අමෙරිකාවේ සිට සිංහල ගී ගයන පුෂ්පික

පෙබරවාරි 25, 2021

 

ඔහු සංගීතයට පෙම් බඳීන්නට පටන් ගත්තේ පාසල් ශිෂ්‍යයකුව සිටියදීය. එතරම් ළාබාල වයසකදී තම සිත සංගීතය කෙරෙහි ඇද බැඳ තබා ගන්නට සමහර විට එය සංසාර පුරුද්දක් වන්නට ඇතැයි ද සිතිය හැකිය. ලංකාවේ දකුණු ප්‍රදේශයේ මාතර සිය උපන් බිම කරගත් ඔහු පුෂ්පික ලොකුහේවාය. වර්තමානය වනවිට මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් දුර විදේශයක ජීවත් වුවත්, ඔහු තුළ පවතින්නාවූ කලා ළැදි බව ඔහුට සොඳුරු ආශිර්වාදයක්ම වී ඇත.

අද පුෂ්පික ජීවත් වනුයේ ඇමරිකාවේය. ඔහු මෙරටින් ඇමරිකාව බලා පිටත් වූයේ 1993 වර්ෂයේදීය. මාතර සර්වේසස් විද්‍යාලයෙන් සහ මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ පුෂ්පිකට සංගීත ශිල්පියෙකු වීමේ සිහිනයක් තිබුණේය. ඒ සිහින සැබෑකර ගන්නට ඔහු බොහෝ කැප කිරීම් කළේය. එවකට ඔහු ඉංගී‍්‍රසි ඉගෙන ගැනීම සඳහා මාතර ශාන්ත මේරි කොන්වන්ට් එකට ගියේය. පුෂ්පිකගේ සංගීතය පිළිබඳ වන්නා වූ නොතිත් ආශාව දුටු එහි සේවය කළ සිස්ටර් පීටර් ඔහුට ගිටාර් එකක් අරන් දෙන්නට ඉදිරිපත් වූවාය. අදටත් මේ මතකය පුෂ්පික සිහිපත් කරන්නේ මහත් බැතිබරවය.

‘සිස්ටර් තමයි මට මුලින්ම ගිටාර් එකක් අරන් දෙන්න ඉදිරිපත් වුණේ. මම එතකොට අට නවය පන්තිවල ඉගෙන ගන්නා පුංචි පිරිමි ළමයෙක්. ඒත් අපේ අම්මයි තාත්තායි ඒකට එතරම් කැමැති වුණේ නෑ. අම්මලා මට කිව්වේ ඕ ලෙවල් හොඳට කරන්න මහන්සි වෙන්න. විභාගේ සමත් වුණාම ගිටාර් එකක් අරන් දෙන්නම් කියලා. කොහොම හරි මම සර්වේසස් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ සිතාර්, බටනලා වැනි වාද්‍යය භාණ්ඩ ඉගෙන ගත්තා.’

‘මට ඉස්සරලාම ගිටාර් කෝඩ්ස් ඉගැන්නුවේ සමන්ත කණ්ඩම්බි අයියා. හොඳට ප්‍රැක්ටිස් කළාට පස්සේ මම වෙඩින්වලට එහෙම ප්ලේ කරන්න පටන් ගත්තා.’

පුෂ්පික පාසලින් අයින් වූ පසුද සංගීතය අත් නොහැරියේය. ඔහු මාතර අවට තිබුණු සංගීත කණ්ඩායම් කිහිපයකයම රිදම් ගිටාර් වාදකයෙකු මෙන් කටයුතු කළේය. ඒ අතරම ඔහු පෞද්ගලික ආයතනයක සහකාර කළමණාකරුවෙකු වශයෙන් රැකියාවක් ද කළේය.

වාදනයෙන් පමණක් නොසෑහුණු ඔහු ඉන්පසු ගායකයෙකු වශයෙන් ඉදිරියට එන්නට ද උත්සාහ ගත්තේය. තමන්ගේම ගීතයක් නිර්මාණය කිරීම ගායකයෙකුගේ ජීවිතයේ එක්තරා හීනයකි. පුෂ්පික මේ හීනය සැබෑ කර ගන්නේ ඔහුගේ හැකියාව හඳුනාගත් ගීත රචනයේද දක්ෂයෙකු වූ සිය මාමා කෙනෙකුගේ මාර්ගයෙනි.

