දැන් මට ඉන්දුනීසියානු රසිකයොත් ඉන්නවා

සුරේනි ද මෙල්
දෙසැම්බර් 17, 2020

 

මගේ ගීතය ඉන්දුනීසියාවේ සමාජ ශාලාවක වාදනය කරලා

සින්දුව හදන්න ඉරාජ්‍ට මාස නවයක් ගියා

“ආඩම්බරයි චැලේන්ජ්” කියලා ඒ අයම නමක් දාගෙන රැල්ලක් කරගෙන

ඒ කාලේ ඛ්ඩචපබ ඉඩධඹවල ජනප්‍රියම ගීය “ආඩම්බරයි බැලුවම නම්”

 

නටන්න ආස නිසාම තමයි නටන්න පුළුවන් විදිහේ සින්දු හදන්නේ

මැලේසියාවේ, නේපාලයේ, දකුණු කොරියාවේ, පිලිපීනයේ මේ ගීතය ජනප්‍රියයි

සින්දුවට ලක්ෂ ගණනින් වීඩියෝ හදලා

 

 

"ආඩම්බරයි බැලුවම නම්

හොරැහින් බලන්නේ ඇයි එහෙනම්

කම්මුල් සිඹින්න මගෙ හොඳ නම්

ආලෙන් වෙලෙන්න ඇයි තහනම්...."

 

මේ දවස්වල හැමෝම කතා කරන්නේ සුරේනි ගැන?

කාලෙකට පස්සෙ ආයෙමත් ඔන්න මං ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ගොඩක් මාධ්‍යවලින් මට කතා කරනවා. මේ ඔක්කොම ඉන්දුනීසියාවේ මගේ "ආඩම්බරයි බැලුවම නම්" සින්දුව ජනප්‍රිය වුණු නිසා. ඉන්දුනීසියාවේ තරුණ පිරිස අතර ඒක ටික්ටොක් චැලේන්ජ් එකක් විදිහට ජනප්‍රිය වෙලා තියනවා. ඒක "ආඩම්බරයි චැලේන්ජ්" කියලා ඒ අයම නමක් දාගෙන රැල්ලක් කරගෙන තියෙනවා. ඒ රටේ ගොඩක් තරුණයෝ මගේ සින්දුවට ලක්ෂ ගාණක් වීඩියෝ හදලා තියෙනවා. ලංකාවේවත් ඒ තරම් ගොඩක් ටික්ටොක් වීඩියෝ හැදිලා නැහැ සින්දුවට. කොහොමත් "ආඩම්බරයි බැලුවම නම්" ලංකාවේ තරුණ පිරිස් අතර දැනටත් ජනප්‍රියයි. මේ වනවිටත් මට සින්දුවට ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම කියන්නේ "ඒ සින්දුව නම් පරණ වෙන්නෙ නෑ කවදාවත්, දැනටත් මේ සින්දුව අලුත් සිංදුවක් වගේ" කියලා.

 

මේ ගීතය හැදුණේ කොහොමද?

