මට හොඳටම නටන්න පුළුවන් ගජගා වන්නම

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
නොවැම්බර් 26, 2020

මට මතකයි පොඩි කාලේ ගමේ බෙර වාදනය කරනවා කවි කියනවා හැමවෙලේම. මොකද මහනුවර දළදා පෙරහැරට සම්බන්ධ විවිධ කලාකාරයෝ මේ ගම අවට හිටියා" කුඩා කල කලාව ඔහුට සමීප වී ඇත්තේ එසේය. ඔහු හැදී වැඩී ඇත්තේ හමන මඳනළෙහි පවා කලාව මුසු වුණු පරිසරයකය. ඔහු කලාව කෙරෙහි ඇති කුතුහලයට එය හඹා ගිය අයෙකි. එයින් ජීවිතයට නොයෙක් දෑ එක් කරගත් තැනැත්තෙකි. හෙතෙම මෙරට සුප්‍රසිද්ධ මහාචාර්යවරයෙකි. දේශපාලනික චරිතයකි. ඒ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසය. දේශපාලනය සහ ශාස්ත්‍රීය අධ්‍යාපනය යනාදිය පසෙකලා අප ඔහුට සම්මුඛ වූයේ කලාව ගැන විමසන්නටය.

 

අපි යමු ඔබේ ගමට. ගම හා බැදුණු කලාව ගැන සිහිපත් කරමු?

මගේ මව්පියෝ රජයේ සේවකයෝ. ඒ නිසා හැමවෙලේම එයාලා වෘත්තිය කරන තැනට සමගාමීව අපේ ගම වෙනස් වෙනවා. වැඩි කාලයක් මගේ ගම විදිහට ළමා කාලය ගෙවිලා යන්නේ පිළිමතලාවේ. ගඩලාදෙණිය, ඇම්බැක්කේ, ලංකාතිලකය, බලනගල, ඩෝසන් කුලුණ මේවා තමයි මම නිතර ඇසුරු කරපු වටපිටාවේ තිබුණු දේවල්. පසුව මගේ අම්මා මාරුවෙනවා මහනුවර අරුප්පලට. මහනුවර ජීවත් වුණු මට දළදා පෙරහර කවදාවත් අමතක කරන්න බැහැ. දළදා පෙරහැරේ කවිකාර මඩුවේ කවිකාරයෝ සේරම වාසය කරන්නේ අරුප්පල කියන ගමේ. මට මතකයි පොඩි කාලේ ගමේ බෙර වාදනය කරනවා, කවි කියනවා හැමවෙලේම. මොකද මහනුවර දළදා පෙරහැරට සම්බන්ධ විවිධ කලාකාරයෝ මේ ගම අවට හිටියා.

 

පවුලෙන් කලාවට තිබුණු නැඹුරුව කොහොමද?

මගේ අම්මා පේෂකර්ම ගුරුවරියක්. තාත්තා බන්ධනාගාර නිලධාරියෙක්. අම්මා මට පොඩි කාලේ කවි කියලා දෙනවා මට මතකයි. පසුකාලීනව මගේ සන්නිවේදනය, දේශපාලනය ආදී විවිධ ශාස්ත්‍රීය දේවල්වලට ගොඩක් මගේ අම්මාගේ ඇසුර හේතුවක් කියලා මට දැනෙනවා. මගේ අම්මගේ ළමා කාලය කියන්නේ ලංකාවේ යටත් විජිත යුගය. අම්මා මට කියනවා ඒ කාලෙ ඉස්කෝලෙ ළමයි මහරැජනගේ උපන් දිනය දවසට ඇයට ඇහෙන්න කියලා හයියෙන් "සැරදේවා" කියලා කවි කියනවලු. අම්මා මට ඒ කවි කියලා දුන්නා. මමත් අම්මත් එක්ක හයියෙන් කෑ ගහලා කවි කිව්වා.

 

ඉස්කෝලේදි කලාව කියලා විෂයක් හැදෑරුවාද?

මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පිළිමතලාව මහවිද්‍යාලයෙන්. ඒ කාලේ අපි නැටුම්, සංගීතය අනිවාර්යනේ ඉගෙනගන්න ඕන. අපිට සංගීතය ඉගැන්නුවේ මහවලගේ මාස්ටර්. නැටුම් ගුරුන්නාන්සේගෙන් නම මතක නැහැ. එයා ජාතික ඇඳුමක් ඇඳගෙන තමයි ඉස්කෝලෙට ආවේ. අපි නටපු පන්තිය හරිම ලස්සනයි. ඉස්කෝලෙන් ටිකක් ඈත පොඩි කන්දක් උඩ මඩුවක නැටුම් පන්තිය තිබුණේ. බෙර සද්දෙට ඉස්කෝලේ වැඩ පාඩු වෙන නිසා තමයි ඈතින් නැටුම් පංතිය හැදුවේ. මට හොඳටම නටන්න පුළුවන් ගජගා වන්නම තමයි. පාසල් යන කාලෙ කලාවත් එක්ක මට තවත් සුන්දර මතකයක් තියෙනවා.

 

ඒ මොකක්ද?

මම ජීවත් වුණ අරුප්පල ගමට අල්ලපු ගමේ, ලේවැල්ලේ තමයි ජෝර්ජ් කීට් කියන සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා ජීවත් වුණේ. ඒ මම සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලේ. දවසක උදේ මම ගියා ජෝර්ජ් කීට්ව හම්බෙන්න එයාගේ ගෙදරට. එතකොට ඔහු සෑහෙන්න වයෝවෘද්ධයි. "මම ඔබතුමා ගැන කියවලා තියෙනවා. මම ඔබතුමත් එකක් කතා කරන්න ආසයි" කිව්වම ඔහු මාව ඔහුගේ චිත්‍ර අඳීන කාමරයට අරගෙන ගියා. ඔහු අඳීන චිත්‍ර මට පෙන්නලා මාත් එක්ක ගොඩාක් වෙලා කතා කරකර හිටියා.

 

මුලින්ම හෝල් එකක චිත්‍රපටියක් බලපු දවස මතකද?

ඔව්. ඒ හැටේ දශකයේ. මම ඉස්සෙල්ලාම බැලුවේ "දෙයියන්ගෙ රටේ" කියන චිත්‍රපටිය. අපිව ඉස්කෝලෙන් එක්කන් ගිහින් ඒක පෙන්නුවේ. කඩුගන්නාවේ කීර්ති සිනමාශාලාවේ බැලුවේ. මට ඒකත් එක්ක රස මතකයක් තියෙනවා. එදා හෝල් එකේ අපිව ඉන්දුවේ පිටිපස්සෙම. ඒ කියන්නේ ෆස්ට් ක්ලාස් එකේ. අපි "නෑ නෑ අපි ඉස්සරහටම යන්න ඕනේ" කියලා ඉස්සරහටම ගියා. මම චිත්‍රපටය බලලා තියෙන්නෙ තිරය ළඟම ඉඳගෙන. ඕක ගෙදර ඇවිල්ලා අම්මලාට කිව්වම හොඳටම හිනා වුණා. ඊට පස්සේ මම මගේ මුළු පවුල එක්කම ගිහිල්ලා බැලුවා රන්මුතුදූව.

 

ඉස්කෝලේ යන කාලේ යාළුවොත් එක්ක ෆිල්ම් බැලුවෙ නැද්ද?

ඒ කාලේ ෆිල්ම් බලනවට වඩා අපි කළේ මහනුවර ලස්සන තැන්වල ඇවිදින්න ගියපු එක. ඉස්කෝලේ එහෙම ෆිල්ම් බලපු පිරිසකුත් හිටියා. ඒ කල්ලියට මම වැටුණේ නැහැ. ඒ කාලයේ මම චිත්‍රපටිවලට වඩා වැඩි කැමැත්තක් දැක්වුවේ වේදිකා නාට්‍යවලට. ඒ කාලේ වේදිකාගත වුණ හැම නාට්‍යයක්ම මම බලලා තියෙනවා.

 

බලපු වේදිකා නාට්‍යවල මතකයත් අවදි කරමු?

