මට වැදගත් චරිතය කළු ද සුදු ද කියන එක නොවේ

සබීතා පෙරේරා
ජනවාරි 7, 2021

දැන් මම සාමාන්‍ය ගැහැනියක් කියලා හිතාගෙන එළියට ගියාම මා දිහා පිරිස බලන විදිහ වෙනස්

 

අපේ රටේ සිනමාව බෙදෙන්නෙත් ප්‍රේක්ෂාගාරය ඒ විදිහට බෙදෙන නිසා.

 

රංගනය කියන දේ මොන මාධ්‍යයෙන් වුණත් එකයි

 

ටෙලිවිෂනයට යන්න කිසිම කැමැත්තක් තිබුණෙ නැහැ

 

ඇය වරෙක මනාළියක ලෙස සැරසී දෙවෙනි ගමන යන්නීය, තවත් වරෙක සීගිරි ලාලිත ළඳක වී මල්ගොමු වටා රඟ දෙන්නීය, විටෙක ඇය චණ්ඩි රැජිණකි, එමෙන්ම උන්මාද චිත්‍රාවන් ද වන්නීය. ඒ සියල්ලට වෙනස් මුඩුක්කුවේ සන්ධ්‍යා මෙන්ම ග්‍රාම සේවිකාව වන්නේද ඇයමය. අසූව දශකයේ සරසවිය සිනමා සම්මාන උලෙළවලදී නැඟී එන නිළිය, ජනප්‍රියම නිළිය මෙන්ම හොඳම නිළිය සම්මාන මෙන්ම ඕසීඅයි සී, ජනාධිපති සහ ස්වර්ණ සංඛ සම්මාන එක පෙළට දිනා ගන්නීය. රන්කහවනු, දණ්ඩේ ලූ ගිනි, පිටගම්කාරයෝ, අකාල සන්ධ්‍යා සහ ඇසළ කළුවර ඔස්සේ පුංචි තිරයේ නොමැකෙන මතකයක් තබන ඈ දහසකුත් එකක් ප්‍රේක්ෂකයන් වශීකෘත කළේ ඇගේ පුළුල් වූත් තඹ පැහයෙන් යුතුවූත් දෑසෙහි මැවෙන කාන්තියෙන් යැයි කීවොත් ඔබ මා හා එකඟවනවාට සැක නැත. වර්ණකුලසූරිය උස්වත්ත ලියනගේ සබීතා ජානකී පෙරේරා වන ඇය මවුපිය උරුමයෙන් ලද දායාදය වූ රංගනයෙන් සිය සිනමාගමනයේ ප්‍රථම සන්ධිස්ථානය සහ චිත්‍රපට ගීතය තම නමින්ම එළිදක්වන්නට තරම් වාසනාවන්තියක වූවාය. එදා මෙදාතුර සිංහල සිනමාවේ මතු නොව පකිස්තානු සිනමාවේද සිය දස්කම් පෑ ඇය නිහඬ සමය නිමා කර නැවතත් රිදී තිරය බබළවන්නට සැරසේ. ඒ සූදානමත් සමඟ 2021 වසරේ ඇගේ පැතුම කුමක්දැයි ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා සරසවියට හෙළි කළේ මෙසේය...

 

පළමුවෙනි කොවිඩ් රැල්ල වගේ නෙවෙයි අපි මේ ගෙවන දෙවැනි කොවිඩ් සමය ගැන මගේ යාළුවොත් කීවේ ගෙදර ඉන්න එක ප්‍රශ්නයක් කියලා. ඒත් මට ගෙදර වැඩ තියෙනවා, බුදු කුටිය තියෙනවා, පොත් කියවනවා, චිත්‍රපට බලනවා ඒ නිසා ගෙදර ඉඳීම ගැටලුවක් නෙවෙයි. මම ගෙදර ඉන්න කැමැතියි. ගිය පාර ලොක්ඩවුන් නිසා ගෙදරම ඉද්දි පුරුදු වුණා බොහෝම දේවල්. පරිසරය රසවිඳීන්න, පවුලේ අය ගැන හොයා බලන්න හැකි වුණා. හැබැයි ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නෑ කියනවා වගේ අද වෙනකොට තත්ත්වය කවදද ඉවර වෙන්නේ කියන සිතිවිල්ල අපට ඇවිත්. ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා මෙය හරි භයානකයි.

