අදට වැඩිය හෙට හොඳ වෙයි

අග්‍රගණ්‍ය රංගවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි
දෙසැම්බර් 3, 2020

දිගු කලකට පසු සරසවිය හා කතාබහක...

මම පිටරටදී ඉගෙන ගත් දේ තමයි හා නම් හා බෑ නම් බෑ.

හිත රිද්දන්න බැරිකමට මම චිත්‍රපට බාරගත්තේ නෑ

 

සත් සමුදුර අරා විහිදුණු සිනිඳු සුදු මුතු තලාවේ පිපෙන පෙන පිඩු හා සිනාසෙන සෝමා අනන්ත වූ දෙරණ සරා යමින් හන්තානේ කතාව කියන්නේ සරා සොඳුරු මල් පැටලී ලිහී නොයන ජීවිතයක් හිමි සුභද්‍රාව වෙමිනි. අතීතයෙන් ගඟ ගලා බසිද්දී තුංමංහංදියේ යසවතී වී නිසයුරු මුතුලැල් සැලෙන වෙලාවේ නුරා බඳුන් සතුටින් පුරවන චිත්‍රා නිම් වළල්ලෙන් නැඟී ඉරා අඳුරු පට පෙරදිග අහසේ පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර විජිතා නමින් අහස්ගව්වට ළංව හෙළ සිනමාවේ රන් තාරකාව ලෙස විරුදාවලිය ලබන්නීය. රිදී තිරයේ අඩසියවසක් සපුරන සුභද්‍රලා, යසවතීලා, චිත්‍රලා අපට මුණගැස්වූ ඇය සිනමා කෘති එක්සැටක පමණ කළ චරිත නිරූපණයට සරසවිය ඇතුළු ප්‍රධාන පෙළේ සිනමා උලෙළවලදී හොඳම නිළිය ලෙස සම්මාන විසිනවයක් දිනා මෙරට ඒ සම්මාන වැඩිම සංඛ්‍යාවක් හිමි කරගත් රංගන ශිල්පිනිය ලෙස වාර්තාවක් තබන්නීය. ඇය අන් කිසිවකුත් නොව ඔබ මේ සේයා රූ දකිත්ම හඳුනාගත් අග්‍රගණ්‍ය රංගවේදිනී ස්වර්ණා මල්ලවාරච්චිය.

 

අපි මේ දවස්වලට පොදු මාතෘකාවෙන්ම පටන්ගමු?

මමත් කොරෝනාවලට අනෙක් අය වගේම මුහුණ දුන්නා. ගාමිණි ෆොන්සේකාගේ 16 වැනි ගුණසැමරුමට හැර කොහේවත් ගියේම නැහැ. ව්‍යායාමයක් ඕනෙ නිසා උඩු මහලේ ඇවිදින්න යනවා. මට ගෙදර ඉන්න එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මුල ඉඳන්ම වැඩ පස්සේ හඹා නොගිය කෙනෙක් නිසා පැච්වර්ක්, එම්බ්‍රොයිඩරි වගේ නිර්මාණ කරලා අඳුනන පොඩි දරුවන්ට දෙනවා. අලුත් කෑම වට්ටෝරු අත්හදා බලනවා. ගෙදර ඉන්න හිතෙන ක්‍රම තමන් හදාගන්න ඕනෙ. මම ටෙලිනාට්‍යවලට එච්චර කැමති කෙනෙක් නෙවෙයි. ඒත් අන්තර්ජාලයෙන් ලෝකේ පුරා ටෙලිනාට්‍ය නරඹද්දි නම් හිතුණා මේ වගේ ටෙලිනාට්‍යයක නම් රඟපෑවත් මොකද කියලා. රෑට ලෝකෙ හරිම නිහඬයිනේ. ඉතින් නිදහසේ චිත්‍රපට, ටෙලිනාට්‍ය බලලා රෑබෝ වෙලා නිදියලා ටිකක් එළිය වැඩිපුර වැටුණාම ඇහැරලා දවසේ ඉතිරි කටයුතු කරනවා. මට පිටරට යන්න තිබුණා මැයි ජූනි වගේ කාලවල මා වෙනුවෙන්ම කරන උපහාර උලෙළ කීපයකට. ඒවා නතර වුණා. කොරෝනා ලේසියෙන් ඉවර වන එකක් නොවුණත් මම ධනාත්මකව හිතනවා මෙයට එන්නතක් සොයාගෙන යම් කාලයක් ගත වෙද්දි ඒ කටයුතු ආපසු කෙරෙයි කියලා.

මගේ දුව අවුරුදු 14ක් විදෙස්ගතව ඉඳලා දැන් ලංකාවට ඇවිත් ඉන්නේ. ඒ අතිනුත් මම වාසනාවන්තයි මේ කොරෝනා අවස්ථාවේ මගේ දුව මා ළඟම ඉන්න එක හිතට සහනයක්. මේ දවස්වල දුව ඇගේ ආයතනයක වගේම තවත් වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ ආයතනයක උපදේශක කටයුතුවල නිරත වෙනවා නිවෙසේ ඉඳන්ම.

