අපි හරි දේ කරලා තිබෙනවා

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති
ආචාර්ය ජයන්ත ධර්මදාස
දෙසැම්බර් 10, 2020

වසංගත රෝග ව්‍යාප්තියකදී පළමුවෙන්ම සිදුවන්නේ ජනයා රැස්වන ස්ථාන සීමා කිරීමයි. මෙය දැඩිව බලපාන්නේ සිනමාව වැනි රසික එකමුතුවක් ඇති වින්දනාත්මක මාධ්‍යයන්ටය. කොවිඩ් පළමු රැල්ලෙන් පසු සිනමා ශාලා විවෘත වෙමින් පැවැතියත් දෙවැනි රැල්ලත් සමඟ යළි ඒවා වසනු ලැබිණි. පවතින තත්ත්වය හමුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ කාර්යභාරය කෙබඳුද? කොරෝනාවෙන් පසු ලෝකයට සිංහල සිනමාව මුහුණ දෙන්නේ කෙසේද? සිව්වැනි වරටත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරය හොබවන ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගෙන් සරසවිය කළ විමසුමයි මේ...

 

පවතින කොරෝනා තත්ත්වය හමුවේ සිනමාවේ අනාගතය කොයි වගේ වෙයිද?

මට නම් කියන්න හරි අමාරුයි. මට නෙවෙයි කාටවත් කියන්න අමාරුයි. මුළු ක්ෂේත්‍රය සම්බන්ධ සියලු දෙනා, නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු, ශාලාහිමියන් ප්‍රශ්න රැසකට මුහුණ දීලා තිබෙන්නේ. මම ඉල්ලීමක් කර තිබෙනවා බලධාරීන්ගෙන් ඒත් දැනට මුකුත් කරන්න එපා කියලා තමයි දැනුම් දීලා තිබෙන්නේ. අපි සංස්කෘතික ලේකම්තුමා මඟිනුත් ඉල්ලීමක් කළා. එයටත් ලැබුණේ එකම උත්තරය තමයි බලධාරීන්ගෙන්. පිටපළාත්වල සමහර පාසල් ඇරියානේ... ඒ වෙලාවෙත් මම ඇහුවා ලිපි මඟින් වගේම ගිහින් මුණගැසිලාත් අපට ඒ පළාත්වලවත් සිනමා ශාලා විවෘත කරන්න දෙන්න කියලා. ඒත් අවසර ලැබුණේ නැහැ. ඒ තත්ත්වයෙන් තමයි දැනට සිනමා කර්මාන්තය පවතින්නේ.

 

මේ තත්ත්වය නිසා ඇතැම් සිනමා ශාලා වැසී යාමේ තර්ජනයක් තිබෙනවා. නිෂ්පාදකයන් ණයබරින් මිරිකිලා?

ගිය වතාවේ මේ ආකාරයෙන් සිනමා ශාලා වැසුණු වෙලාවෙන් පස්සේ යළි විවෘත කරද්දි, චිත්‍රපට අප පෙළ ගස්වනවානේ ප්‍රදර්ශනය කරන්න, 'ද නිවුස්පේපර්' චිත්‍රපටය හැරුණු විට පෙළ ගැස්මේ මුල සිටි කිසි කෙනෙක් කැමැති වුණේ නැහැ චිත්‍රපට මුදා හරින්න. නිෂ්පාදකවරු කීපදෙනකුට කතා කළාමත් ඔවුන් කැමැති වුණේ නැහැනේ සෙනඟ ගැවසෙන්නේ නැති නිසා තමන්ගේ චිත්‍රපට පෙන්වන්න, ඔබත් දන්නවානේ නේද? ඉතින් සංස්ථාව පැත්තට බර පැටෙව්වාට, අපි වැඩ කරන්න ඕනේ සෞඛ්‍ය නීති රීති අනුවනේ. පසුගිය සැරේ අපි ඒ දේවලුත් කරලා දුන්නා පටන්ගනිද්දි. ඒත් මේ සැරේ කොවිඩ් ප්‍රශ්නය එන්න එන්නම වැඩි වෙන බවකුත් පේනවානේ. කලින් සියය දෙසීයය තිබුණු ආසාදිතයන් දැන් හය-හත් සියය දක්වා වැඩි වෙලා. අපේ පෞද්ගලික ආයතනවල පවා සියයට තිහක් වගේ තමයි සේවයට කැඳවන්නේ. වියදම එහෙමම තිබියදී ආදායම හොඳටම අඩු වෙලා. ඒක චිත්‍රපට සංස්ථාවට විතරක් නෙවෙයි ලෝකෙටම බලපාන දෙයක්. එහෙම වුණාය කියලා නොඉඳ අපි සෑහෙන උත්සාහයක් ගත්තා සතියට දින දෙකක්වත් පිටපළාත්වල හෝ චිත්‍රපටශාලා විවෘත කරන්න. ඒත් අපට ලිඛිතවම දන්වා තිබෙනවා අවසර දෙන්නෙ නැහැ කියලා. අපට සංස්ථාපිත ආයතනයක් විදිහට රජයේ නීති රීති උල්ලංඝනය කරමින් බලෙන් චිත්‍රපට පෙන්වන්න බැහැනේ.