සමහරුන්ගේ අධ්‍යාපන මට්ටම්, ආකල්ප ආදිය අනුවත් මෙහි පැතිරීම වෙනස් වෙනවා. අපි ගෙදර ඉඳන් කෑමක් කටේ දාගන්නකොට බඩගින්නේ කීදෙනෙක් මේ රටේ අද ඉන්නවාද? අපි කොයි තරම් පිං කරලා තියෙනවාද කියලා හිතෙන තැනට අපි ඇවිත් ඉන්නවා. මේ අපට සතුටු වෙන්න පුළුවන් කාලයක් නෙවෙයි. සමහර වෙලාවට රූපවාහිනී නාළිකාවලින් මිනිස්සු, දුක කියලා කෑ ගහන විදිහ දකිද්දි පපුව පැලෙන්න එනවා. දෙසැම්බර් 01 මගේ උපන්දිනයට බණක් යොදාගෙන හිටියා, ඒත් බැරි වුණා. හැබැයි ලෝකෙ අනෙක් රටවල් එක්ක බලද්දි අපේ රට තිබෙන තැන ගැන යම් තරමකින් සැනසෙන්න පුළුවන්. 2021දී ඇත්තටම බලාපොරොත්තු වෙන්න ඕනේ, ලෝකේම මිනිස්සුන්ට, විශේෂයෙන් අපේ රටේ අසරණ වූ අයට කෑම ටිකක් කන්න, රස්සාවක් කරගන්න පුළුවන් වාතාවරණයක් ඇතිවෙන්න කියලයි.

 

ඔබේ සිනමා දිවියට දශක හතරක්?

මම බොහොම ළාබාල වියේදීම ක්ෂේත්‍රයට ආ කෙනෙක් ලෙස වැඩි කාලයක් ගත කරලා තියෙන්නෙත් සිනමාව එක්ක. මම මේ ගෙදර හිටිය කාලයේ පිටගම්කාරයෝ, අකාල සන්ධ්‍යා වගේ ටෙලි නාට්‍ය ආපසු වරක් නිදහසේ නරඹන්නත් පුළුවන් වුණා. මට සතුටු හිතුණා ඇත්තටම මට ඒ වගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබීම ගැන.

මගේ සිනමා ගමන ආරම්භ වුණේ සබීතා වගේ සරල වින්දනාත්මක සිනමා නිර්මාණවලින් වුණත් පසු කාලීනව මගේ වුවමනාවෙන් සිනමාව රංගනය ගැන හොයන්න ගත්තා. ඒ වෙනුවෙන් බොහෝ මහන්සි වුණා. ඒත් රංගන ජීවිතය දිහා හැරිලා බලද්දි ඒ තරම් දේවල් කළේ කොහොමද කියලා හිතෙනවා. පිටගම්කාරයෝ ටෙලි නාට්‍යයේ මම බැඳලා තරුණ වයසේ ගමට ඇවිත් මගේ පුතා (පාලිත සිල්වා) ලොකු වෙලා කසාද බඳීනකල්ම ඒ චරිතය විහිදෙනවා. ඒ වගේ චරිත හරි අමාරු වුණත් තිස්ස අබේසේකර වගේම, එච්.ඩී. ප්‍රේමරත්න, ටයිටස් තොටවත්ත, සහ එවක අලුත් නිර්මාණකරුවන් වන ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ, ප්‍රියන්ත කොළඹගේ, සුදත් මහදිවුල්වැව වැනි හොඳ අධ්‍යක්ෂවරු වගේම නළු නිළියන් සමඟ කටයුතු කරන්න ලැබීම හරිම වාසනාවක්. හැබැයි අපි අපේ වගකීම හොඳට කරන්නත් ඕනේ. ඒ වගේම හොඳ පිරිසක් එක්ක වැඩ කරද්දි අපි අපේ ඉලක්කයට යන්න උත්සාහ කරනවානේ. එතකොට අපේ රංගනය හොඳීන් මුවහත් වෙනවා.

මුල් යුගයේ කොහොමත්ම අවබෝධයක් තිබුණේ නෑ මේ රංගනය කියන්නේ මොකක්ද කියලා. ඒත් අපට කියන දේ හරියටම ඒ විදිහට කළා. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රංගනය ලබා දීමට ඔහුගේ උපදෙස්වලින් හැඩවෙන මැටි පිඩකින් මැවෙන නිර්මාණයක් වගේ වෙන්න මට පුළුවන් වුණා. ඕනෙම අලුත් කෙනෙක්ට වුණත් මට කියන්න තියෙන්නේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය මැටි පිඩ බවට පත් වෙනවා නම් අප නිරූපණය කරන චරිතයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්. ඒ අනුව ජනතාව අතරට යන්න, සම්මාන ගන්න පුළුවන් වෙනවා.