"ආඩම්බරයි බැලුවම නම්" මම කිව්වේ මීට අවුරුදු දොළහකට කලින්. සින්දුව කියලා වීඩියෝ එක කරද්දිම මට ඒ කාලේ හිතුණා ලංකාවෙ හොඳ තැනකට මේ සින්දුව එයි කියලා. මොකද සින්දුවේ සංගීතය, පද රචනය, රූපරචනාව මේ හැමදේම හොඳ මට්ටමක තිබුණා. 2008දී මගේ පළවෙනි ගීත ඇල්බම් එක වෙන "ආදරෙයි නම්" එකට මේ ගීතය හැදුවේ. "ආදරෙයි නම්" ගීතයෙන් මට ලැබුණු ජනප්‍රියත්වය අඩු කරගන්නේ නැතුව ඒ වගේම හොඳ නිර්මාණ ටිකක් මේ ඇල්බම් එකට එක් කරන්න ඕනේ කියලා මම හිතුවා. ඒ නිසාම හොඳ සංගීතඥයන්ට කියලා හොඳ නිර්මාණ ටිකක් මම කරගත්තා. කසුන් කල්හාර, භාතිය ජයකොඩි, සුරේෂ් මාලියැද්ද, සංගීත් වික්‍රමසිංහ වගෙ හොඳ සංගීතඥයින් ටිකක් මගේ පළවෙනි ඇල්බම් එකට ගීත නිර්මාණය කළා. මේ ගීතය ඉරාජ් වීරරත්නට කරන්න දෙන්න මගේ පෙම්වතා ක්‍රිෂාන්ත (සැමියා) යොජනා කළා. මාස නවයක කාලයක් ඉරාජ් මේ ගීතය නිර්මාණය කරන්න මාස නවයක් වැය කළා. වසන්ත දුග්ගන්නාරාල අයියා තමයි මේ ගීතයේ පද රචනය කළේ. ගීතය පටිගත කරන අතරවාරයේ ඉරාජ් යෝජනා කළා මැදට සිංහල රැප් එකක් ආවා නම් හොඳයි කියලා. ඒ වෙලාවෙම මම සිංහල රැප් එක ලියලා කිව්වා. කිලබි තමයි ඉංග්‍රීසියෙන් රැප් එක කිව්වේ. මම හිතපු විදිහටම ලස්සනට ගීතය ආවා. ඊට පස්සේ අපිට රූපරචනාවක් කරන්න ඕන වුණා. ඒක කරන්න මම තෝරාගත්තේ අයේෂ් විජේරත්නව. එයා දැන් අපි අතර නැහැ. ඔහුව ආදරෙන් මම මතක් කරනවා. රූපරචනයේදී මට ඕන වුණේ මම ගීතය ගායනා කරන අතර නිරූපණ ශිල්පියෙක් එක්ක රඟපාන්න. ඊට පස්සේ මම තීරණය කරා නිරූපණ ශිල්පියා වෙනුවට නැතුව ඉරාජ්ව දාලා වීඩියෝ එක කරන්න. ඒ වෙලාවේ බොහොම අමාරුවෙන් ඉරාජ්ව ඒකට කැමති කරගත්තා මම. ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ගොඩක් අය chart show වල ජනප්‍රියම ගීතය වුණා.

 

මේ ගීතය හැදුණේ සමාජජාලා ඒ තරම් ජනප්‍රිය නැති කාලයක?

දැන් යූටියුබ් එකට සින්දුවක් දැම්මොත් වීව්ස් මිලියන ගණන් එකපාරටම එනවා. හැබැයි "ආඩම්බරයි බැලුවම නම්" ගීතය මිලියන ගාණක් බලන්න ලොකු කාලයක් ගත වුණා. මේ ගීතය ප්‍රේක්ෂකයන්ට ගියේ සමාජජාලවලින් නෙමෙයි. රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් තමයි හැමෝම මේ ගීතය ඇහුවේ. ඒ වගේම මේ ගීතය මම හැම සංගීත ප්‍රසංගයකම වගේ ගායනා කළා. එහෙම තමයි මේ ගීතය රසිකයන් අතරට ගියේ.

 

ඔබ වසර දොළහකට පෙර ගැයූ ගීයක් විදෙස් රටක රැල්ලක් වෙලා. කොහොමද සතුට?

