අම්මගෙයි තාත්තගෙයි රාජකාරිය ඉවර වෙන්නෙ මැරෙන දවසට

-රොෂාන් රණවන-
පෙබරවාරි 11, 2021

 

මේ තරු කරළියේ සෑම නිවසකින්ම පාහේ කිරිසිනා හඬ රැව් දෙන සමයකි. තනි තනිව පෑයූ තරු යුගල වී තරු පොකුරු බවට පත් වෙන කාලයකි. මෙරට සිනමාවේ රසික ජනාදරයට පත් තරුවක් වන රොෂාන් රණවනගේ නිවසින්ද කිරිසිනා හඬ ඇසෙන්නට පටන්ගෙන දැන් වසරක්ද ඉක්මගොස්ය. නිවෙසට අලුතින් ආ අමුත්තා ගැන සහ අලුත් ජීවිතය ගැන පිළිසඳරකට රොෂාන්ව අප මෙසේ එක් කරගත්තෙමු.

අලුත් අමුත්තා දැන් ලොකු ළමයෙක් නේද?

ඔව්. දැන් එයා ලොකු ළමයෙක්. අවුරුද්දයි මාස පහක් දැන් එයාට. එයා ගොඩක් හුරතල්. ඒ වගේම දඟයි. එයාගේ නම මිනෙත් රණවන. දරුවෙක්ට නම් ගොඩක් තිබ්බම කරදරයි. ඒ නිසා මමයි කුෂ්ලානියි (බිරිඳ) දෙන්නාම කතා වෙලා පුතාට එක නමකුයි වාසගමයි දැම්මා.

 

මිනෙත්ගේ නමේ තේරුම මොකක්ද?

මිනෙත් කියන්නේ මිහිරි නෙත්වලට. ඇත්තටම එයාට එහෙම මිහිරි නෙත් දෙකක් තියෙනවා. පුතාට නම දැම්මේ අපේ විදේශගත වෙලා ඉන්න යාළුවෙක්. එයාට සිංහල පිළිබඳ ලොකු දැනුමක් තියෙනවා. එයා පුතාට දීපු නම් අතර අපි තෝරගත්තේ මේ නම.

 

රොෂාන් බලාපොරොත්තු වුණේ දුවෙක්ද පුතෙක්ද?

 

සාමාන්‍යයෙන් කියනවනේ තාත්තලා වැඩිපුර ආදරේ දුවලාට කියලා. මටත් ඒකම තමයි. මමත් ඇත්තටම දුවෙක්ට කැමැත්තෙන් හිටියේ. මම පොඩි කාලේ මගේ මල්ලි ඉපදෙන්න කලිනුත් හිතුවේ නංගි කෙනෙක් ලැබෙයි කියලා. සහෝදරියක් නැති අඩුව තදින්ම දැනුණා. ඒ නිසාම දුවෙක් ලැබුණා නම් හොඳයි කියලා හිතුණා. ඒත් දුවෙක් හෝ පුතෙක් කවුරු වුණත් තමන්ගේ දරුවෙක්නේ. දැන් මට මිනෙත්ව දැක්කාම හිතෙනවා "අනේ... ඇයි මම එහෙම හිතුවේ?" කියලා. පුතෙක් ඉන්න එක කොච්චර හොඳයිද කියලා දැන් හිතෙනවා. ඒත් මම ඇත්තටම දුවලාටත් ආදරෙයි. ආයිමත් දරුවෙක් හදනවා නම් දුවෙක් තමයි බලාපොරොත්තු වෙන්නෙත්. ඒ නැතත් මිනෙත් කවදාහරි දවසක දුවෙක් අරගෙන ඒවිනේ. (සිනාසෙමින්)

 

පුතෙක් කියන්නේ තාත්තෙක්ට ලොකු වගකීමක් නේද?

