වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
වේදිකාවෙන් සිනමාවට විත් තරුණ පරපුරට සිනමාව ඉගැන්වූ ගුරුතුමා
ඔහුගේ සම්පූර්ණ නම ගෝනදූව හඳුන්ගේ දොන් ලක්ෂමන් ලීලචන්ද්‍ර පෙරේරාය. හෙවත් ජී.ඩී.එල්. පෙරේරා ය. මිතුරු සමාජයට ජී.ඩී.එල් ය. 1935 ජූනි 26 වැනි දා කොළඹ දී උපත ලබා කලක් රත්නපුරයේ ජීවත්ව පසුව කොළඹට පැමිණ කලාවේ විවිධ ඉසව් සොයා ගිය තරුණයා ය. කොටහේන කුමාර විද්‍යාලයේ දී අකුරු කළ සමයේ ඔහුට මුණ ගැසුණු චිත්රකලා ගුරුවරයා වූ එඩ්වින් හේවාකපුගේ (අයිපීබී යේ සෝමපාල හේවාකපුගේගේ සොයුරු ඉස්කෝල මහත්තයා) ගුරුතුමාගේ මඟ පෙන්වීමෙන් කලාවට අවතීර්ණ වූ ශිෂ්‍යයා ය. 1954 දී රජයේ ලිපිකාර වෘත්තියට බැඳී කාර්යාලීය සගයන් හා එක්ව කලාපෙළ සංස්කෘතික සංගමය පිහිටුවමින් වේදිකා නාට්‍ය ප්රමුඛ කලාවෙහි සක්‍රීය දායකත්වයක් පෑ නාට්‍යකරුවා ය. 1956 කඳුළු වේදිකා නාට්‍යයේ සිට මනමාලකම, සාමා, සක්කරවට්ටම, මෙහෙව් ලෝකෙක, රතු රෝස, තොටුපොළ, අන්දරේ (1965) ආදී නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළ නාට්‍යකරුවා ය.
ඔහුගේ සාර්ථක නිෂ්පාදනයක් ලෙස විචාරකයන් විසින් පිළිගන්නා ලද සාමා නාට්‍යය පදනම් කොටගෙන 1965 දී සාමා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්, දහසක් සිතුවිලි හා රොමියෝ ජුලියට් කතාවක් යන චිත්‍රපට නිර්මාණය කළ චිත්‍රපට අධ්යක්ෂවරයා ය. 1968 අග භාගයේ දී චිත්‍රපට තාක්ෂණය පිළිබඳ කෙටිකාලීන පාඨමාලා අරඹමින් තරුණ පිරිසට සිනමාව ඉගැන්වූ ගුරුවරයා ය. ඔහු දිගු කලක් විප්‍රවාසයේ සිට පෙරළා දිවයිනට පැමිණ යළි එංගලන්තයටම ගොස් පසුගිය දවසක එහිදී අප අතරින් වියෝ වූ සහෘදයා ය. හිත හොඳ මිනිසා ය.
එදවස අප දන්නා අපේ කට්ටිය වැනි පෙරළිකාර නාට්‍ය කණ්ඩායමක් නොවූවත් කලාපෙළ ද ඔවුන්ගේ ආගමනය සටහන් කරමි ක්‍රියාත්මක වූ නාට්‍ය කණ්ඩායමකි. කලාපෙළ නිර්මාණ ඔස්සේ වේදිකාවට හඳුන්වා දුන් දෙනවක හාමිනේ, ලියෝනි වීරසිංහ (කොතලාවල) ආදීන්ගේ රංගන කුසලතා ප්‍රේක්ෂකයන්ට සමීප කළ ජී.ඩී.එල්. ගේ නාට්‍ය බොහෝ අවස්ථාවල විචාරක සම්භාවනාවට පාත්‍ර වූ බව දනිමු. වේදිකාවෙහි අත්දැකීම් ලබමින් සිනමාවට පිවිසි අපගේ පූර්ව නාට්‍යකරුවන් ගත් මඟම ගනිමින් ජී.ඩී.එල්. සිනමාවට පිවිසේ. සිංහල සිනමාවේ පුරෝගාමීන් වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න.
