මාව පෙම්වතා විදිහට එයාලට පෙනෙන්නේ නැතුව ඇති...

රංගන ශිල්පී අජිත් වීරසිංහ
ජනවාරි 21, 2021

පෙම්වතාගේ චරිතය කියන්නේ එක් චරිතයක් පමණයි.

 

ප්‍රතික්ෂේප කරන්න තරම් චරිතයක් ලැබුණෙ නැහැ.

 

කාලයක් තිබුණා එක දිගට මට පොලිස් චරිත විතරයි ලැබුණේ.

 

ක්ෂේත්‍රයේ ප්‍රධානම දුර්වලකම තමයි හරි විනයක් නැතිකම

 

නළුවෙකු කියන්නේ සම්මාන ගන්න ඕනම කෙනෙක් නෙමෙයි

 

ඔක්කොටම කලින් තමන් කරන රස්සාවට ආදරය කරන්න ඕනේ.

 

වස්සානේ ප්‍රේමය නාට්‍යයේ ශාක්‍ය කියන චරිතය තමයි මාව හුඟක්ම ජනප්‍රිය කළේ.

 

ව්‍යාපාරවලට 50% යි රංගනයට 50%

 

ආරෝහ පරිනාහ ශරීර ස්වරූපයකට හිමිකම් කියන ඔහුට ඊට සරිලන ගැඹුරු කටහඬක් ද තිබේ. ඒ හිමිකම් භාවිත කරමින් හෙතෙම රංගන ශිල්පියකු ලෙස සාර්ථක ගමනක යෙදෙයි. ඔහුගේ රුව දුටු පමණින් ඔබ මතකයට නැගෙන චරිතය කිහිපයක්ම ඇති බවට කිසිදු සැකයක් නැත. මේ දිනවලදී සිහින ගෙනෙන කුමාරියේ ටෙලි සිතුවමේ වලව්කාර චරිතයක් රංගනයේ යෙදෙමින් ඔහු ඔබ හමුවට පැමිණෙමින් සිටියි. මේ රංගන ශිල්පියාගේ නම අජිත් වීරසිංහයි. ටෙලිනාට්‍ය හා සිනමාව යන අංශ ද්විත්වයම කැපී පෙනෙන දස්කම් දක්වන අජිත් සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස ද ප්‍රකටය. ඉන් පරිබාහිරව ඔහු පිළිබඳ වඩාත් කතාබහට ලක් වන්නේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ මෙගා ස්ටාර් වැඩසටහන සමඟිනි. එහි මෙගාස්ටාර් ලෙස කිරුළු පලඳීන්නේ අජිත්ය. ඔහුගේ ඒ ජයග්‍රහණය ඇතැමුන්ගේ දැඩි විවේචනයටද බඳුන් විය. කෙසේ වෙතත් ඉන් අනතුරුවද රංගන ශිල්පියකු ලෙස අඛණ්ඩව සිය දායකත්වය ලබා දෙමින් නිර්මාණ ගණනාවකින් පුංචි තිරය සහ රිදී තිරය හැඩ කළ අජිත් වීරසිංහ මෙලෙස සරසවිය හා කතාවකට එක් වනුයේ දිගු කලකට පසුවය.

 

කොහොමද අජිත්?

අපි ඉතිං ඉන්නව පුරුදු විදිහට වැඩ කටයුතු කරගෙන.

 

සිහින ගෙනෙන කුමාරියෙ නාට්‍යයේ පමණද මේ දවස්වල ඔබ රඟපාන්නේ?

මම රඟපෑ ඒවායෙන් මේ දවස්වල විකාශය වන්නේ ඒ නාට්‍යය විතරයි. මම එහි වික්‍රමබාහු කියන වලව්කාර චරිතය රංගනයේ යෙදෙනවා.

 

එක කාලයකදී එක වගේ චරිත බොහොමයකට ඔබට ආරාධනා ලැබෙනවා?