මේක අපි හැමෝටම ඉදිරි ජීවිතේ මොනවාද කරන්න ඕනේ කියලා සැලසුම් කරන්න හොඳ අවස්ථාවක්. ඉතින් තම තමන් පරෙස්සම් වීම තමයි මේ වෙලාවේ සුදුසුම.

 

දැන් සිනමා සම්මාන උලෙළ ඔන්ලයින් ක්‍රමයටත් පවත්වනවා?

ඒක නම් මට ඒ තරම් හිතට දැනෙන්නේ නැහැ. ජූරිසභිකයන් ලෝකේ කොහේ හරි ඉඳලා චිත්‍රපට බලලා සම්මාන දෙන එක කරන්න නම් පුළුවන්. ඒත් අපි ඒ උත්සව අවස්ථාවට සහභාගි වෙලා ප්‍රේක්ෂකයන් මුණගැහිලා උත්කර්ෂවත් අවස්ථාවක දැනෙන සතුට එයින් ලැබෙන්නෙ නැහැ. (සිනාසෙමින් අසයි) මිනිසුන් සහභාගී නොවන අවස්ථාවක ඇති උත්සවයකුත් නැහැ. වින්දනයකුත් නැහැනේ?

 

ඒ කියන්නේ ලෝක සිනමාවට මෙය තදින්ම බලපානවා?

මිනිසුන්ට හිතෙනවා ඇති අපි හරි අවාසනාවන්තයි කියලා. ඒත් ලෝක ඉතිහාසය බැලුවාම වරින් වර මෙහෙම දේවල් එනවා යනවා. කොරෝනා සමනය වෙද්දි සිනමාවත් ක්‍රමයෙන් ආපසු ඉහළට එයි. අපි ඒ ගැනත් ධනාත්මකවයි හිතන්න ඕනා. ඊයේ දවස හොඳ නම් අද දවස හොඳ නම් හෙටත් හොඳ වෙයි කියල ප්‍රාර්ථනා කරලායි අපි රෑ නින්දට යන්න ඕනෙ. මේ වගේ වෙලාවක අපට ඉන්න හිටින්න වහලක් තියෙන එක, කන්න බොන්න දෙයක් තියෙන එක, කාලය ගෙවන්න විනෝදාංශයක් තියෙන එක ආශීර්වාදයන්. මේ වසංගතයත් සමඟ අපි 'අය්යෝ එළියට යන්නවත් නෑනේ' කියලා තැවි තැවී ඉන්නේ නැතිව සතුටු වෙන්න ඕනේ අපට තිබෙන දේවල් ගැන හිතලා.

 

ඔබ බොහොම ධනාත්මකවයි කතා කරන්නේ?

මගේ ජීවිතේ හැරිලා බැලුවාම මට ලැබුණු සම්මාන, ජීවිතේ ලැබුණු චිත්‍රපට කොයිතරම්ද? මගේ ෆෑන් පේජ් එකේ සතියකට සැරයක් හරි කවුරුම හරි කෙනෙක් මම රඟපෑව චිත්‍රපටයක් ගැන දිග ලිපි ලියනවා. ඒකම කොයි තරම් ආශීර්වාදයක්ද? සතුටක්ද? උදේ නැඟිට්ටාම ඇඳෙන් බැහැලා ගිහින් තේ කෝප්පයක් හදාගන්න පුළුවන්කමත් ආශීර්වාදයක් නෙවෙයිද? එහෙම නැති අය කොච්චර ඉන්නවාද ලෝකේ. ධනාත්මකව හිතුවාම විශ්වයෙන් පවා අපට ධනාත්මක ශක්තිය ලැබෙනවා. ඒ වගේමයි අපි චිත්‍රපට උලෙළක සම්මානයක් ලබන්න වේදිකාවට යද්දි හැමෝම සුබ පතනවා. හැම දෙනාගෙම සතුට එකට කැටිවෙලා ගඟක් වගේ හෝ ගාලා අත්පුඩි ගහනකොට එන ශක්තිය! ඒකමත් ආශීර්වාදයක්. ඒ නිසා හැමදාම යාඥා කරද්දි මම කියන්නේ "ර්‍ථතඥචඵඥ ඡතඥඵඵ චතත බඩඥ නඥධනතඥ ඹඩධ ඡපධභඨඩබ ච ඵථඪතඥ ධද ථර ටචජඥ" (මගේ මුවගට සිනහවක් ගෙන ආ හැම දෙනාටම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා) කියලා. හිතට ප්‍රශ්න එන්න පුළුවන්. ඒවාට නහයෙන් අඬනවාට වඩා වෙන යහපත් දේකට ඇබ්බැහි වෙන එකත් හොඳයිනේ? (ඇය සැහැල්ලුවෙන් සිනාසී පවසයි)

 

දැන් ජීවිතේ කිසිම දෙයක් ගැන කනගාටුවක් නැද්ද?

