මේ එළැඹෙන්නේ උදාරි යුගයද?

එකිනෙකට වෙනස් චරිත හතක්
පෙබරවාරි 25, 2021

 

 

 

"මම සුනිල් ආරියරත්න මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මා ගැන විශ්වාස කරලා පුරම්භිකාවගේ චරිතයට තෝරාගත්තාට. ජැක්සන් ඇන්තනි මහත්මයාටත් ස්තූතිවන්ත වෙනවා ඒ චරිතයට මම සුදුසු බවට යෝජනා කිරීම සම්බන්ධව. ලංකාවේ ඕනෑම නළුවකුගේ හෝ නිළියකගේ සිහිනයක් තමයි අති දැවැන්ත නිර්මාණ කරන අධ්‍යක්ෂවරයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ කෙනකුගේ චිත්‍රපටයකට සම්බන්ධ වීම. මගේ ඒ සිහිනය සැබෑ වුණා. මට හරිම සතුටුයි. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටයට මට කළ හැකි උපරිම සාධාරණය ඉ‌ටු කිරීමට. ඒ වගේම කරු ජයසූරිය මහත්මයාගේ දියණියගේ චරිතය වැන්නක් නිරූපණය කිරීමට ලැබීම මගේ රංගන ජීවිතයේ අපූරු අත්දැකීමක්."

මෙසේ පැවසුවේ වත්මන් සිංහල සිනමාවේ වඩාත් කැපී පෙනෙන රංගන ශිල්පිනිය බවට පත්ව ඇති උදාරි වර්ණකුලසූරිය යි. ඇය චරිත නිරූපණය කළ සිනමා පට හතක් ඉදිරි කාලය තුළ ප්‍රදර්ශනය වීමට නියමිතය. මේ ඇය සරසවිය සමඟ යෙදුණු කෙටි පිළිසඳරකි...

 

 

 

පවතින තත්ත්වය යටතේ රූගත කිරීම් එහෙම කොහොමද?

මේ දිනවල නම් අපි කරන්නේ ක්ෂීර සාගරය කැලඹිණ පුහුණුවීම් පමණයි. රූපගත කිරීම් අප්‍රේල්වල කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. වේශ නිරූපණ, ඇඳුම්, අශ්වයන් පිටේ යෑම්, දෙබස් ආදිය පුහුණුවීම තමයි මේ දවස්වල කෙරෙන්නේ.

 

උදාරි සයිමන් නවගත්තේගම ලියූ ක්ෂීර සාගරය කැලඹිණ පොත කියෙව්වාද?

නැහැ. පොත කියවලා නම් නැහැ. හැබැයි දන්න තරමින් නවකතාවට වඩා තුලනාත්මකව තිරපිටපත නිර්මාණ වී තිබෙනවා.

 

මේ කතාව අධියථාර්ථවාදී එකක්. ඔබ මෙතෙක් නිරූපණය කළ චරිතවලට වඩා වෙනස්?

ඇත්ත මෙය මම මෙතෙක් කළ චරිතවලට වඩා වෙනස් බව තේරෙනවා. ඕනෙම නළුවෙකු හෝ නිළියක කැමැති චරිතාංග රූපණ ශිල්පියකු වන්නනේ. ඉතින් මටත් ලැබුණේ ඒ සඳහා අවස්ථාවක් කියලා හිතෙනවා. අධිරාජයාගේ අගබිසව හැටියට ඔහු පිළිබඳ සියලු තොරතුරු දන්න එකම ගැහැනිය පුරම්භිකාව. ඔහු වැඩියෙන්ම විශ්වාස කරන්නෙත් ඇය සම්බන්ධවයි. ජැක්සන් ඇන්තනි මහත්මයා සමඟ රංගනයේ යෙදෙන ප්‍රථම වතාවත් මෙයයි. ඉතින් සිහින ගොඩක් සැබෑ වන අවස්ථාවක් ලෙසයි මට මෙය දැනෙන්නේ.

 

හැබැයි ඔබ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ අධ්‍යක්ෂණය පිළිබඳ අත්දැකීම ලැබුවා?