ඔව් ඒක එහෙම සිද්ධ වුණා. එක කාලයක් තිබුණා එක දිගට මට පොලිස් චරිත විතරයි ලැබුණේ. මතක ඇති ස්වර්ණවාහිනි විකාශය වුණ ලොක්කයියා නාට්‍යයේ මම කරපු පොලිස් චරිතයෙන් පස්සෙ තමයි එහෙම වුණේ. ඊට පස්සේ වලව්කාර චරිත හම්බ වුණා. මම හිතනවා එහෙම එක කාලෙකදි එකවගේ චරිත ලැබුණට මම චරිතාංග නළුවෙකු විදිහට විවිධ චරිත ගණනාවක් කළා කියලා. මහ රජ ගැමුණු චිත්‍රපටයේ නන්දිමිත්‍ර යෝධයා. ඒ වගේම සංසාරරණ්‍ය අසබඩ නාට්‍යයේ මම වෙනස්ම චරිතයක් රඟපෑවා. ඒ නාට්‍යය විකාශය වෙන කාලය මගේ අම්මෝ....ප්‍රතිචාර එහෙම හරිම ඉහළයි.

 

ප්‍රහසන චරිතත් කළා කියලා මට මතකයි. ඔබ හිතනවද ඔබ එවැනි චරිතවලට ගැළපෙනවා කියලා?

මොකද ගැළපෙන්නේ නැත්තේ. මට පුළුවන් කොමඩි චරිතත් කරන්න. පළමුවෙනි වතාවට එහෙම චරිතයකට කතා කළේ සිකුරුලන්තයේ කියන නාට්‍යයේ නිෂ්පාදිකාව. ඒ නාට්‍යයේ ප්‍රහසන චරිතයක් ලැබුණාම මම කල්පනා කළේ නළුවෙක් විදිහට මට ලැබුණු අනගි අවස්ථාවක් නේද මේක කියලා. රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරද්දී හැම චරිතයක්ම රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ. සමහරු හිතන්න පුළුවන් මට ප්‍රහසන චරිත ගැළපෙන්නේ නැහැ. කියලා නමුත් ඒ මතය බොරු කරන්නත් එක්ක තමයි මම සිකුරුලන්තෙ නාට්‍යය රඟපාන්න බාර ගත්තෙ. ඒ නාට්‍ය විකාශය වෙන කාලේ ඉහළ ප්‍රතිචාර මට ලැබුණා. ඒ වගේම ඉදිරියෙදි තිරගත වෙන්න නියමිත හරිම ශෝක් චිත්‍රපටියෙත් මම රඟපාන්නේ ප්‍රහසන චරිතයක්.

 

අජිත් වීරසිංහ කියන්නේ ලැබෙන සෑම චරිතයක්ම රඟපාන බාර ගන්න නළුවෙක්ද?

තවම එහෙම ප්‍රතික්ෂේප කරන්න තරම් චරිතයක් ලැබුණෙ නැහැ. මට නිතරම ආරාධනා ලැබුණේ හොඳ චරිතවලට. ඒ චරිතවලට බොහොම ආසාවෙන් මම පණ පෙව්වා. මොකද සියල්ලටම කලින් අපිට රංගනය සඳහා ලබන ආරාධනයට ගරු කරන්න ඕන. මොකද ඒ චරිතවලට අපි ගැළපෙන නිසා නේ අපිට කතා කරන්නේ.

 

හැබැයි ඔබට පෙම්වතා වෙන්න ලැබුණේ නැහැ නේද?

ඔව්නේ. මම දැන් රඟපාන්න ඇවිල්ල අවුරුදු 25 ක් විතර ඇති. ඒ කාලය අතරතුරදී එක පෙම්වත් චරිතයක් මම කරලා නැහැ.

 

ඇයි එහෙම වුණේ?

පෙම්වතා විදිහට අධ්‍යක්ෂවරුන්ට පෙනුණේ නැතුව ඇති.

 

ඒ ගැන යම් කනගාටුවක් තියෙනවාද?

