සිනමාවේදී රැවටිලි බෑ

විශිෂ්ට රංගධාරිණි වීණා ජයකොඩි
දෙසැම්බර් 24, 2020

අම්මාගෙම දරුවා හැටියට මම රඟපාලා තියෙන්නේ මාස පහෙන්.

අපි අලුත් අයට සහයෝගය දක්වන්න ඕනෙ.

ටෙලි නාට්‍ය තමයි මේ කාලේ යමක් කියන්න තියෙන ප්‍රබලම මාධ්‍යය

 

"අම්මා තමයි මම ඉපදෙන්න ඉස්සෙල්ලා ඉඳන්ම මාව චිත්‍රපට නිළියක් කරන්න හිතලා තියෙන්නේ. තරුණ කාලේ අම්මා හින්දි චිත්‍රපටයක් බලන්න ගියාම ඒකේ ඉඳලා තියෙනවා නිළියක් සන්ධ්‍යා කියලා. මම හිතන්නේ සන්ධ්‍යා රෝයි වෙන්න ඇති. ඉතින් හිතුවලු මටත් දුවක් ලැබුණොත් සන්ධ්‍යා කියලා නම දානවා කියලා. මගේ නම වර්ජිනි සන්ද්‍යා වුණේ බෞතිස්ම කරද්දි ලැබුණු වර්ජිනි කොටසයි අම්මගේ සිහිනය සැබෑවීමයි එකතුවෙලා"

සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනී වීණා ජයකොඩි බොහෝ කලකට පසු සරසවිය සමඟ ළෙංගතු කතා බහකට එක්වෙමින් සිහිපත් කළේ සුපුරුදු පිබිදුණු සිනාවෙන් මුව සරසමිනි.

ඇගේ විශිෂ්ට රංග ලීලාව සඳහා හොඳම නිළිය සහ හොඳම සහාය නිළිය ලෙස සරසවිය, ඕසීඅයිසී, ජනාධිපති වැනි සිනමා සම්මාන රැසකින් පිදුම් ලැබූ ගමන අරඹන විට යන්තම් ඇයට වයස මාස පහක් පිරුණා පමණි. රෝහිණී ජයකොඩි නම් වූ රංගන ශිල්පිනිය සහ චිත්‍රපට අධ්‍යක්ෂිකාව වන සිය මවගේ තුරුල්ලේ සිටම මවගේ සිහිනය සැබෑ කරමින් සන්ධ්‍යා දියණිය රිදී තිරයට එක් වූවාය.

 

"අහංකාර ස්ත්‍රි චිත්‍රපටයේ රවීන්ද්‍ර රූපසිංහගේ චරිතයේ කුඩා කාලයට ළමයෙක් හොයමින් ඉද්දි අම්මාගෙම දරුවා හැටියට මම රඟපාලා තියෙන්නේ මාස පහෙන්. ඉස්සෙල්ලාම ඉඳගත්තේ, ඉස්සෙල්ලාම කතා කළේ, ඉස්සෙල්ලාම ඇවිද්දේ ඒ චිත්‍රපටයෙදි තමයි.

ඉස්කෝලෙ යන කාලෙත් මාව අම්මා හරියට ධෛර්යවත් කළා නැටුම් එහෙම ඉගෙන ගන්න. ප්‍රමිලා කුරුප්පු, දයා නෙල්ලම්පිටිය, රුද්‍රාණි ලියනගේ ළඟ නැටුම් හැදෑරුවා. ප්‍රමිලා ආන්ටිගෙ අම්මාත් හින්දි චිත්‍රපටවල පවා නැටුම් නිර්මාණය කළ කෙනෙක්. එයා සමඟත් නැටුම් කරන්න මට අවස්ථාවක් ලැබුණා. පස්සේ ශ්‍රීමතී රසාදරී ළඟ කතකලි නැටුම් ඉගෙන ගත්තා. එතුමිය මට අම්මා කෙනෙක් වගේ හරි ආදරෙන් ඉගැන්නුවේ. කතක්වලට සින්දු එහෙම කියන්න ඕනෙ නිසා මම ගායනය වගේම හින්දි ලියන්න කියන්න ඉගෙන ගත්තා. මගේ කරුමෙටද මන්දා එයා නැති වුණාම මම නැටුම් කියන සමස්තය අතහැරලා දැම්මා.

ඒත් ජෝතිපාල එක්ක ගැයුව අල්ලේ ඇඳී රේඛා, විජය නන්දසිරි එක්ක කීව ආලිංගන ප්‍රිය සාදයේදී හමු වෙලා ගීතය එහෙම නම් තාමත් ගුවන් විදුලියේ ඇහෙනවා. දැන් නම් ඉතින් නානගමන් බාත්රූම් එකේ සින්දු කියන්නේ මාන්සියට කාන්සියට විතරයි."

