වෛද්‍යවරයෙක් නොවුණා නම් මම අද නළුවෙක්

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක
දෙසැම්බර් 10, 2020

මම නළු නිළියන්ට සැලකුවේ දෙවිවරු කියලා හිතාගෙන

ගීතයක් අහලා පදරචකයා කවුද කියලා කියන්න පුළුවන්

රොනී ලීච් ඇවිල්ලා අපේක්ෂා රෝහලේ තට්ට ළමයින්ට එයාගේ තට්ටේ අතගාන්න දීලා හිනස්සවලා යනවා

“ආරාධනා” දහ වතාවක් බැලුවා

“සත්සමුදුර” දොරට වැඩුමේ විශේෂ ආරාධිතයෝ අපි

මම කැමතිම නළුවන්ගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ රවීන්ද්‍ර

 

"ඔවුන් ඉතාම හොඳට කලාව රසවිඳීනවා. මෙහේ ගායකයෙක් ඇවිල්ලා සින්දුවක් කියනකොට, රංගන ශිල්පියෙක් ඇවිල්ලා ජවනිකාවක් රඟපාලා පෙන්නන කොට ඔවුන් ඉතාමත්ම සතුටු වෙලා අත්පුඩි ගහනවා. මාරාන්තික රෝගයක් හැදුණ මිනිස්සු කියලා කලා රසවින්දනය අඩු වෙන්නේ නැහැනේ" මියැදෙන්නට දින නියම වුණු ජීවිත ගැන ඔහු පැවසුවේ එසේය. කලාව යනු සියල්ලන්ටම පොදු සාධකයක් බව හෙතෙම සිනාසී අපට එසේ පැවසුවේය. ඔහු අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානයක ය. අප ඔහුට සම්මුඛ වූයේ කලාව ගැන ඔහුට ඇති සබැඳීයාව විමසන්නටය. කලාව ගැන ඔහුට කීමට කතා එමටය. ඒ කතා සියල්ල මෙසේ පැවසුවහොත්,

 

 

ඔබේ ගම හා බැඳීච්ච කලාවෙන් අපි මේ කතාව පටන් ගමු?

අපි ජීවත් වුණේ සිරිපා කන්දේ හෙවණැල්ල වැටුණු කැලණි මිටියාවතේ. මගේ ගම පන්නිපිටිය. ඉපදුණු දා ඉඳලම ඉන්නේ පන්නිපිටියේ. අපි පොඩි කාලේ ඉස්සර හැමදාම රෑට අපිට ඇහෙනවා යක්බෙර සද්දයක්. ඒ පැත්තෙ හරියට තොවිල් පවිල් කරන මිනිස්සු හිටියා ඒ කාලේ. ඒ නිසා හැමදාම රෑට ඇරැව්වල බෝකුන්දර පැත්තෙන් වෙල්යායත් එක්ක යක්බෙර සද්දේ අපි අහගෙන ඉන්නවා.ඒ සද්දයත් එක්ක ගූඪ හැඟීමක් වගේම මොකද්දෝ අමුතු අපේ කියලා කියන ගතියකුත් තේරෙනවා.

 

කලාවට පවුලෙන් තිබුණු නැඹුරුව කොහොමද?

මගේ තාත්තා රජයේ නිලධාරියෙක්. අම්මා ගුරුවරියක්. මගේ සාහිත්‍ය පත පොත පරිශීලනය තනිකරම හැදුවේ අම්මා. කියවන්න රසවිඳීන්න පුරුදු කළේ අම්මා. මගේ කලාත්මක හැකියාව දියුණු කරන්න අම්මා හැමවෙලේම උදව් කළා මම පොඩි කාලේ මිහිර පත්තරේට කවි ලියනවා. ගුවන්විදුලියේ හඳමාමා වැඩසටහනට අම්මා මාව එක්කන් ගියා මට මතකයි. ඒකෙන් මට පෑනක් ලැබුණා.