ඇයි මම කනස්සලු වෙන්නෙ... අපේ අධ්‍යක්ෂවරුන්ට මාව පෙම්වතා විදිහට නොපෙනුණාට ඔවුන් මට කතා කළේ වෙනස්ම චරිතවලට. ඒ නිසා නිසා මම ඔවුන්ට නිතරම හිස නමා ආචාර කරනවා. පෙම්වතාගේ චරිතය කියන්නේ කියන්නේ එක් චරිතයක් පමණයි. නමුත් ඉන් පරිබාහිරව මම කොච්චර නම් චරිත ක‍රලා තියෙනවාද.

 

ඔබ වඩාත් මිනිසුන් අතරට ගිය චරිතය මොකක්ද?

වස්සානේ ප්‍රේමය නාට්‍යයේ ශාක්‍ය කියන චරිතය තමයි මාව හුඟක්ම ජනප්‍රිය කළේ. මම බොහොම ආසාවෙන් කරපු චරිතයක් කියලාත් ඒක හඳුන්වා දෙන්න පුළුවන්.

 

ඔබ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන ගමන් තමයි රංගනයෙ යෙදෙන්නෙ?

ව්‍යාපාරවලට 50% යි රංගනයට 50%. මම එහෙම තමයි බෙදා ගෙන කටයුතු කරන්නේ.

 

වෘත්තීය නළුවෙක් වෙන්නට ඔබ අපේක්ෂා නොකළේ ඇයි?

වෘත්තීය නළුවෙක් වෙන්න හිතාගෙන තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. සියයට සියයක්ම රංගනය වෙනුවෙන් කැප වෙනවා කියලා මම ඒ කාලේ හිතුවා. නමුත් ටොපියේ රස දැනීගෙන එනකොට මට හිතුණා මේක දිගින් දිගටම කරගෙන හිටියොත් මම ආර්ථික පැත්තෙන් වැටෙනවා කියලා. ඒක නිසා මම තීරණය කළා වෘත්තීය නළුවෙක් නොවී, මගේම ව්‍යාපාරයකුත් කරගෙන රංගනය කියන කාර්යයේ නියැළෙන්න. මොකද මම දැකලා තියෙනවා රජවරු වගේ හිටපු කලාකරුවන්ගේ ජීවිතය අන්තිම කාලේ ගෙවුණේ කොහොමද කියලා. සමහරු මියැදුනේ ආර්ථික අතින් අන්තිම පල්ලෙහ තැනට වැටිලා. ඒ වගේම තව පිරිසක් මම දැකලා තියනවා ජීවිතය අන්තිම කාලයේ එක එක අයගෙන් උදවු උපකාර ඉල්ලනවා. කලාකරුවෙක් එහෙම වෙන්න ඕන කෙනෙක් නෙමෙයි. තමන් දැන ගන්න ඕනේ තමන් ආස කරන කලාවේ යෙදෙන ගමන් ආර්ථික පැත්තත් හදාගන්න. කලාකරුවෙකු එක එක අයට අත පානවා කියලා කියන්නේ ඒක කලාවටත් කරන අගෞරවයක්.

 

අජිත් වීරසිංහ කියලා කියන්නේ මුල්‍යමය අතින් පොහොසත් නළුවෙක්?

අනිවාර්යයෙන්ම.

 

දිගු කලක් නළුවෙකු විදිහට මේ ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යද්දි, එහි වෙනසක් වෙන්න ඕනේ කියලා හිතුණු අවස්ථා මොනවද තියෙන්නේ?

