ෆ්‍රෙඩී සිල්වා මට විරුද්ධව පාප්තුමාටත් ලිව්වා

ගරු බෙනඩික් ජෝශප් පියතුමා
දෙසැම්බර් 24, 2020

ආරෝග්‍යශාලා උපාධ්‍යා තියන කියන තනතුරට තමයි පූජක වරයෙක් වෙලා ඉස්සල්ලම මට ලැබුණ රාජකාරිය අගරදගුරු පදවි කේන්ද්‍රයේ තමයි එතකොට සේවය කළේ. මගේ රාජකාරිය වුණේ රෝගී වූවන් උදෙසා යාච්ඤා කිරීම සහ ඔවුන් වෙනුවෙන් සේවය කිරීම. පසුව මට බොරැල්ල ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ කථිකාචාර්යවරයෙක් සහ භාණ්ඩාගාරික වශයෙන් සේවය කරන්න ලැබෙනවා.

 

ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ තම පියා වෙත එන රෝගීන් දෙස පුංචි බෙනඩික් බලා සිටියේ මහත්වූ විස්මයෙන්ය. අතක් පයක් බිඳී වේදනාවෙන් කෑ ගසමින් පියාගේ වෙද ගෙදරට එන ඔවුන් බෙහෙත් හේත් ලබා සති ගණනාවකට පසුව තාත්තා හමුවන්නට එන්නේ හිසේ මලක් පිපුණා හා සතුටිනි. වෙද හෙදකම් කරන මොහොතවල්වල දී වේදනාව උත්සන්න වූ තැන නොසරුප් වදන් කියාද මොර දෙන මේ රෝගීහූ සුවපත්වී පැමිණ පියාට ප්‍රශංසා වචන තෙපළන අයුරු ද පුංචි බෙනඩික්ගේ මනසේ සිතුවම්පටයක්සේ තැන්පත්ව තිබුණි. මේ පුංචි පුතණුවන්ට තිබුණේ කතෝලික පවුල් සම්ප්‍රදායකි. පවුලක් වශයෙන් දෙවියන්ට ඔරසම් කීමද දිනපතා පුරුද්දක්සේ පැවතිණ. මේ පවුල් පසුබිම මැද පියාගේ ක්‍රියා කලාපය දෙස නිතර විමසිල්ලෙන් පසුවන පුංචි බෙනඩික්ට් ආගමානුකූල දිවියක් ගෙවමින් පියා හා සමානව මිනිසුන් සුවපත් කරන්නට කල්පනා කළේය. ඒ සඳහා පූජකවරයෙකු වීම මැනැවැයි මේ කොලු ගැටයාට දස දහස් වාරයක් සිතිණ. ගෙදරින් ද ඊට ලැබුණේ මහත් පිටුවහලකි. නිවසින් සමුගෙන දෙවුසත්හල වෙතට පිය නැඟූ ඔහු එක් දහස් නවසිය හැත්තෑව වසරේදී බෙනඩික් ජෝශප් ප්‍රනාන්දු නැමැති නාමයෙන් පූජකවරයකු ලෙස බෞතීස්ම ලැබීය. උන් වහන්සේ මේ වසරේ සිය හැත්තෑ අට වැනි ජන්ම දිනය සමරයි. එමෙන්ම පූජක දිවියට අඩ සියවසකි. පියතුමා සමඟ කරන්නවූ මේ කතා බහ එම සුවිසෙස් සන්ධිස්ථාන කේන්ද්‍ර කරගනිමිනි. මේ කාලය අතරතුර දී බෙනඩික්ට් ජෝශප් පියනම තනතුරු රැසක් හෙබවීය. එමෙන් ම කලාව වෙනුවෙන් උන් වහන්සේ කළ කී දෑ අනන්තය අප්‍රමාණය.

 

අපේ පියතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා?

ස්තුතියි.

 

ඔබ වහන්සේ සුන්දර ගම් පියසට හැදී වැඩුණු අයෙක් කියා මම අසා තිබෙනවා?

මගේ ගම පූගොඩ තරාල. එක ලස්සන පුංචි ගමක්. ගමේ තිබුණු සිරිකුරුස විදුහලෙන් තමයි මම ඉගෙන ගත්තෙ. ගමේ බහුතරයක් කතෝලිකයෝ. තරාල සිරිකුරුස දේවස්ථානය තමයි අපේ පල්ලිය. අපි නිතරම පල්ලියත් එක්ක බැඳීලා ජීවත් වුණා. ජීවිත හරි සරලයි, අද වගේ සංකීර්ණ නැහැ. කෑමෙන් බීමෙන් වුණත්, හිතවත්කම්වලින් වුණත් කිසිදු අඩුපාඩුවක් අපිට තිබුණේ නෑ.

