කලා තරු වෙනස් කරපු රැෆෙලාගේ කැලැන්ඩරය

පෙබරවාරි 18, 2021

පසුගිය 16 වැනිදා සන්ධ්‍යාව තරු පිරි සන්ධ්‍යාවක් විය. කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයට එක් සුවිශේෂී කාරණයක් උදෙසා කලා ලොව බබළන තරු එක් රොක්වූහ. ඒ ලංකාවේ ජනප්‍රිය තරු කැලැන්ඩරයේ එළිදැක්වීම උදෙසාය. මේ සඳහා පුරෝගාමීත්වය දැරුවේ රැෆෙලා ප්‍රනාන්දුය. ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනියකි, ඡායාරූප ශිල්පිනියකි. ජාත්‍යන්තරයත් සමඟ නිරන්තරයෙන් වැඩ කටයුතු කරනු ලබන ඇය ලංකාවේ කලා ලොව බබළන තරු ආශ්‍රයෙන් අපූරු කැලැන්ඩරයක් නිර්මාණය කළාය. එය Raffealla Fernando Celebrity  නම් වේ. නිරන්තරයෙන් දකින කලාකරුන්වන්ගේ ස්වරූප හාත්පසින්ම වෙනස් කර වෙනස් සංකල්පයන් ඔස්සේ රූගත කිරීම ඇය මෙහිදී මූලිකත්වය ගෙන ඇත. Raffealla Fernando Celebrity Calendar  එළිදක්වනු ලබන්නේ නව වැනි වරටය. වසර නවයක් පුරා කරන මේ නිර්මාණ කර්තව්‍යය පිළිබඳ කතාබහකට අපි රැෆෙලා ප්‍රනාන්දුව එකතු කරගත්තෙමු.

 

 

මොකක්ද මේ Raffealla Fernando Celebrity Calendar  කියන්නේ?

මම මගේ ක්ෂේත්‍රයන් වෙන ඵබරතඪදඨ සහ නඩධබධඨපචනඩ ක්ෂේත්‍ර දෙකම මුසු කරලා කලාකරුවන්ගේ විවිධ ස්වරූපයන් එළියට ගන්න වුවමනාවට ආරම්භ කරපු එකක් මේ Celebrity Calenda එක. ඒ Calendar එක මම අලෙවි කරන්නේ නැහැ. මේක අය කිරීමකින් තොරව කරන එකක්. කලාකරුවන්ද මේකට සහභාගි වෙන්නේ කිසිම අය කිරීමකින් තොරව. කණ්ඩායමක් විදිහට අපි හොඳ දෙයක් කරන්න මහන්සි වුණේ. එතනදි අරමුණ වෙන්නේ ප්‍රේක්ෂකයන්ට වෙනස් විදිහට අපේ කලාකරුවන්ව පෙන්වීම. අපේ කලාකරුවන් අපි හැමදාම දකින්නේ එකම විදිහට එකම ස්වරූපයෙන්. මම ඔවුන් ඒ ඉන්න විදිහට හාත්පසින්ම වෙනස් විදිහකට ඔවුන්ව හැඩගන්වලා ඡායාරූපගත කරනවා.

 

රැෆෙලා වසර නවයක් එක දිගට මේCelebrity Calendar Launch  එක කරගෙන ආවා. ආපසු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?

ආපසු හැරිලා බලද්දි ඇත්තටම මේ තරම් දුරක් එයි කියලා හිතුවේ නැහැ. මේ වන විට කලාකරුවන් සියයකට අධික ප්‍රමාණයක් මම රූපගත කරලා ඉවරයි. ඇත්තටම ගොඩක් සන්තොසයි. කැලෙන්ඩර් එකක් කරන්න සහ ඒක ඹ්චභදජඩ කරන්න ආරම්භ කරපු දෙයක් නෙමෙයි මේක.

 

Celebrity Calendar එකක් කරන්න පටන් ගත්තේ කුමන අරමුණකින්ද?