 

අපි යමු ඔබේ පාසලට?

මම කොළඹ ආනන්ද විද්‍යාලයේ. පාසලේදි මම සෞන්දර්ය විෂයකට කියලා කළේ සංගීතය. වාදනයත් හැදෑරුවා. මම වාදනය කළේ එස්රාජ් එකක්. නලගම හේමචන්ද්‍ර ජයවර්ධන කියලා සර් කෙනෙක් තමයි අපිට සංගීතය ඉගැන්නුවේ. එයා ගොඩක් ප්‍රසිද්ධ සංගීතඥයෙක්. මම සාමාන්‍ය පෙළටත් සංගීතය කළා. ඒකට මට විශිෂ්ට සාමාර්ථ්‍යයක් තියෙනවා.

 

පාසලේ කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?

මොකද නැත්තෙ? ඉස්කෝලෙන් කරපු හැම වේදිකා නාට්‍යකටම වගේ මම හිටියා. කොටින්ම මම කාලගෝලගේ චරිතෙත් කරල තියෙනවා. (සිනාසෙමින්) දැන් මම උස උනාට ඒ කාලේ හරිම මිටියි. මම ඉපදුණේ දෙසැම්බර් මාසේ. මම තමයි පන්තියේ හිටපු පොඩිම එක්කෙනා. ඒ වගේම මීටිම කොල්ලා. අපේ ඉස්කෝලේ තිබුණා චිත්‍රපට කවයක්. ඒකේ අනුශාසක වුණෙ අපේ අම්මා. චිත්‍රපටි පෙන්නලා ඒ චිත්‍රපටියට සම්බන්ධ අයව ගෙන්වලා කතා කරනවා. ඒක අපි හරි ආසාවෙන් අහන් ඉන්නවා.

 

මුලින්ම හෝල් එකක චිත්‍රපටියක් බලපු දවස මතකද?

මතකයි මගෙ තාත්තා කම්කරු කොමසාරිස් නිසා චිත්‍රපටයක් එළිදක්වන කොට එයාට විශේෂ දර්ශනයට ආරාධනා කරනවා. හොඳ චිත්‍රපටයක් තිබුණොත් අම්මායි තාත්තයි බලන්න යනවා. සත්සමුදුර චිත්‍රපටිය එහෙම ගිහින් බැලුවා අපි. ඒක තමයි මම මුලින්ම බලපු චිත්‍රපටිය. කොළඹ රිගල් හොල් එකේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ බැල්කනියෙ ඉඳන් තමයි ඒක බැලුවේ. ගොළු හදවතයි, තුෂාරයිත් එහෙම බැලුවා මතකයි.

 

ඉස්කෝලෙ යන කාලේ යාළුවොත් එක්ක කට්ටි පැනලා චිත්‍රපටි බලන්න ගිහින් ඇති?

ඕනෙ තරම් බලන්න ගිහින් තියෙනවා. මොකද දහය වසරෙදි වගේ අපිට බ්‍රහස්පතින්දා උදේ දහයෙන් පස්සේ වැඩ තිබුණෙ නෑ. ව්‍යාපෘති කියලා පීරියඩ් එකක් තිබුණා. ඒත් අපිට ඉගැන්නුවේ නෑ. ඉතින් අපි හැමෝම ඉස්කෝලෙන් පැනලා මරදානේ හැම හෝල් එකකම වගේ 10.30 ඵඩධඹ එක බැලුවා. ගාමිණී හෝල්, නිව් ඔලිම්පියා, එල්ෆින්ස්ටන්, එම්පයර් වගේ හැම හෝල් එකකටම ගියා. ඒ වගේම ටියුෂන් පන්ති යන කාලේ හවස පන්තිය තිබුනේ නැත්තං අපි ගිහිල්ලා චිත්‍රපටි බලනවා. එදා මාත් එක්ක තාප්පෙන් පැනලා ගිහින් චිත්‍රපටි බලපු හැම යාළුවෙක්ම වගේ අද විශේෂඥ වෛද්‍යවරු. ඒ හැමෝම හොඳට ඉගෙනගත්තා.

