සිංහල සින්දු ගයද්දී ඉංගී‍්‍රසි ඇක්සන්ට් ඇයි චිත්‍රාල් සෝමපාල අසයි

පෙබරවාරි 18, 2021

 

ලෝකේ කොතැනක ජීවත් වූවත් ලාංකිකයෙකුට තම ජාතිකත්වය අමතක කළ නොහැකිය. තමන් උපන් බිම, උපන් බිමේ අනන්‍යතාවය, දේශීයත්වය, කලාව, සංස්කෘතිය වෙනුවෙන් ඔවුන් තුළ කොතැනක හෝ සැඟවුණු ළෙන්ගතුකමක් ඇත. විශේෂයෙන් කලාකරුවෙකුට මේ දේවල් වඩ වඩාත් තදින් දැනෙනු ඇත යන්න මගේ හැඟීමය.

පුරා වසර ගණනාවක් විදේශයක ජිවත්වන, එහෙත් අපේ රටේ කලාව තුළ සුවිශේෂි අනන්‍යතාවයක් ගොඩ නඟා ගත් කලාකරුවෙකු වන චිත්‍රාල් සෝමපාල තම රට වෙනුවෙන්, ශී‍්‍ර ලාංකේය රසික ප්‍රජාව වෙනුවෙන් යමක් කිරීමේ නිරන්තර උත්සාහයක යෙදෙන්නෙකි. මේ දිනවල විදේශ ගතව විසුවත්, ඔහු ඔහුගේ ශී‍්‍ර ලාංකික රසික රසිකාවියන් වෙනුවෙන් අන්තර්ජාලය හරහා සංගිත පුහුණු ඇකඩමියක් ආරම්භ කිරීමට සූදානම්ව සිටී.

‘ මම ලංකාවට පැමිණි බොහෝ අවස්ථාවල බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් තිබුණා සංගීත පුහුණු වැඩසටහනක් හෝ පංතියක් කරන්න කියලා. නමුත් වැඩ රාශියක් යොදාගෙන කුමක් හෝ සංදර්ශනයක් හෝ, කලා කටයුත්තක් වෙනුවෙන් ලංකාවට පැමිණෙන මට මේ ඉල්ලීම් ඉෂ්ට කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ ඉල්ලීම නිරන්තරයෙන්ම මගෙන් මඟ හැරුණා. පසුගිය කාලය තුළ කෝවිඩ් 19 ප්‍රශ්නය නිසා අපි හැම දෙනෙක්ම නිවෙස් ඇතුළතට කොටු වුණා. අපට නිදහසේ හිතන්න, නිර්මාණ කරන්න ලොකු නිදහසක්, අවකාශයක් මේ කොරෝනා විසින් සලසලා දුන්නා. සංදර්ශනවලින් බැහැරව, කාර්යබහුල ජීවිතයෙන් බැහැරව අපි ටිකක් හුදකලා ජීවිතයකට හුරු වුණා කිව්වොත් නිවැරැදියි මම හිතන්නේ. මේ කාලය තුළ මම හිතුවා අර මගේ රසිකයන් ඉල්ලපු මගෙන් මඟහැරී තිබුණු සංගිත පුහුණු වැඩසටහන් කළොත් හොඳයි කියලා. ඒ නිසා මම ඔන් ලයින් ඇකඩමි එකක් පටන් ගත්තා. මේක මම නම් කළේ බපචත චජචඤඥථර කියලයි. මේ හරහා සංගීතයේ විවිධ ඉසව් ඉගෙන ගැනීමේ, පුහුණු වීමේ හැකියාව මෙන්ම සංගිත භාණ්ඩ වාදනය කිරීමේ හා පුහුණු වීමේ හැකියාව තිබෙනවා.‘

චිත්‍රාල් යනු අපේ රටේ අති විශිෂ්ට සංගීත ශිල්පින් යුවළක් වූ පී. එල්. ඒ. සෝමපාලයන් හා චිත්‍රා සෝමපාලයන් ගේ පුත්‍ර රත්නයයි. මව්පිය උරුමයෙන්, ජාන ශක්තියෙන් ඔහුට කලාව, සංගීතය පිහිටා තිබුණද ඔහු සිය සංගීත හැකියාවන් වර්ධනය කර ගන්නේ සහ අධ්‍යයනය කළේ තම ස්ව කැමැත්තට ස්වඋත්සාහයෙන්මය. කුඩා කල පටන්ම බටහිර සංගිත ඇසුර පි‍්‍රය කළ චිත්‍රාල් ඒ තුළ සිය අනන්‍යතාවය සොයා ගියේය. ඒ වෙනුවෙන් ඔහුට කිසිදු කලබලයක් තිබුණේද නැත. ඒ සොයා යෑම තුළ ඔහු ඔහුටම අනන්‍ය වූ සංගීත ශෛලියක් නිර්මාණය කර ගනිමින් අලුත් නිර්මාණයක් වෙනුවෙන් මං පෙත් සාදා ගත්තේය. සංගීත භාණ්ඩ ගණනාවක් වාදනය කිරීමේ හැකියාව මෙන්ම, තමන්ටම ආවේණික ගායන ශෛලියක්ද ඇතිකර ගනිමින් ලාංකික රසික ප්‍රජාව තුළද නමක් රඳවා ගත්තේය. කාලාන්තරයක් තිස්සේ තමා විසින් ස්වයං අධ්‍යයනයක යෙදී ලබා ගත් දේ මෙන්ම විදේශගතව ඉගෙන ගත් බොහෝ දේද, අත්දැකීම්ද එක්කොට ගනිමින් දැන් ඔහු ඒ දැනුම තවත් පරපුරකට බෙදා දෙන්නට සූදානමින් සිටී.