 

රසිකයන් මේ කොවිඩ් විවේකයේ ඇති පීඩනයෙන් මිදීමටත් එක්ක චිත්‍රපට වැනි වින්දනාත්මක මාධ්‍යයට වැඩි නැඹුරුතාවක් දක්වන නිසා ලෝකයේ මේ ප්‍රශ්නයට දැන් සොයාගෙන තිබෙන විසඳුම අන්තර්ජාලය ඔස්සේ චිත්‍රපට උලෙළ සහ ප්‍රදර්ශන පැවැත්වීම?

අපි ඒ පැත්තත් බැලුවේ නැතුව නෙවෙයි. ඒත් සමහර නිෂ්පාදකවරු ඒ මඟ ගන්න කැමැති නැහැ. මොකද එතඥනින් අසමත් වුණොත් වුණාමයි. අනෙක වරක් බැලුවොත් එයම දිගින් දිගට නරඹන්නත් පුළුවන්. ඒ වගේම එක්කෙනකු ගෙවන මුදලින් විසිතිස් දෙනකුට වුණත් චිත්‍රපටය නරඹන්න පුළුවන්. එහෙම දිගටම වුණොත් චිත්‍රපට ශාලාවලට මොකද වෙන්නේ? අනෙක නෙට්ෆ්ල්ක්ස් වැනි ක්‍රම ඔස්සේ චිත්‍රපට ගෙදරදීම නරඹන්න පුළුවන් වුණාම ශාලාවලට එන අය ගෙදරම ඉන්නවා. එතකොටත් ශාලාවලට වෙන දේ හිතන්න පුළුවන් නේද? අපි මේ හැම පැත්තක්ම කල්පනා කරලා තමයි තීන්දු තීරණ අරගෙන තිබෙන්නේ. තවත් අලුත් දේවල් වුණත් කරන්න පුළුවන් නම් අපි කරනවා. ඒත් ඇත්තටම වුණේ අපේ බලාපොරොත්තුවක් තිබුණා ළඟදීම චිත්‍රපට ප්‍රදර්ශනයට ඉඩ දෙයි කියලා.

 

ඒත් කොරෝනා වසංගතයට කලින් නිර්මාණය වුණු චිත්‍රපට පෙළක් තිබෙනවා. ඒවාට මොකක්ද දෙන විකල්පය?

මට නම් විකල්පයක් දෙන්න බැහැ. ඒත් රජයෙන් එය ලබා දෙයි. සහනදායි පොළියක් දීම, පරණ ගෙවීමට ඇති පොළී කපා හැරීම, සිනමා ශාලාවලට දිය හැකි උදවු ආදිය සඳහා. සංස්ථාව දුවන්නෙත් අමාරුවෙන්නේ... අපි රජයට ඒ පිළිබඳ දැනුම් දීම කළා.

 

බොහෝ නිෂ්පාදකවරුන් සරසවියට කියන්නේ 'උඹලාගේ ආසාවට චිත්‍රපට හදාගත්තා නම් උඹලාම පෙන්නගනිල්ලා' කියලා ඉන්නේ නැතිව සංස්ථාව මැදිහත් වෙලා රජයෙන් කර්මාන්ත සඳහා දෙන සහන පොළී ක්‍රමයට ණයක් හෝ ලබාදෙන්න උත්සාහ කරනවා නම් හොඳයි කියලායි?