ඔවු. 'එකගෙයි සොකරි' චිත්‍රපටයෙන්. ඇත්තෙන්ම ඔහු යටතේ රංගනයට අවස්ථාව ලැබීම කියන්නේ රංගන පුහුණු පාසලකට ගියා හා සමානයි. මගේ රංගන ජීවිතයේ ගුරුවරයා ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. අපි බොහෝ දෙනා රංගනයට එද්දි ඒ ගැන යම් අදහසක් ඇති කරගන්නවානේ. හැබැයි මම එකගෙයි සොකරි රඟපාන්නේ චිත්‍රපට කීපයකට සම්බන්ධ වුණාට පස්සේ. එතකොට අපට හිතෙනවානේ මම කරන දේ තමයි හරි, මේ විදිහට තමයි රඟපාන්නේ කියලා. ඒත් ඔහු මගේ රංගනයේ උපරිමය ගන්න සමත් වුණා. භාව ඉවසීම, භාව ප්‍රකාශනය, දෙබස් වගේම අකුරු අතර පරතරය ගැන පවා මම නොදන්න කරුණු කාරණා රැසක් කියා දුන්නා. පෞද්ගලිකව මටම තේරුණා දැන් තමයි මම හරියට රඟපාන්නේ, කලින් රඟපාන්නන් වාලේ රඟපාලා තිබෙන්නේ කියලා.

 

ඒ වගේම ඔබ මිදුණු විශ්වය චිත්‍රපටයේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ අධ්‍යක්ෂණ අත්දැකීමත් ලැබුණා?

ඇත්තටම ඔව්. අපි හැමෝම දන්නවා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා කියන්නේ හොඳ ගුරුවරයෙක් කියලා. ඔහු මාව අධ්‍යාත්මික වශයෙන් පෝෂණය කළා. හැඟීමක් ආපු පළියට එළියට නොදා, තැනට උචිත විදිහට වගේම හැඟීම හිරකරගෙන එය පෙන්වන්නේ කොහොමද කියන දේ ඔහුගෙන් දැනගත්තා. කොටින්ම කීවොත් අපි මිදුණු විශ්වයේ ඩබිංවලට ගියාම වුණත් ව්‍යායාම කරලයි හඬකැවීම කරන්නේ. මේ හැමදේම නිසා මම හරිම වාසනාවන්ත නිළියක් කියන්න පුළුවන්. මොකද එක ළඟම මට ලැබුණේ ලංකාවේ ඕනෙම රංගන ශිල්පියෙක් ශිල්පිනියක් රඟපාන්න හීන දකින අධ්‍යක්ෂවරුන් තිදෙනකු සමඟ වැඩ කරන්න.

 

ඔබ කීවා චිත්‍රපට හතක් ප්‍රදර්ශනයට නියමිතව තිබෙනවා කියලා?

මම රඟපෑ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ එකගෙයි සොකරි, ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මිදුණු විශ්වය, ආචාර්ය සරත් වීරසේකර මහත්මයාගේ ශ්‍රී සිද්ධා, බෙනට් රත්නායක මහත්මයාගේ කවුරුවත් දන්නේ නෑ, වී. සිවදාසන් මහත්මයාගේ දෙවෙනි යුද්ධය, සංජීව පුෂ්පකුමාර මහත්මයාගේ ආසු සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාගේ ක්ෂීර සාගරය කැලඹිණ තමයි ඉදිරියට එන්න තිබෙන්නේ.

 

ආසු තැනුණේ ඇත්ත කතාවක් ඇසුරින්?

ආසු කියන්නේ අන්තර්ජාතික චිත්‍රපටයක්. එය මැලේසියාවේ නිෂ්පාදනයක්. එය ලංකාවේ එළි දැක්වීමට අවසර ගත්තා. මෙය හිටපු කථානායක කරු ජයසූරිය මහත්මයාගේ දියණිය ඉන්දිරා ජයසූරිය මහත්මියගේ සැබෑ ජීවිත කතාව ඇසුරින් කරන ලද්දක්. ඇය අවසන් ගමන් ගියේ පිළිකා රෝගියකු ලෙස. ඇත්තෙන්ම මම මහන්සි වුණ චරිත අතරින් ගත්තොත් වැඩියෙන්ම වෙහෙසකර චිත්‍රපටය මෙය කියන්න පුළුවන්. අපට වේශනිරූපණය සඳහා පමණක් පැය දොළහක් විතර ගත වෙනවා. දැඩි කැපවීමකින් කළ චිත්‍රපටයක්.

