කලාකරුවන් ඔහොම අසරණ කරන්න එපා

සටන් අධ්‍යක්ෂ,රංගන ශිල්පී වසන්ත කුමාරවිල
දෙසැම්බර් 10, 2020

වසන්ත කුමාරවිල කියන්නේ කලා ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් නියෝජනය කරන තැනැත්තෙක්. ඒ නිසා ඔහු බහුචරිතධාරියෙක් කියලා හඳුන්වා දෙන්නත් අපට හැකියාව තියෙනවා. වසන්තගේ රුව දුටු සැනින් ඔබට මතක් වෙන්නේ වසන්ත කුමාරවිල කියන චරිතාංග නළුවාව. හැබැයි එහෙම වුණාට ඔහු පුංචි තිරයේ නිතර දකින රුවක් වුණේ නැහැ. වසන්ත ඉඳහිට කරනා රංගනය ප්‍රේක්ෂකයාගේ මතකයේ බොහෝ කාලයක් පැවතුණා. නිලංජනා ටෙලි සිතුවමේ වසන්තගේ නමින්ම කළ චරිතය තමයි ඊට හොඳම උදාහරණය. එය විකාශය වෙලා වසර පහළොවක් පමණ ගත වුණත් තවමත් ඒ චරිතය අප මතකයෙන් බැහැර වෙලා නැහැ. වසන්ත දක්ෂ සටන් අධ්‍යක්ෂවරයෙක්. බොහෝ ප්‍රධාන නළුවන් වීරයෝ වුණේ වසන්තලා කියා දුන්නු විදිහට කැමරාව ඉදිරියේ ප්‍රතිවීරයා සමඟ සටන් කරලා. එහෙම කාලයක් සටන් නළුවෙක්, ප්‍රතිවීරයෙක්, චරිතාංග නළුවෙක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට ඇවිත් පසු කාලීනව වසන්ත සිනමා නිෂ්පාදකවරයෙකු බවට පත් වෙනවා. ඒ රන් සයුර සිනමාපටයත් එක්ක. ජනිත් වික්‍රමගේ නමැති යොවුන් නළුවා එක්ක එකතු වෙලා වසන්ත වෙනස්ම අන්දමේ නිර්මාණයක් ගෙන එන්නට මේ දිනවල ලක ලෑස්ති වෙනවා. ඒවා ඇතුළුව වසන්ත කුමාරවිල කියන මේ සහෘදයා එක්ක බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. රන්තිලි වැව ටෙලි සිතුවමේ නවරත්න තමන්ගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සටහන් කළ බව කියමින් තමයි ඔහු මේ කතාවට ප්‍රවේශයක් ගත්තේ.

 

ඔබට නවරත්න ගැන තව බොහෝදේ පවසන්නට තියෙනවා කියලා මට හිතෙනවා?

