හැප්පුණා නෙමෙයි ට්‍රක් එකක් ඇවිත් හැප්පුවා...

වසර හතරක් එක්තැන්ව සිටි කපිල සිගේරා සරසවියට කතා කරයි
පෙබරවාරි 11, 2021

දශක තුනකටත් අධික කාලයක් රංගනය වෘත්තිය කොට ගත් අප රටේ නළුවෙකු හදිසි අනතුරකින් එක්තැන් වුණාට පසුව ඔහුට අත්වන්නේ කෙබඳු ඉරණමක්ද?... බොහෝවිට ඔහුගේ කලා ජීවිතය එතැනින් නිමා වන්නට ඉඩ තිබෙනවා. කලාකරුවන් දේවත්වයෙන් සලකන රටවල එවන් වූ සිදුවීමක් සිදුවුණොත් ඒ කලාකරුවා යළිත් වෘත්තීය ජීවිතය ආරම්භ කරන තෙක් ඔහු රැක බලා ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කරනු අප අසා තිබෙනවා. එහෙත් අපේ රටේ එහෙම ක්‍රියාපටිපාටියක් නැහැ. කෙසේ වෙතත් මේ පූර්විකාව ලියාගෙන ආවේ එක්තරා කලාකරුවෙකු නිසා. ඔහු තමයි කපිල සිගේරා. වෘත්තීය නළුවෙක් ලෙස වසර 35කට අධික කාලයක් සක්‍රීයව කටයුතු කළ ඔහු අදින් වසර හතරකට පමණ පෙර එනම් 2017 වසරේ දී හදිසි අනතුරකට ලක්වුණා. ඒ හේතුවෙන් උකුල් ඇටයේ බිඳීමකට ලක්වූ හෙතෙම කාලය ගත කළේ එක්තැන්ව. රංගනයේ යෙදෙමින් මුදල් හරි හම්බ කරපු කපිල ජීවිතයේ මුහුණ දුන් අමිහිරිම අත්දැකීම් සමුදායට මුහුණපාන්ෙ න එතැන් සිට. ඒ සංක්‍රාන්ති සමය නිමාකරමින් කපිල සිය රංගන චාරිකාවේ දෙවෙනි ගමන ආරම්භ කරන්නට සූදානමින් සිටිනවා. මේ වනවිට සංකූලතා යම්තාක් දුරට දුරු වී ඇති අතර සුපුරුදු පරිදි රාජකාරී කිරීමට හැකි බව ඔහු අපට පවසනවා. 

ඔබ නැවතත් රඟපාන්න පටන් ගත්තා කියලා දැන ගන්නට ලැබුණා?

අනේ ඔවු. කෝපි කඩේ සහ එන්කවුන්ටර් කියන නාට්‍ය දෙකේ මම රඟපෑවා. ඒ වගේම රාක්ෂ අඩවිය කියන චිත්‍රපටියේ චරිතයක් කළා. තවම මම එකතැන කියලයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ. දෙයියන්ගේ පිහිටෙන් දැන් කොහොම හරි ඇවිදගෙන වැඩ ටිකක් කරගෙන යන්න පුළුවන්. අවුරුදු තුනකට වැඩි කාලයක් එක්තැන් වෙලා හිටියනේ.

වෘත්තීය කලාකරුවෙක් විදිහට ඔබ විඳී ඒ අමිහිරි අත්දැකීම විස්තර කළොත්?

අම්මේ මම ඒක මතක් කරන්නවත් කැමති නැහැ. 2017 වසරේ තමයි ඔය අනතුරට මට මුහුණ දෙන්න වුණේ. මගෙ මෝටර් බයිසිකලය හැප්පුණා. හැප්පුණා නෙමේ ට්‍රක් එකක් ඇවිල්ලා මගේ බයිසිකලේ හැප්පුවානේ. දකුණු කකුල එහෙම පිටින්ම කුඩු වුණා. දැනටත් ඇණ දාලා ඒක සවි කරලා තමයි යන්තම්වත් මේ වගේ ඇවිදින්නේ. ඒ අනතුරෙන් මගේ දකුණු කකුල අඟල් එකහමාරක් විතර කොටත් වුණා. ඒ සඳහා විශේෂ සපත්තුවක් මං දැන් පාවිච්චි කරනවා. මම රඟපාලා තමයි මුදල් හම්බ කළේ. මහා ලොකු මුදලක් නොලැබුණත් ලැබුණු ඒ පඩියෙන් මම කාල බීල ඇඳල හොඳට සතුටින් ජීවත් වුණා. ඔය වගේ අනතුරකින් පසුව බොහෝ වෙලාවට මිනිස්සුන් අන්තයටම වැටෙනවා. අනේ මම එහෙම වුණේ නැහැ. මානසිකව කොයි වෙලාවෙවත් වැටුණේ නැහැ. හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ කියලා හිත හදාගෙන හිටියා. ඒ වෙලාවේ මගේ ඥාතීන්, විශේෂයෙන් මගේ බිරිඳ, දරුවන් සෙවණැල්ල වගේ මා පසුපසින් සිටියා. ඒ සියලු මිත්‍රකම්, හිතවත්කම් මැද මම යළිත් ජීවත් වුණා.