 

එකගෙයි සොකරි

 

 

මේ සියල්ල සමඟ ඔබ දැන් රංගනය යන්න අවබෝධ කරගෙන තිබෙන්නේ කෙබඳු ආකාරයකටද?

ඒක වචනවලට ගේනවා නම්, මට චරිතයක් ගැන කීවාම එය මා තුළට රිංගවනවාට වඩා මම උත්සාහ කරන්නේ පෞද්ගලිකවම ඒ චරිතය කෙබඳුද කියා හැදෑරීමට. උදාහරණයක් ලෙස යම් පුද්ගලයකු ගත්තොත් ඇයගේ පුංචි කාලේ ගතිගුණ කොහොමද?, ආස කරන දේවල් මොනවාද? හැසිරීම කොයි වගේද? වගේ එයාගේ පෞද්ගලිකත්වය මම සොයා ගන්නවා මිස මම මගේ ජීවිතේට අදාළ කරගෙන ඒ චරිතය ගොඩනඟන්න උත්සාහ කරන්නේ නැහැ.

 

චරිතයකට ප්‍රවිශ්ට වීමේ උපක්‍රමය කුමක්ද?

මම ගොඩක් හෝම්වර්ක් කරනවා. ඇත්තෙන්ම ඉස්සර උපක්‍රමය වුණේ පිටපත කියවලා දෙබස් කටපාඩම් කරනවා. නැත්නම් මම හිතාගත්ත මගේ ලෝකෙක චරිතය මේ වගේ වෙන්න ඇති කියලා මම ඒ චරිතය ගොඩනඟා ගන්නවා. හැබැයි දැන් මම රචකයා හෝ අධ්‍යක්ෂවරයාට කරදරයක් වුණත් කමක් නෑ කියලා කතා කරමින් අහනවා මේ චරිතය කොයි වගේද? සංවේදී චරිතයක්ද? කේන්ති යන කෙනෙක්ද? එයා කලබල වුණ වෙලාවක කොයි වගේ දේවල් කරනවා ඇත්ද? නියපොතු කනවාද? ඔළුව කසනවාද? දත්මිටි කනවාද? කියලා ඔවුන්ගෙන්ම ගන්න උත්සාහ කරනවා. මම හිතනවා කලින් ක්‍රමයට වඩා දැන් ක්‍රමය සාර්ථකයි කියලා. මොකද මට වඩා ඒ චරිතය දන්නේ එය ගොඩනැඟූ කෙනා. අනෙක තනි තීරණයකට වඩා සාමූහික තීරණයක් හරි ශක්තිමත්.

 

එසේ අවබෝධ කරගන්නා චරිතයට උපක්‍රමශීලීව ආරූඪ වුණාට එය ප්‍රේක්ෂකයාට දැනෙන ලෙස නිරූපණය කරන්නත් ඕනෑ?

මම හෝම්වර්ක් කරලා දැනගත්ත දේ තිබුණට මම රඟපාන්නේ මෙහෙමයි කියලා හිතාගෙන දර්ශනතලයට යන්නේ නැහැ. ඒ වගේම උදාරි හැටියට යන්නේත් නැහැ. මම යන්නේ ඒ චරිතය හැටියට. අපි හිතමු එයා නෝන්ජල් චරිතයක් කියලා. එතකොට දර්ශන තලයේදී මගේ දඟකාර කටකාර ස්වභාවයෙන් ඉඳලා එකපාරටම නෝන්ජල් වෙන්න අමාරුයි. ඒ නිසා දර්ශන තලයෙදිත් බොහෝ වෙලාවට මම ඉන්නේ ඒ චරිතයේ ලක්ෂණ අනුව. හැබැයි සියයට සියයක්ම ගෙදර ඉඳන් එළියට බහිද්දිම ඒ ලක්ෂණ පෙන්වන්න ගියොත් දර්ශනතලයේදී අධිරංගනයක් වෙන්න පුළුවන්. ඒ නිසා පාලනයක් ඇතිව තමන්ගේ හැඟීම් ප්‍රකාශ කළ යුතුයි. අධ්‍යක්ෂවරයා අපෙන් ගත යුතු රංගනය අරගන්නෙ සහ අඩු වැඩිය සකස් කරගෙන ලුණු ඇඹුල් එකතු කරගන්නේ අන්න ඒ වෙලාවට තමයි. ජැක්සන් ඇන්තනි මහත්මයා මට කියලා දුන්නේ අන්න ඒ දේවල් තමයි. රඟපෑම හරියට භාවනාවක් වගේ.