ඇත්තටම මම මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස ජාත්‍යන්තරයත් එක්ක නිතරම වැඩ කරන කෙනෙක්. එතකොට මම නිතරම දකින දෙයක් තමයි විදේශ රටවල කලාකරුවන්ගේ විවිධාකාර ස්වරූපවලින් යුක්ත Photo shoots. . ලංකාවට ඇවිත් බලනකොට මට පෙනුණු දෙයක් තමයි අපේ රටේ කලාකාරුවන් ඒ වගේම ලස්සනයි. නමුත් ඒ අයගේ විවිධ ස්වරූප නිසියාකාරයෙන් රාමුගත වෙලා නැහැ. ඒ අයගෙන් ප්‍රයෝජනයක් අරගෙන නැහැ කියලා මට හිතුණා. මට අවශ්‍ය වුණේ ඉතාම සුළුවෙන් ආරම්භ කරලා මේ වෙනස හැමෝටම පෙන්වන්න. ඒක හැමෝම හොඳ විදිහට පිළිගනිවි කියලා මම මුලදි හිතුවේ නැහැ. දැන් වසර නවයක් තිස්සේ කලාකරුවන් බොහොම කැමැත්තෙන් මේකට සහභාගී වෙනවා. ලංකාව කියන්නේ හරිම පුංචි රටක්. ඒ රටේ කලා ක්ෂේත්‍රයත් හරිම පුංචියි. ඒ නිසා කලාකරුවන් ගොඩක් දෙනෙක් ඉන්නවා අවස්ථා අඩුවෙන් ලැබෙන. ඒ තුළදි කලාකරුවන් තුළ තියෙන හැකියා එළියට ගන්න පුළුවන් වේදිකාවක් නිර්මාණය කරන්න තමයි මට අවශ්‍ය වුණේ.

 

වසර නවයක් පුරා  Raffealla Fernando Celebrity Calendar එකට ලැබුණු ප්‍රතිචාර ගැනත් කතා කරමු?

ප්‍රතිචාර හිතුවාට වඩා හුඟක් හොඳයි. ලංකාවේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයෙන්ද මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වසර දෙකක සිට අපි මේ ජචතඥදඤචප එක ඉන්දියාව, එංගලන්තය, මාලදිවයින, ප්‍රංශය යට රටවලට යවනවා. ලංකාවේ ප්‍රේක්ෂකයන් වගේම ඒ රටවල ප්‍රේක්ෂකාගාරයත් බලාගෙන ඉන්නවා මේ ජචතඥදඤචප එක එන තෙක්. මෙතනදි මගේ අරමුණ මුදල් හම්බ කිරීම නෙමෙයි. මට ඕනේ මේ ඡායාරූප කියලා කලාව එළියට අරගෙන යෑම. ඒ වගේම මගේ පැත්තෙන් ලංකාවට, ඡායාරූප ක්ෂේත්‍රයට යමක් දෙන එක මගේ අරමුණ. මම තනිවම මේ වියදම් සියල්ල දරන්නේ. මගේ පවුලේ සාමාජිකයන්ද මේකට ගොඩක් මහන්සි වෙනවා. මොකද එයාලා දන්නවා මම හරිම ආසාවෙන් මේක කරන්නේ කියලා. හැමෝම අහනවා මේකෙන් "ඔයාට මොනවද ලැබෙන්නේ?" කියලා. ලැබෙන දෙයට වැඩිය මට අනිත් අයට දෙන්න පුළුවන් දේවල් බලාගෙන තමයි මේක කරන්නේ. තව වසර 10ක් 15ක් ගිය තැන ලංකාවේ කලා ක්ෂේත්‍රය එක පියවරකින් හරි ඉස්සරහට ගිහින් තිබුණොත් මටත් ආඩම්බර වෙන්න පුළුවන් මමත් ඒ සඳහා යමක් කළා කියලා.