පසුගිය දවස්වල රිදී ටීවී ඔස්සේ මගේ චිත්‍රපට පෙළක් ප්‍රදර්ශනය වුණා. මමත් නිදහසේ නැරඹුවා සඳ යහනට චිත්‍රපටය. එහි මම බොහොම ශක්තිමත් කාන්තාවක්, ග්‍රාමසේවකවරියක් ඇයට එන අභියෝගවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ මුහුණුපොතේ කවුරුන් හෝ කර ඇති විග්‍රහයක් මට දිල් (දිල්හානි අශෝකමාලා) එවලා තිබුණා. ඒත් මට මෙහෙමත් හිතෙනවා. සමහර අය නිරූපණය කළ සමහර චරිත පිළිබඳව බොහෝ දේවල් කතා වෙනවා. ඒත් මේ චරිතය පිළිබඳ කතා වුණා මදිද?. සමහර විට මේ චිත්‍රපටය කළේ මොහාන් නියාස් නිසාද කියලත් හිතෙනවා. ඒ වගේ දේවල් තියෙනවා සමහර වෙලාවට මගේ සිනමා ජීවිතේ අත්දැකීම් අතර. මොකද බොහෝ වෙලාවට විචාර ප්‍රතිචාර ලියැවෙන්නේ එකම පිරිසක් පිළිබඳ විතරයි වගේ. අපිත් බොහොම මහන්සියෙන් තමයි යම් චරිතයක් නිරූපණය කරන්නේ. ඒත් අපේ දේවල් කොච්චර හොඳ වුණත් කතා බහට ලක්වෙනවා අඩුද කියලත් හිතෙනවා.

 

ඒ කියන්නේ විචාර කලාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලද?

ඔව්. ඇත්තෙන්ම සමහරු ලියන්නේ තමන්ට කැමැති අය ගැන විතරයි. මම හොඳටම දන්න දෙයක් තමයි මම ආවේ අර සරල නැටුම් ගැයුම් තිබෙන චිත්‍රපටවලින් නිසා මගේ දිහා ඒ අය බලන විදිහ ටිකක් වෙනස්. හැබැයි ඒ කවුරු මොන විදිහට බැලුවත් මම ඔප්පු කළා මගේ දේ හොඳට කළා කියලා. කොච්චර විචාරකයන් වුණත් ඒ අය තම තමන්ගේ යාළු මිත්‍රකම් ආදිය නිසා පැත්තකට ඇදෙනවා. ඒ වගේම මා ගැන බලන්න ඇත්තෙත් වාණිජ සිනමාවෙන් ආ කෙනෙක් හැටියට. ඒත් දෙවෙනි ගමන, සිසිල ගිනි ගනී වගේ චිත්‍රපටවලට ලැබිය යුතු ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබුණා මට.

දණ්ඩේ ලූ ගිනි, ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ වගේ ටෙලි නාට්‍ය ආපහු කවදාවත් කෙරෙන එකක් නෑ කියලත් මට හිතෙනවා. ඒ අතින් බලනකොට මම හරි වාසනාවන්තයි. ඒ මගේ ජීවිතේ හොඳම කාලේ මගේ ශ්‍රමය, කාලය මම ඒ වගේ හොඳම නිර්මාණවලට වැය කරන්න ලැබීම ඇත්තෙන්ම භාග්‍යයක්. මොකද මම ඒ කාලය තුළ සාමාන්‍ය ගෘහණියක් විදිහට හිටියා නම් බිරිඳක් වෙයි, අම්මා කෙනෙක් වෙයි, ඒත් මට මේ ප්‍රේක්ෂක පිරිස සහ ඇගයීම් ලැබෙන්නෙ නැහැනේ නේද? ඒ වගේම මම කළ චරිත ඇසුරින් සමාජයට යම් පණිවිඩයක් දෙන්න ලැබෙන්නෙත් නැහැනේ. මම කළ කැපකිරීම්වලින්, ඉදිරිපත් කළ චරිතවලින් සමාජයේ එක් අයකු හෝ යම් පාඩමක් ඉගෙන ගත්තා නම්, පණිවිඩයක් ලබා ගත්තා නම් ඒක තමයි නේ රංගන ශිල්පීන් හැටියට වගේම මනුෂ්‍යයෝ හැටියට අප ලබන ලොකුම ජයග්‍රහණය.

 

ඔබ වාණිජ - කලාත්මක බෙදීමට එකඟද?