 

මේ දේවල් එක්ක හිතද්දි තරුණ ශිල්පිනියක් ලෙස හිතෙන්නේ නැද්ද අපටත් රංග පුහුණු පාසලක් තිබුණා නම් කියලා?

තිබුණා නම් හොඳයි. හැබැයි මම කිසිම දේකට පසුතැවෙන කෙනෙක් නෙවෙයි. මේ වෙනකොටත් අපට වටිනා මුතු මැණික් වගේ ගුරුවරු අපේ සිනමාවේ ඉන්නවා. මට ලැබුණු පෞද්ගලික අත්දැකීම් අනුව මම වැඩ කළ කිසිම අධ්‍යක්ෂවරයෙක් මට කියලා නැහැ අපෙන් අහන්න එපා කියලා. අනෙක මුලින් කීවා වගේම මම එකදිගට රංගනයේ යෙදුණ මේ චිත්‍රපට තුනේ ජැක්සන් ඇන්තනි, ජයන්ත චන්ද්‍රසිරි, මහාචාර්ය සුනිල් වැනි ගුරුවරුන්ගේ දැනුම, ප්‍රායෝගික අත්දැකීම්, විෂයය දැනුම ආදිය අතිවිශාලයි. ඔවුන් හොඳීන් පොතපත කියවා ලබාගත් දේ බොහෝයි. ඒවා අපට නිර්ලෝභීව දෙන්නත් කිසිම පැකිළීමක් නැහැ. ඔවුන් කැමැතියි අපට දැනුම බෙදා දෙන්න. ඒ නිසා අපට තිබෙන ඒ නිධානය විධිමත්ව භාවිත වෙන්නේ නැතිකම පමණයි තිබෙන්නේ. එහෙමත් නැත්නම් අන්තර්ජාතික වශයෙන් පිළිගත් පුහුණු පාසලක් තිබුණා නම් හොඳයි. මොකද අපි ජාත්‍යන්තරයට මුහුණ දෙන්නනේ කවදා හරි යන්නත් ඕනේ.

 

මිදුණු විශ්වය

 

 

ඔබට හිතෙන්නේ නැද්ද මීට වඩා සංවිධානාත්මක වුණා නම්, කලාකරුවන් එකමුතු වුණා නම්, ඔබ කියන ඔය ගමන පහසු වෙයි කියලා?

මමත් හිතන්නේ දියුණුවක් දකින්න කැමැති අය ඉන්නවා නම් සංවිධානය වන එක හොඳයි. පෞද්ගලිකව මම සහභාගි වෙලා නම් නැහැ. හැබැයි මම දන්න තරමින් ඔය සංවිධානවලින් වැඩි හරියක කෙරෙන්නේ එකතුවෙලා පාටි දාන එක. සමහර විට මම වැරැදි ඇති. අනෙක මගේ පුද්ගල ස්වභාවය ගත්තාමත් කිසිම නළුවකුගේ හෝ නිළියකගේ හෝ මගේම ඥාතියකුගේ හෝ මඟුල්ගේක, මරණ ගේක මම ගිහින් නැහැ. මම සහභාගි වුණේ මගේ මඟුල් ගෙදරටයි, මගේ එක්කුස උපන් අය්යාගේ මඟුල් ගෙදරටයි විතරමයි. මොකද මම උත්සවවලට සහභාගී වෙන්න පෞද්ගලිකව අකමැත්තක් තිබෙන නිසා. මම රූපගත කිරීම්වලට යනවා. නැත්නම් ගෙදර කට්ටියත් එක්ක කාලා බීලා සතුටින් ඉන්න තමයි වැඩිය කැමැති. ඒ නිසා වෙන්න ඇති මම ඔය සංවිධානවලටත් නොගියේ. හැබැයි කලාකරුවන්ට එකතු වෙලා යමක් කරන්න පුළුවන් නම් ඇත්තෙන්ම එය කර්මාන්තයටම ආශීර්වාදයක්. ඒ නිසා ඇහැට පේන්න යමක් වෙනවා නම් මම ඒ දේවලට සහභාගී වෙන්න කැමැතියි.

