එදා මම දුව ඔහු තාත්තා. අද මම බිරිය ඔහු සැමියා

සංගීතේ ටෙලි සිතුවමේ අසෙනිගේ මව,ඉන්දිකා සුබසිංහ
දෙසැම්බර් 17, 2020

ඇගේ එකම අරමුණ වූයේ නිවේදිකාවක් හා රංගන ශිල්පිනියක් වීමයි . ඒ නිසාම එවකට ජාතික රූපවාහිනියට නිවේදක, නිවේදිකාවන් බඳවා ගන්නා බවට කළ දැන්වීමට අනුව ඇයද එයට අයැදුම් කළාය. පැවති තිර පරීක්ෂණයෙන් සමත් වීමෙන් අනතුරුව ඇය ජාතික රූපවාහිනියෙන් සෑම දිනකම උදෑසන විකාශනය වන ජනප්‍රියතම වැඩසටහක් වන “නුග සෙවණ” ඇතුළු විවිධ වැඩසටහන් රැසකින්ම ප්‍රේක්ෂකයින් හමුවුවාය. එතැනින් නොනැවතුණු ඇය රංඟන ශිල්පිනියක් ලෙසද ජාතික රූපවාහිනියෙන්ම නිෂ්පාදනය කළ ටෙලිනාට්‍යයක් සඳහා ප්‍රධාන චරිතයටම තෝරා ගන්නා ලදී . එතැන් සිට මේ දක්වා දශක දෙකකටත් වැඩි කාලයක් රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් ලෙස ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට ඇය සමත් වූවාය. දෙරණ නාළිකාවේ සංගීතේ ටෙලිනාට්‍යයේ අසෙනිගේ මව හෙවත් සේමිණී ලෙසින් මේ දිනවලදී ඇය අපේ ආලින්දය සරසයි. මෙතුවක් හඳුන්වාදුන් මේ කලාශිල්පිනියගේ නම ඉන්දිකා සුභසිංහය.

 

පුවත්පත් සාකච්ඡාවකට ඔබ මෙහෙම එකතු වෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ නේද?

ඒකනේ.. වසර දහයකටත් පස්සේ වගේ, ඊටත් වැඩිද මන්දා .

 

සංගීතේ සහ සිහිනි නාට්‍ය නිසා ඔබ ආයෙත් ප්‍රේක්ෂකයෝ අතරට ඇවිත්?

ඔව්. කාලයක් ටිකක් නිහඬව හිටියා. නමුත් හැමදාම එහෙම ඉන්නත් බැහැනේ. කාලයක් මතක හිටින චරිතවලට තමයි මම කොහොමත් දායක වුණේ. මේ නිර්මාණත් එහෙමයි කියලා මම හිතනවා. සිහිනි නම් මේ වන විට නිමා වෙලා තියෙන්නෙ. නමුත් ඒ චරිතයට ප්‍රතිචාර තවමත් ලැබෙනවා. සංගීතේ ටෙලි නාට්‍යයේ අසෙනිගේ අම්මා හෙවත් සේමිණි චරිතයට අන්තර්ජාලය හරහාත් ප්‍රතිචාර රාශියක් ලැබෙනවා. ඒ චරිතය රඟපාද්දි ඇතැම් අවස්ථාවල ඇයි ඔය වගේ කටයුතු කරන්නේ කියලා ප්‍රේක්ෂකයින් මගෙන් අහනවා. මම ඔවුන්ට පැහැදිලි කරලා අන්තර්ජාලයට පිළිතුරක් දැම්මා මම ඒ නාට්‍යයේ චරිතයේ හැටියට රඟපාන විදිහ ඒ චරිතයට විතරයි කියලා.

 

සංගීතේ නාට්‍යය සඳහා ඔබට ආරාධනාව ලැබුණේ කොහොමද?

අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්න කාලේ ඉඳලා මම ඔහු හඳුනනවා. හිතවත් කම එක්කයි මට මේ චරිතයට ආරාධනා ලැබෙන්නේ.

ඔහු අධ්‍යක්ෂණය කරන දෙවැනි ඉනිම නාට්‍යයටත් මට ආරාධනා ලැබුණා. යම් යම් පෞද්ගලික හේතු නිසා මට ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්න බැරි වුණා.