 

රැෆෙලා වසර නවයක් තිස්සේ මේ නිර්මාණාත්මක කර්තව්‍යය කරගෙන යනවා. නමුත් අපිට පෙනෙනවා මේ Celebrity Calendar සාමාන්‍ය ජනතාව අතර ඒ තරම් ජනප්‍රිය නැහැ කියලා. මේක ඉදිරියේදි සාමාන්‍ය ජනතාව අතරට ගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

මේ හැම කලාකරුවෙක්ටම වෙනස් විදිහේ ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. මගේ ප්‍රේක්ෂකාගාරය සහ ඔවුන්ගේ ප්‍රේක්ෂකාගාරය එකතු වුණාම විශාල ප්‍රමාණයක් ඉන්නවා. මට ඕනේ මේක ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන්න. දැන් මේක ටික දකින අය හිතනවා "ඇයි අපිට මේ calendar එක ලැබෙන්නේ නැත්තේ?" කියලා. ඒකට හේතුව තමයි මේ calendars මම මගේ වියදමින් කරන නිසා ඉතා සීමිත ප්‍රමාණයක් තමයි මුද්‍රණය කරන්නේ. කලා ක්ෂේත්‍රයේ අයට දුන්නාට පසුව ඉතා සුළු ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්නේ. ඒ හේතුව මත තමයි මේක ඉතාම සීමිත වෙලා තියෙන්නේ. ලබන වසරේදී මේක මීට වඩා ජනතාව අතරට ගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වගේ දේවල් ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිදුවෙනවා කියලා ජනතාව අතර ප්‍රචාරය කරන්න මම උත්සාහ කරනවා. කලාකරුවන් උත්සාහ කරනවා. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ හැම දෙයක් එක්කම මට පුළුවන් හැම අවස්ථාවකදීම මම බලනවා මේක එළියට අරගෙන යන්න.

 

මේ වසරේ Celebrity Calendar  එකේ තියෙන විශේෂතා මොනවාද?

මෙවර කැලැන්ඩරය නිර්මාණය කරද්දි සංකල්ප ගොඩනඟන්න වෙනදාට වඩා වැඩි කාලයක් ගත්තා. මේ වතාවේ මීට පෙර මගේ නිර්මාණවලට හිටපු නැති කලාකරුවන් තිදෙනෙක් දායක වෙනවා. ඊට අමතරව මෙවර ලොකු කණ්ඩායමක් සහභාගි වෙනවා. තිස් අට දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක්. මේ වසර නවයටම මම වැඩ කරපු ලොකුම කණ්ඩායම මේක. හුඟක් අවම කාලයකින් මේ කැලැන්ඩරය මම කළේ. ඒ නිසා හුඟාක් විශේෂයි. කොරෝනා වසංගතයත් එක්ක කැලැන්ඩරය මේ වසරේ කරන එක අවිනිශ්චිත මොහොතක නව වැනි අවුරුද්ද අත්හරින එක අපරාදේ කියලා හිතුණු නිසා කැලැන්ඩරය කළේ. නත්තල් ඉවර වුණාට පසුවයි හරියටම කැලැන්ඩරයේ වැඩ කරන්න පටන්ගත්තේ. හරිම අඩු කාලයකින් තමයි කැලැන්ඩරයට අපි ලෑස්ති වුණේ. ඒ නිසා මේක අපිට හැමදාම මතක තියෙන වැඩක්. 2021 කැලැන්ඩරයේ ලොකු වෙනසක් කළා. මාස එකොළහකට විතරයි මම කලාකරුවන් රූගත කළේ. එක මාසෙකට කැලැන්ඩරයට සහභාගි වුණු කලාකරුවන් සියල්ලම පෙනී සිටිනවා. මේ කාලේ තියෙන වසංගත තත්ත්වය නිර්මාණශීලීව ඡායාරූපවලට ගේන්නෙ ඕනේ වුණා. ඒ නිසා හැම කලාකරුවෙක්ටම මාස්ක් එකක් දාලා ඡායාරූප ගත්තා. ඒ වගේම මගේ නිර්මාණවල විවිධත්වය පෙන්වන්න පුළුවන් විවිධ පැති ආවරණය කරලා තියෙනවා. නිර්මාණාත්මක සංකල්පයන් විතරක් නෙමෙයි ඡායාරූප සංස්කරණයන් පවා මෙවර වෙනස් මුහුණුවරක් ගන්නවා.