 

එහෙම ගිහින් බලපු චිත්‍රපටි මොනවාද?

මට හොඳට මතකයි අපි "වසන්තයේ දවසක්" බැලුවා. ඉන්දුට මල් මිටක්, කොළඹ සන්නිය, වීරපුරන් අප්පු, වගේ චිත්‍රපටි බැලුවා.

 

විශ්වවිද්‍යාලයේදී කලා වැඩවලට සම්බන්ධ වුණේ නැද්ද?

මම කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ. අපේ වෛද්‍ය පීඨයේ සිනමා සංගමයක් තිබුණා. ලෙක්චර්ස් නැතුව නිකන් ඉන්න වෙලාවට පැයක් පැය එකහමාරක් විතර චිත්‍රපටි පෙන්නනවා අපි. ගොඩක්ම පෙන්නුවේ අන්තර් ජාතික වශයෙන් ජනප්‍රිය ඉංග්‍රීසී චිත්‍රපටි.

 

පෙම්වතියත් එක්ක චිත්‍රපටි බැලුවේ නැද්ද?

මම උසස් පෙළ කරලා වෛද්‍ය පීඨයට තේරිලා ඉන්න කාලෙ තමයි මම පස්සෙන් ගිහිල්ලා ගෑනු ළමයෙක්ව යාලු කරගත්තේ. එයා තමයි මගේ බිරිඳ. අපි දෙන්නා නිතරම චිත්‍රපටි බැලුවා ඉස්සර. අපිට එහෙම චිත්‍රපටිය මොකක්ද කියලා විශේෂ නෑ මොකක් හරි චිත්‍රපටියක් බලන්න අපි යනවා. ගාන්ධි, සසර චේතනා, මංගල තෑග්ග වගේ චිත්‍රපටි පෙම්වතියත් එක්ක ගිහින් බැලුවා.

 

දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි තියෙනවාද?

ඇත්තටම කියනවා නම් මම දහ වතාවක් බලපු චිත්‍රපටියක් තියෙනවා. ඒ තමයි "ආරාධනා". මම හරිම ආසයි ඒ චිත්‍රපටියට. ඒ වගේම දඩයම චිත්‍රපටිය අට වතාවක් විතර බැලුවා. පසු කාලෙක අභිමාන් චිත්‍රපටිය ගොඩක් සැරයක් බැලුවා. ආරාධනා, අභිමාන් වගේ චිත්‍රපටි නැවත නැවතත් බැලුවේ චිත්‍රපටිවල තියෙන ලස්සන ගීත නිසා.

 

ඒ කාලේ නළු නිළියන්ගේ ඡායාරූප පොත් අස්සේ තියෙන්න ඇති නේද?

නැහැ. මම එහෙම කළේ නැහැ. මම සිනමාවට ආසයි. ඒත් එහෙම ඡායාරූප එකතු කරන පිස්සුවක් මට තිබුණේ නැහැ. වෛද්‍යවරයෙක් වෙලා පිළිකා රෝහලට යනවා කියන හීනය මට පොඩි කාලේ ඉඳන්ම තිබුණා. හැබැයි මම වෛද්‍යවරයෙක් නොවුණා නම් මම නළුවෙක් වෙනවා කියලා හිතාගෙන හිටියේ. මට දවසක් හරි අපූරු සිදුවීමක් වුණා. සිනමා පත්තරයක මම අහම්බෙන් දැක්කා අලුතෙන් හදන චිත්‍රපටියක ප්‍රධාන චරිතවලට අලුත් නළු නිළියන් ඕනේ කියලා පුවතක්. ඒ 1982දී. මම පෑලියගොඩ හෙලන්ස් ස්ටූඩියෝ එකට ගිහිල්ලා මගේ වර්ණ පිංතූරයක් අරගෙන මගේ විස්තරත් එක්ක පුවත්පතට යැව්වා. එතකොට මම වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නවා. ගෙදරට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් ආවා මාව ඒ චරිතයට තෝර ගත්තා කියලා. කරුමෙට මගේ තාත්තගෙයි මගෙයි නමේ මුලකුරු එකයි. තාත්තා ලියාපදිංචි තැපෑලෙන් ආපු ලියුම එයාට කියලා හිතාගෙන කැඩුවා. ලියුම දැකලා තාත්ත මට හොඳටම බැන්නා "මෙච්චර මහන්සි වෙලා ඉගැන්නුවේ දොස්තර කෙනෙක් වෙන්න මිසක් නළුවෙක් වෙන්න නෙමෙයි" කියලා. එහෙම බැනලා එයා ලියුම ඉරලා විසිකළා. එසේ නොවුණා නම් මම සමහරවිට අද නළුවෙක් වෙන්න තිබුණා.