ඇය යළිත් සිනාසෙන්නීය. රිදී තිරය මෙන්ම ඇය වේදිකාව හා පුංචි තිරයද ජයගත්තියක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

"මම පුංචිම කාලේ විජය කුවේණි නාට්‍යයේ අම්මා කුවේණි වෙද්දි මම දුව ලෙස රඟපෑවා. ඒක ලොකු නාට්‍ය ප්‍රසංගයක්. රූබි (ද මැල්) ආන්ටි සංවිධානය කළේ. රුක්මණී දේවි, එඩී ජූනියර් එහෙමත් සින්දු කීවා. පාසලේදිත් මම කුණ්ඩල කේශී නාට්‍යයේ කිසා කියන චරිතය කළා. එතකොට මම ගියේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට. සිවම්මා ධනපාල කරද්දි මම ඩේසි ඇන්ටි (රුක්මණි දේවී) ඉන්න කාලේ කළේ ගුණපාලිගෙ චරිතය. දොන් සිරිසේනයි මමයි හිටියේ. ඩේසි ඇන්ටි නැති වුණාට පස්සේ මට සිවම්මාගේ චරිතය ලැබුණා. ඊට පස්සේ සිරිපාල හා රන් මැණිකා, ද්විත්ව වගේ නාට්‍යවල රඟපෑවා. උරුවිසි නාට්‍යය සඳහා මට සම්මානත් ලැබුණා. ඒත් කාලය සහ දුර ගමන්වලදි, අපට තිබෙන පහසුකම් අඩු නිසා මට අසනීප වෙන්නත් ගත්තාම වේදිකාවට සමු දුන්නා.

මැදිරියක් තුළ කළ හෙන්රි ජයසේනගේ අත්තබිඳෙයි ටෙලි නාට්‍යයෙන් පස්සේ මම දූදරුවෝ වගේ ටෙලි නාට්‍ය රැසක ඉඳලා මෑතක සුදු ඇඳගෙන කළු ඇවිදින්, කැන් යූ හියර් මී, කැලෑ හඳ වගේ ටෙලි නාට්‍ය දක්වාම රංගනයෙන් දායක වුණා. හැබැයි මම ගොඩාක් ආදරේ සිනමාවට. මුලින්ම කොහොමද වැඩේ චිත්‍රපටය ඇතුළේ වෙසක් නාට්‍යයක කොටසක මමයි විනී රන්වලයි රඟපෑවේ. හැංගි හොරා චිත්‍රපටය අම්මා කරද්දි ඉස්කෝලෙන් රඟපෑම තහනම්. ඉස්කෝලෙට හැංගි හොරා තමයි හංසරාණි කියන ගීතයට නැටුවේ. "

අප්සරා තනද්දී ඇය අප්සරාවක් බඳු නේදැයි ඇසූ ම‌ට ඇය කීවේ

"අප්සරාවක් කෙසේවෙතත් මම චීස් බෝලයක් වගේ මහතයි. අප්සරා චිත්‍රපටයේ පළමුවෙනි දර්ශනයේම මට රඟපාන්න වුණේ ගාමිණි ෆොන්සේකා සහ ෆ්‍රෙඩී සිල්වා එක්ක. ගාමිණි ෆොන්සේකා කියන්නේ ඒකාලේ සිනමාවේ ඉහළම තලයේ සිටි කෙනෙක් නිසා මගේ හිත ගිඩි ගිඩි ගාන්න ගත්තා. ඒ තිගැස්ම අදත් කැමරාවක් ඉස්සරහට එද්දි මට දැනෙනවා. පළමු ටේක් එකේ තමයි මගෙ ස්වභාවිකම රංගනය එන්නේ. ඒක නොගත්තොත් මට පොඩි අවුලක් දැනෙනවා. අනෙක සංවේදී දර්ශනවලදි ග්ලිසරින් දාලා අඬන්න මම කැමති නැහැ. ඒකේ හරි වියළි ගතියක් තිබෙන්නේ. මිස්ට ෆොන්සේකාම තමයි මට විශ්වවිද්‍යාලයක් වගේ ඒ හැම‌ දේම කියලා දුන්නේ. එතුමාගේ ඒ ගුරුහරුකම් තාමත් දර්ශන තලයකට යද්දි මතක් වෙනවා. ඒ වගේ කෙනෙක් එක්ක විශාල චරිත සංඛ්‍යාවක් රඟපාන්න ලැබීම මගේ වාසනාවක්.