ඒ කාලේ නාට්‍ය බැලුවේ අපේ ඉස්කෝලේ යාළුවෝ ඔක්කොම එකට. නාට්‍ය බලනව විතරක් නෙමෙයි අපිට පුරුද්දක් තිබුණා නාට්‍යයේ විවේකය අතරතුරදී වේදිකාව පිටුපසට ගිහිල්ලා අධ්‍යක්ෂවරයා සහ නාට්‍ය ශිල්පීන් එක්ක කතා කරන්න. සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම, මහාචාර්ය සරච්චන්ද්‍ර, ආර්. ආර් සමරකෝන්, රංජිත් ධර්මකීර්ති, හෙන්රි ජයසේන මේ සියලුදෙනා එක්ක අපි ගිහින් කතා කරනවා. මේ වේදිකා නාට්‍ය ආශ්‍රිත පරිසරයත් එක්ක ඒවායේ රසත් එක්ක මගේ බුද්ධි පරිධිය පුළුල් වෙන්න පටන් ගත්තා කියලා මට හිතෙනවා. ඒ කාලයේ අපිට නාට්ටි බලන්න සල්ලි නැහැ. ටිකට් පෝළිමේ කෙනෙක්හරි හිටියොත් අපි ගිහින් කියනවා "ටිකට් ගන්න සල්ලි නෑ. පුළුවන් නම් අරන් දෙන්න" කියලා. එක ටිකට් එකක් අරගෙන යාළුවෙක්ව ශාලාව ඇතුළට යවලා පස්සේ නාට්‍යය පටන් ගත්තම හෙමින් දොර ඇරලා අපි ඇතුළට ආපු අවස්ථාත් නැතුවම නෙමෙයි. (සිනාසෙමින්)

 

ඔබට අනුව ලංකාවේ විශිෂ්ටතම වේදිකා නාට්‍යකරුවා කවුද?

මහානාට්‍යකරුවා කිව්වම මහාචාර්ය සරච්චන්ද්‍ර නැතුව වෙන කෙනෙක්ගේ නම කියන්න අපිට කට හොල්ලන්න බැහැ වගේ. නමුත් මට හිතෙනවා හෙන්රි ජයසේන සුගතපාල ද සිල්වා මේ හැමෝම එක වගේ විවිධ සම්ප්‍රදායන් හරහා විවිධ දේවල් අපිට එකතු කළා කියලා. ශෛලීගත සම්ප්‍රදාය මහාචාර්ය සරච්චන්ද්‍ර එකතු කළා වගේම එතැනින් පිටස්තරව හෙන්රි ජයසේන සුගතපාල ද සිල්වා වගේ අය අපේ වේදිකා නාට්‍යයට එකතු කරපු දේවල් අතිවිශාලයි. එහෙම බලනකොට අපේ ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ එකිනෙකාට වෙන් කරන්න බැරි දක්ෂතා ගොඩක් තියෙන දැවැන්තයෝ ගොඩක් හිටියා.

 

විශ්වවිද්‍යාලයට යන කාලේ චිත්‍රපටි බලලා එහෙම ඇති?

