සිද්ධාර්ථ හිමියන් ලියූ රෝහණ වීරසිංහ හැදූ පරම අමරගුරු ගීතය

දෙසැම්බර් 10, 2020

සුනීර සුමංග නම් වූ යොවුන් ගායන ශිල්පියා මුලින්ම කරළියට එන්නේ දෙරණ රූපවාහිනි නාළිකාවෙනි. ඒ දෙරණ ඩ්‍රීම්ස්ටාර් රියැලිටි වැඩසටහන ඔස්සේය. මේ යොවුන් ගායන ශිල්පියා කාගෙත් මතකයේ රැඳෙන්නේ පණ්ඩිත් අමරදේවයන් ගේ ගී අපුරු ලෙස ගායනා කිරීම නිසාය . ඔහු එම තරගයෙන් ජයග්‍රහණය කරන්නේය. ඔහුගේ ගමන එතැනින් නතර වන්නේ නැත. කිසිදා හමු වී කතා බහ කර නැති වුවද තම ගායන ජීවිතයේ ගුරුතරුව වූ පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් උපහාර දැක්වීම සඳහා මේ තරුණයා උපහාර ගීතයක් ගායනා කරන්නේ ය. එය මුල්වරට ගයන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයට යෙදුණු පණ්ඩිත් අමරදේව තුන්වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.

“මම අමරදේව සර්ට හරිම ආදරෙයි. එතුමන්ගේ ගීත කියලා තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. අපේ රටේ වගේම ලෝකයේ වෙනත් රටවල වෙසෙන රසිකයෝ මට ආදරය කරන්න පටන් ගත්තා. ඔවුන් නිසයි අද මම මෙහෙම ඉන්නේ. මට වුවමනා වුණා අමරදේව සර් වෙනුවෙන් උපහාර ගීතයක් ගයන්නට. ප්‍රවීණ ගීපද රචක අතිපුජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ගීතයක් ගායනා කරන්නට ලැබීම මගේ ජීවිතයේ විශාල භාග්‍යයක් ලෙසයි මම සලකන්නේ. ස්වාමීන් වහන්සේ අමරදේව සර් වෙනුවෙන් හරි අපූරු ගීතයක් ලියා දුන්නා.

සුනීර පවසන්නේය.

ඒ ගීය රචනා කළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ අදහස වූයේ මෙයයි.

“පණ්ඩිත් අමරදේවයන් කියන්නේ ලංකාවේ පහළ වූ අග්‍රගණ්‍ය කලාකරුවෙක්. එතුමා අපේ රටේ සුභාවිත ගීතය වෙනුවෙන් කැපවී කටයුතු කළ විශිෂ්ටයෙක්. මට මේ ගීතය ලියන්න කියලා ආරාධනය ලැබුණාම මට අප්‍රමාණ සතුටක් දැනුණා. වෙලාවකට මට හිතුණා මෙය සාර්ථකව නිම කර ගන්න පුළුවන්ද කියලා. නමුත් මම හිතපු නැති ඉක්මනට මේ ගීතය ලියැවුණා. මම මේ ගීතයේ සංගීත නිර්මාණය කිරීම සඳහා රෝහණව තෝරා ගත්තේ ඔහු ගැන බොහෝ විශ්වාසයෙන්. ඔහු එය උපරිමයෙන් රැක්කා. සුනීර තරුණයා බොහෝම භක්ත්‍යාදරයෙන් මේ ගීතය ගායනා කර තිබෙනවා. තමන් ආදරය කරන නිර්මාකරුවා වෙනුවෙන් උපහාර දක්වන්නට මෙවන් කාර්යයක් කරන යොවුන් ගායන ශිල්පියාව අප කවුරුත් අගය කළ යුතුයි. මේ ගීතය පටිගත කරන්නට එක් වූ හැම දෙනාම ඔවුන්ගේ කාර්යය උපරිමයෙන් ඉටුකර තිබෙනවා. විශේෂයෙන්ම කිවයුත්තක් තමයි එංගලන්තයේ වෙසෙන සන්ධ්‍යානි සේනාරත්න හා ඇමරිකාවේ වෙසෙන දිනිති ශාන්තා සේනාධිර යන අමරදේව මහත්මයාගේ රසිකයෝ මෙවැනි සත්කාර්යයකට සම්බන්ධ වීම. කලාවට ආදරය කරන මෙවැනි අය නිසයි මේ ක්ෂේත්‍රය තවමත් රැඳී තිබෙන්නේ. අලුත් නිර්මාණකරුවන් බිහි වෙන්නේ. අමරදේව නම් වූ යුග පුරුෂයා වෙනුවෙන් තුඩින් තුඩ රැව්දෙන ගීතයක් නිර්මාණය කරන්න පුළුවන් වුණාය කියන සතුට අද මට තිබෙනවා”