ශාන්ති කුමාර් හා සිරිසේන විමලවීර ආදීන් මෙන්ම මෑත භාගයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සුගත් සමරකෝන්, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, සෝමරත්න දිසානායක, ජයසේකර අපොන්සු, පරාක්‍රම නිරිඇල්ල, විජිත ගුණරත්න ආදීන් ද සිනමාව තම ප්‍රකාශන මාධ්‍යය ලෙස තෝරාගන්නේ වේදිකාව තුළ තම නිර්මාණ පන්නරය ලබා ගනීමෙන් අනතුරුව ය. මේ දෙවන කාණ්ඩයට අයත් පිරිස් අතර ජ්‍යෙෂ්ඨයා ජී.ඩී.එල් ය. ඔහු තම දෙවන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමි සිටිය දී ම හැටේ දශකයේ අග භාගයේ දී ඇරැඹූ සිනමා තාක්ෂණය පිළිබඳ පාඨමාලාව එකල සිනමාව පිළිබඳ ඉගෙනගැනීමට ආසාවෙන් සිටි බොහෝ තරුණයන්ට ආස්වාදජනක පුවතක් වීය.
විශ්වවිද්‍යාලයේ උපාධි පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රතිඵල එන තෙක් සිටි සමයේ මෙම පාඨමාලාවේ දෙවන කණ්ඩායමට ඇතුළත් වීමේ වරම් ලැබීම වාසනාවක් ලෙස සිහිපත් කරමි. ලෝක සිනමා ඉතිහාසයේ විශිෂ්ට නිර්මාණ නරඹමින්, තිස්ස අබේසේකර, නිහාල්සිංහ, සුමිත්ත අමරසිංහ ආදී ප්රමුඛ සිනමාකරුවන්ගේ දේශනවලට සවන් දෙමින් පංති කාමරයෙන් බැහැරව චිත්රාගාරවලට ගොස් රූගත කිරීම්, රසායනාගාර කටයුතු, සංස්කරණ මැදිරි නැරඹීම යෞවන සිනමාලෝලීන් වූ අපට අපූරු අත්දැකීමක් විය.
ජී.ඩී.එල් පෙරේරා අධ්යක්ෂවරයාගේ මෙම සිනමා අධ්‍යයන පුහුණු පාඨමාලාව මගින් බිහි කළ තරුණ සිනමාකරුවන් රැසක් විසින් ශ්‍රී ලාංකීය සිනමාව තුළ දස්කම් පෑ'යුරු අපගෙ මතකයේ වේ. පරාක්‍රම සිල්වා, පරාක්‍රම නිරිඇල්ල, සුමින්ද වීරසිංහ, අයි.එන්.හේවාවසම්, ලාල් පියසේන, පී.යූ.ඩී.පෙරේරා, චන්දන සිල්වා, ස්ටැන්ලි ද අල්විස්, ෂෙල්ටන් පයාගල ආදීන් මෙන්ම ධර්මසිරි බණ්ඩාරනායක, නෙල්සන් පීරිස්, සෝමවීර බෝපිටිය, එම්.ඒ. සංඝදාස, විමල් වෛද්‍යසේකර, සුසීමා දමයන්ති, එච්.එම්.බී. ප්‍රනාන්දු, රෝලන්ඩ් අබේපාල ආදීන් ද කලාපෙළ සිනමා පාඨමාලාවෙහි ඇසුර ලැබුවන් ලෙස සැලකේ. සිනමා අධ්‍යයනය කියා දුන් ගුරුතුමාට පෙර අපගෙන් සමුගත් කිහිප දෙනෙකුම ඉහත නාමාවලියෙහි සිටින බව ද දනිමි.
චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය කළ ජී.ඩී.එල්. පෙරේරා සිනමාකරුවාගේ චිත්‍රපට පිළිබඳ නිසි ඇගයීමක්, විචාරයක් සිදු වීද යන්න විවාදාත්මක ප්රශ්නයකි. ඔහු තම කුලුඳුල් නිර්මාණයෙන්ම නාට්‍ය හා සිනමා මාධ්‍යයෙහි වෙනස මනාව වටහා ගනිමින්, කලාත්මක ගුණය හා සිනමානුරූපී බව රැක ගනිමින් කළ නිර්මාණයකි. සාමා චිත්‍රපටයෙන් ගැමි ජීවිතය පිළිබඳ පුළුල් අරුතක් පළවන බව තිස්ස අබේසේකරගේ විවරණයක සඳහන් ය. නළුවරණය (ලියෝනි වීරසිංහ, දෙනවක හාමිනේ) අතින් ද චිත්‍රපට සංගීතය (ජයතිස්ස අලහකෝන්), ගීත රචනය (සුගතපාල සෙනරත් යාපා - වනන්තරේ ගල් අරණේ විමානෙට) (ස්වර්ණ ශ්‍රී බණ්ඩාර - ආශා දෑසින් දකිනා සිහිනේ) පසුබිම් ගායනය (දේවානන්ද වෛද්‍යසේකර හා මල්ලිකා පෙරේරා) ආදී ආනුශංගික අංශ උසස් මට්ටමක තිබුණේ අධ්යක්ෂ භූමිකාවෙහි ජී.ඩී.එල් සතු වූ ප්‍රතිභාව විශද කරමිනි. ඔහුගේ දෙවන නිර්මාණය, දහසක් සිතුවිලි ගැඹුරු ජීවන දර්ශනයක් මතුකිරීමට උත්සාහ නොගත් බැවින් කලාත්මක නිර්මාණයක් නොවූ බව විචාරක එච්.ඒ. සෙනෙවිරත්නගේ මතය වීය. වස්තු විෂයයට යා නොදෙන අයුරින් රූප නිර්මාණය කළ වස්තු විෂය යටපත් කරමින් ශිල්ප හරඹයක් ඉස්මතු කළ නිර්මාණයක් යැයි ප්‍රකාශ කරන ලද්දේ විචාරක ලෙස්ලි බොතේජු ය. 1969 සරසවිය සිනමා සම්මාන උලෙළේ දී හොඳම අධ්‍යක්ෂණය සඳහා ජී.ඩී.එල්. පෙරේරා සම්මාන ලැබීය.
දහසක් සිතුවිලි
ඊට අමතරව 1969 ශ්‍රී ලංකා විචාරක හා ලේඛක සංගමය විසින් දහසක් සිතුවිලි සඳහා සම්මන හතරක් පිරිනැමීය. හොඳම තිර රචනය (ජී.ඩී.එල්. පෙරේරා හොඳම කැමරාකරනය් (ඩී.බී. නිහාල්සිංහ) හොඳම කතා රචනය හා හොඳම චරිත නිරූපණය (හෙන්රි ජයසේන) එකී සම්මාන විය. රොමියෝ ජූලියට් කතාවක් සඳහා දේශපාලන තේමාවක් පසුබිම් කර ගත්ත ද චිත්‍රපටය කලාත්මක කෘතියක් ලෙස ඇගයීමට ලක් නොවිණ. වාණිජමය අතින් ද එය අසාර්ථක නිර්මාණයක් වූ බව කියැවේ. ඉන්පසු ජී.ඩී.එල්. පෙරේරා රට හැර විප්‍රවාසයට ගොස් එහි සිට රට ගිය ඇත්තෝ නම් ටෙලිනාට්‍ය ද නිර්මාණය කළේය.
ඔහු ඉංගී්රසි බසින් “පීටර් ඔෆ් දි එලිෆන්ට්” නමින් චිත්‍රපටයක් නිර්මාණය කළේය. ඔහුගේ අවසාන චිත්‍රපටය හොරා පොලිස් නමින් නිර්මාණය කළ ද එය තිරගත වූයේ චක්‍රායුධ නමින්ය. වසර කීපයකට පෙර දිවයිනට පැමිණෙන ජී.ඩී.එල්. පෙරේරා මහනුවර ප්‍රදේශයේ කලාශ්රමයක් ඇරැඹූව ද එය අසාර්ථක වීමෙන් යළි රට හැර ගොස් සිටිය දී ඔහුගේ වියොව සිදු වූ බව සඳහන් ය. ජී.ඩී.එල්. පෙරේරා වැනි බහුවිධ කුසලතා සතු වූ නිර්මාණකරුවකුට තම උපන් බිමෙන් හිමිවිය යුතු නිසි ඇගැයීම ලැබුණේ ද යන්න අප සිත තුළ ඇසෙන ප්රශ්නයකි. ඔහුට සුවබර රාත්‍රියක් පතමි.
සාමා
2007 වසරේදී සරසවිය සම්මාන උලෙළේදී ඔහුගේ සිනමා මෙහෙවර අගයා ජීවිතයේ එක්වරක් පිදෙන රණ තිසර සම්මානයෙන් පිදුම් ලැබීම ඔහු ජීවිතයේ ලද අවසාන සම්මානය විය.