 

ඔබගේ මිත්‍ර සමාගම ඔබේ ක්‍රමය ගැන අහිතක් නැද්ද?

මට යාළුවො හරි අඩුයි. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්මත් එහෙමයි. (සිනාසී) ඇත්තටම මට කිසිම නළුවෙක් නිළියෙක්ගෙන් කිසිම කෝල් එකක්වත් එන්නේ නැහැ ඔයා හොඳීන් ඉන්නවාද? පරිස්සමින් ගියාද? කියලා. ඒකෙ තේරුම කවුරුත් තරහයි කියන එක නෙවෙයි. කිසි කෙනෙක් එක්ක කිසිම තරහක් නැහැ. ඒත් හිතවත්කම් තිබුණාට දැඩි බැඳීම් නැහැ. එදිනෙදා තොරතුරු හුවමාරු කිරිලි නැහැ. ඒ නිසා ඔය පාටිවල ගිහින් මට හැසිරෙන්න තේරෙයිද කියලත් හිතේ පොඩි ලැජ්ජාවක් වගේ එකක් තියෙනවා. ඒ නිසා අම්මා, තාත්තා, අය්යා සහ ස්වාමියා තමයි හැමදේටම ඉන්නේ. (හිනැහෙමින් අසයි) එතකොට ඇත්තෙන්ම ලේසි නේද අක්කේ? එහෙට මෙහෙට අරක මේක කිව්වා කියන්නේ නැතිව සැනසිල්ලේ ඉන්න පුළුවන්නේ...

 

අනෙක් අය හිතයි උදාරි හරි ආඩම්බරකාරියෙක් කියලා?

අනේ නැහැ. මම එහෙම නෑ. මට කතා කරන අයත් එක්ක හොඳට කතා කරලා ජොලියෙන් ඉන්නවා. ඒත් කතා කරන්නේ නෑනේ කවුරුත් (සිනාසෙයි). පෞද්ගලිකව මම ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ට ගරු කරනවා. ඉබේම හුනස්නෙන් නැඟිට්ටෙනවා. වචනයක් දෙකක් හරි කතා කරනවා. මොකද මම අවුරුදු දහතුනක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ ඉඳලා අපේ ජ්‍යෙෂ්ඨයන් කරපු කැපවීම කොතරම්ද නැත්නම් අපේ ක්‍රමේට කියනවා නම් කොච්චර කට්ටක් කාලාද ඒ තැනට ඇවිත් ඉන්නේ කියලා අඳුනගෙන තිබෙනවා. හැබැයි මට කවුරුත් විශේෂයෙන් සැලකිය යුතුයි කියලා නම් කිසිම වෙලාවක හිතලා නැහැ.

 

ගෙදර දොර තොරතුරුත් කතාකරමු අපි මේ කොවිඩ් අතර කොහොමද ගෙවෙන්නේ කියලා?

ඇත්තටම හරිම සුන්දර සැහැල්ලු පවුල් ජීවිතයක් මට තිබෙන්නේ. දුව අවුරුදු හතක් වනතුරු ලංකාවේ හිටියා. දැන් අවුරුදු දෙකක් තිස්සේ සිංගප්පූරුවේ අධ්‍යාපනයට යොමු කරලා. ලංකාවෙ ඉන්නෙ මමයි මගේ තාත්තයි විතරයි. නිවාඩුවට දුව ලංකාවට එන්න හෝ සති දෙකෙන් දෙකට හෝ මාසයකට සැරයක් මම සිංගප්පූරු යන්න තමයි යොදාගෙන හිටියේ. හැබැයි කොරෝනා තත්ත්වය නිසා දැන් යන්න හරි අමාරුයි ඒත් පුළුවන් විදිහට මම ගිහින් එනවා.