අපි විශ්වවිද්‍යාලයේ 70 දශකයේ. 70 දශකයේ අපිට බලන්න පුළුවන් වුණ හැම චිත්‍රපටයක්ම වගේ අපි බැලුවා. හින්දි, දෙමළ, සිංහල හැම චිත්‍රපටයක්ම බැලුවා. 70 දශකය කියන්නේ රටේ දේශපාලනය සහ සමාජයීය වශයෙන් වෙනස්කම් ගොඩක් ඇති වෙච්ච කාලයක්. ඒ සංසිද්ධි සියල්ලම සිනමාව හරහා ප්‍රතිනිර්මාණය වෙනවා අපි දැක්කා. ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව, ඔබේසේකරගේ වල්මත්වූවෝ වගේ නිර්මාණවලින් අපේ ප්‍රශ්න කතා කළා. ඒ නිසා ඒවා අපිට දැනෙන්න පටන් ගත්තා. ඒ චිත්‍රපට අපිට ආලෝලනය වෙන්න පටන්ගත්තා. ධර්මසේන පතිරාජ හිටියේ ඒ කාලේ කැලණියේ මගේ බෝඩිම ගාව. අපිට ඔහුව නිතරම හම්බෙනවා. ඒ වගේම සරසවි චිත්‍රාගාරය විශ්වවිද්‍යාලයට ළඟයි. ඒ කාලේ කොළඹ ආශ්‍රිතව චිත්‍රපටි පිළිබඳව විද්වත් සාකච්ඡා ඇති වෙන්න පටන් ගත්තා. සිනමාව වෙනුවෙන් සරසවිය, විසිතුර, දීපශිකා, කලා සඟරාව, කලා පත්තරය ආදී වශයෙන් සිනමාව පිළිබඳව කියවන්න ලියන්න අහන්න බොහෝ දේවල් තිබුණු කාලයක් මේ. ඒ නිසාම අපිට සිනමාව ගැන කැමැත්තක් ආශාවක් ඇති වුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට සන්නිවේදනය ගැන ඉගෙනගන්න පටන් ගත්තට පස්සේ මමත් මේ දේවල් ගැන තව විචාරශීලීව හොයන්න පටන් ගත්තා. රූපය, කෝණය, ජවනිකාව ගැන ශාස්ත්‍රීයව අධ්‍යයනය කරන්න පටන් ගත්තා. හොඳ සිනමාව කියන්නේ මොකක්ද? නරක සිනමාව කියන්නේ මොකක්ද? සිනමා ප්‍රභේද මොනවද? කියලා හොයන්න ගත්තා.

 

ඒ කාලේ බැලුවෙ මොනවගේ චිත්‍රපටි ද?

මම යසපාලිත නානායක්කාරගේ චිත්‍රපටි බලලා තියෙනවා. තුෂාරා කියන්නේ මම ආස කරපු චිත්‍රපටියක්. ඊටත් වැඩියෙන් මම ආස කළා ධර්මසේන පතිරාජගේ චිත්‍රපටිවලට. මගේ මත වාදවලට සමීපම සිනමා අධ්‍යක්ෂවරයෝ තමයි ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක වගේ අය. අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස හිටපු සුනිල් ආරියරත්න මහත්මයාගේ චිත්‍රපටි මම බැලුවා. ඒත් එයාගෙ සමහර චිත්‍රපටිවලට මම කැමති වුණේ නෑ. සිරිබෝ අයියා, ක්‍රිස්තු චරිතය වගේ චිත්‍රපටිවලට මම කැමති වුණා. ඒ වගේම මම ලෙස්‍ටර්ගේ චිත්‍රපටිවලට වෙනම ආකාරයකින් කැමතියි. ඒවාගේ තියෙන ගුප්ත බව, ගූඪ බවත් එක්ක තියෙන කුතුහලයට මම කැමතියි.

 

දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි තියෙනවද?

තුෂාරා, අහස්ගව්ව, බඹරු ඇවිත්, පාර දිගේ, වෙස් ගත්තෝ, සලෙළු වරම වගේ චිත්‍රපටි දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි.

 

චිත්‍රපටි බලන්න ගිහින් වුණු අමතක නොවන සිදුවීම් මතක් කරමු?

චිත්‍රපටි බලන්න ගිහින් යාළුවොත් එක්ක රණ්ඩු වෙලා ඇති. රෑට හොස්‍ටල් එකෙන් හොරෙන් පැනලා ගිහින් චිත්‍රපටි බලලා තියෙනවා. පෝළිම් පනින්න ගිහින් රණ්ඩු වෙලා ඇති. ඒ වගේ ඕනේ තරම් මතක තියෙනවා.

 

පෙම්වතියත් එක්ක චිත්‍රපටි බැලුවේ නැද්ද?

මට එක පෙම්වතියක් කියලා ඒ කාලේ හිටියේ නැහැ. (සිනාසෙමින්) ඒ නිසා එහෙම ගිහින් චිත්‍රපටි බැලුවේ නැහැ.

