චොකලට් හොරෙන් කාලා බැණුම් අහන්නත් වුණා

සිහින ගෙනෙන කුමාරියේ සකුනි,
යොහානි හෙට්ටිආරච්චි
දෙසැම්බර් 17, 2020

හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි සිතුවම මේ දිනවල ගොඩක් ජනප්‍රියයි. කතාවට අනුව එම නිවසේ ජීවත්වන ළමයින් අතරින් පවුලේ වැඩිමහල් දියණියට පණපොවන්නියට, සරසවියට ගොඩවදින්නට කියා අප ආරාධනා කළා.

 

ඔබේ නම දැනගන්නට කැමැතියි?

මම යොහානි හෙට්ටිආරච්චි.

 

එතකොට සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ ඔබේ චරිතය?

සකුනි.

 

බොහොම පොඩි වයසේදී තමයි ඔබ රඟපාන්න එන්නේ, එහෙම නේද?

ඔව්. මම මුලින්ම රඟපෑවේ වෙළෙඳ දැන්වීමක. එතකොට මට අවුරුදු තුනක් විතර ඇති.

 

ඊට පසුව ඔබ තරමක් රංගනයෙන් ඈත් වුණා?

අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක තමයි එහෙම වුණේ. නමුත් මම ආයෙත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා පුංචි පැංචි වැඩසටහනත් එක්ක. ළමා නිවේදිකාවක් විදිහට අවුරුදු ගණනාවක් මම වැඩ කටයුතු කළා.

 

ළමා නිළියක් විදිහට ඔබ නැවතත් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ මොන නිර්මාණයෙන් ද?

නාලන් මෙන්ඩිස් මහත්මයාගේ අංගනා නාට්‍යයෙන් තමයි මම දෙවැනි වතාවට ළමා නිළියක් විදිහට එන්නේ. ඒ නාට්‍යයේ අංගනා කියන ප්‍රධාන චරිතයේ ළමා කාලය, ඒ කියන්නේ පොඩි අංගනාගේ චරිතය රඟපෑවේ මම. ඊට පසුව නාට්‍ය, චිත්‍රපටි, වෙළෙඳ දැන්වීම් ආදී නිර්මාණ රැසකට මට ආරාධනා ලැබුණා.

 

පළමුවැනි නාට්‍යයේ රඟපාන්න ගිහිල්ලා මුහුණ දෙන්න වුණු අපූරු සිදුවීමක් දෙකක් ඔබේ මතකයේ නැද්ද?

මේ නාට්‍යයේ කාවිංග පෙරේරා අයියා රඟපෑවා. ඔහු වාඩි වෙලා සිටිය සෑම අවස්ථාවකදීම කොට්ටයක් තියාගෙන හිටිය කකුල් දෙක උඩ. ඒ මොකද කියලා හොයලා බලපුවාම බඩ වැඩියෙන් පේන හින්දලූ එහෙම කළේ. ඇත්තටම ඒක මට අලුත් අත්දැකීමක් වුණා. මම මීට කලින් එහෙම බඩ වැඩියි කියලා කොට්ටයක් කකුල් දෙක උඩ තියාගෙන ඉන්න කෙනෙක්ව දැකලා තිබුණෙ නැහැ. ඒ හින්ද මට ඒක පුදුම සහගත දෙයක් වුණා. අනික මම ටිකක් පොඩියිනේ. ඉතින් හැම තිස්සෙම කාවිංග අය්යා කකුල් දෙක උඩ කොට්ටයක් තියාගෙන රඟපාන්න දිහා මම බලාගෙන හිටියේ හරිම පුදුමයෙන්. සමහර විට මේ සිදුවීම කාවිංග අයියාට මතක නැතුව ඇති, නමුත් මට ඒ නාට්‍ය පුරා මතක හිටින සිදුවීමකට තියෙන්නේ ඔන්න ඕක.

 

ඔබ රඟපෑ නාට්‍ය සහ චිත්‍රපට ගැන මතක් කළොත්?

බවචක්‍ර, බ්‍රහ්ම මූර්තය, සකී, හිස් අහස යට, රාවණා, ඔබ නිසා, රෑන වගේ නාට්‍ය ගොඩක රගපෑවා. හිස් අහස යට නාට්‍යයේ ළමා චරිත රංගනය වෙනුවෙන් මට ඒ අවුරුද්දේ සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම ළමා නිළියට හිමි සම්මානයත් හිමි වුණා. මම රඟපාපු චිත්‍රපට ගැන මතක් කළොත්, සිංහයා, ඇහැලේපොළ කුමාරිහාමි, අලි කතාව, පුංචි අන්දරේ, ටවුමේ ඉස්කෝලේ, පාංශු, නිහඬ සෙවණැලි, හැපි බර්ත් ඩේ, බාඳුරා.

 

යොහානි ළමා චරිතවලින් මඳක් මිදුණේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයෙන් කියලා කිව්වොත්?

ඔව් ඒක හරි. ඒකෙත් මම කරන්නේ ළමා චරිතයක් වුණාට ළමා සහ මුල් යොවුන් විය අතර ගෙවෙන චරිතයක්.

වයසත් එක්ක මම දිගටම ළමා චරිත තමයි මෙතුවක් කල් රංගනයෙන් දායක වුණේ. ඵඪදඨඩචපච මත් පරිබාහිර චරිතයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ සකුනි. මට මේ සඳහා ආරාධනා කළේ රන්ජන් ප්‍රසන්න මහත්මයා මේ වෙලාවේ සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර, චාමර ජයවීර සහ නාට්‍ය රචනා කරන චාලක රණසූරිය කියන මහත්වරුන් මතක් කරන්න ඕනේ.

 

සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය රඟපාද්දී ඔබ ඇතුළු ළමයින් පිරිස හොරෙන් චොකලට් කාපු කතන්දරයක් මට ආරංචි වුණා?

ඒක වුණේ එක දවසක් චොකලට් එවන සීන් එකක් තිබුණා. ඒක වෙනුවෙන් චොකලට් ගොඩක් ගෙනත් තිබුණා නාට්‍යයේ ආර්ට් ඩිපාර්න්මන්ට් එකෙන්. අපි කළේ ඒ ටික ඔක්කොම හොරෙන් කාපු එක. මොකද ඒවා දිහා බල බල නිකම් ඉන්නත් බැහැනේ. අන්තිමේ අවශ්‍ය වෙලාවට චොකලට් නැතිවෙලා ආර්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට බැනුම් අහන්නත් වුණා.

 

දැන් ඔබට දිගින් දිගටම යොවුන් චරිත සඳහා ආරාධනා ලැබෙයි?

ඔව් එහෙම හිතනවා. මේ වන විට පෞද්ගලිකව සාමාන්‍ය පෙළ හදාරනවා. ඒ අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යන ගමන් රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්නයි මං අපේක්ෂා කරන්නේ.

 

යොහානිගෙ පාසල මතක් කළොත්?

කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය.

 

උපන් දිනය?

2004 මාර්තු 17.

 

ඔබේ පදිංචිය කොහෙද?

මම කොළඹම තමයි.

 

 

මංජුල පෙරේරා