මිස් මල්ලිකා චිත්‍රපටයේ මට තිබුණා මිස්ට ෆොන්සේකාට හයියෙන් කම්මුලට ගහන්න. කොහොමද මම එයාට ගහන්නේ? මම වේගයෙන් අත අරගෙන ආවට කම්මුල කිට්ටු වෙද්දි වේගය අඩු වෙනවා. ඔහොම ටේක් හතඅටක් යද්දි මිස්ට ෆොන්සේකා කිසිම හේතුවක් නැතුව මට බනින්න ගත්තා. සෙනඟ ඉස්සරහ අනංමනං කියද්දි මට දුකයි ලැජ්ජයි. ඒ පාර ඇස් දෙක පියාගෙන මම හිතුවා හරි දෙන්නම් වැඩේ කියලා. ඒ ටේක් එකේදි ඇස් වහගෙන කම්මුලට ඇදලාම ඇරියා. 'ඕකේ' කියනවා ඇහුණා. පස්සේ මිස්ට ෆොන්සේකා මට කීවා. 'සමාවෙන්න මම එහෙම කීවේ ඔයාගෙන් අවශ්‍ය රංගනය ගන්න නිසා' කියලා. විශේෂයෙන් සමීප රූපයකදි පහරකින් කම්මුලේ මාංශපේශි පවා හෙලවුණේ නැත්නම් වැඩක් නැහැ. රඟපෑමෙදි ඒ වගේ කැපකිරීම් කරන්න වෙනවා. මගේ ජීවිතේට එතුමා කියාදුන් දේ බොහෝයි. මම ඒ සියල්ලටම ස්තූතිවන්ත වෙනවා ගාමිණි ෆොන්සේකා මහත්මයාට. ඒ වගේම අම්මා තමයි මගේ පස්සෙන්ම ඉඳගෙන මට තනියම ජීවතය ගෙනයන්න පුළුවන් වනතුරු උනන්දු කළේ."

ඇය නිරූපණය කළ චරිත ගැන මම සිහි කළෙමි.

"සරුංගලේ වුණත් මම කළේ සුශිලා කියන සිංහල චරිතය. ඒත් රසිකයන්ට මතක දෙමළ වගේ. සමහර විට 'ඉසුරු දෙවිඳු උමයංගන' ගීතය නිසා වෙන්නත් ඇති. ඇත්තටම මාව දෙමළ වගේ පේන්නේ අපේ අම්මා ඉන්දියාවේ එහෙම බොහෝ වෙලාවට වැඩවලට ගිහින් තිබෙන නිසා ඇඳුම් අඳීන්නෙත් ඉන්දියානු ස්වරූපයෙන් නිසා වගේම අපි හැමෝටම ඒ ඉන්දියානු පෙනුම තිබෙන නිසා කියලා මට හිතෙනවා. දැන් මගේ දුවත් අඳීන්නේ මේ ක්‍රමයටමයි. මම හිතන්නේ දෙමළ සිංහල කියලා වෙනසක් නෑ. අපි ඔක්කොම මනුස්සයෝ. ඉන්දියාවේ අද ගියත් රාම්දාස්ලාගේ ගෙදර මට මගේ ගෙයක් වගේ. ඒ දරුවො මට කතා කරන්නේ 'කලාබොසිත්ති' කියලා. ඒ කියන්නේ කොළඹ පුංචි අම්මා කියලා. ඒ තරම් සමීපයි. ඒ අය බ්‍රාහ්මන වංශිකයෝ. මම කතෝලික. ඒත් ඒ අය මට වෙනසක් කරන්නේ නෑ."

ඇය ලැබූ සම්මාන රැසකි.

"මුලින්ම මට සම්මානයක් ලැබුණේ රෑ මනමාලි චිත්‍රපටයට. ඊට පස්සේ මයුරිගෙ කතාව, කෙළි මඬල, මාරුතය වගේ ඒවාට. සුරබි දෙන චරිත හතරම ප්‍රධාන චරිත වගේ තමයි යන්නේ. ඒත් සමහරු මගේ චරිතය සහාය වගේ දකිද්දි සමහරු දැක්කේ ප්‍රධාන චරිතයක් වගේ. මොනවා වුණත් මට වටින්නේ රංගනයට අගය කිරීමක් ලැබුණු එකයි.