ඇත්තටම හරිම සතුටුයි. හැමෝම දැන් ඒ ගැන කතා කරන්නේ. 2008දී මේ ගීතය හදනකොට මිනිස්සු අන්තර්ජාලය වටා හිටියේ නෑ. ඇත්තටම මම හිතුවේ නැහැ අවුරුදු දොළහකට පස්සේ මේ ගීතය මෙතරම් ජනප්‍රිය වෙයි කියලා. ඇත්තටම මට ඒ ගැන සතුටුයි. විශේෂයෙන්ම මේ ගීතය සිංහල භාෂාවෙන්ම තමයි මේ අය ගායනා කරන්නේ, අහන්නේ, වීඩියෝ හදන්නේ, ජධමඥපඵ හදන්නේ. ඒගොල්ලොන්ගෙ පද, ඒගොල්ලොන්ගෙ තනු දාලා වෙනස් කරලා නෙමෙයි මේ අය ගීතය විඳීන්නේ. ඒ වගේම මේ ගීතයට තියෙන ආසාවට ඉන්දුනීසියානුවන් මාව සමාජජාලාවල හොයාගෙන මගේ ගීතවලට හොඳ ප්‍රතිචාර දක්වනවා. මට මේ ගීතය සජීවීව ගායනා කරන්න කියලා ඔවුන් ඉල්ලනවා. දැන් ඉන්දුසීනියානු රසිකයිනුත් මේ ගීතයත් එක්ක මගේ වටේ රොක් වෙලා ඉන්නවා.

 

වසර දොළහකට පෙර සහ වර්තමානේ ලංකාවේ සංගීතය ගැනත් කතා කරමු?

ඒ කාලේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්න ටිකක් අමාරුයි. දැන් වගේ හැමෝටම ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම මගේ යූටියුබ් චැනල් එක හැදුවේ 2014දී. අපි ක්ෂේත්‍රයට එද්දි තනියම සින්දුවක් හදාගෙන යූටියුබ් එකට දාලා ජනප්‍රිය වෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. සින්දුවක් ජනප්‍රිය වෙන්න නම් අනිවාර්යෙන් රූපවාහිනී නාළිකාවල සහ ගුවන්විදුලි නාළිකාවල විකාශය වෙන්නම ඕන. මාධ්‍ය මඟින් අපේ ගීත විකාශය කරන්නේ ගීතය ප්‍රමිතියකට හදලා නම් විතරයි. ඉස්සර ගීත විකාශය කරන්න මුදල් අය කළේ නැහැ. ගීතයේ තිබුණු ලස්සනට, ප්‍රමිතියට තමයි රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකාවලින් ගීතය විකාශය කළේ. අපේ ගීත ප්‍රේක්ෂකයන් ඉල්ලනකොට දිගින් දිගටම ඔවුන් ඒ ගීත ප්‍රචාරය කළා. දැන් දවසකට ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඒ අතර ලස්සන සින්දු හැදෙනවා. ඒ සින්දු අන්තර්ජාලය මගින් ඕනෙම කෙනෙක්ට දැන් අහන්න සලස්වන්න පුළුවන්. හැබැයි වැඩි කාලයක් පවතින්නේ හොඳීන් රසිකයන්ට විඳීන්න පුළුවන් ගීත විතරයි. වර්තමාන ගීත ක්ෂේත්‍රය කලින්ට වඩා හොඳ තැනක තියෙනවා. විශේෂත්වය වෙන්නේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය නිසා දැන් ඕනම ගායකයෙකුට ලේසියෙන් ක්ෂේත්‍රයට එන්න පුළුවන් වීම. දැන් තරුණ පිරිස ඉතා දක්ෂයි. ඔවුන්ට ඉතාම ලේසියෙන් තමන්ගේ නිර්මාණ රසිකයන්ට විඳීන්න දෙන්න පුළුවන්.

 

සමහරු කලාවෙන් ජාත්‍යන්තරයට යන්න බැහැ කියනවා?