 

කැමතිම නළුවා කවුද?

ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න හරි අමාරුයි. මම හිතනවා මම කැමතිම නළුවාගේ ලැයිස්තුවේ රවීන්ද්‍ර රන්දෙණිය උඩින්ම ඉන්නවා. අපි චිත්‍රපටි බලන කාලේ වැඩිපුරම දැක්කේ ඔහුව. ඔහු ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. ඕනම චරිතයක් කරන්න පුළුවන්. ඒ වගේම හොඳ පෞරුෂයක් ඔහුට තිබුණා.

 

විවාහ කරගන්න හිතුණු නිළිය කවුද?

ඇත්තටම මම නිළියන් ගැන ඒ විදිහට හිතලා නැහැ. නිළියන් විවාහ කරගන්න ඕන මානසිකත්වයෙන් මම චිත්‍රපටි බැලුවේ නැහැ. ඒ කාලේ මම නළු නිළියන්ට සැලකුවේ දෙවිවරු කියලා හිතාගෙන. මොකද අපි ඔවුන්ව නිතරම දකින්නේ පුළුල් තිරයේනේ. (සිනාසෙමින්) මම කැමතිම නිළිය මාලිනී ෆොන්සේකා. ඕනෙම චරිතයකට ප්‍රවිෂ්ට වෙන්න ඇයට තියෙන හැකියාවට මම හරිම කැමතියි. ඒ වගේම ඇගේ රූපයට මම හරි කැමතියි.

 

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?

ප්‍රබුද්ධ ගණයේ චිත්‍රපටිවලට මම වැඩිය කැමති නැහැ. චිත්‍රපටියක් නම් ඒක මට වර්ණ චිත්‍රපටියක් වෙන්න ඕනේ, බැලුවාම එකවර තේරෙන්න ඕනේ, ලස්සන සින්දු තියෙන්න ඕනේ. එහෙම බැලුවාම මම කැමතිම ආරාධනා චිත්‍රපටියට. ඒ කතාවට මම කැමතියි. මොකද අපේ වෘත්තියේ අයනේ ඒකේ ඉන්නේ. (සිනාසෙමින්)

 

බොලිවුඩ් සිනමාවේ ඔබ කැමති දේවල් අපි කතා කරමු?

මම කැමතිම නළුවා අමිතාබ් බච්චන්. එයාට කැමති වුණේ "අභිමාන්" බලලා. නිළිය ශර්මිලා තාගෝර්. එයා තමයි සයිෆ් අලි ඛාන්ගේ අම්මා. එයයි රාජේෂ් ඛන්නයි තමයි හින්දි "ආරාධනා" චිත්‍රපටි රඟපෑවේ. කැමතිම චිත්‍රපටිය ඉතින් "අභිමාන්" තමයි.

 

අන්තිමටම බලපු චිත්‍රපටිය මතකද?