 

මෙවර කැලැන්ඩරයේ කැපී පෙනෙන ඡායාරූප සංකල්පයන් මොනවාද?

මට නම් මේ photoshoot එකොළහම විශේෂයි. අපි එක එක විදිහේ photoshoot කළා. පළමු වැනි වතාවට Sport wear සංකල්පය ගෙනාවා. ඒ මාධවී ඇන්තනීගේ සේයාරූ එකතුව. මම සාමාන්‍යයෙන් Bridel wear ඡායාරූපවලට භාවිතා කරන්නේ නැති කෙනෙක්. පළමුවැනි වතාවට අපි bridel wear වෙනස් විදිහකට භාවිතා කළා. හිතාගන්න බැරි විවිධ තැන්වල මෙවර අපි photoshoots කළා. මට මේ කැලැන්ඩරය අන්තර් ජාතික මට්ටමේ නිර්මාණයක් විදිහට කරන්න ඕනේ වුණේ. ඒ වගේම ආලෝකකරණය පැත්තෙන් විවිධ අත්හදා බැලීම් අපි කළා. නියෝන් එළිය ලංකාවට අලුත් දෙයක්. සාමාන්‍යයෙන් නියෝන් එළිය ලංකාවේ කිසිම තැනක භාවිත වෙන්නේ නැහැ. මේ වතාවේ නදීෂා හේමමාලිගේ photoshoot  එකට අපි නියෝන් ආලෝකය භාවිතා කළා. ඒක අපිට හොඳ අත්දැකීමක් වුණා. ඒ එළියට ඇඳන් ඉන්න ඇඳුමේ පාට වෙනස් වෙනවා. ඒක අමුතු අත්දැකීමක් වුණා මට. නිරංජනී ශන්මුගරාජාගේ photoshoo එකත් විශේෂයි. එතන මම එයාට දුන්නේ මොඩර්න් දෙවි කෙනෙක්ගේ හැඩරුවක්. ඒක අපිට වෙනස් අත්දැකීමක් වුණා. මගේ පැත්තෙන් මම ඡායාරූප ශිල්පියෙක් විදිහට නොකරපු දෙයක් කරන්න උත්සාහ කළා.

 

මේ උත්සව අවස්ථාවත් විශේෂයි?

ඔව්. දැන් අට වතාවක් මේ Event  එක අපි කළා. පළමුවැනි වතාවට තමයි අපි සංවිධායක කණ්ඩායමක් එක්ක වැඩ කරන්නේ. මේ වතාවේ මුළු Event එකටම වර්ණ තේමාවක් තිබුණා. මට ඕනේ මුළු උත්සව අවස්ථාවම සුදු පාටට දකින්න. නැවත අලුතෙන් දෙයක් පටන්ගන්නකොට එන හැඟීම ඒකෙන් එනවා කියලා මම විශ්වාස කරනවා. ඒක හැමෝටම වෙනදා නොදැකපු අත්දැකීමක්. ඒ වගේම ලංකාවේ පළමු වතාවට මසාලා තේ (මසාලා චායි) Ceremony එකක් මේ උත්සවයත් එක්කම පැවැත්වූවා.

 

මෙවර රැෆෙලා වේශ නිරූපණ ශිල්පීන් රාශියක් මේ සඳහා දායක කරගෙන තියෙනවා නේද?

ඔව්. විවිධ දක්ෂතා තියෙන වේශ නිරූපණ ශිල්පීන් අපි එකතු කරගත්තා කලාකරුවන් හැඩගන්වන්න. ඒ හැම වෙලාවකදිම ඒ එක එක්කෙනා ගේන දක්ෂතාව වෙනස් කියලා ඒ ඡායාරූප එකින් එක බලනවිට පෙනෙනවා. Glamour, Heavy Concept, Hair මේ හැමදෙයටම ඔවුන් ගොඩක් මහන්සි වෙනවා. ඒ ශිල්පීන්ගේ වෙනත් අවස්ථාවන්වලදි එළියට දාන්න බැරි නිර්මාණාත්මක දක්ෂතා මෙතනදි ඔවුන් උපරිමයෙන් දක්වන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒක මටත් කලාකරුවාටත් ගොඩක් වටිනවා.