‘නංගිලාට කාසි බෝ වගේ’ කියන ජනපි‍්‍රය ගීතය රචනා කරපු නිමල් ජූලිස් මගේ ළඟ ඥාතියෙක් ඔහු මට සින්දුවක් ලියලා දුන්නා. අම්මා ගැන. ඒ ගීතය තමයි මගේ මුල්ම ගීතය වුණේ.

මා පියමනිනා මේ දිවි කතරේ

කෙම්බිම ඔබ වේ අම්මා

මා පදවන තනි ඔරුවට දිස්වෙන

පහන් වැටයි ඔබ අම්මේ....

යනු ඒ ගීතයයි.

පුෂ්පිකට ලංකාවෙන් ඇමරිකාවට ආ පසුත් සංගීතය අමතක කරන්නට නොහැකි විය. එහි සිටින යහළුවන් කිහිප දෙනෙකු එකතු කරගෙන ඔහු ඇමරිකාවේදීද සංගීත කණ්ඩායමක් නිර්මාණය කළේය. ඒ අතරම එහු ලංකාවට යන එන ගමන්ම තව නිර්මාණ කිහිපයක් කරන්නටද උනන්දු වූයේය.

‘මේ ගීත රෙකෝඩ් කළේ රොෂාන්ද සිල්වා. බත්තරමුල්ල ස්ටුඩියෝ එකේදී. හේමසිරි හල්පිට, ජෝශප් පියදිගම, බුද්ධිනී ජයවර්ධන ගීත රචනයෙන් දායක වුණා. නවරත්න ගමගේ, අර්නස්ට් සොයිසා, කීර්ති පැස්කුවල් ගී තනු නිර්මාණයෙන් දායක වුණා.

‘හුදකලාවට පෙම් බඳීන හිත

මටත් රහසින් මගෙන් නොඅසා

නුඹම තවමත් හොයනවා

වසා ගත් ඇහි පියන් ඇතුළේ

මටත් නොකියා නුඹ ඇළීගෙන

මගේ දෑසම සිඹිනවා....

 

මේ ගීතය ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ එතෙර ශී‍්‍ර ලංකන් ටැලන්ට්’ වැඩසටහනේ විකාශය වෙනවා. ඒත් එක්කම විශාරද නිපුනි නයනතාරා සමඟත් මම යුග ගීතයක් ගායනා කරලා තියෙනවා.

පුෂ්පික සංගීතයට පමණක් නොව රංගනයට ද දක්ෂතා දක්වන්නෙක්. මෙරටින් ඇමරිකාවට යන බොහෝ කලාකරුවන් වෙනුවෙන් සෙනෙහසේ දෑත් දිගු කරන ආදරණීයයෙක්. විවිධ ටෙලිනාට්‍ය නිර්මාණ, චිත්‍රපට නිර්මාණ මෙන්ම සංගීත ප්‍රසංග සඳහා ඇමරිකාවට පැමිණෙන බොහෝ කලාකරුවන් පුෂ්පිකගේ ආදරණීය මිතුරන්.

පුෂ්පික ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙසද වරක් ටෙලිනාට්‍යයකට රංගන දායකත්වය සැපයුවේය. ඒ නදී චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ ‘ළා සඳ පාමුල’ ටෙලිනාට්‍යයේ රඟපාමිනි.

ඉදිරියේදී තම ගීත කිහිපයක් එකතු කරමින් සංයුත්ක තැටියක් එළිදැක්වීම ඔහුගේ බලාපොරොත්තුවයි.

පුෂ්පිකගේ දයාබර දියණිය මේධනී ලොකුහේවාද සිය පියා මෙන්ම කලාවට පෙම් බඳීන තරුණියකි. උඩරට පහතරට නර්තනය හොඳීන් ප්‍රගුණ කළ ඇය ඇමරිකාවේ නර්තන ශිල්පිණියක් ලෙසින් කටයුතු කරයි. මේ දෙදෙනාගේම කලා දිවියට අපේ සුබ පැතුම්.