ආපස්සට හැරිල බලනකොට මගේ ජීවිතේ කනගාටු වෙන්න දේවල් නැහැ. ඒ ඒ අවස්ථාවලට අනුව අත්දැකීම්වලට මුහුණ දුන්නා. අපි කාටවත් වරදක් කරලා නැහැ. ශාප කරන්නෙත් නැහැ. එතකොට හරි ලේසියි ජීවත්‌ වෙන්න. චිත්‍රපටයක වුණත් දර්ශනයක් රූපගත කරලා ඉවර වුණාම අධ්‍යක්ෂගේ, සහාය නළුනිළියන්ගේ සහ අවට ඉන්න අයගේ මුහුණෙන් මම දන්නවා ෂොට් එක හරියට කළා කියලා. ඒ වගේ මොකක්දෝ විශාල ආශිර්වාදයක් මට තිබෙනවා. රඟපෑමෙන් මම ලොකු තෘප්තියක් ලැබුවා. කාගෙන් හෝ මට වරදක් වුණා නම් ඒ සමහරු ඇවිත් මට සොරි කියලා තියෙනවා. එහෙම හරි එන්නේ අපි ඒවාට පළිගන්න එහෙම නොහිතූ නිසානේ.

නෙල්සන් මැන්ඩෙලා‌ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා "ඔබට රිදවූ අයගෙන් පළිගන්න හිතෙන්නේ නැද්ද?" කියලා. මැන්ඩෙලාගෙ උත්තරය දන්නවාද? "මට වෙලාවක් නැහැ පළිගනිමින් ඉන්න. මට වෙලාව තියෙන්නේ ජීවත් වෙන්න විතරයි"

කිසිම ආගමක කියලා නැහැ නරක දේවල් කරන්න කියලා. අපට ඇහැට පේන දේකට තිබෙන්නේත් අපි කාට හරි හොඳක් කරලා ලබන සතුට විතරයි. මම ශාන්තුවරියක් වගේ කතා කරනවා නෙවෙයි. හැබැයි අපි යම් වයසකට ආවාම ආපස්සට බලද්දි හිතෙන්නේ එහෙමයි. අපෙත් තරුණ කාලේ අපට හිතන්න වෙලාව නැහැ. බලාපොරොත්තු වැඩියි. ආශාවන් වැඩි නිසා සමහර දේවල් ගැන හිතාගන්න බැරුව යන්න පුළුවන්. හැබැයි මම අවුරුදු විස්සෙදිවත් පනහේදීවත් කොයි වයසෙදිවත් ආපස්සට හැරිලා කනගාටු වෙලා නැහැ. හැමදාම ධනාත්මකවයි හිතුවේ. වැරැද්දක් වුණා නම් ඒ දේ ආයේ නොකරන්න වගබලාගන්න එක තමයි ජීවිතේ අත්දැකීම්, පාඩම් කියන්නේ.

 

ඔබේ රංගන කාල පරාසය තුළ රටේ ඇති වූ සිදුවීම් ඇසුරින් බිහි වූ සිනමා නිර්මාණ ප්‍රමාණවත් කියා සිතනවාද?

යුද්ධය වැනි දේවලට පිටපත අනුමත කරගන්න ඕනේ වගේ වාරණ තිබුණා. අනෙක සිනමාව කියන්නෙ බොහොම වියදම් අධික කලාවක්. බොහොම අමාරුවෙන් නිෂ්පාදකයෙක් සොයාගන්නේ. යුද්ධය වැන්නක් හරි විදිහට ප්‍රති නිර්මාණය කරන්න වියදම දැරුවා වුණත් එයින් ආපසු ආදායම් ලබන්න අමාරුයි. ඒ වගේම 1983 ඉඳන් චිත්‍රපට කර්මාන්තය පැහැදිලිවම ඇද වැටුණා. චිත්‍රපට ශාලා වැහුණා, පිච්චුණා. ඒවා පුන පුනා කීවත් දැන් කවුරුත් ගණන් ගන්නේ නැති තරම්. ඒ අතර රූපවාහිනිය ආවා. හැබැයි ලෝකෙ අනෙක් බොහෝ රටවල රූපවාහිනිය ආවත් පොඩි කාලයයි සිනමාව යටපත් කරගත්තේ, ආයෙත් ඔළුව ඔසවාගෙන උඩට ආවා. අපේ රටේ එහෙම නොවුණේ සමාජීය, ආර්ථික ප්‍රශ්න මතු වුණ නිසා. මේ සියල්ලෙන් චිත්‍රපට කර්මාන්තයටයි පහර වැදුණේ. හැබැයි අපි සතුටු වෙන්න ඕනේ ඒ කාලය තුළත් නිෂ්පාදකවරු මුදල් වියදම් කළා, අධ්‍යක්ෂවරු චිත්‍රපට හැදුවා නේද? කියලා. ඒ අමාරු වාතාවරණයේ පවා යමක් කළ ඔවුන්ට අපේ හිසනමා ආචාර කළ යුතුයි.