ඒක තියෙන්නෙ වාසනාවත් එක්ක කියලා මම හිතන්නේ. මගේ මේ ගීතය ඉන්දුනීසියාවේ සමාජ ශාලාවක වාදනය කරල තියෙනවා. ඒක අහගෙන හිටපු DJ කෙනෙක් ගීතය නටන්න පුළුවන් විදිහට Remix කරලා. ඒ ගීතය තමයි හැමෝම අතර රැල්ලක් වුණේ. ජාත්‍යන්තරයට යන්න පුළුවන් තත්ත්වයේ නිර්මාණ කළොත් එතැනට එකට යන්න පුළුවන්. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. මේ ගීතය ඒ අයට හිතට වැදුණු ගීතයක් වුණා. ඒක ඔවුන් ආදරයෙන් වැලඳගත්තා. ගොඩක් අය කියලා තියෙනවා "ආඩම්බරයි බැලුවම නම්" ගීතය 2020දිත් අලුත් කියලා. හොඳ නිර්මාණයක් කළොත් ජාත්‍යන්තරයට අරගෙන යන්න බැරි කමක් නැහැ. මේක නම් වාසනාවට වෙච්ච දෙයක්. අපේ රටේ ගොඩක් ලස්සන ගීත හැදෙනවා. විදේශයන්ගේ ජනප්‍රිය කරන්න අමාරුයි. ඒ අයගේ රසවින්දනයට මේ ගීතය ගැළපෙන්න ඇති කියලා මම හිතනවා. ඉන්දුනීසියාවේ විතරක් නෙමෙයි, මැලේසියාවේ, නේපාලයේ, දකුණු කොරියාවේ, පිලිපීනයේ මේ ගීතය ජනප්‍රියයි. මේ ගීතය වගේම හැමෝගෙම හොඳ ගීත ඒ වගේ විදේශ රටවල ජනප්‍රිය වෙනවා නම් මම කැමතියි. ඔවුන් මේ හරහා අපේ කලාකරුවන්ගේ අනිත් නිර්මාණත් රසවිඳීන්න පටන්ගනීවී. දැනටත් ඔවුන් සිංහල ගීත ටික ටික අහනවා.

 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සහයෝගය ලැබුණාද?

ප්‍රවීණයන් එක්ක මට ලොකුවට වැඩ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ජ්‍යේෂ්ඨ කලාකරුවන් එක්ක වැඩ කරන්න මගේ ලොකු ආසාවක් තියෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතරින් මට වැඩ කරන්න ලැබුණේ සංගීත් වික්‍රමසිංහ, සුරේෂ් මාලියැද්ද, වසන්ත දුග්ගන්නාරාල, ඩෙන්සිල් නුගේගොඩ වගේ අය සමඟ විතරයි. මාව අගය කරපු ප්‍රවීණයෝ ගොඩක් ඉන්නවා. ඒ කාලේ ක්ෂේත්‍රයට අලුතෙන් ආපු අයට ගොඩක් දෝෂාරෝපණ තිබුණට මට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

අනිත් ගායිකාවෝ වගේ නෙමෙයි, සුරේනි තමගේ ගීතවල රූපරචනාවේ හරි හරියට නැටුවා?

නර්තනය කියන්නේ මම ගොඩක් ආස දෙයක්. ගායනයට වගේම මම නර්තනයටත් ගොඩක් ආසයි. ගායනයටද නර්තනයටද වැඩිපුර ආස කියලා ඇහුවොත් මම කියන්නේ මේ දෙකටම එක වගේ කැමතියි කියලා. සමහර වෙලාවට නර්තනයට වැඩියෙන් කැමතියි කියලත් හිතෙනවා. මම නටන්න ආස නිසාම තමයි නටන්න පුළුවන් විදිහේ සින්දු හදන්නේ. ඒ තරම් මම නැටුම්වලට කැමතියි. මම නටන්නෙ මගේ ගීතවලට විතරයි. ඉස්කෝලෙදි මම උඩරට නර්තනය හැදෑරුවා. මම සෞන්දර්ය සඳහා ඉගෙනගත්තෙත් නර්තනය. සංගීතය නෙමෙයි. මගේම ගීතවල රූපරචනයට මම නටන එක ගැන කවුරුත් මට මොකුත් කිව්වේ නැහැ. ඒ ගැන සෘණාත්මක ප්‍රතිචාරයක් කවදාවත් මට ලැබිලා නැහැ. ඒක වෙනසක් වුණා. මගේ ගායනය වගේම නර්තනයත් හැමෝම අගය කළා.