රන්තිලි වැව නාට්‍ය ඉවර වෙලා දැන් ටිකක් කල් ගත වෙනවා. ඒ වගේ නාට්‍යයක් ඉක්මනින් නිමවීම පිළිබඳ මගේ හිතේ පොඩි දුකක් තියෙනවා. මොකද ඒ වගේ ටෙලි නාට්‍ය තමයි ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය. මගේ චරිතය ගැන කතා කළොත්, නවරත්න කියන්නේ මම මේ තාක්කල් නොකරපු අන්දමේ චරිතයක්. නවරත්න නිසා මට ලැබුණු ආලෝකය ඉතාම ඉහළයි. ඒක හරිම සංවේදී ඒ වගේම පැටලිලි සහගත චරිතයක්. පළමුව මම ස්තුතිවන්ත වෙනවා එහි අධ්‍යක්ෂ චනික පෙරේරාට මාව ඒ වගේ චරිතයකට තෝරා ගැනීම පිළිබඳ. එහි නිෂ්පාදක නුවනි වලිමුණි. ඇයත් නිළියක්නේ. ඒ නිසාමද මන්දා මේ ටෙලි නාට්‍යයේ බොහෝ වැඩකටයුතු ඉතා ක්‍රමානුකූලව සිදු වුණා. සෑහෙන්න දුෂ්කර පළාතක අපි ෂූට් කළේ. සමහර දර්ශන ෂූට් කළේ මහ පාන්දර. ඒ වගේම රෑ එළිවෙනකම් මදුරුවෝ තල තල කරපු රූපගතකිරීම් එහෙමත් ඕන තරම් තියෙනවා. අපි සියලු දෙනාම ඒ වෙලාවේ බාධක ගැන නොසිතා නාට්‍යය වෙනුවෙන් වැඩ කළා. මේ වෙලාවේ මම මතක් කරනවා ටෙලි නාට්‍යය කැමරා අධ්‍යක්ෂ ප්‍රභාත්ව. අධ්‍යක්ෂවරයා සහ ඔහු අතර ඇති මනා අවබෝධය නිසා ගුණාත්මක දෙයක් කැමරාවට නඟන්න හැකියාව ලැබුණා. මේ ළඟදිත් මම සුපර් මාර්කට් එකට ගිය වෙලාවේ මට එතන හිටපු කෙනෙක් කතා කළේ නවරත්න නේද මේ කියලා. ඉතින් ඒ වගේ ප්‍රතිචාර ලැබෙන්නේ ඒ නාට්‍යය සහ මම කළ චරිතය ප්‍රේක්ෂකයෝ අතරට ගිහිල්ලා තියෙන නිසායි.

 

සටන් නළුවෙකු විදිහට කොහොමද ඔබේ ජීවිතයේ මේ දවස් වල ගෙවෙන්නේ?

මාස හතරක් වගේ අපි කිසිදු වැඩක් කළේ නෑ. මේ කොරෝනා වසංගතය නිසා. නමුත් ඒ කාලේ අතරතුර දී චිත්‍රපට කිහිපයක් පිළිබඳ සාකච්ඡාවන් පැවැත්වුණා. ඒවා ලබන වසරේ මුල විතර පටන් ගනීවි. පසුගිය සතියේ ජීවන් කුමාරතුංග මහත්මයා අධ්‍යක්ෂණය කළ ජීවා චිත්‍රපටයේ වැඩකටයුතු නැවත පටන් ගත්තා. මම ඊට දායකත්වය ලබා දෙන්නේ සටන් අධ්‍යක්ෂවරයා හැටියට මම එකේ රඟපාන්නේ නැහැ.

 

මම ඇසුවොත් ඔබ වඩාත් කැමති සටන් අධ්‍යක්ෂණයට ද රංගනයට ද කියලා?

සටන් කරලනේ මේ ක්ෂේත්‍රයේ ගමන පටන් ගත්තේ. දිගු කාලයක් එහෙම සටන් නළුවෙකු විදිහට වැඩ කරයුතු කළා. සටන් අධ්‍යක්ෂවරයෙක් විදිහටත් මට දිගටම වැඩ කටයුතු කරන්නට ලැබුණ. ඒ සියලු දේවල් මම බාර ගත්තෙ මට මගේ ඒ වෘත්තීය ජීවිතය තුළ තෘප්තියක් ලැබෙන නිසා. හැබැයි දැන් මගේ හිතේ පොඩි ලෝභ කමක් තියෙනවා නළුවෙක් විදිහට චරිතාංග රංගනයේ යෙදෙන්න. මට එහෙම වුණේ දිගින් දිගටම මට වෙනස් අන්දමේ චරිතවලට ආරාධනා ලැබුණු නිසා වෙන්න ඇති. නළුවෙක් විදිහට ඒකාකාරී චරිත නොව විවිධාකාරයේ චරිත කරන්නට මට පුළුවන් වුණා. ඒක නළුවෙක් විදිහට මම ලබපු ජයග්‍රහණයක්.

 

ජනිත් එක්ක කරන්න යන අලුත්ම නිර්මාණ කාර්යය ගැන තමයි මම ඊළඟට ඔබෙන් විමසීමක් කරන්නේ?