අපි කවදාවත් ආසාවට හදාගත්තා නම් ලාභ පාඩු දෙකම විඳගනිල්ලා කියලා කියලත් නැහැ, එහෙම හිතලත් නැහැ. මුල ඉඳලාම අපි හිටියේ නිෂ්පාදකවරුන් සහ සිනමාශාලා ආරක්ෂා කරන වැඩපිළිවෙළකයි. මොකද ඒ අංශ දෙක නැති වුණොත් සිනමා කර්මාන්තයම නැති වෙනවා. මට ලියුම් පෙන්වන්න වුණත් පුළුවන් බැංකුවලට, ලේකම්තුමාට, අගමැතිතුමාට ඉල්ලීම් කර යැවූ, අපටත් සියයට හතරේ පොළියට ණය සහනයක් ලබා දෙන්න කියලා. ඒත් අපට තවම පිළිතුරක් ලැබුණේ නැහැ. මේ කිසි දෙයක් අපි නොකර ඉඳලා නැහැ. කළ යුතු තරමටත් වඩා අපි වැඩ කරලා තිබෙනවා. ඒත් මේ වෙලාවේ අපිත් අසරණ වෙලා ඉන්නේ...

 

සංස්ථාව අසරණ වෙලා ඉද්දි ඉන් පිටත පිරිස ශක්තිමත් වේගන එනවා වගේ දෙයක් පේන්නෙ නැද්ද ඔබට?

ඒක අපට ගැටලුවක් නෙවෙයි. අපි හරි දේ කරලා තිබෙනවා. ඒ අය හිතන්න කලින් අපි හැම දෙයක් ගැනම හිතලාත් තිබෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් ගැන නෙවෙයිනේ අපි හිතන්න ඕනෙ. අපි සමස්ත කර්මාන්තය ගැනම හිතන්න ඕනෙ. එහි ඉදිරි පෙළ නිෂ්පාදකවරුන් සහ ශාලා හිමියන් ඉන්නවා. මම නෙවෙයි වෙන කවුරු හිටියත් මේ වෙලාවේ මීට වඩා දෙයක් කරන්න බැහැ කියලත් මම බය නැතිව කියනවා. පෞද්ගලික මත දෙන්න පුළුවන්. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ මේ වෙලාවෙ. මගේ පෞද්ගලික ව්‍යාපාරවලටත් ඔය දේම වෙලා තිබෙනවා. මටත් පෞද්ගලික මත තිබෙනවා. ඒත් ඒක නෙවෙයි හරිම විදිහ. හරි දේ කිසි තැනකින් ක්‍රියාත්මක වෙන්නේ නැති වාතාවරණයකයි ලෝකෙම අද ඉන්නෙ.

 

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඔබ මේ වෙලාවේ යෝජනා කරන්නෙ කුමක්ද?