කොහොමත් දරුවෙක් ඉන්නවා කියන එක ඕනේම මවුපියන් දෙදෙනෙක්ට ලොකු වගකීමක්. පුතෙක්ගේ වගකීම ටිකක් වැඩියි. ගොඩක් මවුපියන් දරුවාව බිහි කළාට පස්සේ දරුවාව අතඇරලා දානවා. දරුවාගේ අනාගතය ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. මවුපියන්ට දරුවාව මඟහැරිලා දරුවෝ වැරදි පාරවල්වල යනවා. ඒ වගේ මිනිස්සු තමයි අවාසනාවන්ත ජීවිතවලට උරුමකම් කියන්නේ. කුෂ්ලානිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියපු ගමන්ම අපි දෙන්නටම ඒ වගකීමත් දැනුණා. දැන් ඒ වගකීම ඊටත් වැඩියෙන් දැනෙනවා. මට ඕනේ කවදාහරි මිනෙත් හොඳ මනුස්සයෙක් හැටියට හොඳට ඉගෙනගෙන සමාජයට බරක් නැතුව ජීවත් වෙනවා දකින්න.

 

පුතාව මුලින්ම දැක්කාම මොකද හිතුණේ?

මට තියටර් එකේ ඉන්න අවස්ථාව ලැබුණා. මම තමයි පුතාව මුලින්ම දැක්කේ. ඒ හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න බැහැ. සතුට, වගකීම් හැමදෙයක්ම මිශ්‍ර වුණු හැඟීමක් ඒක. මේ ලෝකේ ජීවත් වෙන මනුස්සයෙක්ට දැනෙන හැඟීම්වලින් එක්තරා විශේෂ හැඟීමක්.

 

හැමෝම කියන විදිහට මිනෙත් රොෂාන් වගේද කුෂ්ලානි වගේද?

මම හිතන්නේ සියයට අනූපහක්ම කියන්නේ මිනෙත් කුෂ්ලානි වගේ කියලා. එයා ඉපදුණු දවස්වල කුෂ්ලානි වගේ පෙනුණා. ඒත් දැන් මට හිතෙනවා මගේ හැඩහුරුකම් එයාට තියෙනවා කියලා. මගේ පොඩි කාලේ ෆොටෝ දකිනකොට මට හිතෙන්නේ මිනෙත් මම වගේ කියලා. එයාගේ ඇස් දෙක නම් කුෂ්ලානි වගේ.

 

පුතා එක්ක ඉන්න වෙලාව වෙන් කරගන්නේ කොහොමද?

පසුගිය වසරේම වගේ ගෙදර හිටියේ. කොරෝනා වසංගතයත් එක්ක පුතාගේ ආරක්ෂාව ගැන හිතලා සමහර ආරාධනාත් මම භාරගත්තේ නැහැ.

පුතා ගොඩක් පොඩි කාලේ මම ගොඩක් දේවල්වලට සහභාගි වුණේ නැහැ. සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයේ විශේෂ අවස්ථා සියල්ලටම පාහේ මමයි කුෂ්ලානි දෙන්නම සහභාගි වෙනවා. පුතා ඉපදුණාට පස්සේ කුෂ්ලානි පුතා එක්ක ගෙදර තියලා මම තනියම සහභාගි වුණා. ඒත් දැන් පුතා එක්ක යන්න පුළුවන් අවස්ථාවලට අපි සහභාගි වෙනවා. අනිවාර්යයෙන්ම මම සහභාගි වෙන්න ඕනේ වෘත්තිමය කාර්යයක් නම් මම තනිවම සහභාගි වෙලා ඉක්මන්ට ගෙදර එන්න උත්සාහ කරනවා. අපිට තියෙන්නේ අපේ අවශ්‍යතාව හඳුනාගන්න බැරි ගැටලුවක්. අද අවශ්‍යතාව මොකක්ද ඒ අනුව හැඩගැහුණා නම් ජීවිතේ ඔය කියන තරම් කාර්යබහුල නැහැ. ළමයින්ගේ පොඩි කාලේ කියන එක හැමදාම තියෙන්නෙ නැහැ. දරුවෙක්ගේ මේ කාලය තමයි මව්පියන් දෙන්නම අවශ්‍ය සහ පෞරුෂ සංවර්ධනය වන කාලය. ඒ නිසා දරුවා එක්ක උපරිම වෙලාවක් ගත කරන්න උත්සාහ කරනවා.