අපි නළු නිළියන් වුණාම අපේ රූප ස්වභාවය, ශරීර ලක්ෂණ ආදිය අනුව තමයි චරිතවලට තෝරා ගන්නේ. මාවම උදාහරණයකට ගත්තොත් මට නගරයේ කලිසම් ටී ෂර්ට්, කොට සාය අඳීන චරිත වගේම ඔසරිය, රෙදි හැට්ට ඇඳගෙන ගැමි චරිත කරන්නත් පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ලාංකීය සිනමාව තුළ බෙදීම ගැන කතා කළොත් කඩවුණු පොරොන්දුවෙන් පටන් ගත්තා කියලා හිතලා කතා කරනකොට අපේ අම්මලා තාත්තලා හිටපු කාලේ චිත්‍රපට මට මතක නැහැ. අපි පොඩි කාලේ මාලනී (ෆොන්සේකා) අක්කලා හිටපු චිත්‍රපටවල ඉඳන් තමයි මතකයේ තියෙන්නේ. ඒ කාලෙ අපි දැක්කේ ලස්සන සින්දු නැටුම් එක්ක එන ඉන්දියානු බලපෑම සහිත චිත්‍රපට. ඒ නිසා ඉන්දියාවේ කළ දේවල් තමයි අපිත් කරන්න උත්සාහ කළේ. ඉතින් රේඛාව වගේ චිත්‍රපටයක් එන්න කලින් කාලයක් පුරා ආවේ ඒ චිත්‍රපට. අනෙක ඕනෑම රටක තමන්ගේ උගත්කම බුද්ධිය එක්ක ගනුදෙනු කරන පිරිසක් ඉන්නවා. තවත් කොටසක් එහෙම ලොකු බුද්ධි මට්ටමක් නැතිව ඔහේ සින්දුවක් අහලා විනෝදවන පිරිසක්. සිනමාකරුවන් ග්‍රහණය කරන්නේ මේ දෙපිරිසනේ. එච්.ඩී. ප්‍රේමරත්න වගේ අය මැද මාවතේ කියන්නේ ඔය ආකාර දෙක අතර මැද නිර්මාණ කරන නිසා. ඒ චිත්‍රපටවල සින්දුවකුත් තියෙනවා, ඒ වගේම යථාර්ථවාදී බවකුත් තිබෙනවා. මම වාණිජ කලාත්මක චිත්‍රපට දෙවර්ගයේම සිටි නිසා එකක් හොඳයි එකක් නරකයි කියන්න අමාරුයි.

මම වයසින් මුහුකුරා යද්දි තමයි තේරුම්ගන්නේ අපි දකින සිහින ලෝකයට වඩා එහා ගිය දෙයක් සිනමාවේ තිබෙන බව. හැබැයි අපේ ලංකාවේ තවමත් ඒ දෙවර්ගයේම ප්‍රේක්ෂාගාර තිබෙනවා. පිරිසක් කැමැති වෙයි චිත්‍රපටයක් බලලා ඒ ගැන වැඩිපුර හිතන්න. හැබැයි සමහර අය කැමැති නැති වෙන්න පුළුවන් චිත්‍රපටයක් බලලා හිතන්න. සංගීතය පැත්තෙන් උදාහරණයක් කීවොත් මම කැමතිම අමරදේව මාස්ටර්ගේ 'ආදර හැඟුම්' සින්දුවට. හැබැයි මම ජෝතිපාලට, ඇන්ජලීන්ටත් කැමැතියි. ඒ නිසාම තමයි මට ඒ දෙවර්ගයේම රැඳෙන්න පුළුවන් වුණේ. අනෙක අපේ රසවින්දනය පුළුල් නොවුණොත් අපි එක පැත්තකට කොටු වෙනවා. අනෙක් දේ හෙළා දකින්න ගන්නවා. ඒක සුදුසු දෙයක් නෙවෙයි. මම හොඳ දේවල් බලලා ඒ ගැන හිතන්න ආසයි වගේම මම හින්දි සින්දුවලටත් හරි ආසයි. හින්දි නැටුම් බලන්න හරිම ආසයි. ඒ චිත්‍රපට බලන්න ආසයි. අනෙක මිනිස්සු හැමෝම එකම විදිහට හිතන්න ඕනෙ කියලා නීතියකුත් නෑනේ. අපේ රටේ සිනමාව බෙදෙන්නෙත් ප්‍රේක්ෂාගාරය ඒ විදිහට බෙදෙන නිසා.

 

ඒත් ඔබ යම් හැරවුමක් ගත්තා?

මට එහෙම හිතුණේ නැත්නම් තාම එතැනනේ. තව දෙයක් අකාල සන්ධ්‍යා වගේ ටෙලි නාට්‍යයක ම‌ට පිරිමි කෙනකුටත් වඩා හොඳීන් අශ්වයා පිටේ යන්න පුළුවන් වුණේ අර වාණිජ කියන චිත්‍රපටවල මම අශ්වයන් පැදලා පුරුද්ද තිබුණ නිසා. ඒ තමයි ඒ දෙක අතර සම්බන්ධය. ඉතින් මම හරි වාසනාවන්තයි කියලා හිතෙනවා එකම තැනක කොටු නොවී ඒ දෙවර්ගයටම සම්බන්ධ වෙන්න පුළුවන් වුණ එක.