කෙළි මඬල තමයි නිහාල්සිංහ මහත්මයාත් එක්ක මම පළමුවතාවට වැඩ කළේ. ඒකට මම යද්දි වුණත් චරිතය හොඳට ගොඩ නැඟිලා තිබුණේ නැහැ. පස්සේ ටෝනි අය්යා තවතවත් දේවල් එකතු කරමින් ඒ චරිතය බොහොම ප්‍රබල මට්ටමකට ගෙනාවා. මාරුතයේ තිරපිටපතත් බලද්දි මට කරන්න මුකුත්ම නෑ වගේ. ඒත් පස්සේ චරිතය හුඟක් හොඳට ගොඩනැඟිලා ආවා. ඒකට හේතුව මම චරිත බාරගන්නේ ප්‍රධාන චරිතයද සහාය චරිතයද කියලා හිතලා නෙවෙයි. සිසිල ගිනි ගනී වුණත් මට ලැබුණේ දර්ශන දෙක තුනක රඟපාන්න. වචන දෙකතුනයි කියන්න තිබුණේ. එහෙම තියෙද්දි හොඳම සහාය නිළියට සම්මානය ලැබුණා. මම හිතන්නේ සහාය චරිත කරන අය හොඳීන් චරිත නිරූපණය නොකළොත් මුළු චිත්‍රපටයම කඩා වැටෙනවා. ඒ නිසා මට චරිතයේ රඟපාන්න දෙයක් තිබෙනවා නම් ඒක ප්‍රධාන නොවුණට කමක් නෑ. "

එසේ කියන ඇය නව පරපුරේ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලටද දායක වන්නීය.

"මට හිතෙනවා අපි අලුත් අයට සහයෝගය දක්වන්න ඕනෙ. ඒ වගේම අලුත් අධ්‍යක්ෂවරුන්ගේ අදහස්, මතවාද, ක්‍රමවේද වෙනස්. ඒක අපටත් අභියෝගයක්. ඒ චරිත ගොඩනඟන ආකාරය, ශෛලිය දිහා බලද්දි ඔවුන්ට කළ හැකි දේවල් මොනවාද කියලා අපට දැනෙනවා. තරුණ අය මා එක්ක කතා කරලා, මගේ සහායෝගය ඉල්ලන එකත් අපට සතුටක් නේ..."

එසේ වුවද නව පරපුර ගැන ඇගේ දැක්ම වෙනස්ය.

අලුත් අධ්‍යක්ෂවරුන්ට හොඳ කතාවකට තෝරගන්න චරිත නැති ප්‍රශ්නයක් අද මට පේනවා. අපේ කාලෙන් පස්සේ විශේෂයෙන් දිල්හානිලාගේ (අශෝකමාලා) යුගයෙන් පස්සේ සිනමාව මොකක්ද කියලා අඳුනගත්ත අය ක්ෂේත්‍රයේ නියැළෙනවා අඩුයි. විශේෂයෙන් රූපය තිබුණාටම මදි චරිතය අවබෝධ කරගෙන රඟපාන්න පුළුවන් වෙන්නත් එපැයි. අධ්‍යක්ෂවරයාට තමයි ඒ චරිත අඹලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් නළු නිළියන්ගේ ඒ හැකියාව, ධාරිතාව නැති වුණාම එහෙමත් කරන්න අමාරුයි. ටෙලි නාට්‍ය සීයක රඟපෑවත් එක චිත්‍රපටයකින් රසිකයන්ගේ හදවත අල්ලගන්න බැරි වුණොත් ගමන වැටෙනවා. මොකද සිනමාවට බොරු කරන්න බෑ. සිනමාවෙදි හදවතට දැනෙන්නම රඟපාන්න ඕනෙ. ටෙලිනාට්‍යවල නම් දෙබස් කියලා මොනවා හරි කරලා බේරෙන්න පුළුවන්. එතැනදි අද නළු නිළියනුත් පවු කියලා හිතෙනවා.