 

පොඩි දරුවෙක් එක්ක ගෙවන ජීවිතය වෙහෙසකර ඇති?

අනිවාර්යයෙන්ම ඔව්. අපේ ජීවිත දැන් සම්පුර්ණයෙන් වෙනස් වෙලා. හැම දරුවෙක්ම වගේ මිනෙත් හරියට නිදියගන්නේ නැහැ. එයා නිදියගන්න වෙලාවට අපිට නිදියගන්න වෙන්නේ. එයා ඇහැරෙන වෙලාවට අපි ඇහැරෙන්නේ. එයාට සෙල්ලම් කරන්න ඕන වෙලාවට අපි එයා එක්ක සෙල්ලම් කරන්න ඕනේ. දැන් අපේ ගෙදර දරුවා තමයි බොස්. එයාගේ හැසිරීම්‍ රටා අනුව තමයි අපිට හැඩගැහෙන්න වෙලා තියෙන්නේ. ළමයෙක්ගේ චර්යා මාසෙන් මාසෙට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම්වලට අපි හැඩගැහෙන්න ඕනේ. ඒ නිසා අපේ ජීවිත කණපිට පෙරළිලා තියෙන්නේ. අපිට කිසිම දෙයක් කලින් සැලසුම් කරන්න බැහැ. ඒ නිසා අපි දෙන්නා එකිනෙකාව තේරුම් අරගෙන දරුවාගේ වැඩයි අපේ වැඩයි බෙදාගෙන කරගන්නවා.

 

 

අම්මයි තාත්තයි මිනෙත්ගේ වැඩ බෙදාගෙන කරන්නේ කොහොමද ?

මේ මොහොතේ වැඩේ කරන්න පුළුවන් කෙනා ඒ වැඩේ කරනවා. අපි වැඩ බෙදාගෙන නැහැ. කරන්න පුළුවන් උපරිම අපි වැඩ කරනවා. මම කරන්නෙ නැති එකම දේ තමයි කිරි දෙන එක. ඒ හැරුණුකොට අනිත් හැම වැඩක්ම මම කරනවා. ඒ වගේම මට හැම වැඩකටම කුෂ්ලානිගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මට රූගත කිරීම් තියෙන දවසට කලින් දවසේ වෙනම කාමරයක නිදාගෙන තමයි මම රූගත කිරීම්වලට යන්නේ නිදිවැරුවාම පහුවදාට අමාරු නිසා. කුෂ්ලානිගේත් පෞද්ගලික වැඩකටයුතු කරගන්න ඉඩදීලා මම දරුවා බලාගන්නවා. මේ මිනෙත් ඇවිදින කාලේ. දැන් අපි එයා පිටිපස්සෙම ඉන්න ඕනේ. මොකද එයා අනතුරු කරගන්න ප්‍රවණතාව දැන් වැඩියි. අනාරක්ෂිත තැන් ගැන අපි සැලකිලිමත්. ඒ නිසා අම්මගෙයි තාත්තගෙයි රාජකාරිය ඉවර වෙන්නෙ අම්මයි තාත්තයි මැරෙන දවසට. ඒ රාජකාරිය සදාකාලිකයි.

 

ඔබ දෙපළ තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව දරුවාව හදන නවීන පන්නයේ මව්පියන්ද?

