මගේ විසේ අප්පච්චි නිසා

සජිත අනුත්තර
පෙබරවාරි 25, 2021

 

දැන් හැමෝම මට කතා කරන්නේ “සරා” කියලා

 

මේ සමාජ ක්‍රමයට කළු යකෙකුත් සරා කෙනෙකුත් බිහි කරන්න පුළුවන්

 

සිනමා අධ්‍යක්ෂණය කියන්නේ මගේ එක හීනයක්

 

අපි මොනදේ කළත් මිනිස්සු අපි දිහා බලන්නේ ජැක්සන්ගෙයි කුමාරිගෙයි ළමයි විදිහට

 

පරිණාමයට හැඩගැහුණේ නැති නම් වඳවෙලා යනවා

 

මටත් අප්පච්චි කෙනෙක් වෙන්න හිතිලා තියෙන්නේ

 

ඇන්තනී පවුලේ බාලයා හෙවත් සජිත ඇන්තනී නාඩගම්කාරයෙක් වෙලාලූ. එයට හේතුව මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනිර්මාණය. එහි සරා නැමති නහරකාරයා දැන් කා අතරත් සුවිශේෂී චරිතයක් බවට පත්වෙලා. කසිප්පු පෙරන, ගමේ කාටත් එපා කරපු, නිතරම රණ්ඩුවෙන මේ කරඬුතැන්නේ සරා නැමැති කලාකාමී තරුණායාගේ චරිතයට පණ පොවන්නේ සජිත අනුත්තර ඇන්තනී. නාඩගම්කාරයෝහී සරා ගැන වගේම අනෙකුත් කලා කටයුතු ගැන විමසන්න අපි ඔහු සමඟ මෙසේ පිළිසඳරක යෙදුණා.

 

"කළුයකා" එකපාරටම "සරා" වුණා නේද?

ඔව්. "කළුයකා" එකපාරටම "සරා" වුණා. මම පුංචි කාලේ ඉඳලම හීන මැව්වේ සිනමා නළුවෙක් වෙන්න. මම 2004 වසරේ සූරිය අරණ චිත්‍රපටයෙන් ක්ෂේත්‍රයට ආවෙත් ළමා සිනමා නළුවෙක් හැටියට. සිනමාවේ විතරයි ඉන්නේ කියලා පොඩි වාරණයක් දාගෙන හිටියේ. ඒක පොඩ්ඩක් කැඩුණා "බොහීමියානුවා" ටෙලිනාට්‍යයෙන්. ඊට පසුව ලෝකයටම මූණ දෙන්න වෙච්ච කොරෝනා වසංගතය එක්ක අපේ රටේ සිනමාශාලා වැහුණා. ප්‍රේක්ෂකයන්ගෙන් ඈත්වෙන්න කලාකාරයෝ කැමති නැහැ. ඒ නිසා මම තීරණයක් ගත්තා නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙනවා කියලා. ඒ ගත්ත තීරණය ගැන මම අද ඉතාම සතුටින් ඉන්නේ. සරා කියන චරිතය ඉතාම කෙටි කාලයකදී ප්‍රේක්ෂකයන්ට හුඟක් ළං වුණා. අද මට මිනිස්සු මගේ නමටත් වඩා සරා කියලා ආමන්ත්‍රණය කරන තැනටම වැඩේ පත්තු වෙලා. (සිනාසෙමින්)

 

"කළුයකා"ගෙ සහ සරාගෙ මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා කියලත් හිතෙනවා.

මේ නිර්මාණ දෙක ඇතුළේ කිසිම සම්බන්ධයක් නැහැ. මගේ "කළුවර" ගීත නිර්මාණයේ තමයි කළුයකා ඉන්නේ. සරා වගේ අය බිහි කරන්නේ මේ සමාජ ක්‍රමය. මේ සමාජ ක්‍රමයම තමයි අහිංසක තරුණයෙක්ව කළුයකා බවට පත් කරන්නෙ කියලා මම ඒ ගීත නිර්මාණයෙන් කියන්න උත්සහා කළා. පුංචි කාලේ ඉඳලා පිරිමි දරුවෙක් කාන්තාවන්ගෙන් පීඩාවට පත් වුණොත් ඒ තුළින් කාන්තාවන්ට විණ කරන යකෙක් බිහිවේවි කියන වස්තු විෂයය ඒ ගීතයේ තියෙන්නේ. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාලා වගේ අයට ගීත ගයන්න, රංගනයට හැකියාව තිබුණත් ඒ අය කසිප්පු වෙළෙඳාමට වැටිලා නහරකාරයෝ බවට පත්වෙලා තියෙන්නෙ මේ සමාජ ක්‍රමයේ තියෙන වැරැද්දක් නිසා. සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගේ මේ ටෙලිනාට්‍ය පිටපතේ දෙබස්වලම තියෙනවා සරාලා වගේ අය ඇයි බිහි වුණේ කියලා. එහෙම බැලුවොත් මේ සමාජ ක්‍රමයට කළුයකෙකුත් සරා කෙනෙකුත් බිහි කරන්න පුළුවන්.