අලුත් අය පළමුවෙන්ම තමන්ගේ 'ඔරිජිනල් ගතිය' තියා ගන්න ඕනෙ. මගේ මූණේ පිහිටි ලක්ෂණ වෙනස් කර ගත්තොත් ඒ මම නෙවෙයිනේ. මම රඟපාන්න යද්දි වීනා ජයකොඩි කියලා හිතන්න බෑනේ. මම ඒ අදාළ චරිතය බවට පත්‌වෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ තමන්ගේ රූපේ, හැඩරුවයි, අඬනකොට කැතවෙයි කියලා හිතන එකයි. අපි කොච්චර ලස්සන කෙනෙක් වුණත් කේන්ති ගියාම එළියට එන්නේ යකෙක්. අපිට මොනවද වෙන්නේ කියලා අපිවත් දන්නේ නැහැ. එතකොට මගේ රූපෙ කැතට පෙනෙයි, අරකයි මේකයි කියලා ඉන්න බැහැ. අනෙක අඳුමෙන් පවා අපි ඒ දේවල් දනවන්න ඕනෙ. අන්ත දුගී චරිතයක් කරද්දි හොඳට ඇඳුම මැදලා, අයිෂැඩෝ ගාලා, ඇස් බැම හදලා, ලිප්ස්ටික් ගාලා කොණ්ඩෙ කෙළින් කරලා ආවාම ඒ චරිතය නිරූපණය වන්නේ නැහැ. මම දන්න තරමින් නම් ගැහැනියකගෙ ලස්සන තියෙන්නෙම සරලත්වයේ. ඉතින් මම මේ වැනි අය චරිතවලට ගැනීම ගැන වැරැදි කියන්නේ කොන්ද පණ නැති අධ්‍යක්ෂවරුන්ට. මට මතකයි වසන්ත ඔබේසේකර, පිටපතේ ලිව්වත් නැතත් තමන්ට අවශ්‍ය චරිත ලක්ෂණ ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒ නිසා ඊට වෙනස් ස්වභාවයේ කෙනෙක් ගන්නේ නැහැ. ගාමිණි ෆොන්සේකා, ඩී.බී. නිහාල්සිංහ, ආචාර්ය ලෙස්ටර් පීරිස්, මේ හැමෝටම ඒ පෞරුෂය තිබුණා. මොකද චිත්‍රපටයක අවසාන බර පැටවෙන්නේ අධ්‍යක්ෂගේ කරපිට. ඒ නිසා සංගීත අධ්‍යක්ෂ, ගීත රචක, ඇඳුම් නිර්මාණකරු, නැටුම් අධ්‍යක්ෂ මේ සියලු දෙනා එකතු වෙනවා අපේ කාලෙ නම් චිත්‍රපටයක් කරනකොට. මොකද කලාව කියන්නේ තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සියලු දෙනා එකමුතු වෙලා සහෝදරත්වයෙන් කළ චිත්‍රපට අදටත් රසිකයන්ගේ මතකයේ පවතිනවා.

අද එක්කෙනෙක් යනවා ඩබිං කරනවා. අනෙක් කෙනා යනවා ඉතිරි ටික කරනවා. ඉස්සර අපි හැමෝම එක ලොකු මේසයක් දාගෙන ඒ හැඟීම් එක්ක තමයි දෙබස් කවන්නේ. ඇත්තම කීවොත් මට නම් දැන් කාලේ ක්‍රමේ හරි අපහසුවක් දැනෙනවා. තනියෙන් රඟපාන්න බෑනේ. මම හැම තිස්සෙම කැමැතියි මට වඩා හොඳට රඟපාන කෙනෙක් ඉන්නවා නම්. එතකොට තමයි මටත් පුළුවන් වෙන්නෙ මගේ උපරිමය ලබා දෙන්න. ඇක්ටිං ඉස් රිඇක්ටිං නේ.. නේද? (රඟපෑම කියන්නේ ප්‍රතිචාරය) "

මම ඒ නිර්වචනය තවත් පැහැදිලි කරවා ගතිමි.

"අපේ ජීවිතේ බලන්නකෝ. අපට කවුරුහරි දෙයක් කීවොත් අපි ප්‍රතිචාර දක්වනවානේ. එකම අවස්ථාවකදී හොඳටම පන්නරය ලැබූ කෙනෙක් යමකට ප්‍රතිචාර දක්වන විදිහයි, එතරම් නොමේරු කෙනෙක් ඒ දේ ටම උත්තර දෙන විදිහයි වෙනස්. හැබැයි හැමෝටම වේදනාව දැනෙන විදිහ එකයි. සමහර හොඳ අය අපි නොහිතන වෙලාවක යක්කු වගේ ක්‍රියා කරන්නේ ඒ නිසා. තවත් සමහරු මොන ප්‍රශ්නෙ ආවත් දතකාගෙන ඉන්නවා, ගැහුවත් ඔළුව නවාගෙන ඉන්නවා පස්සේ දෙන්නම් වැඩේ කියලා. ඒක තව විදිහක්."

එවැනි අභ්‍යන්තරික භාවයන් සිනමා කැමරාවට ප්‍රකාශ කරන්නේ කොහොමද? මම ඇසීමි.