 

වර්තමාන ශිල්පීන් එතරම් වාසනාවන්ත නැද්ද?

ඇත්තටම එහෙමත් හිතෙනවා. මොකද '80 මම එනකොට තිබුණේ ස්වර්ණමය සිනමාවක්. ඊට කලින් තිබුණු අතිශයින්ම ස්වර්ණමය යුගය ඒ කියන්නේ 70 දශකයේ සිනමාව අපි පොඩි අය හැටියට දැක්කා. ගාමිණි, විජය, ජෝ, ටෝනි, මාලිනී ජනප්‍රියම යුගය. ඊට පස්සේ අපි. ඉතින් එහෙම සිනමාවක්, එහෙම කර්මාන්තයක්, එහෙම කාලයක් ඇත්තටම වින්ද කෙනෙක් විතරයි දන්නේ. අපි කොච්චර නම් චිත්‍රපට කළාද? කොයිතරම් දේවල් සිදු වුණාද? සිනමාව ,රට, ලෝකය වුණත් එදා හරිම වාසනාවන්තයි. ඒ හා සැසඳුවාම අද හැම අතින්ම අපි ඉන්නෙ හොඳ කාලයක කියන්න බැහැ. හැබැයි හැමදේම වෙනස් වෙන නිසා හැමදාම එකම විදිහට තියෙන්නෙත් නෑ.

 

අද පරපුරට ස්වර්ණමය යුගයක් එයිද?

තරුණ පරපුරේ අය හමු වුණාම අපට පේන දෙයක් තමයි ඒ අයට ලොකු ආශාවක් තිබෙනවා හරි දේ, හොඳ දේ කරන්න. ඒත් ඒ අයට චිත්‍රපට නෑ කරන්න. දැන් සිනමා කර්මාන්තයක් නෑනේ රටේ. තම තමන්ගේ උනන්දුවෙන් ඇදගෙන යන සිනමාවක් මිසක. දෙවෙනි ගමන එක්ක මැනිලා අන්තර්ජාතික සම්මාන උලෙළට යන්න මට අවස්ථාව ලැබුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, එච්.ඩී. ප්‍රේමරත්න, රවීන්ද්‍ර, සනත් කට්ටිය එක්ක. අපි විවිධ චිත්‍රපට නැරඹුවා. එමිල්ඩා මාකෝස් ඉන්න කාලේ ඒ උලෙළ පැවැත්වුණේ ඉතාම උත්කර්ෂවත් අන්දමට. විරාගය එංගලන්තයේ පෙන්වද්දීත් මට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. තිස්ස (අබේසේකර) අය්යා මට ඒ දවස්වල කීවෙම චිත්‍රපට බලන්න ඒවා ගැන කියවන්න කියලා. ඉතින් ඉස්කෝලෙකට යනවා වගේ ඒ වැනි පිරිසක් ඇසුරු කරන්න ලැබීමත් විශාල පිනක්. සමහර විට අද පරම්පරාවට එහෙම නොලැබුණා වෙන්න පුළුවන්. ඒත් අපි ප්‍රාර්ථනා කරමු 2021 ඒ වගේ යුගයක් ඒ අයටත් උදා වෙන්න කියලා.

 

නවකයන්ගේ තරු ගුණය ගැන මොකද හිතෙන්නේ?