 

කොහොමද සරාට ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර අතිවිශිෂ්ටයි. මේ ටෙලිනාට්‍යය වාර්තාවකුත් තබනවා. පළමු කොටසේ සිට මේ වන තෙක් විකාශය වුණු සියලුම කොටස් යූටියුබ් ට්‍රෙන්ඩින්ග් ලැයිස්තුවේ ඉහළටම ඇවිත් තියෙනවා. ඉතාම කෙටි කාලයකින් විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් රූපවාහිනියෙන් වගේම අන්තර්ජාලයෙන් නාඩගම්කාරයෝ වටා රොක් වෙලා තියෙනවා. අපේ මුළු කණ්ඩායමම ගොඩක් මහන්සි වෙලා තමයි මේ වැඩේ කරන්නෙ. ඒ මහන්සියේ ප්‍රතිඵලය මේ විදිහට ලැබුණාම හරි සතුටුයි.

 

සරාගේ චරිතය ගැන අපි ටිකක් කතා කරමු?

සද්ධාමංගල සූරියබණ්ඩාර නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය පිටපත ලියන කොටම සරාගේ චරිතයට මාවම කවදාහරි ගන්නවා කියලා හිතාගෙනමලු මේක ලිව්වේ. ඒක හොඳටම මට වැටහෙනවා. මේ වගේ චරිතයක් මම මීට කලින් කරලම නැහැ. මට ලැබුණේම අහිංසක තරුණයා, අහිංසක ප්‍රේමවන්තයා, කොන්දේසි විරහිත ප්‍රේමවන්තයා වගේ චරිත. සරා වගේ කේන්ති යන නහරකාරයෙක්ගේ චරිතයක් මට අභියොගයක් වුණා. ඒ අභියෝගය බාර අරගෙන වැඩ කරද්දි මට තේරෙනවා ඇයි මේ චරිතයට මාවම ගත්තේ කියලා. සරා කියන්නේ කසිප්පු පෙරන, කේන්ති යන නහර වැඩි චරිතයක් වුණාට එයාගේ ඇතුළාන්තයේ අහිංසක පරාර්ථකාමී ප්‍රේමවන්තයෙක් කලාකාරයෙක් ඉන්නවා. මට මේ චරිතයේදී විශේෂයෙන් නිර්මාණය කරන්න වුණේ අර චණ්ඩි පාර්ට් එක විතරයි. ඉතුරු ටික සජිත අනුත්තර තුළ තියෙන ඒවා. සරා කතා කරන හැටි, චණ්ඩි පාර්ට් දාන හැටි, පපුව ඉස්සරහට දාලා ඇවිදින හැටි, කතා කරනකොට අතපය වනන හැටි මට පොඩ්ඩක් ඉගෙනගන්න වුණා. කරඬුතැන්නේ සරාගේ අනිත් ටික සජිතම තමයි.

 

මේ චරිතය දිහා බලලා සමහරු කියනවා සජිත "අප්පචිචි" (ජැක්සන් ඇන්තනී) වගේ කියලා.

