ඔක්කොම ගෑනු ළමයි “මගේ රාධාවනීලා”

සුපුන් පෙරේරා
දෙසැම්බර් 3, 2020

 

"ප්‍රාතිහාරී නුරා ගේනා

මීන දෑසේ මවා ආශා

රූපසාරි මැවී පේනා

චන්ද්‍රශෝභා රසේ පානා

මන ආශා රටා පානා

හිත පෑහී සොබා ගේනා"

 

මේ පදවැල් සමඟ ඔබට සෞම්‍ය නාද රටා සමඟ මුසු වුණු ඒ සුගායනීය හඬ සිහිපත් වනවා ඇති. ඔහු නමින් සුපුන් පෙරේරා. හින්දුස්ථානී රාගධාරී ශෛලියත් සමඟ බටහිර ආරේ විවිධ ශෛලීන් ස්පර්ෂ කරමින් වෙනස් නාදරටා රසික සවනතට හුරු කිරීමෙහිලා ප්‍රමුඛයෙකු ලෙස සුපුන් හඳුන්වන්න පුළුවන්. තමන්ටම ආවේණික අනන්‍යතාවක් තරගකාරී සංගීතය ක්ෂේත්‍රය තුළ ගොඩනඟාගන්නට සමත් ඔහු ඉතා කෙටි කලකින් රසික ආදරය හිමි කරගත් ගායකයෙක්.

 

සුපුන්ගේ කටහඬ මේ දිනවල ටෙලිවිෂන් එකෙන් නිතරම අපිට ඇහෙනවා?

ඒ ටීවී දෙරණේ විකාශය වන ධරණි ටෙලිනාට්‍යයේ තේමා ගීතය. ඒක තමයි මගේ පළමුවැනි ටෙලිනාට්‍ය තේමා ගීතය. ඒක මම ගොඩක් ආසාවෙන් සම්බන්ධ වුණු වැඩක්. දෙරණ ආයතනයෙන් මේ ගීතය සඳහා හඬක් හොයද්දි ලක්සිරි වික්‍රමනායක මහතා තමයි මගේ නම යෝජනා කරලා තියෙන්නේ. ඒ ගීතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

සුපුන්ව හැමෝම දැනගන්නේ මහාමායා ගීතයත් එක්ක නේද?

සමහරු මාව "ප්‍රාතිහාරී" ගීතයෙන් දැනගත්තා. තවත් සමහරු මාව "රාධාවනී" ගීතයෙන් හඳුනාගත්තා. "මහාමායා" ගීතයටත් හොඳ ප්‍රතිචාර ගොඩක් එක්ක රසිකයන් ගොඩක් ඉන්නවා. මගේ හැම ගීතයකින්ම වගේ විවිධ රසිකයෝ මගේ වටේ එකතු වුණා. මම මුලින්ම කළේ "රාධාවනී" ගීතය. ඊටපස්සේ "සුරත් සුවය" කියලා ගීතයත් කළා. "මහාමායා", "ප්‍රාතිහාරී" යන ගීත කළේ ඊටපස්සේ.

 

ඔබ නියෝජනය කරන ගීත ශෛලිය මේ වෙද්දි ලංකාවේ රැල්ලක් බවට පත්වෙලා තියෙනවා.

අපි කිසිම රැල්ලක් හදන්න වුවමනාවට කරපු වැඩ ටිකක් නෙමෙයි මේ. කුමක් හෝ වාසනාවකට හෝ පුදුමයකට රිද්ම, දනිත් අපි හැමෝම එකම විදිහේ වැඩ ටිකකින් එකම කාලයක ක්ෂේත්‍රයට එනවා. හින්දුස්ථානි රාගධාරී සංගීතයත් එක්ක නූතන සංගීත රටාත් එකතු කරගෙන වෙනස් විදිහේ ගීත හැදෙනවා කියලා කතිකාවතක් හැදෙන කාලයක තමයි අපි ක්ෂේත්‍රයට එන්නේ. මේ ගීත හැදුන මුල් කාලේ එහෙම කතිකාවතක් හැදුණේ නැහැ. මේ ගීත මිනිස්සු මේ තරම් වැලඳ ගනීවි කියලා හිතුවෙත් නැහැ. අපිට ඕන වුණේ අපි ආස දේ කරන්න. දැන් අපි හිතපු නැති තරම් රසිකයෝ පිරිසක් අපේ නිර්මාණ එක්ක ඉන්නවා. තව අලුත් නිර්මාණ හැදෙනවා. අපි ප්‍රසංගයකට එනවා නම් ටිකට් එකක් අරගෙන මිනිස්සු ඒවා බලන්න එනවා. දැන් මාධ්‍යයෙනුත් මුලදී නොතිබුණු සහායක් ලැබෙනවා. මේ වසර දෙක තුන දිහා නැවත හැරිලා බලද්දි සතුටක් හිතෙනවා.

 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර සහ සහයෝගය ගැන අපි කතා කරමු?

ගොඩක්ම පරිණත ලංකාවෙ ඉන්න ප්‍රවීණයන්ට අපේ සංගීතය ඇහෙන්න ලැබෙන්නේ නැහැ, අන්තර්ජාලය සහ ටෙලිවිෂනය භාවිතය අඩු නිසා. වෙනත් වැඩවලදී හමුවුණු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මට ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පසු පරම්පරාවේ ප්‍රවීණයන්ගෙන් සහ මීට වසර දහයකට විස්සකට පෙර ක්ෂේත්‍රයට ආපු ප්‍රවීණයන්ගෙන් අපිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

සුපුන් සංගීතය ගැන වැඩිදුර හදාරලා තියෙනවද?

මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී කළමනාකරණ උපාධිධාරියෙක්. මම සාමාන්‍ය පෙළට පාසලේදී සංගීතය හැදෑරුවා. නමුත් පුදුමයකට වගේ මට මඟහැරුණු සංගීත අධ්‍යාපනය හරියටම හදාරන්න ලැබෙන්නේ පේරාදෙණියට ගියාට පසුව. නුවරදි මට ආනන්ද පෙරේරා ගුරුතුමා යටතේ ශාස්ත්‍රීය සංගීතය හදාරන්න ලැබෙනවා. ඒ වගේම සුරේන් දිසානායක ගුරුතුමා යටතේත් මම වැඩිදුරටත් සංගීතය හදාරනවා.

 

ව්‍යාපාර කළමනාකරණය අතහැරලා පූර්ණකාලීනව ගායනයට යොමු වුණේ?

මම මගේ උපාධිය හදාරලා වසර තුනකට ආසන්න කාලයක් පෞද්ගලික ආයතනයක සේවය කළා. එහෙම කාලයක් වැඩ කරගෙන යද්දී මට තේරෙන්න ගත්තා කොච්චර ඉගෙන ගත්තත් රස්සාවක් කළත් සල්ලි හම්බ කළත් මගේ ජීවිතයේ සතුට තියෙන්නෙ music කියලා. මට music  මතක් වෙද්දි, මඟහැරෙද්දි මම තීරණය කළා මගේ ජීවිතේ සතුට තියෙන්නේ එතන නම් අවදානමක් අරගෙන හරි musicවලට බහිනවා කියලා. ඊට පස්සේ තමයි මම තීරණය කළේ "රාධාවනී" ගීතය කරන්න. මම රස්සාව කරන අතරතුර ක්ෂේත්‍රය දිහා බලාගෙන හිටියේ. ගායකයෝ, ගී පද රචකයෝ, සංගීත අධ්‍යක්ෂවරු කොහොමද මොන විදිහට ද ක්ෂේත්‍රයේ යන්නේ කියලා.

 

අනාගත පරපුර සුපුන් අනුගමනය කරන ශෛලියෙන් ගීත ගයයිද?

අනාගත පරපුර ගැන මට තියෙන්න සුබවාදී බලාපොරොත්තුවක්. රියැලිටි වැඩසටහන්වලට ආපු ළමයි පවා අපේ සින්දු කියනවා මම දැක්කා. ඒ අය මගේ ගීත ගයද්දි මට පෞද්ගලිකවත් කතා කළා දැනගන්න ඕනේ දේවල් අහගන්න. අපි ක්ෂේත්‍රය ඇතුළේ හිතන පතන, කරන දේවල්වලට වඩා අනාගත පරපුර ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. ඒ අය හරිම දක්ෂයි. අපේ ශෛලිය අනුගමනය කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට වඩා දෙයක් එයාලා කරයි කියලයි මම බලාපොරොත්තු වෙන්නේ.

 

ක්ෂේත්‍රයේ හොඳම යාළුවෙක් ඉන්නවාද?

හොඳම යාළුවෝ එක්කෙනෙක් කියලා නැහැ. සමීපතම යාළුවෝ කීපදෙනෙක් ඉන්නවා. රිද්ම වීරවර්ධන, දනිත් ශ්‍රී, මිහිඳු ආරියරත්න වගේ කීපදෙනෙක් මම සමීපව ඇසුරු කරනවා.

 

රඟපාන්න ආරධනා ඇවිත් නැද්ද?

රඟපාන්න ආරාධනා ඇවිත් තියෙනවා. ඒත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. ඇත්තම කතාව මට රඟපාන්න බැහැ. මම හිතන්නේ මම ඉපදිලා ඉන්නේ සින්දු කියන්න. ගායකයෙක් වෙන්න. සින්දු කියලා මිනිස්සුන්ගේ රසවින්දනය හොඳ තැනකට ගේන එකයි මගේ වැඩේ කියලා මම හිතන්නේ.

 

පවුලේ විස්තර කිව්වොත්?

මගේ පවුලේ ඉන්නේ අම්මයි අක්කලා දෙන්නයි අයියලා දෙන්නයි. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. මම පවුලේ බාලයා. අයියලා අක්කලා හැමෝටම දරුවො ඉන්නවා. මම තාම අවිවාහකයි. (සිනාසෙමින්)

 

සුපුන්ට විවාහ වෙන්න අදහසක් නැද්ද?

සුපුන්ට විවාහ වෙන්න කලින් තව කරන්න වැඩ ටිකක් තියෙනවා. (සිනාසී) තව සින්දු ටිකක් හදන්න තියෙනවා. කලාව පැත්තෙන් තව කරන්න දේවල් තියෙනවා. ඊටපස්සේ විවාහය ගැන හිතනවා.

 

ඇත්තටම කවුද සුපුන්ගේ "රාධාවනී"?

මගේ සින්දු අහන ඔක්කොම ගෑනු ළමයි මගේ රාධාවනීලා තමයි. (සිනාසෙමින්) නැතිනම් අසාධාරණයිනේ. මට ගෑනු ළමයෙක් නැහැ ඉතින්.

 

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?

කොරෝනා වසංගතය නිසා මේ අවුරුද්දේ තිබුණු මගේ ඔක්කොම සංගීතමය බලාපොරොත්තු ටික පසුපසට ගියා. මේක ගොඩක් වැඩ කරන්න සැලසුම් කරගෙන හිටපු අවුරුද්දක්. දැනට මගේ ගීත තුනක් කරන්න සුදානමින් ඉන්නවා. ඒ වගේම ලබන වසරේ මගේම ගීත ඇල්බම් එකක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.