ප්‍රවීණ ආධුනික භේදයක් නැතිව කාටත් අතහිත දෙන කිසිදු දිනයක මුදලට නිර්මාණකරණයේ නොයෙදෙන රඹුකන සිද්ධාර්ථ හිමියෝ වත්මන් පරම්පරාවට ආදර්ශයකි.

සුනීර තම සැබෑ වූ සිහිනය ගැන මෙසේ කීවේය.

රෝහණ වීරසංහ සර් අමරදේව සර් වඩාත් ප්‍රිය කළ රාගයකින් තමයි මේ ගීතය සඳහා තනුව නිර්මාණය කර තිබෙන්නේ. එංගලන්තයේ වෙසෙන සන්ධ්‍යා සේනාරත්න මහත්මියත්, ඇමරිකාවේ වෙසෙන දිනිති සේනාධීර මහත්මියත් නොසිටින්න මගේ හීනය හැමදාමත් හීනයක් විතරයි. දිනිති සේනාධීර මහත්මිය තමයි මේ ගීතය සඳහා වියදම් දැරුවේ. දෙදහස් දහනවය වසරේ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කර පැවැත්වූ අමරදේව සර්ගේ තුන්වැනි ගුණ සමරු උත්සවයේදී පළමු වරට මට මේ උපහාර ගීතය ගයන්න අවස්ථාව ලැබුණා. අමරදේව සර්ගේ අනුදෙවැනි උපන්දිනය යෙදුණේ මේ මස පස්වැනිදාට. එදිනට මම සර් වෙනුවෙන් ගායනා උපහාර ගීතය මගේ යූටියුබ් චැනලයට මුදා හැරියා.

මට අමරදේව සර්ව හමු වෙලා කතා කරන්න ලැබිලා නැහැ. මම පුංචි කාලේ ඉඳලා හර්ෂණ දිසානායක අයියාගේ සින්දුවලට ආසයි. හර්ෂණ අයියාගේ තුන්වැනි සීඩි පටය නිකුත් වුණේ මගේ උපන්දිනයක් දවසේ. එදා මම මගේ උපන්දින තැග්ග හැටියට ඉල්ලුවේ මේ ප්‍රසංගය බලන්න ජෝන් ද සිල්වා එකට එක්ක ගෙන යන්න කියලා. එදා මම ප්‍රසංගය බලන්න ගියා. ඒ උත්සවයේ ප්‍රධාන අමුත්තා වුණේ අමරදේව සර්. මට ඒ දවස තාමත් මතකයි. විමලා අමරදේව මැතිනිය, රන්ජන අමරදේව මහතා ප්‍රියංවදා අමරදේව මහත්මිය මට බොහෝම ආදරෙයි. ඔවුන්ගෙන් ලැබෙන දිරිය අපමණයි. අමරදේව සර් වෙනුවෙන් මේ ගීතය ගයන්නේ විශාල ගෞරවයකින්. එතුමා වෙනුවෙන් උපහාර දක්වන්න තියෙන හොඳම දේ මෙය කියලයි මම විශ්වාස කරන්නේ.”

සුනීර රියැලිටි තරුවකි. රියැලිටි වේදිකාවලින් පෑයූ ඇතැම් තරු කඩා වැටෙද්දි මේ තරුව තවමත් ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් සිටී. මවු පිය ගුරුවරු වෙනුවෙන් වත් ගරුබුහුමන් නොදක්වන ඇතැමුන් සිටින සමාජයක තමන් ආදරය කරන නිර්මාණකරුවා වෙනුවෙන් උපහාර දැක්වීම ම අරුමයකි.