මටත් ගොඩක්දෙනෙක් ඒක කිව්වා. මං ළඟ අනිවාර්යයෙන්ම අප්පච්චිගේ ජාන තියෙනවානේ. ඒ නිසා මගේ පෙනුම, කතා කරන විදිහ අප්පච්චිට සමාන වෙන්න පුළුවන්. ඒ වගේම මම සරාගේ චරිතය නිර්මාණය කරනකොට අප්පච්චිගේ ගම්පළාත වුණු රාගම පොඩිකුඹුරේ ඉන්න අප්පච්චිගේ පරණ යාළුවෝ අනුකරණය කළා. ඒ අය කේන්ති ගියාම කතා කරන විදිහක් තියෙනවා. ඒ හඬ උස් පහත් කරන විදිහ වගේ දේවල් මේ චරිතයට ආභාසයක් කරගත්තා. අප්පච්චිත් පළිඟු මැණිකේ වගේ නිර්මාණ කරනකොට ඒ ආභාසය ගන්න ඇති කියලා මට හිතෙනවා. මම මීට පෙර කරපු චරිතවලදි මම අප්පච්චි වගේ කිව්වේ නැහැ. මේ චරිතය ස්වභාවයත් එක්ක තමයි දැන් ගොඩක් අය මාව අප්පච්චිට සමාන කරන්නේ. මම මේ චරිතයට මගේ උපරිම විසේ එළියට දැම්මා. ඉතින් මගේ විසේ හැදුණේ අප්පච්චිගේ විසේ එක්කනේ. (සිනාසෙමින්)

 

පවුලේ සහෝදරයන් තිදෙනාගෙන් ක්ෂේත්‍රයේ වැඩියෙන් කැපීපෙනෙන දක්ෂතා තියෙන්නේ සජිතටලු?

ඒක මට පිළිගන්න අමාරුයි. අපි තුන්දෙනාගෙන් එක එක්කෙනා කාලෙන් කාලෙට ඉදිරියට ආවේ. මුලින්ම හපන් පැදුර ළමා වැඩසටහනෙන් අපේ අක්කා (මාධවී ඇන්තනී) තමයි ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට ආවේ. මම සූරිය අරණ චිත්‍රපටය කළාට පසුව මාව ජනප්‍රිය වුණා. අපේ අයියා ඉඳලා ඉඳලා "දිගු දෑස" ගීතයේ රූපරචනාවට පෙනී හිටියා. පවන්ගේ චරිතය ඒ කාලේ සෑහෙන්න ආන්දෝලනාත්මකයි. ඒ කාලේ අයියාව දැකලා බොහෝදෙනා හිතුවා සජිත තමයි මේ ලොකු වෙලා ඉන්නේ කියලා. එතැනින් එහාට ජනප්‍රිය වුණේ අයියාම තමයි. අයියා සිරිපැරකුම් චිත්‍රපටයෙන් ජනප්‍රියම නළුවා සම්මානයත් ලබාගත්තා. මම නැවත ක්ෂේත්‍රයට ආවේ බොහීමියානුවා ටෙලිනාට්‍යයෙන්. නැවත මාව රංගනයෙන් හැමෝම දකින්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ චරිතයෙන්. ඒ වනතෙක් මගේ ගායනයන් විතරයි දැක්කේ හැමෝම. අපි තුන්දෙනා එක ක්ෂේත්‍රයේ වුණාට අපිට තියෙන්නේ දක්ෂතා තුනක්. ඒ නිසා කවුද හොඳම කියන්න බැහැ.

 

සජිත අනුත්තර කියන ගායකයා ගැන කතා කළොත්?

අපේ ගෙදර අයගෙන් රංගනයෙන් මුලින්ම එන්නේ මම වගේ ගායනයෙන් අන්තිමටම එන්නේ මම. අක්කා මුලින්ම හපන්පැදුර වැඩසටහනෙන් ගායනයට ආවා. අයියා පාසල් මට්ටමේ ගායනා තරග ජයග්‍රහණය කරපු හොඳ ගායකයෙක්. මම පොඩි කාලේ ඉඳලා ගායනා කළේ නැහැ. ඒ ගැන හිතුවෙත් නැහැ. මගේ ගායනය හැමෝම අහන්නේ "ස්වර්ණපාලියේ" ගීතයෙන්. ඒ ගීතය අපි කවුරුත් නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. ස්වර්ණපාලියේ ගීතය කළාට පසුව ඇතිවුණු ජනතා ප්‍රසාදයත් එක්ක මට අවශ්‍ය වුණා ගායන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඊටපසුව මම "මිහිරාව ආවා" ගීතය කළා. පසුව අපේ පවුලේ ගීතය "ආදරය" කළා. මෑතක තරුදහසක්, සීත සන්තෝසේ සහ කළුවර යන ගීත කළා. ගායනා කරන ගමන්ම තනු නිර්මාණයටත් මගේ අවධානය වැඩියි. ඒ ක්ෂේත්‍රයත් මම පුහුණු වෙමින් පවතිනවා. මගේ "කළුවර, තරු දහසක්, සීත සන්තෝසේ " යන ගීතවල තනු නිර්මාණය කරන්නේ මම. සංගීතය කියන්නේ මම රංගනය වගේම ආදරය කරන තවත් ක්ෂේත්‍රයක්.