මට තිස්ස අය්යා මැර්ලින් මොන්රෝගේ ජීවිත කතාව පොත උපන්දිනයකට තෑගි කරද්දි සටහනක් ලියලා තිබුණා. කෙටියෙන් කීවොත් ඒකේ තිබුණේ 'කැමරාව ඔබට ආදරය කළා. තරු ගුණය ඔබට පිහිටා තිබෙනවා' කියලා. මේ කාරණා දෙක සමඟ සලකා බැලුවාම මට හැඟෙන්නේ හැකියාව කියන දේ අපට වර්ධනය කරගන්න, අධ්‍යයනය කරන්න, ඔප මට්ටම් කරගන්න පුළුවන් වුණත් තරු ගුණය වගේ දේවල් පිහිටන්නේ වාසනාවත් එක්ක. අනෙක අපි කළ දේ බැලුවාම, ටෙලි නාට්‍යයක ඉන්න කෙනකුට වඩා සිනමා නිර්මාණයක පෙනෙන කෙනකුව ප්‍රේක්ෂකයන්ට හොඳීන් මතකයේ රැඳෙනවා. මොකද ශාලාවක් තුළ තනිකරම ප්‍රේක්ෂකයා නළුවා හෝ නිළියට ග්‍රහණය වෙනවා. එය ටෙලි නාට්‍යයකදි සිදු වන්නේ නැහැ. සිංහල සිනමාව තුළ එදා සිට අද දක්වා ප්‍රේක්ෂකයන් ආදරය කරන චරිත කීපයක් ඉන්නවා. ඔවුන් ජීවතුන් අතර සිටියත් මිය ගියත් ප්‍රේක්ෂක හදවත් තුළ අමරණීය වෙලා තිබෙනවා. එනිසා මා ගැනම කල්පනා කරද්දි වුණත් මට අක්කලා දෙන්නෙක් ඉද්දි මාවම ක්ෂේත්‍රයට සම්බන්ධ වූ විදිහ, මගේ නමින්ම චිත්‍රපටයක්, ගීතයක් නිර්මාණය වීම ආදිය සලකද්දි මම සිනමා නිළියක් වෙන්නම හේතු හැදිලා තිබෙන බව පේනවා. ඒ වගේම ජනතා ආකර්ෂණය, ආදරය ලබන්න, කලාවේ නියැළෙන්න, මේ ආකාරයේ ස්වරූපයක් ලබන්න, ඒ වගේ කාලයක ඉපදෙන්න පිනක් තිබෙන්න ඕනෙ. කුමන රටක වුවත් කලාකරුවකු වන්නේ යම් අකාරයක පිනක් කළ අය කියලයි මට හිතෙන්නේ. අපි දන්නවා මිනිසුන්ට වැඩියෙන්ම ඕනෙ කරන්නේ ආදරය. ආදරය නැතුව ජීවත් වෙන්න අපට හරි අමාරුයි.

 

එදා සහ අද රංගනය සැසඳුවොත්?

මම ඊයේ පෙරේදාත් ඔය ගැන කල්පනා කළා. මම සෑහෙන කාලෙකින් නිර්මාණයකට දායක වුණේ නැහැ. හැබැයි අවබෝධයක් ඇතිව කැමරාවට මුහුණ දුන් පළමු මොහොතේ දැනුණු චකිතය එදත් තිබුණා. ඉදිරියටත් නැති වෙයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි ඒ බය තියෙන එක හොඳයි කියලා මම හිතනවා. මොකද බය නැති වුණොත් අපි සැහැල්ලුවෙන් දේවල් හිතනවා. ඊට වඩා රංගනය සාර්ථක වන්නේ මට ඒ දේ හරියට කරගන්න පුළුවන් වෙයිද කියන සිතිවිල්ලෙන් හිටියොත් විතරයි. ඉදිරි නිර්මාණයකට දායක වන්න හිතන නිසාත් දැනුම වර්ධනය සඳහාත් මම මේ නිශ්ශබ්ද කාලයේ හරියට චිත්‍රපට බලනවා, පොත් කියනවනවා. එයින් පුහුණුවක් ලැබෙනවා වගේ දැනෙනවා. අපි මොනදේ කළත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න හිතනවා නම් ඒ පිළිබඳ අවධානයෙන් ඉඳීම වැදගත්. හැබැයි කියමනක් තියෙනවා යමෙක් ජීවිතේ එක් වතාවක් හෝ නළුවකු හෝ නිළියක වුණොත් සදාකාලයටම එය වෙනස් වන්නේ නැහැ කියලා. ඒකත් ඇත්ත. මොකද මම කාලයක් නිහඬව ඉඳලා දැන් මම සාමාන්‍ය ගැහැනියක් කියලා හිතාගෙන එළියට ගියාම මා දිහා පිරිස බලන විදිහ වෙනස්. ඉතින් මම තේරුම් ගත්තා නෑ මම සාමාන්‍ය නැහැ, වෙනස් කෙනෙක් කියලා. ඒ නිසා අපට කවදාවත් සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ. රසිකයන් අපි දිහා බලන්නේ අපි කරලා තිබෙන නිර්මාණ ඔස්සේයි. හැබැයි අපි එයින් උදම් නොවී මනුෂ්‍යත්වය පිළිබිඹු වන විදිහටයි කටයුතු කළ යුත්තේ. අපේ නිර්මාණවලින් පිටතට පෙන්වන දේ අපේ ඇතුළාන්තයෙනුත් ක්‍රියාත්මක වුණොත් තමයි අපි සැබෑ කලාකරුවන් වන්නේ.

 

අද තාක්ෂණය දියුණුයි?

