යෙහෙළි ළමා නිළිය මමයි..

ඔෂිනි උපේක්ෂා පෙරේරා
දෙසැම්බර් 10, 2020

මේ සුරූපිනිය වැඩිපුර ම රංගන දායකත්වය සැපයුවේ ගීතමය රූප රචනා සඳහායි. ඇය දායක වූ එවන් නිර්මාණ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයෝ නරඹා තිබෙනවා. ඔෂිනි උපේක්ෂා පෙරේරා නැමැති ඇය රංගනයට පිවිසෙන්නේ කුඩා කාලයේදීමය. මේ ඇය පිළිබද තතු විත්ති දිගහැරුමයි.

 

ඔෂිනි උපේක්ෂා කියන ළමා නිළියගේ මතකය අවදි කරමු?

ඔයාලට මතක ඇති ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වූ යෙහෙළි මාලානාටකය. එහි කොටස් 18කට වැඩි සංඛ්‍යාවක ළමා චරිතය කළේ මම. එතකොට සුනිල් මාලේවන ගයපු මාලා රූප රාණී කෝකිලාවී ගීතයේ ළමා චරිතය රඟපෑවෙත් මම. ඒකත් ඉතාම ජනප්‍රිය වුණා. මතකද ඉන්ෆාස් අයියා කියපු මන්දිර සඳලුතල ගීතය... එකේ රූප රචනාවෙන් මම ළමා චරිතය කළා. ඒ දෙක තුනෙන් පසුව මම අධ්‍යාපනයට මුල් තැන දීලා රංගනයෙන් ඉවත් වුණා. හැබැයි මම රඟපාපු ඒ නිර්මාණ කිහිපයම ඉතාම ජනප්‍රිය වුණා. මාගේ ආර්ටිකල් පවා ඒ දවස්වල පත්තරවල සෑහෙන්න ගියා.මේ තමයි මම නැවතත් රඟපාන්න ආවට පසු පළවෙන පළමුවැනි පුවත්පත් ලිපිය.

 

මේ දිනවල ඔබගේ රංගන කටයුතු ගැනයි මම ඔබෙන් ඊළඟට අහන්නේ?

මියුසික් වීඩියෝවල තමයි ගොඩක් මම රඟපෑවේ. හැබැයි හැම මියුසික් වීඩියෝ එකක්ම මම බාර ගන්නෙත් නැහැ. මට ගැළපෙනවා කියලා හිතුනොත් විතරයි මම ඒවට වුණත් සහභාගි වෙන්නේ.

 

ඔබ එක් ගායකයෙකුගේ මියුසික් වීඩියෝවලට වැඩිපුර රංගන දායකත්වය ලබා දීලා තියෙනවා?

ඔව්. ඒ ගායන ශිල්පියා තමයි විරාජ් පෙරේරා. මම ඔහුගේ නංගි. අයියා තමයි නැවතත් මාව රංගන ක්ෂේත්‍රයට ගන්නේ. ඔහුගේ ඉක්මනින් හිත හදන් ගීතයට තමයි නැවත ක්ෂේත්‍රයට ආවට පස්සෙ මම මුලින්ම රංගන දායකත්වය සැපයුවේ. පසුව පුදුමයි ආදරේ, ධර්මයරකින්නා, තථාගතයාණෙනි වගේ අයියා ගැයූ ගීතවල රූප රචනාවල රඟපෑවා ඒ ගීත සියල්ලම අතිශය විශාල සංඛ්‍යාවක් යූ ටියුබ් හරහා නරඹලා තිබුණා. ඊට අමතරව තවත් රූප රචනා කිහිපයකම මම රඟපෑවා.

 

සිනමා ටෙලි රංගනය සඳහා ඔබට ආරාධනා ලැබුණේ නැද්ද?

නිතරම මට එවන් වූ නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවා. මම සහභාගී වෙනවා නම් වෙන්නේ හොඳ නිර්මාණයකට පමණයි. මේ ළඟදි මට ටෙලි නාට්‍යයකට කතා කළා. නමුත් මම ගියේ නැහැ. එයාලා කියනවා අපි අලුත් නිසා ගෙවීමක් කරන්න බැහැ කියලා. එහෙම නිකං ගිහින් රඟපාන්න මම සූදානම් නැහැ. මේ වෘත්තියට වටිනාකමක් දෙන්න ඕනේ. තවම මට අවුරුදු විසි දෙකයි. තව කාලය තියෙනවා. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබෙනතුරු මම කලබලයක් නැතුව මේ ගමන යනවා.

 

වෘත්තිමය නිළියක් වන්න ද ඔබ අපේක්ෂා කරන්නේ?

රංගනයට මම ආසයි. මේ වෙන කොට මම නීතිය පිළිබඳ උපාධියක් හදාරනවා. නීතිඥයෙක් විදියට කටයුතු කරන්න තමයි මම කැමැත්තෙන් ඉන්නේ. නමුත් රංගනය කියන දේ මම අත හරින විෂයක් නෙමෙයි.

 

අයියා වගේ සින්දු කියන්න කැමති නැද්ද?

ප්‍රොෆෙෂනල් විදියට ගායිකාවක් වෙන්න බලාපොරොත්තුවක් තවම නැහැ.

 

ඔෂිනි ගේ ගම කොහෙද?

මම නුවර

 

ඉගෙන ගත්තු පාසලත් මතක් කරමු?

නුගේගොඩ සුජාතා බාලිකාව.

 

උපන් දිනය?

අනූ අටේ සැප්තැම්බර් දහ අට.

 

ඔබ ගැන කෙටියෙන් හැඳීන්වුවහොත්?

මම හොඳ විෂන් එකක් තියෙන, ඒ වගේම හොඳ පෞරුෂයක් තියෙන ගැහැණු ළමයෙක්.

 

 

උජිත මධුසංක වීරසිංහ