 

 

 

 

රැෆෙලා ඡායාරූප ක්ෂේත්‍රයේ වගේම මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේත් කටයුතු කරනවා. මේ ක්ෂේත්‍ර දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් රැෆෙලා තෝරගන්නේ මොකක්ද?

මම තෝරගන්නේ ඡායාරූප ක්ෂේත්‍රය. මොකද මම ඡායාරූප ක්ෂේත්‍රයේ වැඩ කරන එක විඳීනවා. ඒකෙන් යම් වින්දනයක් ලබනවා.

 

රැෆෙලා නියෝජනය කරන ක්ෂේත්‍ර දෙකම වර්තමාන තරුණ පරපුර අතර ප්‍රචලිතයි. නමුත් මේ ක්ෂේත්‍ර ද්විත්වයේම අලුත් දේවල්, වෙනස් දේවල් බිහි වෙන්නේ නැහැ. ඡායාරූප ක්ෂේත්‍රයේ සහ මෝස්තර නිර්මාණකරණයේ නිරත තරුණ පරපුරට රැෆෙලාට මොකක්ද කියන්න තියෙන්නේ?

අපි දෙයක් ඉගෙන ගෙන ඒකෙන් වෙනස් දෙයක් කරන්නයි උත්සාහ කරන්න ඕනේ. වෙනත් රටවල්වල ලොකු කුඩා හැමෝම වෙනසක් එක්ක තමයි ඉදිරියට යන්නේ. නමුත් ලංකාවේ ඒ වෙනස පිළිගන්න ප්‍රමාණයත් අඩුයි. අපි ඒකත් තේරුම් අරගෙනයි වෙනස් දේවල් කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම කෙනෙක් අකමැති වුණත් වෙනස් වෙන්න ඕනේ. මොකද දවසක මිනිස්සු ඒ වෙනසට කැමති වෙනවා. මම වසර නවයක් මේ ක්ෂේත්‍රයේ හිටියාට දැන් තමයි මිනිස්සුන්ට මම මේ කරන වෙනස් දේවල් වැඩියෙන් පේන්න ගන්නේ; වැලඳ ගන්නේ. මුලදි ඇයි මෙහෙම වෙනස් කරන්නේ කියලා ඇහුවා. නමුත් අපි RXA උත්සාහය අත්හරින්න හොඳ නැහැ. අපේ තරුණ පරපුර හුඟක් දක්ෂයි. හැම පැත්තකින්ම අලුත් දේවල් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ උත්සාහයන් සාර්ථක වෙන්න නම් ඉවසීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඕනේම ක්ෂේත්‍රකින් ඉදිරියට යන්න නම් ඒ ක්ෂේත්‍රය ගැන මනා හැදෑරීමක් තියෙන්න ඕනේ. වෙනස් දේවල් කරන්න නම්, අලුත් දේවල් කරන්න නම් ඒ හැදෑරීම ගොඩක් වැදගත් වෙනවා.

 

රැෆෙලාට ස්තූතියි කරන්නත් අය ඇති?

අම්මා, තාත්තා, මගේ සැමියා මේකෙදි ගොඩාක් උදවු කළා මට. ඒ අයට ස්තූතියි කරන්න ඕනේ. ඊට අමතරව මගේ මුළු කණ්ඩායමටම ස්තූතියි කරන්න ඕනේ. මේ සඳහා සහභාගි වුණු කලාකරුවන්, වේෂ නිරූපණ ශිල්පීන්, මෝස්තර නිර්මාණ ශිල්පීන් මේ හැම කෙනෙක්ටම ස්තූතිවන්ත වෙනවා. මේ හැමෝම තමන්ගේ රාජකාරිය හරියටම කරපු නිසා තමයි මේ වගේ නිර්මාණයක් මට කරන්න පුළුවන් වුණේ.