චූටි දුවකට අම්මා ඒ විදිහට දැක්කාම ඇතිද?

ඇත්තම කීවොත් මාර්තු මාසෙ දුව මා ගාවට ආවා. ජූනි මාසේ මම දුවව අරගෙන එහෙ ගියා. ආපසු මම ආවේ දුවගාව මාස ගාණක් ඉඳලා සැප්තැම්බර්වල. මම වෘත්තීය රංගන ශිල්පිනියක් වුණත්, කොවිඩ් වගේ මොන ව්‍යසනයක් ආවත් මවකගේ සහ බිරිඳකගේ යුතුකම්, වගකීම් තමයි මම අංක එකට සලකන්නේ. මොකද කාන්තාවක් ප්‍රමුඛතාව දිය යුත්තේ පවුලට කියන එකයි මගේ මතය. මොකද අපි දරුවො හදන්නේ අපේ ආසාවට ආදරයට නිසා ඒ අයට ජීවිතේ බරක් දැනෙන්න දෙන්න අපි කැමැති නැහැ. ඒ නිසා මගෙන් විය යුතු සියලු යුතුකම් මම නොපිරිහෙළා ඉටු කරනවා. දුවගේ පාසලේ ගුරු දෙගුරු සාකච්ඡා ආදිය තියන්නේ සූම් ක්‍රමයට. (රහසින්, බියෙන් මෙන් කියයි) සමහර විට නීති විරෝධී වුණත් වාහනේ යන ගමනුත් දුවගේ ඉස්කෝලෙ සූම් මීටින්වලට සහභාගී වන අවස්ථාත් තිබෙනවා.

 

රංගන ශිල්පිනියක් නොවුණානම්?

මම පොඩි කාලේ ආසා වුණේ නර්ස් කෙනෙක් වෙන්න. මම විද්‍යාව කළේත් ඒකට. (විහිළුවට මෙන් සිනාසී) මොකද මට ඩොක්ටර් කෙනෙක් වෙන්න තරම් බුද්ධියක් නෑනේ. ඒකට හරියන්න මම දොස්තර කෙනෙක් එක්ක විවාහ වුණා.

 

ඔබ රංගනය‌ට අතදුන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය අතහැරලා වගේද?

අනේ නැහැ. හැබැයි මම මෙගා ටෙලි නාට්‍ය නම් අතහැරියා. මමයි මහේන්ද්‍ර පෙරේරා මහත්මයයි එකතුවෙලා නම්බර් 9 කියලා ප්‍රහසන ටෙලි නාට්‍යයක් කළා. කොටස් 40යි. මොකද මගේ ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා මම ටෙලි නාට්‍යවල නැත්තෙ ඇයි කියලා. ඒ අයගේ බලාපොරොත්තු බිඳීන්න අකමැති නිසා තමයි ඒ ටෙලි නාට්‍යය කළේ. චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය ක‌ළේ. ඇත්තෙන්ම ටෙලි නාට්‍යවලින් තරමක් ඈත් වුණේ චිත්‍රපට හතක්ම එන්න තියෙද්දි නිතර දෙවේලේ රූපවාහිනියෙන් පෙනුණාම ප්‍රවේශ පත්‍රයක් අරගෙන චිත්‍රපටයක් බලන්න ශාලාවකට එන ප්‍රේක්ෂක සංඛ්‍යාව අඩු වන නිසා. හැබැයි මම කවදාවත් අමතක කරන්නේ නැහැ පුංචි තිරය නිසා තමයි මට ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණේ, ඔවුන් මාව ආදරයෙන් වැලඳගත්තේ කියලා. එනිසා පුංචි තිරය හෑල්ලුවට ලක් කරනවා නෙවෙයි. රංගන ජීවිතයේදී සිනමාවටත් සාධාරණයක් ඉටු විය යුතු නිසා තරමක් ඈත් වූ නිසයි.

 

සිනමා හා ටෙලි නාට්‍ය රංගනය අතර වෙනසක් දැනෙනවාද?