 

නිලන්ති ඩයස් කියන්නේ සුරේනිගේ කවුද?

නිලන්ති ඩයස්ගේ සීයයි (අම්ම්ාගේ තාත්තා) මගේ සීයයි (අම්මාගේ තාත්තයි) සහෝදරයෝ. අපි ඥාති සහෝදරියෝ. අපි දෙන්නගේ ගොඩක් සමානකම් තියනවා. අපි දෙන්නා ගොඩක් සමීප වුණේ එක්තරා රූපවාහිනී වැඩසටහනක් නිසා. අපි කොච්චර නෑදෑයෝ වුණත් අපි දෙන්නා ක්ෂේත්‍ර දෙකක හිටපු නිසා ඒ තරම් හමුවුණේ නැහැ. ඒ වැඩසටහනේදී තමයි අපි අපි ගැන ගොඩක් දේවල් දැනගත්තේ. නිලන්තියි මමයි ගොඩක් සමානයි කියලා අපිට වැටහුණා. නිලන්තිටත් ඉන්නේ දුවෙක්. මටත් ඉන්නේ දුවෙක්. අන්තිමටම බලනකොට අපි දෙන්නගෙ දුවල දෙන්නගෙ උපන්දිනත් එකම දවසේ තියෙන්නේ. ඒ ගැන දැනගත්තාම අපි පුදුම වුණා. ගති පැවතුම්වලින් පවා අපි දෙන්නගේ සමානකම් තියෙනවා. මම ගොඩක් ආදරේ කරන මගේ ඥාති සහෝදරියක් නිලන්ති කියන්නේ.

 

සුරේනි කියන්නේ හොඳ අම්මෙක්?

ඔව්. මට ඉන්නේ දුවෙක්. දුවෙකුගේ වගකීමක් කියන්නේ අම්මෙක්ට මහමෙරක් වගේ දෙයක්. එයා ගැන ගොඩක් විමසිල්ලෙන් ඉන්න ගමන් තමයි මගේ සංගීත වැඩ කටයුතු කරන්නේ. එයා වෙනුවෙන් කාලය ගොඩක් වෙන් කරන අතර සංගීත වැඩත් කරනවා කියන්නේ ලොකු කැප කිරීමක්. ඒත් කොහොමහරි කරනවා. දැන් මගේ දුව ටිකක් ලොකුයි. මගේ වැඩවලට ගොඩක් උදවු එයාගෙනුත් ලැබෙනවා.

 

උදවු කරපු අය මතක් කරමු?

මුලින්ම මගේ ගෙදර අයව මතක් කරන්න ඕනේ. මගේ අම්මා 70 දශකයේ හොඳ ගායිකාවක්. එයා ශෙරිල් කුරුප්පු. එයා 70 දශකයේ සංගීත කණ්ඩායම් එක ඉංග්‍රීසි ගීත ගායනා කළා. ඒ ආභාසයත් එක්ක අපේ මුළු පවුලටම ගීත ගායනා කරන්න පුළුවන්. මම රැකියාවක් කරපු කෙනෙක්. මට ගායිකාවක් වෙන්න ඕනේ වුණේ නැහැ. එක තැනකදී ඒ ඒකාකාරී ජීවිතය එපා වෙලා මගේ ගමන් මාර්ගය වෙනස් කරගන්න හිතාගෙන මම ගීතයක් ගායනා කළා. මුලින්ම "ආදරෙයි නම්" ගීතය ගායනා කළා. සෙන්ටිග්‍රේඩ්ස්ලාගේ තුසිත් නිරෝෂන් තමයි සංගීතය නිර්මාණය කළේ. මම හදපු තනුවකට මමම ලියාගත්ත ගීතයක් ඒක. මගේ ස්වාමියා ක්‍රිෂාන්ත ද සිල්වා දිගු කලක් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. එයාගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා මට. මගේ තාත්තා අපි අතර දැන් නැහැ. එයා ඉන්නකොටත් මට ගොඩක් උදවු කළා. ඒ වගේම මගේ සහෝදරයෝ දෙන්නටත් ස්තූති කරනවා මම. ක්‍රිෂාන්තගේ යාළුවෝ මට ගොඩක් උදවු කළා. ඒ හැමෝමත් මේ වෙලාවේ මම මතක් කරනවා. සංගීත ක්ෂේත්‍රයේ මට උදවු කරපු, මගේ හැම ගීතයකම සංගීතය, පදරචනය, රූපරචනය මේ හැමදේම කරපු හැම කලාකරුවෙක්ටම මම ස්තූතියිවන්ත වෙනවා. මේ හැම කෙනෙක්ම මට උදවු කරපු නිසා තමයි අද මම මෙතන ඉන්නේ.