"කොළඹ සන්නිය" අලුතෙන් හදපු චිත්‍රපටය බැලුවා. මම පරණ එකත් හෝල් එකෙන් බැලුවා. මම හිතන්නේ හොඳම පරණ එක තමයි. අපිට පුරුදු පරණ එක බලලා. ඒ වගේම තමයි ඕනෑම නිර්මාණයක පළවෙනි වෑයම තමයි සාර්ථක වෙන්නේ.

 

සංගීතයත් එක ඔබට කොයි වගේ ගනුදෙනුවක් ද තියෙන්නෙ?

මම පොඩි කාලේ කාලෙ ඉඳලම නිතරම ගීත අහන්න කැමති කෙනෙක්. ඕනෑම සින්දුවක් අහලා එක ලිව්වෙ කවුද කියලා කීමේ හැකියාවක් මට තියෙනවා. මට සින්දුවක් අහනකොට ඒ සින්දුව මඩවල එස්. රත්නායකගෙද, සුනිල් සරත් පෙරේරාගේද, මහගමසේකරගේද චන්ද්‍රරත්න මානවසිංහගේද, අජන්තා රණසිංහගෙද කියලා කියන්න පුළුවන්. හරියට ඇස් වහගෙන කෑමක් කනකොට ඒ කෑම එකට දාලා තියෙන දේවල් කියනවා වගේ. හිත දියුණු කරලා කන දියුණු කළාම අපිට කියන්න පුළුවන් ඒක ලිව්වේ කවුද කියලා. කුලරත්න ආරියවංශ ලියන්නෙ එක කලාවකට. මඩවල එස් රත්නායක ලිව්වෙ ගැමි අසිරිය ගැන. චන්ද්‍රරත්න මානවසිංහගේ භාෂාව බර සංස්කෘත වචන එක්ක තියෙන්නේ. මහගමසේකරගේ තියෙන්නෙ රසවත් වචන. සුනිල් සරත් පෙරේරාගේ නිතරම තියෙන්නෙ පාරිසරික අලංකාරය. අජන්තා රණසිංහ නිතරම ලිව්වේ කාන්තාව සහ ප්‍රේමය ගැන හරි ලස්සනට. ඒ වචන දැක්කම කාගෙද කියලා කියන්න පුළුවන්.

 

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

ඒකට වෙන කිසිම ආදේශකයක් නැහැ. ඒ පණ්ඩිත් අමරදේවයන්. ඔහුව මම කාලයක ඉඳන් ඇසුරු කරලා තියෙනවා. ඔහු නිතරම වගේ අපේ රෝහලට ඇවිල්ලා සින්දු කියලා යනවා. ඔහු අප අතරින් වෙන් වෙලා යන්න මාස දෙක තුනකට කලිනුත් අපේක්ෂා රෝහලට ඇවිල්ලා ගිහින් තියෙනවා.

 

වෘත්තීය ජීවිතයේ සමීපව ඇසුරු කරපු කලාකාරයෝ කවුද?

වික්ටර් රත්නායක, අමල් පෙරේරා, නිරංජලා සරෝජිනී, කුලරත්න ආරියවංශ වගේ අය නිතරම රෝහලට ඇවිල්ලා ගීත ගයලා රෝගීන් පිනවලා යනවා. ප්‍රේමකීර්ති ද අල්විස් මගේ හොඳම යාළුවෙක්. ඒ වගේම සමීපව ඇසුරු කරනවා රවීන්ද්‍ර රන්දෙණියව. ඒ වගේම ටෙනිසන් කුරේව ආදරෙන් මතක් කරන්න ඕනේ. රොනී ලීච් ඇවිල්ලා එයාගේ තට්ටෙ අපේක්ෂා රෝහලේ ළමයින්ට පෙන්නලා තට්ටෙ ළමයින්ට අතගාන්න දීලා ළමයින්ව සතුටු කරලා යනවා. මොකද මෙහෙ ඉන්න හැම ළමයෙක්ටම තට්ටෙ තියෙන්නේ. එයාලගේ කොණ්ඩෙ නැහැ.