ඉතාම හොඳ තාක්ෂණයත් සමඟ කටයුතු කරන්නයි මම නම් කැමැති. අපි පොඩි වීඩියෝ කැමරාවලිනුත් වැඩ කරනවානේ. ඒත් ඒවායේ ගුණාත්මකබව කොතරම්ද කියන එක හිතන්න වෙනවා. ඉස්සර අපි රඟපෑවේ ශබ්දයක් එන කැමරාවකට. මම දැක්කා අරුණි එක්කම ස්වර්ණා (මල්ලවාරච්චි) අක්කා කියා තිබෙනවා චරිතයට පිවිසෙන්නේ කැමරාවේ ශබ්දය ඇහෙද්දි කියලා. ඒක ඇත්ත. ඒත් පසුකාලීනව ඇඩ්‍රස් නෑ එහෙම කරද්දි අලුත් කැමරාවලට අපි පුරුදු වුණා. ඒත් ඉතින් අපි මිනිසුන් හැටියට නවීන තාක්ෂණයට හුරු විය යුතුයි. තාක්ෂණයේ දියුණුව හොඳ වුණත් වෙලාවකට මට හිතෙනවා ඒ නිසා මිනිසුන් විදිහට අපි ඈත් වෙනවා ද කියලා. කෑමකට ගියත්, ගමනක් ගියත් අපි වෙන වෙනම ලෝකවල ජංගම දුරකථනයේ ඇලිලා ඉන්නවා පේනවා. මම ගෙදර ඒ තත්ත්වය වෙනස් කරලායි තිබෙන්නේ. කෑම කන වෙලාවට අපි පවුලේ අය කතාබහ කරන්න ඕනේ. අපි තාක්ෂණයේ වහලුන් වන්න හොඳ නෑ. එහෙම නැති වුණොත් පවුල්වල බැඳීයාව නැතිව යනවා. කතා කරන්න දේවල් නැතිව යනවා. ඒක හොඳ නෑ.

 

ඔබ තිර දෙකම ජයගත්තියක්?

ටෙලිවිෂනයට යන්න කිසිම කැමැත්තක් තිබුණෙ නැහැ. මගේ මාධ්‍යය සිනමාව කියල තමයි හිතාගෙන හිටියේ. හැබැයි අපට ඉගෙන ගන්න රංගන පාසලකුත් නැති නිසා හොඳම අය කවුද ඒ අයගෙන් යම් දැනුමක් ලබා ගන්නේ කොහොමද කියන සෙවිල්ලෙන් තමයි හිටියේ. ඒ අතර ටයි අංකල් (ටයිටස් තොටවත්ත) රන් කහවනු නාට්‍යයට ආරාධනා කරනවා. මේ පුද්ගලයාගෙන් ඉ‌ගෙන ගත හැකි දේවල් නිසා මම ටෙලි නාට්‍යයට සම්බන්ධ වන්න තීරණය කරනවා. හම්මෝ ඒක හරියටම රංගන පාසලක් වගේ තමයි. හැමෝම කීවට හරි සැරයි කියලා එහෙමත් නෑ. මට හරි ආදරෙයි ටයි මහත්තයා. එයාට හරි අමුතු දේවල් තියෙන්නේ. දෙවෙනි ගමනෙන් පස්සේ එහෙම අපි පිටපත් බලාගෙන හරි බරපතළ විදිහට දර්ශන තලයේ ඉන්නේ. ටයි අංකල් ඇවිත් ඒවා ඇදලා දානවා 'ඕවා ඕනෙ නැහැ කියලා.' මම ගුරුවරියකටනෙ හිටියෙ. පිටපතේ නොතිබුණු කොටසක් කරන්න මගෙන් අහනවා. 'ඔයාට පුළුවන්ද සින්දුවක් කියන්න' මම හා කියනවා. අන්තිමට ඒක බොහොම ලස්සනට නාට්‍යයේ මම කියලා තිබුණා. ඇත්තෙන්ම එයාගේ රංගන වින්‍යාසය වෙනස්. ඒ නිසා අපි නොදැනම අපි රඟපාලා. තිස්ස අබේසේකර ඊට හාත්පසින්ම වෙනස්, එච්.ඩී. ප්‍රේමරත්න වෙනස්ම විදිහක්, ප්‍රසන්න විතානගේ තවත් විදිහක්. ඉතින් මට ඕනෙ දේ ඒ විදිහට ලබා ගත්තා. රන්කහවනුවලින් පස්සේ මම දිගු කාලයක් ටෙලි නාට්‍යයකට සහභාගී වුණේම නැහැ.

හැබැයි රූපවාහිනිය ප්‍රේක්ෂකයන් ගෙදරට අද්දවා ගත්තා. එයින් සිනමාවට බලපෑමක් වුණේ නෑ කියන්න බැහැ. ඒත් හැමදේම කෙටි කාලයයිනේ. ඉතින් මිනිස්සු ටීවී එක බලලා බලලා හොඳ චිත්‍රපටයක් ආවාම බලන්න ගියා. මමත් චිත්‍රපට ‌සෑහෙන සංඛ්‍යාවක් කළා. ඔය අතර තමයි මට සුදත් මහදිවුල්වැවගෙන් දණ්ඩේ ලූ ගිනි සඳහා ආරාධනාවක් ලැබෙන්නේ.