‘‘ලංකාවේ බොහෝවිට අපිට රියැලිටි වැඩසටහන් දකින්නට ලැබෙනවා. මේ වැඩසටහන්වලින් බොහෝ දක්ෂතා තිබෙන නව පරපුරක් එළියට එනවා. එහෙත් ඒ එළියට ඒමෙන් පසු ඔවුන්ගේ නිර්මාණ හෝ ඔවුන්ට ම ආවේණික සංගිත ශෛලීයක් ගොඩනඟා ගන්නවා හෝ දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. නිර්මාණකරණයේදී වුනත් ඔවුන්ගෙන් නැවුම්, අලුත් ආකාරයේ නිර්මාණයක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ බොහෝ කාරණාවලට උත්තරය ‘ට්‍රාල් ඇකඩමි ‘ හරහා ලබා දෙන්න උත්සාහ කරනවා. ‘‘

ට්‍රාල් ඇකඩමි ආරම්භ වී මේ වනවිට සති දෙක තුනක කාලයක් පමණයි ගත වී තිබෙන්නේ. චිත්‍රාල් කියන පරිදි මේ වනවිටත් ඔස්ටේ‍්‍රලියාව, ඇමරිකාව, ස්වීඩනය වැනි රටවල්වලිනුත් මේ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතළත් වීමට අවස්ථාව ඉල්ලා තිබෙනවා. ශී‍්‍ර ලාංකික සංගීතඥයෙක් ගෙන් සංගිතය බගෙන ගැනීමට, පුහුණුව ලැබීමට විදේශිකයෙකුට වඩා අපේ රටේ රසික ජනතාව කැමැති ඇති. දැන් ඒ සියලු දෙනාට නපඪථඥබභඪබඪධද.තඬ යන වෙබ් අඩවිය හරහා අයදුම් පත් යොමු කළ හැකියි.

‘ඇත්තටම අද ලෝකයේ බොහෝ රටවල් මේ ඔන් ලයින් ටියුෂන් ක්‍රමයට අනුගත වෙලා තිබෙනවා. අපි මේවා භාවිත නොකර සිටියොත් අපට නිකම්ම පස්සට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මම තීරණය කළේ මේ වගේ එකක් පටන් ගන්න. ලෝකයේ සියලුම ජනතාව අද ජීවත් වෙන්නේ අති විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක් එක්ක. ජීවිත තර්ජනවලට මුහුණ දීලා ඉන්න මේ වගේ අවස්ථාවක සංදර්ශන කරලා මුදල් හම්බ කිරීමේ පරමාර්ථයක් මට නෑ. මම මොන දේ කළත් මූලිකත්වය දෙන්නේ ජනතාවගේ ආරක්ෂාවට.‘‘

චිත්‍රාල් පදිංචි වී සිටිනුයේ ස්වීඩනයේය. පසුගිය කාලයේ ලංකාවට පැමිණ සිටියද ඔහු යළි ස්වීඩනය බලා පිටත්ව ගියා. ලොව පුරා පැතිර පවතින මෙම ව්‍යසනකාරී තත්ත්වය යම්තාක් දුරට සමනය වු පසු නැවත ලංකාවට පැමිණීම ඔහුගේ බලාපොරොත්තුවයි. මේ පැමිණීම තුළ ඔහු අලුත් යමක් මෙරට රසික ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් කිරීමට මේ විවේකී කාල පරිච්ඡේදය තුළ සැලසුම් කරමින් සිටී.