ඇත්තටම මේක චිත්‍රපටයක් ද ටෙලි නාට්‍යයක් ද කියලා තවම කියන්නට අමාරුයි. අපිත් ඉන්නේ තවම දෙලොවක් අතර. මොකද එක ටෙලි නාට්‍යයක් විදියට ගෙන එනවද නැත්තම් චිත්‍රපටියක් විදිහට කරනවද කියලා තවම අපි දෙන්න තීරණයක් අරගෙන නැහැ. හැබැයි ඒක වෙනස්ම අන්දමේ දැවැන්ත නිර්මාණයක් කියල කියන්න පුළුවන්. චිත්‍රපටයක් ද ටෙලි නාට්‍යය ද කියලා ඔයාලගේ සරසවියට තමයි මුලින්ම අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිර්මාණයේ අවුට්පුට් එකත් එක්ක තීරණය වේවි. මමත් එහි වෙනස්ම චරිතයක් කරනවා. සමහර විට එය ප්‍රේක්ෂකයෝ මගෙන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ චරිතයක් වෙන්න පුළුවන්.

 

ඔබ මෙහි නිෂ්පාදක ද අධ්‍යක්ෂ ද නැත්නම් වෙනත් අංශයකටත් දායකත්වය දක්වනවාද කියලා කියන්න පුළුවන්ද?

නිෂ්පාදක ද අධ්‍යක්ෂ ද කියලා වෙන වෙනම හඳුන්වා දෙන්නත් අපහසුතාවයක් තියෙනවා. මොකද මම සහ ජනිත් තමයි මෙහි සියළුම බර හිස මත තබා ගෙන කටයුතු කරන්නේ. රූපගත කිරීම් පටන් ගන්නත් දින දාගෙන ඉවරයි නිර්මාණයේ වැඩ කටයුතු පටන් ගන්න තමයි දැන් තියෙන්නේ.

 

ද නිවුස්පේපර් වගේ චිත්‍රපටයක දර්ශන තුනකට වගේ පමණක් ඔබ පෙනී සිටින්නට තීරණය කළේ ඇයි?

ඇතැම් අය විශ්වාස කරනවා ප්‍රසිද්ධ නළුවෙක් වුණාම යම් නිර්මාණයක එක දර්ශනයකට හෝ දෙකකට තුනකට පෙනී සිටීම සුදුසු නෑ කියලා. නමුත් ඒ මතයේ නෙවෙයි මම ඉන්නේ. හොඳ නළුවෙකුට එක දර්ශනයක් ඇති තමන්ගේ හැකියාව පෙන්වා ඒ නිර්මාණය තුළ මිනිසුන්ගේ මතක හිටින චරිතය වෙන්න. ඔබ කියන නිවුස්පේපර් සිනමාපටයේ මම පෙනී හිටියේ දර්ශන තුනකට පමණයි. හැබැයි ඒ කිහිපය වෙනුවෙන් අපි දැඩිව මහන්සි වුණා. වට කිහිපයක්ම අපි සාකච්ඡා පැවැත්තුවා ඒ චරිතය සහ එය කරන විදිහ පිළිබඳ දැනුම්වත් වෙන්න. විශේෂයෙන්ම සරත් කොතලාවල අයියා මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ දර්ශන තුන වුණත් චිත්‍රපටයට අදාළව සහ අතිශය තාත්වික අන්දමින් කරගන්නට ඔවුන් උත්සාහ කළා. චිත්‍රපටය බලද්දි ඒක තේරෙනවා ඇති.

 

සටන් නළුවෙකු විදිහට ත්‍රාසජනක ක්‍රියාවන්හි ඔබ නිරන්තරයෙන් නියැළෙනවා. මේ ළඟදි සටන් කරන්න ගිහින් අමතක නොවන අත්දැකීමක් ලැබුවේ නැද්ද?