සිනමාව තුළත් අපේ ජීවිතේ එක එක යුග තිබෙනවානේ අරුණි. එහෙම එක කාලයක් තිබුණා. ප්‍රසන්න විතානගේගෙන් පටන් ගත්තොත්, ඔහුගේ පළමුවැනි චිත්‍රපටය, ප්‍රියන්ත කොළඹගේගේ පළමු චිත්‍රපටය, සුදත් දේවප්‍රියගේ පළමු චිත්‍රපටය -එළිවෙන යාමය- හැබැයි තවම එයට එළි වුණේ නෑ. බන්දුල පද්මකුමාරගේ සරසවි දියණියෝ වගේ ඒ කාලේ තරුණ අධ්‍යක්ෂවරු රැසකගේ පළමු නිර්මාණයේ රඟපෑවෙ මම. ඒ වෙද්දි මට ඕනෙ වෙලා තිබුණේ හොඳ රඟපෑමක් ඉදිරිපත් කරන්න. ඒක හරියට පිපාසයක්, උණක් වගේ. සිසිල ගිනි ගනී කරද්දි සෑහෙන අභියෝගයක් වුණා මම කළේ කළු චරිතයක් නිසා. හැබැයි කොයි වෙලාවකවත් මම නිරුවතට සම්බන්ධ නොවෙන බවට මගේ හිතටම පොරොන්දුවක් දීලා තිබුණා. ඒකට හේතුව මම සෑහෙන්න ලැජ්ජාශීලී කෙනෙක්. මට ගොඩ දෙනෙක් ඉස්සරහ එහෙම කරන්න බැරි වෙයි. මට ඒ වගේ චිත්‍රපට කීපයක් ලැබුණත් මම ප්‍රතික්ෂේප කළා. හැබැයි මම දුම්බොන චරිත එහෙම කළා.

 

නිළියකට එහෙම පුළුවන්ද?

රංගනයකට පිපාසයක් තියෙන කෙනෙක් හැටියට හරි නම් කිව යුත්තේ මම ඕනෙම චරිතයක් කරන්න ලෑස්තියි කියලා. ඒත් මගේ හිතත් එක්ක ඒ දේ කරන්න ගියොත් මගේ රංගනය අසාර්ථක වෙයි. අනෙක අපි හැමදේම කරන්නේ අපේ හිතේ සතුටටනේ. හිතේ අසතුටෙන් දෙයක් කරලා ජීවිත කාලයෙම විඳවන්න මට ඕනෙ වුණේ නැහැ. ඒවා නොකළා කියලා මට අඩුවක් වුණෙත් නැහැ. එක්තරා තැනකට ආවට පස්සේ මට ඕනෙ වුණේ චරිතය සුදුද කළුද අළුද කියන දේ නෙවෙයි. අලුත් අලුත් අත්දැකීම් ඔස්සේ විවිධ රංගනයන්ට දායක වෙන්න.

 

ටෙලි සහ සිනමා රංගනයේ වෙනසක් තිබෙනවාද?

නැහැ. රංගනය කියන දේ මොන මාධ්‍යයෙන් වුණත් එකයි. පිටගම්කාරයෝ ටෙලි නාට්‍යයේ මිසි නෝනාගේ රංගනයට මට චිත්‍රපටයකට තරම්ම මහන්සි වෙන්න වුණා. රංගනය කියන්නේ අපට දෙන චරිතය ජීවමාන කිරීම. එතැනදි අපි යථාර්ථවාදී වුණොත් පමණයි ප්‍රේක්ෂකයන් එය වැලඳගන්නේ.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තුව?

වෙනස් වන ලෝකයේ 2020ට වඩා 2021 වෙනස් වෙයි. තවම දින හතයි මේ වසරේ දින 365න් ගෙවී තිබෙන්නේ. අප කරන දේවල් හොඳ වන්නේ රටටත් හොඳ වුණොත් විතරයි. මේ අවුරුද්දේ අපි සියලු දෙනා යහපත් ප්‍රාර්ථනාවලින් යුතුව යහපතක් වෙන්න කියලා හිතාගෙන ඉමු. එහෙම නොවුණත් කරන්න දෙයක් නැහැ. හැබැයි එකම දේ එකම විදිහට හැමදාම පවතින්නේ නැති නිසා ඊළඟ මොහොත යහපත් වෙයි කියන බලාපොරොත්තුව තබා ගෙන ඉමු. ඉදිරියේදිත් හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් තිබෙනවා. මේ මාසේ පටන්ගන්න තියෙන්නේ. අපි බලමු එලැඹෙන තත්ත්වයත් එක්ක මොනවා වෙයිද කියලා.