වෙනසක් තිබෙනවා. හැබැයි අපි රඟපාද්දි සිනමාවට වැඩිය රඟපානවා අනෙක්වාට එහෙම නෑ කියලා එකක් නෑ. ටෙලි නාට්‍යවල තරමක් ලේසි වන්නේ තිරය පුංචි නිසා අපේ සියුම් රඟපෑම් වැඩිය පේන්නේ නැහැ. ඒත් සිනමා තිරය පුළුල් නිසා ඇහි පිල්ලමක දෙයක් වුණත් ලොකුවට පේනවා, දැනෙනවා. ඒ නිසා ටෙලි නාට්‍යවලට වඩා තරමක් වැඩි කැපවීමක් සිනමාවෙදි දක්වන්න වෙනවා කියලා මට හිතෙනවා. හැබැයි ලංකාව වගේ රටක ප්‍රේක්ෂකයන් අතරට වැඩියෙන් යන්න පුළුවන් සිනමාවට වඩා ටෙලි නාට්‍යවලින්.

 

මේ කාලේ තැනෙන සිනමා නිර්මාණ සංඛ්‍යාව අඩු වීම නිසා ඔබ වැනි නළුනිළියන්ට අසාධාරණයක් වෙනවාද?

ඉස්සර සිනමාව තමයි රසිකයන්ට තිබුණු විනෝද මාධ්‍යය. ඒත් අද ටෙලිවිෂනය සිනමාව අභිබවා ඇවිත්. අනෙක එදාට වඩා අද ආර්ථික අතින් ගත්තත් හම්බ කරන දෙයින් කාලා බීලා දරුවන්ටත් ඉතිරි කරන්න හරි අමාරුයි. ඒ නිසා ටිකට් පත් අරගෙන සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලන්න තරමක් පසුබාන ගතියක් තිබෙනවා. අපි ඇත්තෙන්ම පීඩිත පිරිසක්. ඒ කාලේ අපේ රට ස්වයං පෝෂිත මට්ටමක තිබුණු වාසනාවන්ත රටක්. සිනමාව බැබළුනෙත් ඒ නිසා. ඉතින් මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි වගේ ශිල්පිනීන් දැක්කාම මටත් හිතෙනවා මාත් ඒ කාලේ ඉපදුණා නම් කියලා.

 

ඔබ ඉදිරියටත් චිත්‍රපට බාරගන්නේ පිටපත අනුව තෝරාබේරාගෙනද?

මට පිටපතක් ලැබුණාම මම බලන්නේ මට ඒ චිත්‍රපටයට සාධාරණයක් කරන්න පුළුවන්ද බැරිද කියලා. මට සාධාරණයක් කරන්න පුළුවන් පිටපත් විතරයි මම තෝරාගන්නේ. ඒ වගේම මට ලැබෙන හැම පිටපතක්ම හස්බන්ඩ්ට දීලා අහනවා මට මේ චරිතෙ කරන්න පුළුවන් වෙයිද එහෙම කියලා. මම කිසිම නිර්මාණයක් හෙළා දකින්නේ නැහැ. හැම නිර්මාණයක්ම අයිති කලාවට. හැබැයි පෞද්ගලිකව මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාන්න කැමැති නැහැ.

ඔබේ පරපුරේ රංගන ශිල්පී ශිල්පිනීන්ගේ තරු ගුණය ගැන මොකද හිතෙන්නේ?

තරු ගුණය කියන්නේ උස, ලස්සන, සමේ පැහැය, ශරීරයේ හැඩය, හැසිරීම, කතාබහ, හැකියාව වගේ මේ සියල්ලේ සංකලනයක් කියලයි මම හිතන්නේ. හැබැයි ලස්සන සහ සමේ පැහැය කියන්නේ සුදු වෙන්න ඕනෙ, පියරු බබලා වගේ වෙන්න ඕනෙ කියන එක නෙවෙයි. උදාහරණයකට ලංකාවේ බිහිවුණු දක්ෂතම නළුවා කියලා මම හිතන්නේ ජෝ අබේවික්‍රම මහත්මයා. හැබැයි ඔහුට විජය කුමාරතුංග මහත්මයාගේ තිබෙන ප්‍රියමනාප පෙනුම අඩුයි.

 

ඔබ මේ දේවල් කියන්නේ රූප සුන්දරී වීමේ අත්දැකීමෙන්ද? රංගන අත්දැකීමෙන්ද?