 

ආපසු හැරිලා බලද්දි ආපු දුර ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සන්තෝසයි. ගොඩක් දේවල් මට ලැබුණා. සමහර වෙලාවට අපේක්ෂා නොකළ දේවල් මට ලැබෙනවා. මේ දවස්වල වෙන්නෙ මම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක්. මගේ ගීතයක් අවුරුදු දොළහකට පස්සේ පිටරටක රැල්ලක් වෙයි කියලා කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ජාත්‍යන්තරයට යන්න ලොකු ආසාවක් තිබුණා මුල් කාලයේ. ටිකක් කාලයක් යද්දි කාර්යබහුලත්වය එක්ක ඒ අදහස ටිකෙන් ටික ඈත් වුණා. ඒත් දැන් මගේ අලුත් ගීතවලට හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. ඒවා දකිනකොට මට හිතෙනවා තව තවත් නිර්මාණ කරන්න ඕනේ කියලා.

 

ක්ෂේත්‍රයට එන තරුණ පිරිසට මොකක්ද කියන්න තියෙන්නේ?

දැන් ක්ෂේත්‍රයේ අවස්ථා වැඩියි. ගොඩක් අවස්ථා හැමෝටම තියෙනවා. හැම නාළිකාවකම රියැලිටි තරග තියෙනවා. ලේසියෙන් ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒවායින් ප්‍රයෝජන ගන්න කියලා මං ඒ අයට කියනවා. ඉක්මනින් ජනප්‍රිය වෙන්න පුළුවන්. හැබැයි ඒ ජනප්‍රියත්වය රඳා පවත්වා ගන්න අමාරුයි. ඒකට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. රැල්ලට යන්නේ නැතුව අලුත් දෙයක් කරලා රැල්ලක් නිර්මාණය කරන්න මහන්සි වෙන්න ඕනේ. මම ක්ෂේත්‍රයට එනකොට හිප්හොප් ගීත ගයන ගායිකාවෝ හිටියේ අඩුවෙන්. ඒ නිසයි මමත් වෙනස් විදිහේ ගීත ගැයුවේ. කරන වැඩේ හරියට කළොත් හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි.

 

සුරේනි ඉස්සරහට තවත් රැලි හැදෙන වැඩ කරයිද?

ඒක කියන්න බැහැ. අලුත් නිර්මාණවලින් රැල්ලක් හදන්න පුළුවන්. මගේ ඊළඟ ගීතය "අයැදිමි සමා" කියලා මෙතෙක් ගයපු ආරට වඩා ටිකක් වෙනස් ගීතයක්. ඒක ලිව්වේ අචල සොලමන්ස්. රූපරචනාව කළේ රමේෂ් මලින්ත. මම මෙච්චර කල් සින්දුවල නැටුවා. මේ සින්දුවේ මම නටන්නේ නැහැ. මේක ටිකක් මන්දගාමී සංගීතයත් එක්ක යන ගීතයක්. මගේ අනිත් ඒවා වගේ වේග රිද්ම ගීතයක් නෙමෙයි.