 

පියා කරන්නා වූ රාජකාරි දැකලා තමයි ඔබ වහන්සේට පූජකවරයෙක් වෙන්න හිතෙන්නේ?

ඇත්තටම ඔබ මේ ලිපියේ මුලින් සඳහන් කළා වගේ මගේ පියා ගාවට නොයෙකුත් රෝගීන් එනවා. විශේෂයෙන්ම කැඩුම් බිඳුම් සිද්ධ වෙච්ච අය. ඔවුන් පසු කාලීනව හොඳ වුණායින් පස්සේ හරි සතුටින් ඇවිත් තාත්තත් එක්ක සතුටු සාමීචියේ යෙදිලා තෑගි බෝග එහෙමත් දීලා යනවා. මට හිතුණා ඔහු වගේ මමත් මිනිසුන් සුවපත් කරන කෙනෙක් වෙනවා කියලා. ඒ සිතුවිල්ල ඔස්සේ තමයි මට පූජකවරයෙක් වෙන්නට අඩිතාලම වැටුණේ. මම මුලින්ම සෙමනේරියට බැඳුණේ, ඒ කියන්නේ පූජකවරයෙක් වෙන්නට ඉගෙන ගන්න ගියේ එක්දාස් නවසිය පනස් හයේ. එතකොට මට අවුරුදු දාහතරක් විතර ඇති. මම ඉපදුණේ එක්දහස් නවසිය හතළිස් දෙකේ දෙසැම්බර් දහසය. පූජකවරයෙක් වෙන්න ඉගෙන ගන්න ගියාම වසර තුනකට සැරයක් වගේ අපිට ආගමානුකූලව හැදෑරීම් කරන්න ස්ථාන කිහිපයකට යන්න සිදු වෙනවා. ඒ අනුව මම වසර තුනක් බොරැල්ල දෙවුසත්හලේ හිටියා.

 

ඔය කාලේ නේද ඔබවහන්සේ හිත කලාව පැත්තට යොමු වන්නේ?

දෙව්සත්හලේ ඉද්දි වගේම ගොන්සාල්වෙස් නමැති ආයතනයේ ඉද්දිත් අපි කලා කටයුතු කටයුතුවල නියැළුණා. විශේෂයෙන්ම සාහිත්‍යය පිළිබඳ අපි හරි උනන්දුයි. බොරැල්ල දෙව්සත්හලේ ඉන්නකොට අපි පොඩි පොඩි නාට්‍ය එහෙමත් රඟ දැක්වුවා. චිත්‍රපට බලන්න හම්බ වුණෙත් ඒ කාලෙදිම තමයි.

 

ඔබ වහන්සේගේ මතකයේ තියෙනවද එහෙම බලපු චිත්‍රපටි දෙක තුනක්?

මම මුලින්ම බැලුවේ කැලෑ හඳ කියන චිත්‍රපටය. සැඩ සුළං, සුජාතා වගේ චිත්‍රපට එහෙමත් අපි නැරඹුවා.

 

කැමැතිම නළු නිළියෝ කවුද ඉන්නේ?

රුක්මණී දේවි සහ එඩී ජයමාන්න ට තමයි වැඩිපුරම කැමැත්තක් තිබුණේ.

 

ඔය කාලයේ පියතුමා අතින් නාට්‍ය රචනා වනවා?

දෙවුසත්හලේ මම කිව්වේ අපි නාට්‍ය රඟ දැක්වූවා කියලා. ඒවා බොහෝවිට රචනා වුණේ මා අතිනුයි. සංගීතයට, ගායනයට, රංගනයට එහෙම හැකියාව තියෙන පිරිසගේ හැකියාවන් එළි දක්වන්න අපට අවස්ථාව ඕනෑ තරම් තිබුණා. බුලත් විටක් සාරවන්න, ණයක් නැති මිනිසෙක්, යහපත් සමරිතානුවරයා, වගේ නාට්‍ය අපි දෙවුසත්හල මගින් ඉදිරිපත් කළා.

 

ඔය නාට්‍යවල කාන්තා චරිත එහෙම තිබුණේ නැද්ද?

මොකද නැත්තේ තිබුණා. ඒ චරිතත් අපිම තමයි ඉදිරිපත් කළේ. කාන්තාවන් විදිහට ඇඳපුවාම මේ පිරිමි ළමයෙක්ද කියන එකවත් හොයාගන්න බැහැ. විනෝදෙට වගේ එහෙම ඇදගත්තු කාන්තා චරිත නාට්‍යයේ ප්‍රේක්ෂකාගාරයට ගිහිල්ලා ඉඟිබිඟි පාන අවස්ථාවනුත් තියෙනවා. අපි ඉතින් ඒවායින් අහිංසක සතුටක් ලැබුවා.