රූප සුන්දරී තරගවලින් මම ලැබුවේ මට මා ගැන ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි කියන දේ. මගේ රට නියෝජනය කරමින් මම ලෝකෙට ගියාම එයිනුත් මට මිසිස් සෙලිබ්‍රිටි ඔෆ් ද ඉයර් කියන ටයිට්ල් එක ගන්න ලැබුණා. ඒ සෙලිබ්‍රිටි කෙනෙක් විදිහට ලංකාව නියෝජනය කරමින් එතැන හැසිරිය යුතු විදිහ, ඒ පෞරුෂත්වය මට මගේ රටෙන් වගේම මගේ පවුල් පසුබිමෙන් සහ සිනමාවෙන් මට ලැබුණේ. මා ළඟ සිටි හැම කෙනෙක්ම මට ඒ වෙනුවෙන් උදවු වුණා. ඒ අතින් මම හරිම ආශිර්වාදිතයි. වාසනාවන්තයි. ඒත් ඒක මගේ එක් අත්දැකීමක් විතරයි. මම තරු ගුණය ගැන කතා කළේ මගේ රංගන අත්දැකීම්වලින්.

 

සිනමාව අදට වඩා අන්තර්ජාතික වශයෙන් ඉදිරියට යන්න නම් කර්මාන්තයක් ලෙස කළ යුත්තේ කුමක් කියාද ඔබට ඇති අන්තර්ජාතික අත්දැකීම් අනුව හිතෙන්නේ?

මීට වඩා අපි වඩ වඩාත් හෝම්වර්ක් කරන්න ඕනෙ වගේම වැඩේ බැරෑරුම්කම තේරුම් ගන්න ඕනේ. අපේ බහුතරයක් දෙනා සල්ලි තිබෙන පළියට වියදම් කරනවා. ඒත් අන්තර්ජාතික මට්ටමේ කටයුතුවල පිරිවැය කියන්නේ අපට හිතාගන්න බැරි තරම් වියදමක්. මම කියන්නේ සල්ලි දීලා චිත්‍රපටය අන්තර්ජාතික ප්‍රජාවට ගෙනයෑම ගැන නෙවෙයි. අපේ රටෙත් හොඳ නිර්මාණ හැදෙනවා. නැතුව නෙවෙයි. ඒත් සංගීතය, ග්‍රැෆික් අංශය වගේ දේවල් සැලකුවාම අපට අත දිග ඇරලා වියදම් කරන්න තිබෙන හැකියාව අඩුබව පේනවා. ආර්ථික සීමා තියාගෙන චිත්‍රපට හදලා අන්තර්ජාතික මට්ටමට ගෙන යන්න හරි අමාරුයි.

 

ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?

මම විශ්වාස කරන්නේ මාව. දෛවය, ආගම දහම අපට සහාය වෙනවා තමයි. අපි හරි විදිහට ජීවත් වුණොත්, ධනාත්මක දේවල් කළොත් අපට ඒ දේවල් තමයි ජීවිතයටත් ලැබෙන්නේ. මම මෛත්‍රී භාවනාව කරන කෙනෙක්. අපි තව කෙනෙකුට මෛත්‍රී කරනවා කියන්නේ අපටත් මෛත්‍රිය උදාවෙනවා කියන එක. අපේ හැම දේටම මුල් වෙන්නේ හිත. ඉතින් මම මේ තාක් ජීවිතය විඳී සිනමාව ජාත්‍යන්තරයට ගෙනයන්න අවස්ථාවක් ලැබුණොත් මම දෙපාරක් නොහිතා ඒ සඳහා කළ හැකි හැම දේම කරනවා. ඒ වෘත්තීය පැත්තෙන්. ඒ වගේම මට මගේ දුව දොස්තර කෙනෙක් නීතීඥවරියක් වගේ ලොකු කෙනෙක් නොවුණත් කමක් නෑ. දුව මේ රටට ලෝකයට බරක් නැති හොඳ පුරවැසියෙක් කරන්න පුළුවන් නම් මට ආඩම්බර විය හැකි අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙනුත් මම හැකි හැම දේම කරනවා.