ඔබ වැනි වෘත්තිය කලාකරුවෙක් අනතුරකට පත්වුණාම ඒ සඳහා සුබසාධන වැඩපිළිවෙළක් එහෙම ක්‍රියාත්මක වෙන අවස්ථා අඩුයි නේද?

ඇත්තෙන්ම ඔවු. මමත් මට පුළුවන් කාලේ සමිති සංගම්වලට බැඳිලා පුළුවන් විදිහට අසරණ කලාකරුවන්ට උදවු වුණා. අභාග්‍යයකට මම අනතුරකට පත් වුණාට පසුව ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සහ අයි. ටී. එන්. එකෙන් පමණයි දීමනාවක් හරි කියලා දෙයක් දුන්නෙ. වෙලාවට මට හිටියා වාසනාවන්ත යාළුවෝ ටිකක්. පිටරට ඉන්න යාළුවෝ සමහර අවස්ථාවලදී කතා කරල මගේ එකවුන්ට් එකට සල්ලි කීයක් හරි දානවා.ඒක මට අසනීප වෙලා ඉන්න මොහොතේ දී ලොකු හයියක් වුණා. ඇත්තෙන්ම කලාකරුවෝ කියන්නේ මිනිස්සු පිනවන අය. ඒ වගේ අය වෙනුවෙන් යම්කිසි සුබසාධන වැඩපිළිවෙළක් තියෙන්නම ඕන. මට වුණා වගේ හෙට වෙන කෙනෙකුට වෙන්න පුළුවන්. ඔහු හෝ ඇය පස්සේ අන්ත අසරණ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මේ මොහොතේ මං බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. හැමදේටම යම්කිසි මුදලක් වෙන්කරනවා වගේ අනතුරට පත්වෙච්ච කලාකරුවන්ට නැඟී සිටින්න මොනවාහරි දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙළක් හදන්න කියලා. 

ඔබ රඟපාන්න ඇවිත් වසර තිස් පහකට වැඩියි. නමුත් මේ කාලය අතරතුරදී ඔබ වඩාත් කැපී පෙනෙන චරිත ඉදිරිපත් කරන්නට පුළුවන්කමක් ලැබුණද?

ඇත්තෙන්ම කැපී පෙනෙන චරිතය කරන්න මට හැකියාව ලැබුණා කියලා විශ්වාසයි. නමුත් මේ වගේ කාලයක් ක්ෂේත්‍රයේ ඉඳලත් වෙලාවකට හිතෙනවා මම ඉස්මතු වුණා මදිද කියලත්. මොනවා කරන්නද... ලද දෙයින් සතුටු වෙනවා මිසක්. හැබැයි මම ආසාවෙන් ඉන්නවා විලන් චරිත කිහිපයක් කරන්න.

නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්නට ඔබ සූදානමක් ඇති වගටත් දැන ගන්නට ලැබුණා?

ඒක මගේ දිගුකාලීන බලාපොරොත්තුවක්. හැබැයි ලොකු නිර්මාණයකට මම අතගහන එකක් නැහැ. ඩී. වී. ඩී. චිත්‍රපටයක් වගේ පොඩි වැඩකින් මම අධ්‍යක්ෂණය කිරීමේ කාර්යය පටන් ගන්න ඉඩ තියෙනවා.

ඔබේ ක්ෂේත්‍රයේ සහෘදයන්ට මේ මොහොතේ කියන්නට යමක් ඇති?

මේ ක්ෂේත්‍රයේ මට අතිශය විශාල යාළුවෝ සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අතරින් නිර්මාණ කරන නිර්මාණකරුවන්ට මං මේ මොහොතේ කියන්නට කැමතියි. ඔයාලා මොනවා හරි නිර්මාණයක් කරනවා නම් කපිල සිගේරාට එකේ චරිතයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මට කතා කරන්න. මේ වෙලාවේ මම ඒ බලාපොරොත්තුව ඇතුව තමයි ඉන්නේ.