 

පූජකවරයෙක් වෙන්නට ඉන්න ශිෂ්‍යයෝ විදිහට චිත්‍රපටි බලන්න, නාට්‍ය රඟදක්වන්න වගේ දේවල් කරද්දි යම් යම් වාරන නියෝග ආවේ නැද්ද?

අපි හැම චිත්‍රපටයක්ම ගිහිල්ලා බැලුවේ නැහැ. සුදුසු චිත්‍රපටි විතරයි බැලුවේ. නාට්‍ය වුණත් අපි රචනා කළේ බයිබලය අනුසාරයෙන්. අනික අපේ හැකියාවන් ඉදිරිපත් කරන්න කිසිදු බාධාවක් තිබුණේ නැහැ. මොකද අපි අපේ සීමාව දැන ගෙනයි කටයුතු කළේ. ඒ හැකියාවන් ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකාගාරය පිනෙව්වා පමණයි.

 

ඔබ වහන්සේ ආස කළ චිත්‍රපට අතරින් වඩාත් කැමැති චිත්‍රපට දර්ශනය ඔබ වහන්සේට මතකද?

රේඛාව චිත්‍රපටයේ ඕලූ නෙළුම් නෙරිය රඟාලා ගීතයේ දර්ශනයට මම හරිම කැමතියි. ඒ ඔරුව පදමින් ගීතය ගයමින් ඒ දර්ශනය හරිම සුන්දරව ඒ නළුවා ඉදිරිපත් කරලා තියෙනවා.

 

ඔබවහන්සේට ගායන හැකියාවකුත් තියෙනවා කියලා මම අහලා තියෙනවා?

ඇත්තටම අපි නාට්‍ය රඟදක්වන වෙලාවේ ඒ පරිබාහිර කටයුත්තක් විදියට ගීත ගායනා ඉදිරිපත් කරනවා. ඒවගේ අවස්ථාවන්වලදී මම ගීතයක් දෙකක් ගායනා කරලා ප්‍රේක්ෂකාගාරය පිනවනවා. මං වැඩිපුරම ගායනා කරන්නේ සුනිල් ශාන්තයන්ගේ ගීත. මිහිකත නලවාලා ගීතය තමයි වැඩිපුරම ගයන්නෙ.

 

පූජකවරයෙක් වීමෙන් පසු ලැබූ පළමු රාජකාරියත් හරිම සුන්දරයි නේද?

ඒකත් දෛවෝපගත රාජකාරියක්. ආරෝග්‍යශාලා උපාධ්‍යා කියන තනතුරට තමයි මම පූජක වරයෙක් වෙලා ඉස්සල්ලම මට ලැබුණ රාජකාරිය අගරදගුරු පදවි කේන්ද්‍රයේ තමයි එතකොට සේවය කළේ. මගේ රාජකාරිය වුණේ රෝගී වූවන් උදෙසා යාච්ඤා කිරීම සහ ඔවුන් වෙනුවෙන් සේවය කිරීම. පසුව මට බොරැල්ල ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ කථිකාචාර්යවරයෙක් සහ භාණ්ඩාගාරික වශයෙන් සේවය කරන්න ලැබෙනවා. ඔය කාලයේ මම නාට්‍ය රචනා කරන්න නැවතත් පෙලඹුණා.

 

 

පසු කාලීනව පියතුමා තවත් තනතුරු රැසක් හොබවනවා?

සිනමාවට, කලාවට උනන්දුවක් දක්වන පියනමක් විදිහට මාව ජේ්‍යෂ්ඨ පියතුමන්ලා හැඳීනගත්තා. ඒ අනුව මට ඥානාර්ථ ප්‍රදීපයේ කළමනාකාර අධ්‍යක්ෂධුරය හම්බ වෙනවා. ඒ 1978 වසරේ. පසුකාලීනව මම ඒ පුවත්පතේ කර්තෘධුරය ද හොබවූවා. කාලය ගතවෙනවත් එක්ක අර්නස්ට් පෝරුතොට අපේ ජේ්‍යෂ්ඨ පියනමත් එක්ක සම්බන්ධ වෙලා කොළඹ ශාන්ත පාවුළු මධ්‍යස්ථානයේ සිනමාව පිළිබඳ වැඩසටහන් රැසක් මෙහෙය වන අවස්ථාව ලැබුණා. අපි මාසෙකට වතාවක් සිනමා කතිකාවතක් පැවැත්වූවා. චිත්‍රපටයක් පෙන්නන්න පහසුකම් සැලසුවා. පුස්තකාල පහසුකම් සැලසුවා. මතකයි ධර්මසිරි ගමගේ වගේ ප්‍රවීණයොත් එතැනට ඇවිල්ලා පොතක් පතක් පරිශීලනය කරනවා.