 

ඉතින් අපි එමු පනහ පිරෙන චිත්‍රපට මාතෘකාවට?

සත්සමුදුර, හන්තානේ කතාව, නිම්වළල්ල, තුංමංහංදිය, අහස්ගව්ව, මාතර ආච්චි මේ චිත්‍රපට සියල්ලම එකම කාල පරාසයක් ඇතුළත රඟපෑ චිත්‍රපට. ඉන්පස්සේ මම ලංකාවෙන් ගියා. අයේ ආවේ අවුරුදු පහකින් විතර.

මම සත්සමුදුරට ඉල්ලුම්පත් දැම්මේ රඟපාන්න නෙවෙයි. සිරි ගුණසිංහ- මම කැමැතිම නවකතාකරු හමුවන්න පුළුවන් හොඳම වෙලාව කියලා ඒ අවුරුදු 17ක පුංචි හිතට හිතුණ නිසයි. අද වගේ නෙවෙයි ඒ කාලේ අපේ ගෙවල්වල පින්තූර හරි අඩුයි. තිබුණු පින්තූර හතරෙන් එකක් බොහොම දුකෙන් යැව්වා ආපසු ලැබෙන එකකුත් නෑනේ කියලා. ඒ.ඩී. රංජිත් කුමාර (සරසවිය හිටපු කර්තෘ) මගේ හොඳ යාළුවෙක් විදිහට මාත් එක්ක එදා ගියා සම්මුඛ පරීක්ෂණයට. ඉතින් එයාලා මට විහිළු කරන්නත් ගත්තා මම ලොකු තරුවක් වෙයි කියලා. මම එච්චර හිතුවේ නෑ. පස්සේ මේකප් ටෙස්ට් එකකට එන්න කියලා ආයේ කතා කළා. 400ක් විතර ළමයින්ගෙන් මාවයි තව කෙනකුයි විතරයි තෝරගෙන තිබුණේ. අනෙක් කෙනා ආවෙත් නැහැ.

ඊටපස්සේ මම කළේ හන්තානේ කතාව. ඒකට නම් ගන්න හේතුව විසිතුර පත්තරේ ගිය මගේ පින්තූරයක්. සුගත් අය්යා (සුගතපාල සෙනරත් යාපා) හිතාගෙන හිටි රූපය තමයි එයින් පෙනිලා තියෙන්නේ. ඒකෙන් මම සුමිත්ත අමරසිංහ හඳුනාගත්තා. ඔහු තුංමංහංදියේ කැමරා ශිල්පියා. මම සත්සමුදුර කරද්දී මහගමසේකරවත් අඳුනනවා. ඒ නිසා එකපාරටම මට චරිතය දෙන්න ඒ අය එකඟ වුණා.

මම ලංකාවෙන් පිට වෙන්න කලින් කෙට්ටුයි, ලස්සන නිළියකුත් නෙවෙයි (හොඳීන් සිනාසෙයි) ඒ නිසා මගේ දක්ෂකමක්වත් රූපලාවණ්‍ය නිසාවත් නෙවෙයි, ඇඳුණුම්කම නිසාමයි ඒ චිත්‍රපට ටික ලැබුණේ.

ඩේවිඩ් සිල්වාත් සත්සමුදුරට මුදල් ටිකක් දැම්මා. ඒ තමයි රන්ජිත් ලාල් ද සිල්වාගේ තාත්තා. ඒ වගේම රන්ජිත් කුමාරලාත් මාව හොඳටම අඳුනනවා. ඉතින් නිම්වළල්ලට මාව ගන්න හේතුවත් ඒ ඇඳුණුම්කමමයි.

නිම්වළල්ල කරද්දි අපි ඔක්කොම හරි තරුණයි. පාසල් අවසන් කරන වයසේ. ඒ නිසා අපට හරි බැඳීමක් විනෝදයක් තිබුණා. මගේ ෂූටින් තිබුණේ කොළඹ දාස මුදලාලිගෙ ගෙදර. ඩිල්මන් ජයරත්න කැමරා කළේ. අනෙක ඔයා දන්නවාද රුක්මනී දේවී පළමුවැනි වතාවට ලොකු ළමයි ඉන්න මවකගෙ චරිතයක් කළේ නිම්වළල්ලේ. ඒ කළෙත් රංජිත් ලාල්ගේ පියාගේ ඇඳුණුම්කමට.

මාතර ආච්චි චිත්‍රපටයට මාව ගත්තෙත් සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ හිතවත්කමට. මගේ හිතවත් අක්කා කෙනෙක් හිටියා එයත් එක්ක මම නාට්‍ය බලන්න යනවා. එහෙම තමයි සතිස් මාව අඳුන ගත්තේ.