"අන්න ඒක තමයි මම කියන්නේ සිනමාවෙදි රැවටීම් බෑ කියලා. සිනමා කැමරාව හරිම සංවේදීයි. අධ්‍යක්ෂවරයා සහ කැමරාකරු අතේ තමයි එය රඳා පවතින්නේ. කෙළි මඬල මතක නම්, මම වචනෙන් කියන්නේ නෑ හැබැයි මම උඹගෙන් පළි ගන්නම් කියලා පෙන්වන්නෙ ඇස් දෙකෙන්, බෙල්ලෙ නහර ඉලිප්පීමෙන්. නිහාල්සිංහ මහත්මයා ඒ දර්ශනය අරගෙන තිබුණේ මගේ මූණ පිටපැත්තෙන් පේන විදිහට. අනෙක එවෙලේ මූණ ලස්සනට තියෙනවා දැකලා ඔහු කීවා තව ඉරි ටිකක් ඇඳලා කළු කරන්න කියලත්. ඒකයි මම කියන්නේ අධ්‍යක්ෂ සහ කැමරා ශිල්පියා අතේ තමයි තියෙන්නේ වැඩේ කියලා. සාගරයක් මැද වුණත් මගේ අරගෙන තිබුණු දර්ශන නිසා තත්පරෙන් තත්පරයට මුහුණේ සිදුවන වෙනස් වීම් සංස්කරණය කරගන්න පුළුවන් වුණා කියලා නිහාල්සිංහ කියනවා මට මතකයි. සාගරයක් මැද බලද්දි අදටත් ඇඬෙනවා."

ඇය පවසන්නේ සිනමාව අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය බවය.

"ඒත් සමහර අධ්‍යක්ෂවරු තමන්ගේ අඩුපාඩු මකාගන්න කරන්නේ හොඳ සහාය අධ්‍යක්ෂ කෙනෙකුයි කැමරා ශිල්පියෙකුයි තෝරාගන්න එක. මම ඇත්ත කියන්න බය නැහැ. හැබැයි සාගරයක් මැද චිත්‍රපටයේ ගාමිණි බලන්න මම ගිය වෙලේ තිර රචනයේ තිබ්බ වචන ගොඩක් වෙනුවට ගාමිණි කියන්නේ 'ලස්සනට තිබ්බ කොණ්ඩෙ දවසට දෙකට සුදුවෙලා' කියලා. ඒ වෙලාවේ මට ඒක දැනුණු තරමට ඇත්තටම ඉකිගැහිලා ඇඬුණා. ඒකයි සිනමාව. අද ටෙලි නාට්‍යවල බැන ගන්නෙත් ගිරවු වගේ. ඒත් ඇත්ත ජීවිතේ අපි බැන ගන්නකොට එහෙමද? සමහර ටෙලි නාට්‍ය බලද්දි මට දුක හිතෙනවා මේ වචන ටිකත් නැත්නම් මොනවාද මේවායේ තියෙන්නේ කියලා.

හැබැයි මම කියන්න ඕනේ ටෙලි නාට්‍ය තමයි මේ කාලේ යමක් කියන්න තියෙන ප්‍රබලම මාධ්‍යය කියලත්. මොකද සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ මම කිසිම මේකප් එකක් නැතිව, හැඩයක් නැති ඇඳුමක් ඇඳගෙන ඉන්න චරිතයක් වුණාට මිනිසුන් මට ආදරය කළා. ඒ වගේම ඒ කතාව නිසා ටීවී නොබලපු පිරිසකුත් රූපවාහිනිය නරඹන්න ගත්තා."

ඇය චරිතයකට ප්‍රවිෂ්ට වන්නේ මෙසේය.

"මම හිතන්නේ තිස්සෙම මම ඒ චරිතයේ ඉන්න තත්ත්වයට පත්වුණා නම් කියලයි. අනෙක අධ්‍යක්ෂවරයාගේ හිතේ තිබෙන දේ මොකක්ද? කියන දේ තේරුම් ගත්තාම හරි. ගැහැනියක් අසරණ වුණාම මොළේ තියෙනවා නම් ගොඩ යන්න පුළුවන්. මොළේ නැත්නම් මොට්ටම වෙනවා. මමත් ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දුන් ගැහැනියක් හැටියට මගේ ඇඟ ඇතුළෙන්ම ආ හැඟීම, මගේ දරුවන්, මගේ දුක පිටට නොපෙන්වා හිටියේ කොහොමද කියලා හිතනවා. ඒ වගේම මම දෙවියන්ට කියනවා ම‌ට මේ චරිතය හොඳට කරන්න ලැබෙන්න කියලා. මගෙන් හොඳ හෝ නරක චරිතයක් මිනිසුන් අතරට යන්න ඕනෙ. මම කැමැතියි නරක දෙයක් කරලා හරි ඒකෙන් ලැබෙන හොඳ පණිවිඩය මිනිසුන්ට දෙන්න.