 

ඔබවහන්සේට කතෝලික ජන සන්නිවේදන ජාතික අධ්‍යක්ෂධුරය ලැබුණා. ඉන්පසුව ඔබවහන්සේ වඩාත් කාර්යබහුල වෙනවා?

ඇත්තටම මගේ පූජක දිවියේ ඒකත් අපූරු සන්ධිස්ථානයක්. ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව, පුවත්පත යන අංශ සඳහා දායකත්වය මට ලබා දෙන්න හැකියාව ලැබෙන්නේ ඉන් පස්සේ. ඔය කාලයේත් මම රූපවාහිනී වැඩසටහන් වලට දායකත්වය දක්වනවා. එහෙම සහභාගී වූ පළමුවැනි පියතුමා තමයි මම. අපිට ජාතික රූපවාහිනීයේ ගුවන් කාලයෙන් පැය භාගයක් ලැබෙනවා වැඩසටහනක් කරන්න. ඒ අවස්ථාවේදී ආරම්භ කළ වැඩසටහන තමයි සුපුවත. ඒක ඉතාම ජනප්‍රිය වැඩසටහනක් වුණා. එමගින් බොහෝ පිරිසකට අවස්ථාවක් උදා වුණා. ඔය අධ්‍යක්ෂ ධුරයේ ඉද්දි තමයි මට කතෝලික සිනමා පර්ශදය මගින් මෙහෙයවන ඕසීඅයිසී සම්මාන උලෙළ මෙහෙයවන්න ලැබෙන්නේ. මම එක්දහස් නවසිය අසූ හතරේ සිට සිට දෙදහස් තුන දක්වා සම්මාන උළෙලවල් දොළහක සභාපතිත්වය දැරුවා.

 

ඒක නම් අපූරුම අත්දැකීමක් තමයි. ඇත්තටම එවැනි සිනමා උලෙළක් පවත්වද්දී නොයෙකුත් ප්‍රශ්න එනවා?

මට මතකයි අපේ ජනප්‍රිය සිනමා නළු ෆ්‍රෙඩී සිල්වා මට වරක් ලොකු ලියුමක් එවලා තිබුණා. එහි සඳහන් කරලා තිබුණේ ඔවුන් වැනි පිරිසක් මේ සිනමා උලෙළෙන් අගයන්නේ නැති බවකුයි. ඔහු එම ලිපියේ තව දුරටත් සදහන් කොට සිටියේ පාප් වහන්සේට පවා මේ බව දන්වලා ලියුමක් යවනවා කියලයි. කොහොමහරි මට දැනුවත්ව ඔහු එම ලිපියත් පාප් වහන්සේට යවලා තිබුණා. මාව මුණ ගැසුණු හැම අවස්ථාවකදිම හිත පෑරෙන අන්දමේ කතා තමයි ඔහු කිව්වේ. නමුත් ඒවා උපේක්ෂාවෙන් විඳ දරා දරා ගෙන කලාකරුවන් වෙනුවෙන් මම සම්මාන උලෙළ පැවැත්තුවා. ඒ අතරතුර දී සම්මාන උලෙළ කිට්ටුවෙද්දී නිතරම දුරකථන ඇමතුම් එනවා අපිටත් සම්මාන තියෙනවද, මොන නිර්මාණයටද වැඩිපුර සම්මාන හිමිවෙන්නෙ කියන දේවල් අහලා. වගේම ආරාධනා පත්‍ර බෙදද්දී හරිම දුෂ්කරතාවයක් තිබුණේ. සමහර අය හැම අවුරුද්දකම ආරාධනා පත්‍ර බලාපොරොත්තු වෙනවා. නමුත් අපි ප්‍රමුඛස්ථානයක් දුන්නේ සම්මාන උළෙලේ සම්මාන හිමි වන පිරිසට සහ එම නිර්මාණවලට දායකත්වය දැක්වූ නිර්මාණකරුවන්ට තමයි.

 

වර්තමානයේ මොනවගේ කාර්යයකද ඔබවහන්සේ නියැළිලා ඉන්නේ?

බොරැල්ල ඇක්වයිනස් ආයතනයේ තොරතුරු අංශය භාරව තියෙන්නෙ මට. නමුත් තව කෙටි කලකින් මම ඒ සියල්ලන්ගෙන්ම ඉවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මට පෙර වගේ ජව සම්පන්නව වැඩ කරන්න අමාරුයි කියලා දැනෙනවා. ඒ වගේම අපිට වැඩිය තරුණ සහ දක්ෂ පිරිසක් ඉදිරියට එන්න බලාගෙන ඉන්නවා. ඒ පිරිසට අවස්ථාවක් දෙන්න හිතාගෙන මම විශ්‍රාම යන්න බලාපොරොත්තු වෙනවා.