කර්මාන්තය දියුණු කරනවා නම් සංස්ථාවට සහයෝගය දිය යුතුමයි. එහෙම නැතිව සංස්ථාව අරක කළා වැරැදියි මේක කළා වැරැදියි කියලා තැන් තැන්වල කතා කිරීම හෝ රැස්වීම් තැබීමේ තේරුමක් නැහැ. ඔය කිසි කෙනෙක් හමුවන්න බැහැ කියලා මම කියලා නැහැ. දුරකථනයෙන් පවා මට ඒ අය කතා කරනවා. ඒ අය අහන දේවල්වලට මම දෙන පිළිතුරු පිළිගන්නවා. එහෙම පිළිගෙන පස්සේ ඒ ඒ අය එකතු වුණාම වෙන දෙයක් කරනවා. ඊයෙ පෙරේදා එහෙම සිදුවීමක් වුණා. පසුගිය දවසක දවල් දොළහට විතර ඉල්ලීමක් කරනවා ප්‍රදර්ශකයන්ගේ සංගමයේ රැස්වීමක් තියන්න තරංගනී ශාලාව ඕනෙ කියලා. ඉතින් මම ඇහුවා කී දෙනෙක් එනවාද කියලා නම් ලැයිස්තුව දෙන්න කියලා. මට කීවා දෙන්නෙක් එනවා ඒ දෙන්නත් එක්ක තව පනහක් විතර එනවා කියලා. ටිකක් හිතන්න මේ වෙලාවේ අපේ සංස්ථාවේ සේවකයන් ගෙන්වීමේ වැඩපිළිවෙළ පවා තිබෙන්නේ සමහර ප්‍රදේශවලින් සේවකයන් ගෙන්වා නොගන්න ක්‍රමයට. අවදානම් කලාපවලින් සේවයට ගෙන්වන එක අනෙක් සේවකයන්ටත් හොඳ නැහැ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එහෙම වෙලාවක නම් ලැයිස්තුවවත් නොදී කවුද කොහෙන්ද එන්නේ කියන්නේ නැති වුණාම අපි දන්නේ කොහොමද කවුද එන්නේ කියලා. අනෙක ශාලාව දැන් මාස ගණනක් වහලා තිබුණෙ. එතැන රැස්වීමක් පවත්වනවා නම් නිසි පිළිවෙළට විෂබීජහරණය කරන්න ඕනෙ. මීටරයේ පරතරය තියන්න ලෑස්ති කරන්න ඕනෙ. අපේ සේවකයන්ගෙන් ගෙන්වන්නේ තුනෙන් පංගුවයි. ඒ අය ලවා මේ සියල්ල කරවන්න ඕනෙ. මේ කරුණු පැහැදිලි කරලා දීලාත් සංස්ථාවට බනිනවා, සමාජ මාධ්‍යවල විවේචන කරනවා, රැස්වීම පවත්වන්න දුන්නේ නැහැ කියලා. හදිසියේවත් සංස්ථාව රැස්වීම පවත්වන්න දීලා එතැනට අපි නොදැනුවත්ව කොවිඩ් ආසාදිතයෙක්වත් ආවානම් කවුද වගකියන්නේ. කවුද වැරැදිකාරයා වෙන්නේ? මම ඒ විවේචනවලට කලබල වෙන කෙනෙක් නෙවෙයි. ඒත් අපි පස් දෙනකුගේ රැස්වීම් පවා තියන්නේ 'සූම්' ක්‍රමයට. සමහර අය හිතනවා හිටපු ගමන් ඇවිත් තමන්ට ඕනෙ දෙයක් කරන්න මෙතැන අයිතියක් තියෙනවා කියලා. එතකොට ඉතින් පාලනයෙන් ඇති වැඩක් නෑනේ.

 

ඔබ තරමක් ආවේගයෙන් වගේ?

නෑ. අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට හිතට අමාරුයි, අපි යමක් කරලා දෙන්න හදනකොට මෙහෙම ටික ‌දෙනෙක් ඉඳගෙන සංස්ථාවටම ගහනකොට. සිනමාව නැති කරන්නෙත් පිටින් එන අය නෙවෙයි, කර්මාන්තය තුළ ඉන්න අයමයි. හැබැයි පෙන්වන්නේ දියුණු කරන්න උත්සාහ කරනවා කියලයි. අර එක කාලෙක බස් එකට ගිනි තිබ්බෙත් බස් එකේ ගිය අයමනෙ බස් එකෙන් බැහැලා. ඒ වගේ.

 

සමහරු සිනමාවට සංස්ථාවක් අවශ්‍යද කියන මතයේත් ඉන්නවා?