 

රෝහණ ලක්ෂ්මන් කියන්නේ සිනමා උමතුවකින් පෙළුණු තරුණයෙක්ද?

මට එහෙම පිස්සුවක් තිබුණා වෙන විදිහකින් සිනමාව දිහා බලපු සිනමාකාරයෝ එක්ක. ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර වගේ අය ගැන මට පොඩි ආදරයක් තිබුණා.

 

අනුකරණය කරපු චිත්‍රපටි නළුවා කවුද?

මම අනුකරණය කළේ නැහැ. මම ආසා කළා. මම වැඩියෙන් ආස කරපු චිත්‍රපටි නළුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ජෝ අබේවික්‍රම. ඊළඟට මම කැමති වුණා ටෝනි රණසිංහට. ඒ වගේම මම විජයටත් කැමතියි. පතිරාජගේ චිත්‍රපටි එක්ක තමයි විජයට කැමති වුණේ. මිනිස්සුන්ගේ දුක්ඛිත ජීවිත විජය ලස්සනට නිරූපණය කළා කියලා මට හිතෙනවා.

 

ඒ කාලේ විවාහ කරගන්න හිතුණු නිළිය කවුද?

එහෙම නිළියක් විවාහ කරගන්න හිතුණේ නැහැ. ඒ වුණාට ආකර්ෂණයක් තිබුණු නිළියෝ ඉන්නවා. එහෙම ආකර්ෂණයක් තිබුණේ ස්වර්ණා මල්ලවාරච්චිට තමයි. ඊට අමතරව අනුලා කරුණාතිලකට කැමතියි. ගොළුහදවතේ අනුලා අපි පාසල් වියේ දැකපු ගෑනු ළමයි වගේ තමයි.

 

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?

ඒකට දැන් මම දෙන උත්තරේ පතිරාජගේ "සොල්දාදු උන්නැහේ". ඒ කාලේ මම කැමති වුණේ රන්මුතුදූවට සහ නිධානයට. ඒ වගේම පුරහඳ කළුවරටත් මම කැමතියි.

 

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

අන්තිමටම බැලුවේ "ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්" කියලා චිත්‍රපටියක්. ඒකට මම හරි ආස වුණා. ඒකේ ප්‍රහසනයත් එක්ක විරෝධයකුත් තිබුණා.

 

සංගීතයත් එක්ක ඔබට තිබුණේ කොහොම බැඳීමක්ද?

මම සංගීතයට හරි කැමතියි. පොඩි කාලේ ඉඳලා සින්දු ඇහුවා. ඒ කාලේ මම සිංදු පොතක් හැදුවා. පොතේ නම "ගීත ධාරා". සමහර යාළුවෝ සින්දු පත්තරවලින් කපලා එකතු කළා. මම කළේ මම කැමති සින්දු අතින් ලියලා සින්දු පොතක් හැදුවා.

 

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

ඒ ජෝතිපාල. මම හරි ආසයි ජෝතිපාලට. මම මුලින්ම ජෝතිපාලගේ බලපු ප්‍රසංගය අද වගේ මතකයි. ඒ ප්‍රසංගය බැලුවේ ඉස්කෝලේ යන කාලේ. මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ තිබුණේ. එදා ශාලාව හොඳටම පිරිලා ඉතිරිලා තිබුණේ. දැන් වගේ ඒ කාලේ වායු සමීකරණ නැති නිසා හැමෝම දාඩිය වක් කරකර හිටියේ. ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ ඔක්කොම ඇවිත් එක තැන ඉඳලා මයික් එකෙන් සින්දු කිව්වා. අපි කවුරුවත් ඒකෙන් තෘප්තිමත් වුණේ නැහැ. හැමෝම දාඩිය දාගෙන අමාරුවෙන් හිටියේ. මේ වෙලාවේ ආවා අපි ආදරය කරපු ගායකයා ජෝතිපාල. ඔහු ඇවිත් කිව්වා "මට තේරෙනවා ඔයාලා අමාරුවෙන් තෙරපිලා දාඩිය දාගෙන ඉන්නේ කියලා. මම පුළුවන් විදිහට සන්තෝස කරන්නම්" කියලා. ඊටපස්සේ එයා මයික් එක ගැලෙව්වා කණුවෙන්. වයර් එක ඇද්දා ඈතටම. ඊටපස්සේ සෙනඟ අතරට ඇවිත් හැමෝම එක්ක එකතු වෙලා "සිරියාමේ සාරා" සින්දුව කිව්වා. මුළු ශාලාවම පුදුමාකාර විදිහකට එයාගේ අතට ගත්තා. ප්‍රාසංගික කලාව කියන එක භාවිතයෙන් හරියටම මම දැකපු කලාකාරයා තමයි ජෝතිපාල කියන්නේ.