හොඳයි නරකයි කියලා දෙකක් මේ ලෝකේ තියෙනවානෙ. හොඳ කැපිලා පේන්නේ නරක තිබුණොත්නේ... ඒ නිසා නරක පැත්ත නොපෙන්නුවොත් ඒක නරක බව මිනිස්සු දන්නේ නෑනේ. හැබැයි රසිකයන් මට කියලා තියෙනවා, 'හපෝ මට නම් ගහන්න තරම් කේන්ති ගියා ඒ නපුරු චරිතෙ දකිනකොට. හැබැයි ඉතින් ඒ ඔයා නෙවෙයි නේ ඒ නිසා කමක් නෑ' කියලා. එතකොට මම දන්නවා මම ඒ චරිතය හොඳට කරලා කියලා. ඒ වගේම මම වාසනාවන්තයි එකම චරිතයකට හංවඩු නොගැහී තරුණම කාලේත් වයසක චරිත කරන්න, අදටත් ගැළපෙන චරිත කරන්න අවස්ථාව ලැබුණ නිසා."

වාණිජ, කලාත්මක බෙදීම ගැන ඇය මෙසේ කියයි.

"මල් ගස් වටේ මමත් දුවලා තියෙනවා. හැබැයි අම්මේ ඔබ නිසා වගේ වාණිජ චිත්‍රපට වුණත් හොඳ චිත්‍රපට හැටියටයි රසිකයන් දැක්කේ. සෑම චිත්‍රපටයක්ම වාණිජ විය යුතුයිනේ. සල්ලි හම්බ නොකරන චිත්‍රපට නැහැනේ. අපි චිත්‍රපට කියන්නේ චරිත ගොඩනැ‌ඟෙන විදිහනේ. සීනි බෝල නොවී පෙන්වන හැම චිත්‍රපටයකම අපි පෙන්වන්නේ ඇත්ත ජීවිතේ තව කෙනකුගේ චරිතයක්. අපි දකින දකින තැන ඉන්නේ සීරියස් විහිළුකාරයන්නේ..ඒක හිනාවෙන්නත් බැරි හිනා නොවීත් බැරි දෙයක්. අපේ අය වුණත් ටීවී එකට ගිහින් අමුතුවෙන් කතන්දර හදලා කියන්නේ පට්ටපල් බොරු. ඒවා තමයි මට පේන විහිළු. මට ඒ වෙලාවට හිතෙනවා මේ අය තමයි සැබෑ විහිළුකරුවන් කියලා. ඒවා ඉතින් චිත්‍රපටයකට දැම්මට වැරැද්දකුත් නැහැ. අපි ලොකෙට විහිළුකාරයෝ වෙනවා කියලා සමහර වෙලාවට අපි දන්නෙත් නැහැ. හරි දුකයි ඒ අය ගැන. ඉතින් ඒක වාණිජ නෙවෙයිද? තමන්ව අලෙවි කරගන්න නෙවෙයිද ඒවා කරන්නේ? තමන් මෙහෙමයි කියලා පෙන්වලා ලෝකයා රවටන සැබෑ විහිළුකාරයන් දිහා තරහෙන් බලනවාට වඩා චිත්‍රපටවල ඒවා මවා පෙන්වන විහිළුකාරයන් දිහා හිනා වෙවී බලන එක විතරයි වෙනස."

 

දශක හයක් ඉක්මවන ඇගේ ජීවිතය බඳු රංගනය, අද රෑ උදාවන මෙවර නත්තල සහ කොරෝනා සමය ඇය දකින්නේ මෙසේය.

"චිත්‍රපට කීපයකුත් ටෙලි නාට්‍ය කීපයකුත් ඉදිරියට එන්න තියෙනවා. හැබැයි මම ටෙලි නාට්‍ය කරන එක නැවැත්තුවා. මොකද අපිත් කරන දෙයින් වින්දනයක් ලබන්න එපැයි. මම දැන් කරපු තරම ඇති ටිකක් විවේකීව ඉඳලා හිටලා හොඳ චරිතයක් ආවෙත් විතරක් කරනවා.