අපි ගොඩක් සාම්ප්‍රදායික දේවල් අනුගමනය කරලා දරුවාව හදන්නේ. අපේ අම්මලා තාත්තලා අපිව බලා ගත්ත විදිහ මතකයි. නමුත් අන්තර්ජාලයෙන් සමහර දේවල් ගන්න ඕනේ අවස්ථාවලදී අපි ඒ උපදෙස් ගන්නවා. ඒත් අන්තර්ජාලය කියන හැමදෙයක්ම හරි නැහැ. එක නියමයක් අනුව දරුවන් හදන්න බැහැ. දරුවාට දරුවා විවිධයි. දරුවන්ගේ චර්යා විවිධයි. සාම්ප්‍රදායික සහ නවීන උපදෙස් ඔක්කොම අපි අහලා දරුවාගේ විදිහ අනුව තමයි ඒවා ක්‍රියාත්මක කරන්නේ. සමහර වෙලාවට අපිට හිතලා තීරණ ගන්න වෙන අවස්ථාත් තියෙනවා. දරුවාගේ රුචි අරුචිකම් සරල හැමදේම අධ්‍යයනය කරලා ඒවාට අනුව තමයි සාම්ප්‍රදායික හෝ නවීන උපදෙස් පිළිපදින්නේ.

 

රොෂාන් වගේම සමාජ මාධ්‍යවල මිනෙත් දැන් හරි ජනප්‍රියයි. රොෂාන්ට පුතාවත් කවදාහරි තරුවක් කරන්නද ඕනේ?

නැහැ. මට ඇත්තටම ඕනේ මිනෙත් හොඳ මනුස්සයෙක් වෙනවා දකින්න. හොඳ ගතිගුණ තියෙන මිනිස්සුන්ව වැටහෙන කෙනෙක් කරන්නයි අපිට ඕනේ. එයා රංගන ක්ෂේත්‍රයේ තරුවක් වෙනවද එහෙම නැත්නම් සාමාන්‍ය රැකියාවක් කරනවා ද කියන එක එයා තීරණය කරයි. මගේ අදහසක් නෑ මිනෙත් මේ රස්සාව කරන්න ඕනේ කියලා. මම මහන්සි වෙන්නේ පුතාව හොඳ මනුස්සයෙක් කරන්න විතරයි. එයා කවදාහරි මට වඩා හොඳ තැනකට යනවා නම් ඒක තමයි මගේ සතුට. එයා රංගන ක්ෂේත්‍රයට ආවොත් මට වඩා ඉහළට යනවා දකින්න මම කැමතියි.

 

කවදාහරි දවසක මිනෙත් රඟපාන්න ඕනේ කිව්වොත්?

මිනෙත් ක්ෂේත්‍රයට එනවා නම් ප්‍රශ්නයක් නැහැ. එයාට මම එන්න ඉඩදෙනවා. හැබැයි ඒ ගමන යන්න කලින් මම උපදෙස් ටිකක් දෙනවා. තමුන් යන ගමන ඇස් දෙක ඇරගෙන යන්න. අවශ්‍ය දේ විතරක් ඉලක්ක කර ගන්න. තමන්ට අවශ්‍ය ඉලක්කයට විතරක් යන්න. ඒ ඉලක්කයට ගිහිල්ලා ඒක ජය අරගෙන නැවත පරණ පුරුදු විදිහට ගෙදර එන්න කියලා තමයි එයාට මම කියන්නේ. ක්ෂේත්‍රයේ ගොඩක් අයට වෙලා තියෙන්නේ අවශ්‍ය දේ ගන්න ගිහිල්ලා එහි වෙනත් දේවල් එක්ක අතරමං වෙන එක. අන්තිමටම හැමෝටම අමතකයි තමන් කරන්න ආපු වැඩේ මොකක්ද කියන එක. ඒ නිසා මම පුතාට කියන්නේ ක්ෂේත්‍රයට එනවා නම් තමන්ට අවශ්‍ය ඉලක්කයට ගිහිල්ලා ආපහු ගෙදරට එන්න කියලා. එහෙම කරන්න බැරි නම් මම එයාට කියනවා "අනේ පුතේ... ගෙදර ඉන්න" කියලා. මිනෙත් මොනවාටද දක්ෂ කියලා අපිට ඉස්සරහට පෙනෙයි. එයාට මොකක් හෝ යම් කුසලතාවක් තියෙනවා නම් මම ඒකට උදවු කරනවා. මගේ අම්මත් පොඩි කාලේ ඉඳන් දැක්කා මම මොනවටද දක්ෂ කියලා. අම්මා තමයි "හිරිපොද වැස්ස" ෆිල්ම් එකේ ස්ක්‍රීන්ටෙස්ට් එකට ඇප්ලිකේෂන් එකක් දැම්මේ. ඒ නිසා මමත් මගේ දරුවාගේ කුසලතාව හඳුනගෙන ඒ පාරේ යන්න උදවු කරනවා. මම මගේ හීන දරුවා ලව්වා හැබෑ කරන තාත්තෙක් නෙමෙයි. හැබැයි ළමයෙක්ට අධ්‍යාපනය වැදගත්. අධ්‍යාපනයක් නැතුව කිසිම ක්ෂේත්‍රයක වැඩ කරන්න බැහැ.