ඇත්තටම මට ඔය ගැන කියන්නම අවශ්‍යයි. මේ ක්ෂේත්‍රයේ මම දකින ප්‍රධානම දුර්වලකම තමයි හරි විනයක් නැතිකම. ඒ වගේම පරාර්ථකාමී හැඟීමෙන් වැඩ කරන අය හරිම අඩුයි. ඔක්කොටම කලින් තමන් කරන රස්සාවට ආදරය කරන්න ඕනේ. රැකියාවට ආදරය කරමින් විනයානුකූලව වැඩ කටයුතු කරන අය ඉන්නේ අතේ ඇඟිලි ගාණට අඩුවෙන්. අපේ ආකල්ප වෙනස් වෙන්න. ඕනේ හැමෝම බලන්නේ තම තමන්ගේ අය වුණත් කමක් නැහැ, ඔවුන්වද කපාගෙන තමන් කැපී පෙනෙන්න. උදාහරණයක් විදිහට, තමන්ගේ එක පවුලක සහෝදර සහෝදරිය වුණත් බලන්නේ තමන් නැඟී සිටින්න මිසක් තමන්ගේ සහෝදර සහෝදරයින් කැටුව ජීවිතය ගමනක් යන්න නෙමෙයි. එකට එකතුවී යන ගමන සාර්ථක බව කිසි කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ක්ෂේත්‍රයේ පැත්තකින් තියන්නකෝ. අපේ රටේ බලන්න. බොහෝ ගෙවල්වල මිනිස්සු, අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක තරහයි. ඇයි එහෙම වෙන්නේ... අපේ ආකල්ප කොතනද තියෙන්නෙ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ තත්ත්වය තමයි අපේ කලා ක්ෂේත්‍රයටත් බලපාන්නේ. මේ රට ඇතුළේනේ කලා ක්ෂේත්‍රයත් තියෙන්නෙ. මගේ නුවරඑළිය හොටෙල් එක හදද්දි මම ඒ කිට්ටුව කූඩාරමක් ගහගෙන නැවතිලා හිටියා. එතන උඩ තිබුණු වයර් එකකට වහලා කාක්කෝ ඇවිත් ආහාර කනවා මම දැකලා තියෙනවා. එහෙම කාලා විසි කරපු ඇටයකින් මගේ කූඩාරම ඉස්සරහ නෝකෝල් ගහක් පැල වෙලා තියෙනවා මම දැක්කා. ඒක ගලවලා බලපුවාම අතිවිශාල අලයක් තිබුණා. කාක්කෙක් විසිකරපු ඇටයකින් පැලවුණු ඒ නෝකෝල් ගහේ විශාල අලයක් ඇවිල්ල තිබුණා කියලා කියන්නේ ලංකාව මොනතරම් සරුසාර රටක්ද.. එහෙම රටක තමයි අපි මේ ඉන්නේ. සම්පත් තියෙද්දී අපේ රට දියුණුව කරා ගමන් කරන්නේ නැත්තෙ අපේ ආකල්ප අන්තිම පහළ අඩියක තියෙන හින්දා. අපි තනිවම වෙනස් වෙන්න අමාරුයි.

 

නිෂ්පාදකවරයෙකු විදිහට ඔබ නිර්මාණය කරන්න පෙලඹුණේ නැත්තේ ඇයි?

චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට සල්ලි වියදම් කිරීම නිශ්ඵල ක්‍රියාවක් කියලා මට හිතෙනවා. අනික මගේ අරමුණ රංගනය පැත්තෙන් දෙයක් කිරීම මිසක් නිෂ්පාදකවරයෙකු විදිහට හිසට, හිතට ලොකු බරක් ගෙන කටයුතු කිරීම නෙමෙයි. රංගනය කියනදේ සැහැල්ලු වෙන් කරගෙන යන්න ඕන විෂයක්.

 

අධ්‍යක්ෂණයට පෙලඹුණේ නැත්තේ?

අධ්‍යක්ෂණය කරන්න මම දන්නෙ නැහැ. දන්නදේ කරගෙන හිටිය ඇතිනේ.

 

නළුවෙක් විදිහට ඔබ සම්මානයට පාත්‍ර වෙලා නැති තරම්... ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

නළුවෙකු කියන්නේ සම්මාන ගන්න ඕනම කෙනෙක් නෙමෙයි. දන්නවද මම වැඩ කරන ගොඩක් නාට්‍යය ඉතා සාර්ථක වෙලා තියෙනවා. මට නිෂ්පාදකවරු පුද්ගලිකව කතා කරලා කියල තියෙනවා ඔයා ගත්තු නිසා තමයි මේ නාට්‍යය සාර්ථක වුණේ කියලා. ක්ෂේත්‍රයේ එහෙම මතයකුත් තියෙනවා. මම රඟපාන නාට්‍ය සාර්ථක වෙනවා කියලා. ඉතිං ඒක තමයි මම ලබපු ලොකුම සම්මානය.