කොවිඩ් මම දකින්නේ අපි මනුස්සකම් අතහැරලා ධනය බලය නිසා අඩිගාණක් උඩින් යන්න ගත්ත නිසා, ගෙදර දරුවන් දෙමාපියන් නොදකින පවුල කියන කැක්කුම නැතිවුණ තාක්ෂණයට ඇබ්බැහි වුණ සමාජයක, සමස්ත පරිසරය විනාශ කරන, ගහකොළ සතුන් නැති ලෝකයක, අපි විතරක් ජීවත් විය යුතුයි කියලා හිතන මිනිසුන්ට මුළු ලෝකෙම එක සැරේම නවත්වා පාඩමක් දුන්නා. ඒකේ තේරුම තමයි අපට උඩින් තව කෙනෙක් ඉන්නවා කියන එක. ලෝකේ ඉස්තරම්ම විද්‍යාඥයන්ට බෙහෙතක්වත් හදාගන්න බැරි වුණානේ. අපි කාගෙත් ජීවිතය බොහොම ටික කාලයයි. ඒ විද්‍යාඥයත් කවදා හරි මැරෙනවා නේද කියන දේ පෙන්වා දුන්නා. මිනිස්සුන්ට මේ ලෝකය, මනුස්සකම අමතක වුණාම මේ වගේ දේවල් දෙවියෝ කරනවා කියලා බයිබල‌යේ තියෙනවා. හැබැයි වායු දූෂණයෙන් තොර අහස නිල් පාටට පෙනෙද්දි, මල් පිපෙද්දි, ශබ්ද දූෂණයෙන් තොර වටපිටාවේ කුරුලු ගීත ඇහෙද්දි මම නම් හිටියේ හරිම සතුටින්.

මම කොවිඩ් ගැන මතුරන්න කැමැති නැහැ. අපට දෙවියන් වහන්සේ ඇස්, කන් වගේ ඒවා දෙක ගාණේ දීලා එක කටක් විතරක් දුන්නේ හොඳට නරකට දෙකටම ඔච්චර නිසා. මට තනියම කරන්න පුළුවන් එකම දේ දුක් විඳීන අය වෙනුවෙන් යාඥා කරන එක. නත්තලට වියදම් කරන්න තිබුණු මුදල්වලින් වියළි සලාක නැතිබැරි අයට දෙන්න තීරණය කළා. ඇත්තම නත්තල කියන්නේ පවුලේ අය එකතු වෙලා තියෙන හැටියට සතුටු වෙලා තරහ මරහ නැතිව අපි හැමෝම පල්ලියට ගිහින් දෙවියන් වහන්සේ අප ළඟට ගෙන්වා ගන්න එකයි. එහෙම නැතුව පුළුවන් තරම් කාලා බීලා හවසට බිම වැටිලා ඉන්න එක නෙවෙයි.

අපේ අම්මයි ආච්චියි අපට කියලා දුන්නේ තියෙන දෙයින් සතුටු වෙන්න. තියෙන දේ පොඩ්ඩ හරි බෙදාගෙන කන්න. අනුන්ට තියෙන දේවල් දිහා බලලා ඊර්ෂ්‍යා කරන්න එපා. ඒ නිසා අමතර දේවල් කියලා මුකුත් අපට වැඩිය දුන්නේ නැහැ. හැබැයි අත්‍යාවශ්‍ය දේවල් කියන හැමදේම අපට තිබුණා. අපට දැනෙන බඩගින්න දුක තමයි තවත් කෙනකුට දැනෙන්නේ. ඉස්කෝලෙත් අපට ඉගැන්නුවේ එක අතකින් දෙන දේ අනික් අතට දැනගන්න තියන්න එපා කියලා. ඒ පුරුද්ද අපට අදටත් තිබෙනවා. අනෙක මගේ ජීවිතේ අත්දැකීම් දෙවියන් වහන්සේ සමඟ ගමන් කරන්න මට හේතු වුණා. ඇත්ත කියන්නයි, බිම ඉඳගන්නයි බය වෙන්න දෙයක් නෑ. ඇත්ත කතාකරන්න ගිහින් මට පාඩු වුණු අවස්ථා එමටයි. ඒත් මම තාමත් මගේ විදිහට ඉන්නවානේ. මට ප්‍රශ්න එද්දි මගේ අම්මලා සහෝදරයන් දරුවන්වත් නොදැන මම ගියේ පල්ලියට. මම කීවේ දෙවියන් වහන්සේට. මට හරි මාර්ගයේ යන්න ශක්තිය ලැබුණේ එතැනින්. මට ලැබුණු ඒ ශක්තිය අන් අයටත් ලබා දෙන්නේ කොහොමද කියලයි මම හිතන්නේ. මේ නත්තලටත් දෙවියන් වහන්සේ හොඳ පණිවිඩයක් දීලා තියෙනවා අනුන්ට හානි නොකර, කොටවන්නේ නැතිව, බොරු කරන්නේ නැතිව හැමෝම ගැනම හිතලා යහපත් විදිහට ජීවත් වෙන්න කියලා.