අහස්ගව්වට මාව තෝරාගන්නේ හන්තානේ කතාව පිටපත ලියන්න සම්බන්ධ වෙලා හිටිය ධර්මසේන පතිරාජගේ ඇඳුණුම්කම නිසා. අපි දෙන්නා හරි හොඳ යාළුවෝ. ලයනල් වෙන්ඩ්ට් එකේ අපි මුණගැහෙනවා.

 

මේ චරිතවලට අවුරුදු 50ක් කියද්දී මොකද හිතෙන්නේ?

පුංචිකාලේ නම් අවුරුදු පනහක් ගැන හිතාගන්නවත් බැහැ. අවුරුදු පනහක් ගත වෙද්දි අපේ ජීවිතවලට මොනවා වෙයිද කියලා හිතන්නේවත් නෑනේ අපි. අවුරුදු විස්සෙදි අපි හිතුවාද හැත්තෑවෙදි මොනවගේ වෙයිද කියලා. හැබැයි හැත්තෑවෙදි ආපහු හැරිලා බලනකොට නම් දෙයිහාමුදුරුවනේ මේ පුංචි රට ඇතුළේ මම මොනතරම් දේවල් දිනාගෙන තියෙනවාද කියලා හිතෙනවා. මේ පුංචි රටේ මම රඟපෑව නිසානේ ලෝකේ අනෙක් රටවල් මා ගැන දැනගත්තේ. සාක් රටවල් හැම එකකම පාහේ මගේ චිත්‍රපට උලෙළ කරලා තිබෙනවා. ඒ සැමටම හේතු වුණේ මම ලංකාවේ රඟපෑ චිත්‍රපට. අපේ දක්ෂ අධ්‍යක්ෂවරු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට. ඒ නිසා ආපසු හැරිල බලද්දි මහගම සේකර, සිරිගුණසිංහ, රන්ජිත් ලාල් වගේ අය නිර්මාණය කළ පළමුවෙනි සහ එකම චිත්‍රපටවලට සහභාගී වෙන්න මම භාග්‍යවත් වෙලා තිබෙනවා. පතිරාජගේ, සතිස්ගේ, සුගතපාලගේ පළමු චිත්‍රපටය. සතුටු වෙන්න පුළුවන් කාරණා අනන්තයි අප්‍රමාණයි.

සත්සමුදුර ඇරුණාම මම කවදාවත් චිත්‍රපට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරුන් පස්සේ හඹාගෙන ගිහින් නැහැ, මට රඟපාන්න ඕනෙ කියලා චිත්‍රපට හදවගෙන නෑ. මම කැමැත්තෙන් හිටිය චරිතයක් තිබුණා ඒක කෙරුණෙම නැහැ.

ප්‍රංශයේ විසූල් අන්තර්ජාතික සිනමා උලෙළේ මාස්ටර් ෆිල්ම් මේකර්ස් ඔෆ් ශ්‍රී ලංකා කියන අංශයට චිත්‍රපට දහයක් තෝරලා අරගෙන ගියා. බලද්දි එයින් හතකම මම ඉන්නවා. ඒ පාර ඒ උලෙළේ මට ජීවිත කාලයටම එක්වරක් පමණක් ලැබෙන සම්මානය දුන්නා. සත්සමුදුර, දඩයම, හංස විලක්, අහස්ගව්ව, සාගරජලය වගේ චිත්‍රපට හතක්. ඒ නිසා චිත්‍රපට ප්‍රදර්ශනය කරන දවස් ටිකේම මට ශාලාවට යන්නත් වුණා. මාව ජූරියටත් ගත්තා එක අංශයක, ලංකාව නියෝජනය කරන්නත් වුණා. ඒකයි මම කියන්නේ අපට ආශිර්වාද බොහෝමයක් තියෙනවා කියලා. අපේ ඕරාවේ ඒ ශක්තිය රැඳෙනවා.

(ඇය පැවසුවේ එක් අන්තර්ජාතික සම්මානයක් පමණි. එහෙත් ඇයට එවැනි සම්මාන රැසක් ලැබී ඇත)

ඉතින් අවරුදු පනස් දෙකකට විතර පස්සේ හැරිලා බලද්දි ආයෙත් හිතෙන්නේ මම හරි වාසනාවන්තයි නේද කියලා ඒ වගේ උගත්, දක්ෂ චිත්‍රපට කණ්ඩායමක් සමඟ වැඩ කිරීමෙන් ලැබෙන පන්නරය ගැන කියන්න ඕනෙ නැහැනේ. හැබැයි එකක් කියන්න ඕනේ අවුරුදු 17ක ගැහැනු ළමයෙක් හැටියට මට හොඳ රසයක් තිබුණා කියන්න පුළුවන්. අපි කියෙව්වේ හොඳ පොතපත්, බැලුවේ හොද චිත්‍රපට, ඒ රසයට සිරි ගුණසිංහ, ඩී.බී. නිහාල්සිංහ, වසන්ත ඔබේසේකර, මහගම සේකර, අමරදේව, සිරිල් වික්‍රමගේ, එඩ්මන්ඩ් විජේසිංහ, සෝමදාස ඇල්විටිගල වගේ අය එක්ක දවස ගානේ හැන්දෑවට ෂූටින් ඉවරවෙලා හමුවෙනකොට මොන භාග්‍යයක්ද කියලා හිතන්නකෝ. සත්සමුදුර වගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීමම සම්මානයකටත් වඩා වටිනවා.