 

දරුවෙකුට හැදෙන්න හොඳ සමාජ වටපිටාවක් ලංකාවේ තියනවද?

ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකේම සමාජය දරුවන්ට හොඳ තැනක් නෙමෙයි. අනිත් රටවල් එක්ක බැලුවම ලංකාව හොඳයි. ළමයාට හැදන්න සමාජ වටපිටාව අදාළ වෙන්නේ පසුව. සමාජය නෙමෙයි දරුවාව මුලින්ම හදන්නේ. දරුවා මුලින් හැදෙන්නේ ගෙදර. ගෙදර හොඳ වටපිටාවක දරුවා හැදුණොත් ඒ දරුවාට ඕනේම සමාජයක හැදෙන්න පුළුවන්. දරුවාට ඉලක්කය මොකක්ද කියලා ඉගැන්නුවොත් ඒ ඉලක්කටය ගිහින් නැවත ගෙදර එන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට මවුපියෝ මහන්සි වෙන්න ඕනේ. අම්මාට තාත්තාට දරුවා සමඟ කාලය ගත කරන්න බැරි වෙන නිසා සමාජයට ගියාම දරුවෝ අතරමං වෙනවා. ඒක තමයි ලංකාවේ තියෙන ලොකුම සමාජ ප්‍රශ්නය. ගෙදරින් හොඳ පුරුදු ඉගෙනගත්ත දරුවෙක්ට නරක සමාජයකට ගිහින් වුණත් හොඳීන් ජීවත් වෙන්න පුළුවන්. හැම සමාජයකම හොඳ මිනිස්සු නරක මිනිස්සු ඉන්නවා. ඒක ලෝකෙටම පොදුයි. අනික හොඳ නරක සාපේක්ෂයි. මිනිස්සු සම්පූර්ණයෙන්ම හොඳ වෙන්නේ නෑ. සම්පූර්ණයෙන්ම නරක වෙන්නෙත් නෑ. ඒ නිසා මේ හැමදේම දරුවාට කියලා දීලා සමාජයට යවන්න පුළුවන් නම් දරුවෝ වැරදි පාරේ යන්නේ නැහැ.

 

මේ දිනවල කෙරෙන රොෂාන්ගේ කලා කටයුතු ගැනත් කියමු?

මම රංගනයෙන් දායක වුණ "මිස් ජෙනිස්" චිත්‍රපටය මේ දවස්වල යළි තිරගත වෙනවා. පසුගිය සතියේ අලුත් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කළා. ඒකේ නම "නිමි". ඒක වෙනස්ම ආකාරයක කතාවක්. ඉදිරියේදී තවත් ටෙලිනාට්‍යයක වැඩ කටයුතු ආරම්භ කරන්න නියමිතයි. මම රංගනයෙන් දායක වුණ නිහඬ සෙවනැලි, රුහිරේ, The Secret of the rose,, මොණරවිල යන චිත්‍රපටි තිරගත වීමට නියමිතයි.

 

 

යොහාන් ජස්ටින්