‍රමවේදයක් තිබෙනවා. ඒවාත් අනුගමනය කරනවා. ගේට්ටුවෙන් ඇතුළු වීමේදී විෂබීජාණුහරණය කිරීම, සෑම පැයකට වරක්ම ඉන්න සියලු දෙනාගේම උණ බලා වාර්තාවක් සකස් කිරීම, මැදිරි සංකීර්ණයට එන්න නියමිත තරගකරුවන් පවා සෞඛ්‍ය වාර්තාවක් කලින් දිනයේ ඉදිරිපත් කිරීම එයට අයත්. එය ගෙනැවිත් දීම නොවේ ඊමේල් හෝ වට්ස්ඇප් මඟින් එවිය යුතුයි. ඒ අනුවයි ඔවුන් සහභාගී කරගන්නේ. තරගකරුවන්ට උණ තත්ත්වයක් හෝ අසල්වැසියකු නිරෝධායනයේ යෙදී ඇත්නම් හෝ අප ඒ තත්ත්වය සමනය වුණාට පසුවයි ඔවුන්ට මැදිරියට ඒමට අවස්ථාව ලබා දෙන්නේ.

 

තරගය විකාශය ඇරැඹුවත් තවතවත් අයැදුම් පත් ලැබෙන බවයි ආරංචිය?

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල ඉල්ලුම්පත් එවූ අයගෙන් කොටසකගේ තරගය තමයි ගිය සෙනසුරාදා ආරම්භ කළේ. ඉතිරි අයගේ පරීක්ෂණ දැන් කෙරෙමින් පවතිනවා. මූලික වටය, දෙවැනි අදියර සහ තෙවැනි අදියර යන අවස්ථා තුනක් වෙනම සංගීතඥයන් සහ අපේ නිෂ්පාදක කණ්ඩායම එකතුව කළාට පසුවයි බ්ලයින්ඩ් ඔඩිෂන් එකට යොමු කරන්නේ. මේ වැඩසටහන ජූලි අග දක්වා ගොස් අගෝස්තු මුල තමයි අවසන් මහා තරගය පැවැත්වෙන්නේ. එනිසා තවමත් කැමැති අයට මේ තරගය සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව තිබෙනවා.