 

සංගීතේ ඔබේ සැමියා ශ්‍රියන්ත මෙන්ඩිස්. කාලෙකට පෙර ඔබ ඔහුගේ දියණිය හැටියට රඟපෑවා නේද?

හිරු සොයා නාට්‍යයේ තමයි මම එහෙම රඟපෑවේ. ශි‍්‍රියන්ත අයියා මගේ තාත්තා, මම දුව. කාලෙකට පස්සේ ඔහු මගේ සැමියා ලෙස රඟපානවා. ඒකත් හරිම දෛවෝපගත සිදුවීමක්.

 

මම නිවැරදි නම් ඔබ පූර්ණකාලීන රංගන ශිල්පිනියක්?

ඔව්. මුලින්ම නිවේදන කටයුතු කරන අතරතුර මට ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. මේ ගමන පටන් ගත්තේ ජාතික රූපවාහිනියෙන් නිෂ්පාදනය කළ එරංග සේනාරත්න මහතාගේ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන්න මාව තෝරාගැනීමත් සමඟ. එහි ජයනි සේනානායක, අමිල අබේසේකර යන අයත් රඟපෑවා. එතැන් සිට මම රංගනයෙන්ම පමණක් කාර්යබහුල වුණා. ඊට පස්සේ නිවේදන වැඩ වෙනුවෙන් කාලය යොදවන්න අමාරු නිසා මම පූර්ණ කාලීන රංඟන ශිල්පිනියක් බවට පත් වුණා.

 

මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂවරුන් යටතේ ඔබට රඟපාන්න ලැබෙනවා?

ඒක එක් අතකින් මම ලබපු වාසනාවක්. හැම නිළියකුටම ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ.

නාලන් මෙන්ඩිස්, සුමිත් කුමාර වගේ ලංකාවේ ප්‍රකට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන් රැසකගේ නිර්මාණවල මට රඟපාන්න අවස්ථාව ලැබුණා . ඒ වගේම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, තිර රචක හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ තිස්ස අබේසේකර මහතා නිර්මාණය කළ වෙළෙඳ දැන්වීමකත් රඟපාන්න තරම් මම භාග්‍යවන්ත වුණා. එය බෙහෙවින් ජනප්‍රිය වී ඇගයීමට පවා ලක් වුණා.

 

මේ දක්වා නිර්මාණ කීයකට විතර රංගනයෙන් දායකවෙලා තියනවද?

ටෙලිනාට්‍යය නම් 100ක විතර රඟපාලා තියෙනවා . ඊට අමතරව වෙළෙඳ දැන්වීම් , වේදිකා නාට්‍යයවලටත් සිනමාව පැත්තෙන් නම් චිත්‍රපට තුනක විතරක් තමයි රඟපෑවේ. නිළියන් පමණක් රඟපාපු සේයා චිත්‍රපටයෙත් මම රඟපෑවා. දිල්හානි අශෝකමාලා, දීපානි සිල්වා, උදාරි පෙරේරා යන අයත් ඒකේ හිටියා . තවත් මම එක නිර්මාණයක ෆාතිමා කියලා මුස්ලිම් කෙනෙක්ගේ චරිතයක් රඟපෑවා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ප්‍රසිඩන්ට් ස්ටාර් (ර්‍ථපඥඵඪඤඥදබ ඉබචප) කියන චිත්‍රපටයත් ඒ අතර විශේෂයි.

 

අලුත් නිර්මාණයකට ඇරයුම් ලැබුණේ නැද්ද?

කතා කළා. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ අලුත්ම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අරම්භ කරන්න සුදානම් වෙලා හිටියේ. කොරෝනා තත්වය නැවත හිස එසවීම නිසා ඒ කටයුත්තක් නැවතුණා.

 

ඔබේ පවුලේ විස්තර මොනවද ?

අම්මයි, තාත්තයි, මමයි, නංගිලා දෙන්නයි, මල්ලියි . මගේ අම්මා නැති වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා . අම්මා අවසන් හුස්ම යනකොටත් මං අම්මා ගාවමයි හිටියේ .(ඇය සංවේදී වී හඬයි .ඇය එතරම්ම තම මවට ආදරය ඇති දියණියකි).