රඟපාන්න ගියාම කොහේ බලන්නද දන්නෙ නැහැ. හෝඩියේ පන්තියේ අවුරුදු උත්සවේක ඇරුණාම ඉස්කෝලෙ නාට්‍යයකටවත් මාව රඟපාන්න කිසිකෙනෙක් තෝරගෙන නැහැ. ඒ වෙනකල් වේදිකා නාට්‍යයකවත් රඟපාලාත් නෑ.

අද කාලේ නිවාඩු එහෙම බලලානේ ෂූටින් ෂෙඩ්‍යුල් කරන්නේ. සුගත් අය්යලා එහෙම නෙවෙයි. රස්සාවල් දාලා ගිහින් චිත්‍රපට කරන්නේ. එක සැරේකට මාස තුනක් විතර ෂූටින් ආයේ ගිහින් ඒ කොටස්වල රෂ් එක බලලා ආයේ මාස තුනක් විතර වැඩ දාගන්නවා. ඔයා දන්නවාද හන්තානේ කතාව අවුරුදු දෙකක් විතර ෂූට් කළා කියලා. දැන් බලද්දි තේරෙනවා මුල් කාලේ මම හරි කෙට්ටුයි. ඊට පස්සේ ඩිංගක් විතර මහත් වෙලා. විජේගේ මූණත් සමහර කොටස්වල පොඩ්ඩක් විතර වෙනස්. කලං (අමරසිරි කලංසූරිය) සමහර කොටස්වල පොඩ්ඩක් වෙනස්.

හැබැයි සත්සමුදුර කරද්දි මම ඉස්කෝලේ යනවා. සිරි ගුණසිංහ කීවා එයත් විශ්වවිද්‍යාලයේ උගන්වන නිසා සිකුරාදා හවස ෂූටින් ගිහින් ඉරිදා හවස ආපහු යමු කියලා.

සිනිදු සුදු මුතු තලාවේ රෙකෝඩ් කරද්දි මගේ අම්මේ වයලීන්ම සීයයක් විතර ගැහුවා. මම උදේ ඉඳන් රෑ වෙනකල් පටිගත කිරීම්වල හිටියා. ඒ තරම් අපි හැමෝම කැපවුණා. තුංමංහංදියත් එහෙමයි හැබැයි ඒකේ මට වැඩිය ෂූටින් තිබුණේ නැහැ. ඒත් අපි පුළුවන් තරම් අනෙක් අයත් එක්ක කාලය ගත කළා. අපි ඩබිංවලටත් යන්නේ රංචුවම එකතු වෙලා.

 

 

ඔබ තාක්ෂණයට බර කෙනෙක්. සිනමාවේ නව තාක්ෂණය ඔබ දකින්නේ කොහොමද?

මම 90 දශකයේ මුල ඊමේල් ගත්තේ මාසෙට 1250ක් පමණ දීලා. මගේ දුවට අවුරුදු හයක් හතක් ඇති මම කම්පියුටර් පන්ති යනකොට. මගේ ඔන්ලයින් ෂොප් එක තියෙද්දි ඒ සියලු තාක්ෂණික කටයුතු කරන්නේ මම.

දඩඉම තමයි ප්‍රථම වතාවට මගේ අනෙක් නළු නිළියන් නැතිව ඩබ් කළේ.

හැබැයි මම හරි ඔල්ඩ් ෆැෂන්ඩ්. ලෝකේ කොච්චර චිත්‍රපට බලලා තිබුණත් මම කැමැති තාමත් පරණ ක්‍රමයට කට්ටිය එකතුවෙලා ඩබිං කරන්න. ෆිල්ම් කැමරාවේ සද්දෙට මම හරි ආසයි. ලෝකේ දියුණු තාක්ෂණය ගැන දැනගෙන හිටියත් ඇගේ ඇස අග කරද්දි තමයි සද්ද නැති කැමරාවක් දැක්කේ. මට ඒක හරි අමුතුයි. රඟපාන්න ගිහින් ඔක්කොම කරලා බලන් ඉන්නවා කැමරාවේ සද්දේ එනකල්.

මම චරිතයට ආරූඪ වෙන්නේ කැමරාවේ සද්දෙට. ඒක නැතුව මට දවසක් විතර ගියා කැමරාවට හුරු වෙන්න.