‘ඇත්තටම මට ලොකු ඕනෑකමක් තිබෙනවා ලංකාවට එන්න. අපේ රසික ජනතාව අවුරුද්දකට වැඩි කාලයක් පුරා ඉන්නේ ලොකු පීඩනයකින්. රට පුරාම පැතිරී පවතින කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක මිනිස්සුන්ගේ මානසික තත්ත්වය ඉතාම පහළ මට්ටමකට වැටිලා තියෙන්නේ. ගෙවුණු කාලය පුරාම මේ හැම කෙනෙක්ම හුදකලා ජීවිත තුළ අතරමං වෙලා ඉන්නේ මේ අයට සංගීතයෙන් සහනයක් සලසන්න, මානසික තත්ත්වය වෙනස් කරන්න යමක් කරන්න ඕන කියන තැන මම ඉන්නවා. සංදර්ශන වගේම, වැඩමුළු කරන්න වගේම රුපවාහිනී ප්‍රසෙන්ටර් කෙනෙක් විදිහට වෙනම ආකාරයේ අලුත් දෙයක් ඉදිරිපත් කරන්නත් මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. ‘ලංකාවේ සංගිත රසිකයන්ගේ රසිකත්වය ගැන චිත්‍රාල්ට විවිධ මත තිබෙනවා. ඔහු කියන්නේ ඉතාම ඉහළ රසවින්දනයක් තිබෙන රසිකයන් පිරිසක් වගේම, පහල රසවින්දනයක් තිබෙන රසිකයන් පිරිසක්ද ඉන්න බවයි. හැබැයි මේ රසිකත්වය නිර්මාණය වීමේදී එහු බොහෝ වේලාවට වගකිවයුත්තන් විදියට සංගිත නිර්මාණ ශිල්පීන්ටත් අත දික්කරනවා. උසස් සංගිත රසයක් විඳීය හැකි නිර්මාණ බිහිවෙනවා නම් ඒ තුළින් රසිකත්වය වෙනස් කළ හැකි බව ඔහු විශ්වාස කරනවා.

‘ලංකාවේ පැවැත්වෙන බොහෝ රියැලිටි වැඩසටහන් මම නරඹලා තියෙනවා. සමහර අය සිංහල සින්දු ගායනා කරනවා ඉංගී‍්‍රසි ඇක්සන්ට් එකෙන්. මම දන්නෙ නෑ ඒ අය ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. මම වසර ගණනාවක් පිටරටක ජිවත්වෙන්නේ. මම සිංහල ගිතයත් ගායනා කරත්දී හොඳට සිංහල දන්න කෙනෙක්ගෙන් අහනවා සිංහල වචන මම හරියට උච්චාරණය කරනවද කියලා. මම දන්නෙ නෑ ජීවිත කාලයම සිංහල කතා කරන අය ගිත ගායනා කරද්දී ඉංගී‍්‍රසි ඇක්සන්ට් එකක් ගන්නේ ඇයි කියලා.

මම ඉගෙන ගත්තේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ. අපි ඉස්කෝලෙදි හොඳට සිංහල කතා කළා. හැබැයි සිංහල කතා කරන කොට ඉංගී‍්‍රසි ඇක්සන්ට් ගත්තේ නෑ. ඒ කාලේ අපි දෙමළත් ඉගෙන ගත්තා. මම දකින විදියට අද බොහෝ අය කතා කරන්නේ කැඩිච්ච ඉංගී‍්‍රසියෙන් ඒ මදිවට සිංහල කතා කරත්දි බොරු ඉංගී‍්‍රසි හැඩයක් ගන්නවා. අපි පුංචි කාලෙ අපට අහන්න දකින්න ලැබුණු හැමදේම හොඳ දේවල් ගිතයක් අහන්න අපිට තිබුණේ එක නාලිකාවක් විතරයි. ඒ කාලේ. අද නාලිකා විසි පන්දාහක් විතර තියෙනවා. ඒත් හොඳ ගීතයක් ඇහෙන්නේ කලාතුරකින්. තාක්ෂණය කොච්චර දියුණු වුණත් උසස් ගණයේ නිර්මාණ බිහිවෙන්නේ කලාතුරකින්. අනිත් පැත්තෙන් අද මුදල් දිලත් නිර්මාණ ප්‍රචාරය කර ගැනීමේ හැකියාවකුත් කිබෙනවානේ. එහෙම වුණාම නිර්මාණවල ගුණාත්මකභාවය ගැන කොහොම හොයන්නද? කලාව බල්ලට ගියාම ඔහොම දේවල් වෙනවා.

මගේ ජීවිතේ මම මුදල් පස්සේ හඹා යෑමක් කිසි දවසක නෑ. මට ඕන උසස් ගණයේ නිර්මාණ කරන්න විතරයි. ඒ හින්දා ඉස්සරහට මම හිතුවා අලුතින් එන ගායක ගායිකාවන්ට හොඳ මෙලඩි කරන්න දැන් තාක්ෂණය දියුණු නිසා ඔන් ලයින් ක්‍රමයට ඒකත් කරන්න පුවවන්. ඉහළ ගණයේ නිර්මාණ බිහිවෙනකොට ඒව අහන්න රසිකයෝත් පුරුදු වෙනකොට ඉහළ ගණයේ රසාස්වාදයත් ඇති පිරිසකුත් ඉබේම බිහිවේවි.