ඔය මණ්ඩලවලින් පුළුවන් තරම් සල්ලි හම්බ කළා චිත්‍රපට පෙන්නලා. හැබැයි ඒවාවලින් මොනවාද මේ සිනමා ශාලා වෙනුවෙන් කළේ කියන්න මට. යම් දෙයක් හෝ කළේ එක මණ්ඩලයක් විතරයි. අනෙක් මණ්ඩල ගැන කවුරුත් කතා කරනවාද රැස්වීම් තියලා. සංස්ථාවටම බැන බැන ඉන්නවා හැමදේම සංස්ථාවෙන් කරන්න ඕනෙ කියලා. ආපදා ණය දෙන්න ඕනෙ, විශ්‍රාම ගෙවීම් දෙන්න ඕනේ... අපි ඒවා කරනවානේ. ඒවාට කවුරුත් කතා කරන්නේ නෑනේ. ඔය මණ්ඩලවලින් මොනවාද ඒවට කරන්නේ කියන්න මට. ඔය ප්‍රශ්න විසඳන්න කිසි කෙනෙක් ඉදිරිපත් වුණෙත් නෑ, රැස්වීම් තිබ්බෙත් නෑ. සංස්ථාවට දොස් කියලා විතරක් හරියනවාද? ඒකෙන් තේරෙනවානේ හිත ඇතුළේ තියෙන්නේ මොනවාද කියලා. මට නම් හිතෙන්නේ මේ අය දූෂිතයි, වැඩ කරන්නේ නෑ ගගා කියන්නේ වෙන අදහස් ඔළුවෙ තියාගෙන කියලයි. හැබැයි ඉතින් සංස්ථාව නැති දවසක සිනමා ක්ෂේත්‍රයේ අයට අම්මා තාත්තාගෙ රැකවරණය නැති ළමයි ටිකක් වගේ තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා සිනමාව බේරගන්න හදනවා කියන අයගෙන් මම අහන්නේ මේ බේරගන්න යන්නේ කාවද? කාගෙන්ද? කොහෙන්ද? කොහොමද? කියලයි.

 

චිත්‍රපට බෙදාහැරීමේ ප්‍රශ්නයත් එයට අදාළ වනවාද?

කොහොමත් චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය පිළිබඳ නඩුවක් පවතිනවා. අපි අපේක්ෂා කරන්නේ සංස්ථාවට සාධාරණයක් වන ආකාරයෙන් තීන්දුව ලැබෙයි කියලයි.

 

කොවිඩ් 19 මර්දනය වූ දිනක හෝ කොරෝනා සමඟ ජීවත් වීමට පුරුදු වූ සමාජයක සිනමා ශාලා විවෘත වන විට අලුත් තාක්ෂණය ආදිය යොදා ගන්න පියවර ගෙන තිබෙනවාද?

රජයේ සැලසුම් වරින් වර වෙනස් කරන්න සිදු වුණා මේ වසංගතයේ බැරෑරුම්කම හමුවේ. ඉස්කෝල පවා ඇරලා ආපසු වහන්න සිදු වුණා. විභාග කල්දැම්මා. ඒවාට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. රටේ පවතින වාතාවරණය අනුවයි ඒ තීරණ ගන්නේ. අර අලුත් එන්නත හරි ඇවිත් මේ තත්ත්වය වෙනස් වුණොත් මේ ප්‍රශ්න බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්.

ඒ වගේම දම්මිත් ෆොන්සේකා මහත්මයාගේ මූලිකත්වයෙන් හොඳ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. හැම ප්‍රශ්නයකටම උත්තරත් එතැන තිබෙනවා. සිනමා ශාලා නවීකරණය කරමින් ඩිජිටල් ප්‍රක්ෂේපණ ක්‍රමවලට අනුගත වීම, සිනමා ශාලා කීපයක් අලුතින් ගොඩ නැඟීම, අලුත් අධ්‍යක්ෂවරුන් දිරි ගැන්වීම, චිත්‍රපට පෙළගැස්වීම වගේ එය මණ්ඩලයෙන් අනුමත වෙලත් තිබෙනවා. අපි හැංගිලාත් නෑ පස්ස ගහලත් නෑ, අපිත් එක්ක එකතු වෙන්න ඕනේ එතකොට මණ්ඩලත්. ඒ අය හම්බ කළ දෙයිනුත් යම් සම්මාදමක් කළ යුතුයි හරි විදිහට නම්. එහෙම නැතුව ඒ අය එක පැත්තකයි, අපි තව පැත්තකයි ඉඳලා හරියන්නේ නෑ මේ වෙලාවේ. අපි හැමෝටම ඕනේ කර්මාන්තය දියුණු කරගන්න නම් අපි එකතු වෙලා වැඩ කරමු. මම හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මම හිතනවා ලබන වසරේ මුල මේ ප්‍රශ්න විසඳීලා නැවත රසිකයන් සිනමාවට එයි කියලා.

 

නිශ්ශංක විජේරත්න