මම චරිතයට ආරූඪ වෙන්න පැත්තකට ගිහින් තනිවෙලා මූඩ් එක හදාගෙන එන්නේ නැහැ. මොන දේ කරමින් හිටියත් කැමරාවේ සද්දේ ඇහුණ ගමන් මම රෙඩී. ඒක හරියට බස් එක ඇවිත් නවත්වන සද්දෙට ඒකට ගොඩ වෙනවා වගේ ආයෙ හිත හිත ඉන්න වෙලාවක් නෑ.

මම ආසයි ආයෙත් දවසක ඒ සද්දේ ඇහෙන කැමරාවක් ඉදිරියේ රඟපාන්න. දර්ශනයක් ඉවර වෙලා කැමරාවේ සද්දෙ නැති වුණාම ගෙවෙන තත්පරය දෙක ඇතුළත ඇල්පෙනිත්තක් බිම වැටුණත් ඇහෙනවා. ඒ වගේම රංගනය සාර්ථක නම් ඒ මොහොතේ හැම කෙනාගෙම මුහුණෙ සතුට පේනවා. ඒක තියෙන්නේ මොහොතයි. ඒ වෙලාවට හරි ජයග්‍රාහී හැඟීමක් සතුටක් දැනෙනවා. ඒ නිසා කවුරුහරි ආයේ සද්දේ ඇහෙන කැමරාවක් ගේනවා නම් මම කැමැතියි.

 

ඔබේ සමකාලීනයන් සමඟ සසඳන විට අඩු චිත්‍රපට සංඛ්‍යාවකට දායක වුණේ?

විජය කුමාරතුංගමත් කියලා තියෙනවා බෑ කියන්න බැරි කමට කළ චිත්‍රපට තිබෙනවා කියලා. මම පිටරටදී ඉගෙන ගත් දේ තමයි හා නම් හා බෑ නම් බෑ. හිත රිද්දන්න බැරිකමට මම චිත්‍රපට බාරගත්තේ නෑ. හොඳ මූලාරම්භය, පොතපත කියවීම, ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව, මූදු පුත්තු නාට්‍යයේ රවීන්ද්‍ර රන්දෙණිය, සුමින්ද සිරිසේන එක්ක රඟපෑම, ආශ්‍රය කරන්න ලැබුණු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, චිත්‍රසේන, නිහාල් රත්නායක, අජිත් සමරනායක, බ්‍රෙකන්රිජ් දෙසොහොයුරන්, ශේෂා පලිහක්කාර, තිස්ස අබේසේකර, මයික් විල්සන් වගේ අය, ඒ අය බොහෝ දේට කළ විවේචන, ඒ සියල්ල ධාරණය කරගෙනයි මම එංගලන්තේ ගියේ. එහෙදි මම හුඟාක් චිත්‍රපට බැලුවා. ලංකාවට එද්දි චිත්‍රපට බලලාම මගේ රඟපෑම මුවහත් වෙලා තිබුණේ.

මම ලංකාවට ආපසු ආවාම කවුරුත් මාව චිත්‍රපටවලට වැඩිය සම්බන්ධ කරගන්න කැමැති වුණේ නැහැ අරුණි. සිංහබාහු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ආවාට කවුරුත් මට ප්‍රධාන චරිත දුන්නේ නැහැ. ඉතින් මට තීරණය කරන්න වුණා මම ආපහු ඔස්ට්‍රේලියාවට යනවාද රස්සාවට, නැත්නම් උපප්‍රධාන චරිත කරලා හරි මම මට රඟපාන්න පුළුවන් කියලා පෙන්වනවාද කියලා. මගේ තීරණය වෙනුවෙන් කළ චිත්‍රපට තුනක් තමයි බිත්ති හතර, යහළු යෙහෙළි, රිදී නිම්නය. ඕසීඅයිසී සිනමා උලෙළෙදි ඒ වසරේ හොඳම වනිතා රංගනය කියලා චිත්‍රපට තුනටම එක සම්මානයක් දුන්නා. ඒ තමයි මගේ තීරණයේ ප්‍රතිඵලය. ඉස්සර නම් සම්මානවල නම ගහලානේ දෙන්නේ. අවුරුදු 18ට පස්සේ ඇගේ ඇස අග චිත්‍රපටයට කරලා ඒකටත් සම්මාන තුනක් ලැබුණා. මම ජීවිතේට හිතුවේ නැහැ.

