නපුරු චරිතයක් කරන්න ආසයි

රංගන ශිල්පිනී ප්‍රියංකා ප්‍රියදර්ශනී
දෙසැම්බර් 3, 2020

මම ගොඩක් කැමතියි වෙනස් චරිතවලට පණ පොවන්න. විශේෂයෙන් නපුරු චරිත. ඒත් මට වැඩිපුරම ලැබෙන්නේ අම්මගේ චරිතයනේ. එහෙම වුණා කියලා මම ඒ චරිත ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැමෝටම අම්මගේ චරිතය කරන්නත් අවස්ථාව ලැබෙන්නේ නැහැනේ. නේද...

එහෙම කතාව ආරම්භ කළේ ප්‍රියංකා ප්‍රියදර්ශනී. ඇය මේ වන විට රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් සිටිනවා.

ප්‍රියංකා, ඔබ කොහොමද කලාවට අවතීර්ණ වෙන්නේ?

රඟපෑම පිළිබඳව කිසිදු උනන්දුවක් නැති කාලෙක මම සුමින්ද සිරිසේන මහත්මයාගේ සිව් රඟ සේනා කියලා පාඨමාලාවකට සම්බන්ධ වුණා. ඇත්තටම මම එතෙන්ට ගියේ රඟපාන්න අවස්ථාවන් හොයාගෙන නෙමෙයි. මට ඒ කෝස් එකේ විස්තර දැන ගත්තම කරන්න ආස හිතුණා. එතනින් පස්සෙ මම ස්ටේජ් ඩ්‍රාමා දෙකක රඟපෑවා. ටෙලි නාට්‍යය චරිතයකුත් කළා. ඔය කියන්නේ 2003 වසරේ විතර. ඒ නිර්මාණ කිහිපයෙන් පසුව මම හදිසියේම රංගනයෙන් ඉවත් වෙනවා. ඒ පවුල් ජීවිතයට මූලිකත්වය දෙන්න ඕන හින්දා. වසර ගණනාවක් එහෙම මගේ පවුල වෙනුවෙන් කැප වෙලා මම යළිත් රඟපාන්න එන්නේ 2016 වසරේ. කාලයක් රඟ නොපා හිටියත් ඒ ආසාව මගේ හිත තුළ තිබුණා. ඒකයි වසර ගණනාවක් ගත වූ පසුවත් නැවතත් මේ ක්ෂේත්‍රයට එන්න හිතුණේ.

ඔබ රඟපෑ නිර්මාණ පෙළ මතක් කළොත්?

මම දෙවැනි වතාවට ක්ෂේත්‍රයට ආවට පස්සෙ මුලින්ම රඟපෑමට සම්බන්ධ වුණේ හිරු නාළිකාවේ සෙවණැලි කියන මාලා නාටකයක් එක්ක. එහි කොටස් කිහිපයකටම රංගන දායකත්වය ලබා දුන්නා. ඊට පසුව මිල්ලෑවේ වලව්ව, වෙස්, හරස් පාර, බ්ලැක් ටවුන් ස්ටෝරි, සල් මල් ආරාමය, සක්කාරං, අහස් මාලිගා, හඳයා, පිනි පොද වැස්ස වගේ ටෙලි නාට්‍යවල රඟපෑවා, යූ ටර්න්, පත්තිනි, සරසරප රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයක්.

ඔබ චරිත රංගනයේ යෙදෙන්න වඩාත් කැමති මාධ්‍ය මොකක්ද?

ඇත්තටම මම වඩාත් ප්‍රිය කරන්නේ වේදිකා නාට්‍යවල රඟපාන්න. මොකද වේදිකාව සජීවි මාධ්‍යයක් හින්දා අපේ රංගන හැකියාව හොඳීන් ඉදිරිපත් කරන්න අවස්ථාව උදා වෙනවා. ටෙලි සිනමාවේ එහෙම නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් ස්ටේජ් ඩ්‍රාමා කරන්න මම හරිම කැමතියි. මේ දවස්වලත් අපි වේදිකා නාට්‍යයක පුහුණුවීම්වල යෙදෙමින් හිටියේ. කොරෝනා නිසා ඒ සියලු දේවල් කල් ගියා.

ඇයි ඔබ වැඩිපුර නපුරු චරිත රඟපාන්න කැමති?

මම අම්මගේ චරිතය සෑහෙන වාරයක් කළා. දිගින් දිගටම මට ආරාධනා ලැබුණේ එවන් වූ චරිත කරන්න. නමුත් මිල්ලෑව වලව්ව සල්මල් ආරාමය වගේ ටෙලි නාට්‍යවල මම වෙනස්ම චරිත රඟපෑවා. මිල්ලෑව වලව්වේ සොපියා කියලා චරිතයක් මම කළේ. ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා සමග එහි රංගනය මම නියැළුණා. ඒකත් වෙනස්ම චරිතයක්. ඉතින් මට හැකියාව තියෙනවා කියලා මම දන්නවා. ඒ නිසාම තමයි මම වෙනස් චරිත කරන්න උත්සාහ කරන්නේ.

රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

සුමුදු වෙල්ලාලගේ මහත්මයගෙ හරස් පාර නාට්‍යයේ මම නර්ස් කෙනෙක්. අපි ෂූට් කළේ ඇත්තම හොස්පිට්ල් එකක. කොස්ටියුම් එහෙම දාගෙන මම මගේ රූගත කිරීම් පටන් ගන්නකම් එතන මම එහෙට මෙහෙට ඇවිදිමින් හිටි‍යා. බෙහෙත් ගන්න ආව රෝගීන් මගෙන් යම් යම් තොරතුරු අහන්න පටන් ගත්තා. ඔවුන් හිතුවෙ මම ඇත්තම නර්ස් කෙනෙක් කියලා. මම ඉතින් ඒ මොකුත් කියන්නැතුව ඒ ඒ රෝගීන් අහන අහන හැම ප්‍රශ්නෙකටම දන්නෑ, අරයගෙන් අහන්න කියලා කිව්වා. මමත් ඒක එච්චර හිතුවේ නෑ. ඒක නිසයි ඒ වගේ උත්තර දුන්නෙ. අන්තිමේට එතෙන්ට ආපු කිහිප දෙනෙක් මට බැන බැන ගියා. දෙයක් දන්නෙ නැතුව මොකද මෙතෙන්ට වෙලා කරන්නේ ඔය රස්සාව බැරිනං වෙන එකක් කරන්නයි කියලා. ඉතින් ඊට පස්සේ නර්ස් ඇඳුම දාගෙන වැඩේ එළිපෙහෙළියට ගියේ නැහැ.

ප්‍රියංකාගේ ගම කොහෙද

මම කඩුවෙල රනාලේ.

දැන් දිගින් දිගටම නිළියක් විදිහට ඉන්න ඉන්නද කල්පනාව?

ඔව්. දැනට මම එහෙම තමයි හිතාගෙන ඉන්නේ. මගේ දුවත් දැන් ලොකුයි. ඒ නිසා මට මගේ රංගන කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන්.