 

නිතරම මුමුනන ගීතය මොකක්ද?

අහස් ගව්ව චිත්‍රපටියේ සනත් නන්දසිරි කියනවා "ඉරා අඳුරුපට" කියලා ගීතයක්. ඒක තමයි මම මුමුනන්නේ.

 

කලාව කියන දේ රෝහණ ලක්ෂමන් පියදාස දකින්නේ කොහොමද?

මම හිතන්නේ මිනිසාව ජීවත් කරවන්නේ කලාව. මිනිස්සු සංවේදි කරන්නේ මිනිස්සුන්ට, සොබාදහමට, ජීවිතයට ආදරය කරන්න පුරුදු කරන්නේ කලාව. හොඳ ජීවිතයකට අනිවාර්යයෙන්ම කලාව අවශ්‍යයි.

 

ඒත් විශ්වවිද්‍යාල පද්ධතියෙන් කෙමෙන් කෙමෙන් කලාව ඈත් වෙනවා කියලා චෝදනාවක් තියෙනවා?

යම් ප්‍රමාණයකට ඒක ඇත්ත. අමෙරිකානු විශ්වවිද්‍යාලවල ක්‍රමයට විෂය උගන්වන්න පටන්ගත්තාට පසුව කලාව විතැන් වෙන්න පටන් අරගෙන, මහා කලාකාරයෝ, මහා කවියෝ, මහා චින්තකයෝ බිහි වෙන එක ටිකෙන් ටික අඩුවෙන්න පටන්ගත්තා. විෂය නිර්දේශය කියලා විශ්වවිද්‍යාලයෙන් කලාව ගැන ඉගෙනගන්නේ පුංචි කෑලි ටිකක් විතරයි. මම හිතනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී නැවත මේවා සමාලෝචනය කරන්න ඕනේ කියලා. සෑම විෂයකටම කලාව එකතු කරන්න ඕනේ කියලා මම හිතනවා.

 

මහාචාර්යවරයකුගේ චරිත කතාවක් සිනමාවට නඟන්න කිව්වොත් ඔබ තෝරගන්නේ කාගේ චරිත කතාවද?

මම තෝරගන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රව. එතුමාගේ චරිත කතාව සිනමාත්මකයි. විශ්වවිද්‍යාලය තුළ, කලාව තුළ වගේම විදේශ රටවල පවා සුන්දර මතක ගොඩක් තිබුණු ජීවිතයක් ඒක.

 

චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න ආරාධනාවක් ආවොත්?

මම වාර්තා චිත්‍රපටි නම් ගොඩක් කරලා තියෙනවා. තාම එහෙම චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න නම් බලාපොරොත්තුවක් නැහැ. නමුත් මම හිතනවා ලංකාවේ විවාදාත්මක සිද්ධි ඕනේ තරම් තියෙනවා දෙවෙනි තුන්වැනි මානයකින් බලලා චිත්‍රපටි හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට බණ්ඩාරනායක ඝාතනය කියන සිදුවීමෙන් විශිෂ්ට චිත්‍රපටියක් කරන්න පුළුවන්. ඒත් අපේ අධ්‍යක්ෂවරු පර්යේෂණ කරන්නේ නැති නිසා වටිනා දේවල් මඟහැරෙනවා. ඒත් ඒ වගේ චිත්‍රපටියක තිරනාටකයක් වගේ ලියන්න අවස්ථාවක් ලැබුණොත් මම පැහැර හරින්නේ නැහැ.