දැන් ඉන්න නළුනිළියන් අතරින් හේමාල් (රණසිංහ) එහෙම මා එක්ක චිත්‍රපට ගැන කතා කරනවා. මම අලුත් අයටත් කියන්නේ පුළුවන් තරම් චිත්‍රපට බලන්න. අද ඉන්න අලුත් පරපුරේ දක්ෂයන්ට රඟපාන්න හොඳ චිත්‍රපට නැති එක විශාල පාඩුවක්. මම, මාලනී, ගීතා, ශ්‍රියාණි, අනෝජා වගේ අයට ඒ කාලෙ ගෙවල්වල ඉන්න වෙලාවක් නැහැ ඒ තරමට චිත්‍රපට. ඒ නිසා කොවිඩ් අමතක කළොත් ඊට කලින් ඉඳන් චිත්‍රපට කර්මාන්තයේ බැස්මක් තිබුණානේ. ඒ ගැන හිතලා රජය වගේම චිත්‍රපට සංස්ථාවත් චිත්‍රපට නිෂ්පාදනයට සහ ප්‍රදර්ශනයට සුදුසු පියවරක් ගන්නවා නම් හොඳයි. මේ වෙද්දි මට චිත්‍රපට තුනකට කතා කරලා තිබෙන්නේ. එයින් දෙකකවත් මම රඟපායි කියලා හිතෙනවා.

 

එන්.එම්.පෙරේරාගෙන් පැවතෙන සිනමාව හා දේශපාලනය අතර සම්බන්ධය ඔබට බලපාන්නේ කොහොමද?

කෙනෙක් කියයි අපේ ජීවිත දේශපාලනයෙන් තොර වන්න බෑ කියලා. දේශපාලනය ගැන කිසිම දෙයක් දන්නේ නැති ඇමරිකන් පුරවැසියත් ට්‍රම්ප්ලාට ඡන්දය දානවා. ඒ රටෙත් හැමෝම බුද්ධිමත් කියලා හිතන්න හොඳ නැහැ.

1970 තමයි පළමු වැනි වතාවට නළු නිළියන් වේදිකාවල කතා කරන්න අඬගහගෙන ගියේ. මටත් ගෙදරටම ඇවිත් කතා කළා. එදා බැහැ කියපු මම අද හරි සන්තෝස වනවා. එදා ඉඳන් අද වනතුරු කිසිම දේශපාලන වේදිකාවකට කිසිවකු වෙනුවෙන් මම නැඟලා නෑ. මා එක්ක ඔයා කොච්චර එකඟ වෙයිද මම දන්නේ නැහැ. මොනවා හරි දෙයක් කළ තරමින් කෙනෙක් කලාකරුවකු වන්නේ නැහැ. ටෝල්ස්ටෝයි කියා තිබෙනවා කලාකරුවකු වන්න කොපමණ සුදුසුකම් සපුරන්න ඕනෙද කියලා.

මම පුංචිම කාලේ නම් රොස්මිඩ් පෙදෙසේ තිබුණා ශ්‍රී ලංකා සෝවියට් සංස්කෘතික මධ්‍යසථානය. මමයි මාලනියි (ෆොන්සේකා) දෙන්නම රඟපෑවා ඒකේ මුද්‍රා නාටකය. මාලනීට හොඳට නටන්න පුළුවන්. අපට ඕනෙ වුණේ ඒකත් එක්ක රුසියාවේ යන්න. මට තව යාළුවෙක් හිටියා එයාගෙ තාත්තා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්. යාළුවා යන යන තැන මම යනවා. ඒ නිසා අටේ පන්තියේදී විතර පීටර් කෙනමන්ගේ වේදිකාවක විමුක්ති ගී ගැයුවා ඒ යාළුවාත් කියද්දි. ඒ හැර දේශපාලනය කළේ නෑ. කාලයක් මම සෝවියට් ගත් කරුවන් වන ගොගොල්, පුෂ්කින්ලාගෙ සිට සමකාලීන ගත්කරුවන් සියල්ලන්ගේ පොත් කියෙව්වා. මාක්ස්, ලෙනින්, තොල්ස්තෝයි, දොස්තොවුස්කි හැම කෙනෙකුගේම පොත් කියවලා එක කාලයක් තිබුණා මම ඒවා ගැන නොදන්න දෙයක් නැති. හැබැයි මම කොමියුනිස්ට් පක්ෂයට ගියෙත් නැහැ. දැනුත් මගේ ඇඳ උඩ තියෙනවා යුද්ධය හා සාමය පොත. ඒ එක පොතක කතා පන්සීයකට විතර වස්තුබීජ තිබෙනවා.

සිනමාව හා දේශපාලනය අතර බොහෝ සම්බන්ධයක් පේන්න තිබෙනවා. දේශපාලනයේ සිට සිනමාවට යෑමත් සිනමාවෙන් දේශපාලනයට යෑම අතරත් යම් වෙනසක් ඇති. කොහොමහරි මම ක්‍රියාකාරී දේශපාලනයට එන්න හිතුවෙත් නෑ. ඇවිල්ලත් නැහැ. හැබැයි දැන් මට කතා කරන චිත්‍රපටයක් තිබෙනවා දේශපාලන චරිතයක් සඳහා. ඒත් තවම හරියට තිර රචනය ලියලත් නැහැ. ඒ නිසා බලමු ඉතින්...