ඉස්සර වගේ නෙවෙයි භයානක අත්දැකීම් අපිට දැන් ලැබෙන්නෙ අඩුවෙන්. මොකද අපි දැන් වැඩි වශයෙන් තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරනවානේ. අනික තමන්ගේ ජීවිතය පරදුවට තියලා නිර්මාණයක් වෙනුවෙන් මහන්සි වෙනවට වැඩිය තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරලා එය තාත්ත්විකව කිරීම සුදුසුයි කියලයි මම හිතන්නේ. මොකද හදිසියේවත් යම්කිසි ශිල්පියෙකුට අනතුරක් වුණත් ඔය කිසිම කෙනෙක් නැහැ. වෘත්තීය පැත්තෙන් හෝ වේවා පෞද්ගලික ජීවිතය පැත්තෙන් හෝ වේවා ඔහුගේ ජීවිතය කඩා වැටීමකට ලක් වෙනවා. එහෙම කෙනෙක් හිටියද කියලවත් කාටවත් මතක නැති වෙනවා. ඒ නිසා මම මගේ සහෝදර ශිල්පීන් ගෙන් ඉල්ලා සිටින්නේ දැනට ඇති තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරමින් තාත්ත්වික අන්දමින් තමන්ගේ ජීවිතයත් සුරක්ෂිතව තියාගෙන සටන් ජවනිකා ඉදිරිපත් කරන්න කියලායි.

 

ඔබ පරපුරේ ජ්‍යෙෂ්ඨ නළුවෙක් වන විල්සන් කරූ ඉකුත් දවසක නොසිතූ විරූ අන්දමේ අත්දැකීමකට මුහුණ පෑවා. සමාජ මාධ්‍ය හරහා ඒ පිළිබඳ වැඩි වශයෙන් සමාජගත වුණේ වැරදි මත. ඒවා දැකපු සමහර පිරිස් සියලු සටන් නළුවන් පිළිබඳත් එහෙම හිතුවා?

පළමුව කියන්න ඕනේ විල්සන් කරූ කියන්නේ එහෙම අහේනියක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි. ඔහුට කිරුළපන යම් වත්කම් ටිකක් තියෙනවා. ඔහු ඒවායින් එන ආදායමෙන් තමයි කාටවත් අත පාන්නේ නැතුව තමන්ගේ ගරුත්වයත් තියාගෙන ජීවත් වෙන්න. කරූ අයියා උන්නද මළාද කියලාවත් දන්නැති අය ඔය සිද්ධියෙන් පස්සේ කරූ අයියා ගැන එක එක කෝණයෙන් බල බල කතා කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් කරූ අයියා අපි ගෙදරට ගියාම වුණත් එළියට එන්නේ ඉන්න විදිහටමයි. ඔහු ඒ වෙලාවේ ඉන්නේ කොට කලිසම පිටින්ද සරම පිටින් ද කියලා නැහැ එහෙම්මම එළියට එනවා. ගෙදරින් එළියට එන්නෙත් බොහොම සාමාන්‍ය විදිහට. එහෙම ඉන්නව දැකල සමහරු හිතනවා කරූ අයියා අසරණ වෙලා කියලා. මේ සිද්ධියෙන් පස්සේ මමත් කරූ අයියව බලන්න ගියා. එතකොට ඔහු සඳහන් කළේ ඒ රුපියල් පන්දහක් වුණත් අරන් දෙන්න ගිහින් තියෙන්නේ ඔහුගේ නිවසේ කිට්ටුව ඉන්න අසරණ කෙනෙකුට. ඉතින් ගොඩක් වෙලාවට අන්තර්ජාලය හරහා සමාජගත වුණේ අතිශය වැරදි මත. ඇතැම් අය ඔහු බොහෝ අසරණ කළා. එහෙම කලාකරුවන්ව අසරණ කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. විල්සන් කරූ ගැන වැරදියට බලන්න පටන් අරගෙන අපි දිහාත් මිනිස්සු වැරදියට බලන්න පටන් ගත්තා. මම කියන්නේ කලාකරුවා කියන කෙනා අසරණයි කියන තැනට පත් වෙන්න ඕනේ නැහැ. අසරණයි කියලා වැරදි මත සමාජගත කරන්න ඕනෙත් නැහැ. තමන්ගේ ගරුත්වය ආරක්ෂා කර ගනිමිනුයි අපි බහුතරයක් කලාකරුවෝ ජීවත් වෙන්නේ. ඒකට පහර ගහන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඔය සිද්ධිය වුණත් එහෙමයි.