රංගනයට වැඩිය, මගේ ඇඳුම් ගැනයි විවේචන මට ලැබෙන්නේ

නව පරපුරේ රංගන ශිල්පිනී ගයාත්‍රී දිසානායක
දෙසැම්බර් 24, 2020

මුතුලෙන්දොර සහ නීල පබළු නරඹන ඔබට මේ රුවැත්තිය ආගන්තුක වන්නේ නැහැ. මුතුලෙන්දොර, තාරා ලෙසට ඔබට සමීප වන අතර ඇය නීල පබළුහි රොමේන්ට පණ පොවමින් පුංචි තිරය හැඩ කරනවා. ඇගේ නම ගයාත්‍රී දිසානායක. රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇය පසුගිය වසරේ පැවැත්වුණු miss tourism international  තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා.

 

ගයත්‍රි ඔබ රඟපාන්නට පිවිසි අන්දම ගැන මතක් කළොත්?

මම රංගනයට ආසයි. ඒ හින්දා වැඩිදුර හදාරන්න මහේන්ද්‍ර පෙරේරා සහ දමයන්ති ෆොන්සේකා නැමැති ගුරුවරුන්ගේ රංගන පාඨමාලාවන් වලට සහභාගි වෙමින් හිටියා. ඒ අතරතුර දී මාව දැකලා එක්තරා නාට්‍යයකයට කතා කළා. එකේ රූපගත කිරීම් ද මඳක් සිදුවුණා. නමුත් ඒ නාට්‍ය සම්පූර්ණ කෙරුණේ නැහැ. ඊට පස්සේ ඒ නිෂ්පාදන කණ්ඩායමෙන්ම නිර්මාණය කළ මිල්ලෑව වලව්ව නාට්‍යයේ මම චරිතයක් කළා. එක තමයි මගේ දෙවැනි නාට්‍යය. නමුත් මුළින්ම විකාශය වෙච්ච පළවෙනි නාට්‍යයත් ඒක. කොළඹ සන්නිය පඥබභපදඵ කියන චිත්‍රපටයේ රඟපෑවා. රන් කිරි අම්මා වගේ නිර්මාණවලට දායක වෙලා ටික කාලයක් නිහඬව හිටියා. හැබැයි ඒක මම හිතලා ගත්තු තීරණයක් නෙමෙයි. එක දිගට නිර්මාණවලට කතා කතාකළත් යම් යම් ප්‍රශ්න හින්දා මට ඒව මග හැරුණා. අනික රංගනය සඳහා ලැබෙන සෑම ආරාධනාවක් මං බාර ගන්නෙ නැහැ. මට ගැළපෙනවා නම් පමණයි මං ඒ චරිතයට යන්නේ. හිතන මතලා බාරගත්තු නිර්මාණ දෙකක් තමයි මුතුලෙන්දොර සහ නීලපබළු කියන්නේ.

 

කොහොමද ඒ චරිත දෙක සඳහා ලැබෙන රසික ප්‍රතිචාර?

අම්මෝ ඒකනම් කියලා වැඩක් නෑ. විවිධ අන්දමේ ප්‍රතිචාර මට ලැබෙනවා. ඒ අතර අඩු පාඩු කියන අයත් නැතුවාම නෙවෙයි.

 

මොනවද කියන අඩුපාඩු?

රංගනයේ අඩුපාඩු වලට වැඩිය බොහෝ දෙනෙකු මට විවේචන ඉදිරිපත් කරන්නේ මගේ ඇඳුම් පැලඳුම් පිළිබඳයි. මොකද සිරුර ටිකක් නිරාවරණය වන අන්දමේ කොස්ටියුම් තමයි මම ඒ චරිත සඳහා භාවිත කරන්නේ. බොහෝ අය විවේචනය කරන්නෙත් ඒකමයි. මම ඒ ඇඳුම් පාවිච්චි කරන්නේ ඒ චරිත සඳහා ගැළපෙන නිසා. නැති නම් වැඩක් නැහැනෙ.

 

ඇඳුම් පැලඳුම් සම්බන්ධ ඔබේ වාරණ නැද්ද?

තියෙනවා, නැතුව නෙමේ. චරිතයට ගැළපෙන ඇඳුමක් තියෙනවා නම් අපි ඒකත් අඳින්න ඕනේනේ.

 

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් සඳහා ඔබට ආරාධනා ලැබුණොත් මොකද කියන්නේ?

සිරුරු නිරාවරණය වන ඇඳුම් පැලදුම් අඳීනා චරිත රඟපෑවත් මම අර වගේ ආරාධනාවක් නම් ප්‍රතික්ෂේප කරයි. නමුත් වැඩිහිටියන්ට පමණයි තේමාව යටතේ නිරුවත් හෝ වෙනත් දර්ශන නැති කලාත්මක ගණයේ නිර්මාණයක් වෙනවා නම් ඒක මම බාර ගන්න ඉඩ තියෙනවා.

 

රංගන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරද්දී හිත රිදෙන අවස්ථාවන් ආවම මොකද කරන්නේ?

ඇත්තටම හිත රිදෙන අවස්ථාවන් අනන්තවත් සිදු වෙනවා. විශේෂයෙන්ම අපිට චරිත සඳහා කතා කරලා ඒවායින් හිමීට අයින් කරල දාපුවාම හිතට පොඩි දුකක් ඇති වෙනවා. නමුත් කාලයත් සමග ඒ දුක ඉබේම යටපත් වෙලා යනවා.

 

ක්ෂේත්‍රය තුළින් ඔබට විවාහ යෝජනා ඇවිත් තියෙනවද?

ඔව්. සුහදව ඒ ඔක්කොම ආරාධනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා එකක් හැර.

 

මේ වන විට ඔබ ස්වේච්ඡා සේවයක් විදිහට යම් කාර්යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ගැන වැඩි විස්තර කතා කළොත්?

මම miss tourism international  තරගාවලියේ ජයග්‍රහණය කළායින් පසුව තමයි ඒ සඳහා ආරාධනාව ලැබුණේ. ආරක්ෂක අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශයට එක්ක එකතුවෙලා බිඟු සම්පත් සුරැකීමේ වැඩසටහනක් කර ගෙන යනවා. මම ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා කලා ශිල්පිනියක් විදිහට. මගෙන් එයාලා මුලදී ඇහැව්වා ඒ සඳහා කොපමණ මුදලක් අවශ්‍යද කියලා. මේ ව්‍යාපෘතිය අරමුණ රණවිරුවන්ගේ සුබසාධනය. රණවිරුවන් වෙනුවෙන් කරන වැඩ සටහනක් නිසා මම කිසිම මුදලක් අය නොකර මේ ප්‍රොජෙක්ට් එකට සහයෝගය දුන්නා.

 

ගයත්‍රි ගේ ගම කොහෙද?

මම රාගම.

 

ඉගෙන ගත්තු පාසලත් මතක් කළොත්?

කඩවත විද්‍යාලෝක විදුහලින් තමයි මම ඉගෙන ගත්තේ.

 

උපන් දිනය?

1995 පෙබරවාරි 28.

 

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

මම අතිශය සරල කෙනෙක්.

 

 

කසුන් ශානක