 

දොස්තර වසන්ත දිසානායකට අනුව කලාව කියන්නේ මොකක්ද?

මට අනුව නම් කලාව කියන්නේ ඔසුවක්. පිළිකා ඇතුළු සියලුම රෝග නසන ඔසුවක් ඒක. විශේෂයෙන්ම මානසික සුවයක් ලබන්න ඕන නම් මනුස්සයෙක්ට කලාව අත්‍යවශ්‍යයි. කලාව නැතුව මනුස්සයෙක්ට ජීවත් වෙන්න බැහැ. ජීවත්වෙන්න පුළුවන් ඔහු යන්තරයක් වෙනවා. හදවතට තෙතමනයක් ලබාදීලා වඩා අංගසම්පූර්ණ මිනිසුන් බිහි කරන්න කලාවට පුළුවන්.

 

මියදෙන්න දින නියම වෙච්ච මිනිස්සු කලාව රසවිඳීන්නේ කොහොමද?

ඔවුන් ඉතාම හොඳට කලාව රසවිඳීනවා. මෙහේ ගායකයෙක් ඇවිල්ලා සින්දුවක් කියනකොට, රංගන ශිල්පියෙක් ඇවිල්ලා ජවනිකාවක් රඟපාලා පෙන්නන කොට ඔවුන් ඉතාමත්ම සතුටු වෙලා අත්පුඩි ගහනවා. මාරාන්තික රෝගයක් හැදුණ මිනිස්සු කියලා කලා රසවින්දනය අඩු වෙන්නේ නැහැනේ. තමන්ගෙ කාලය අඩු බව දන්න නිසාම ඔවුන් වැඩිපුර ජීවිතය විඳීනවා. සතුටුවෙනවා. කලාව ඒකට ඔවුන්ට ගොඩක් ප්‍රයෝජනවත් කියලා මට හිතෙනවා.

 

එදා සහ අද සිනමාව ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන නම් මට තියෙන්නේ ලොකු දුකක්. 60 70 දශකවල ගොඩක් හොඳ නිර්මාණ බිහිවුණා. දැනටත් ඉඳලා හිටලා ඒ වගේ නිර්මාණ බිහි වෙනවා. නමුත් බහුතරයක් නිර්මාණ අසාර්ථකයි. නව පරපුරේ දක්ෂ සිනමාකරුවන් ඉන්නවා. ඒ අයට හොඳ කථාවස්තු හම්බෙන්න ඕනේ. හොඳ කාර්මික ශිල්පීන් හම්බෙන්න ඕනේ. හොඳ නිෂ්පාදකයෙක් ඉන්න ඕනේ. එතකොට තමයි අංග අංගසම්පූර්ණ සිනමා නිර්මාණයක් බිහි වෙන්නේ. මුදල් සහ කුසලතාවය යන දෙකම එකට එකතු වෙනවා අඩුයි වර්තමානයේ. මම හිතනවා ඒ නිසා හොඳ සිනමා නිර්මාණ බිහිවෙන්නේ අඩුවෙන් කියලා.

 

චිත්‍රපටයක රඟපාන්න ආරාධනාවක් ආවොත් භාරගන්නවද?

මට මීට කලින් එහෙම ආරාධනා ඇවිත් තියෙනවා. ඉඳලා හිටලා ටෙලිනාට්‍යවල එහෙම වෛද්‍යවරයෙක්ගේ චරිතයකට මම ඉඳලා තියෙනවා. නැවතත් එහෙම ආරාධනාවක් ආවොත් වෛද්‍යවරයෙක්ගේ චරිතයක් වගේ රඟපාන්න කැමතියි.

 

කවදහරි දවසක චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න අදහසක් නැද්ද?

ඒක කරන්න මට බෑ. ඒකට ලොකු ධනස්කන්ධයක් ඕනේ. එහෙම ලොකු සල්ලියක් මම හම්බු කරල නෑ.