 

කෝ සජිත අනුත්තර කියන සම්මානනීය වේදිකා නාට්‍ය නළුවා?

එයා තාමත් ඉන්නවා. මම විශ්වවිද්‍යාලයේදි හදාරන්නේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිය. මම ඒ කාලයේදී ලෝක සම්භාවනාවට පාත්‍ර වුණු වේදිකා නාට්‍ය නිර්මාණ හතරක් පරිවර්තනය කරලා නැවත නිර්මාණය කළා. ඊට සාපේක්ෂව ප්‍රියංකර රත්නායක අධ්‍යක්ෂණය කරපු ශේක්ස්පියර්ගේ නාට්‍යයක පරිවර්තනයක් වුණු 'ප්‍රේමවන්ත කුමාරයෝ" නාට්‍යයේ රඟපෑවා. ඒ චරිතයට රාජ්‍ය නාට්‍ය උලෙළේ කුසලතා සම්මානයක් ලැබුණා. පසුව ගිරිකූඨ කාශ්‍යප වේදිකා නාට්‍යයේ මම කාශ්‍යප රජතුමාට රඟපෑවා. ඒ චරිතය රාජ්‍ය නාට්‍ය උලෙළේ මාව හොඳම නළුවාට නිර්දේශ වුණා. "මට වෙඩි තියන්නැද්ද" කියන ජනප්‍රිය වේදිකා නාට්‍යයේ සෞම්‍ය ලියනගේගේ චරිතය මට කරන්න අවස්ථාව ලැබුණා. පසුව මම වේදිකාවෙන් මොහොතකට සමුගත්තා. මම වඩා ප්‍රිය කරන්නේ චිත්‍රපට රංගනයට සහ අධ්‍යක්ෂණයට. ඒ වගේ ක්ෂේත්‍රයකට අවධානය යොමු කරනවිට වේදිකාවේ ඉන්න කාලය කළමනාකරණය කරගන්න මට අමාරුයි. මොකද මම පුහුණුවෙන ක්ෂේත්‍ර ප්‍රමාණය වැඩියි. ගායකයෙක් විදිහට, නිවේදකයෙක් විදිහට, රංගන ශිල්පියෙක් විදිහට වගේම දැන් මගේ "කළුවර" නිර්මාණය තුළින් අධ්‍යක්ෂවරයෙක් විදිහටත් වැඩ කරනවා. මට ආසයි ඒ ක්ෂේත්‍රය දිගේ තව ඉස්සරහට ගිහින් කවදාහරි දවසක චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කරන්න. මේ යන ගමන නිසා වේදිකාවේ ඉන්න කාලයක් මට නැහැ.

 

ඒ කියන්නේ සජිත අනුත්තර අධ්‍යක්ෂණය කරපු නිර්මාණ ඉදිරියේදී නරඹන්න පුළුවන් වෙයි?

ඔව්. ඒක මගේ හීනයක්. මම හීන ගොඩක් මවපු කෙනෙක්. ඒ බොහෝ හීන මම ඇත්තටම දැකලා තියෙනවා. කවදාහරි දවසක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන එක මගේ එක හීනයක්. මම ඒ හීනයට එක සැරේම යන්න අකමැතියි. ඒ ක්ෂේත්‍රය හරියට අධ්‍යයනය කරලායි ඉදිරියට යන්න ඕනේ. ඒ නිසයි මම වෙනම ආයතයක් පටන් අරගෙන පොඩි පොඩි ගීත රූපරචනා කරන්නේ. සිනමාව කියන්නේ ලොකු ක්ෂේත්‍රයක්. ඒකේ පළමු පියවරක් හැටියට ගීත රූපරචනාවක්, වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කරනවා. මම ටික ටික පුහුණු වෙන්නේ සිනමා අධ්‍යක්ෂණයට යන්න තමයි.

 

සජිතට මේ හීන ටික හැබෑ කරගන්න පවුලේ අය වගේම "යාළුවෝ ගැන්සියත්" උදවු කරනවා නේද?

අනිවාර්යයෙන්ම. මගේ යාළුවෝ ගැන්සිය තමයි සනුක වික්‍රමසිංහ, නදීමාල් පෙරේරා, දිල්මින් පෙරේරා, කෞෂාන් විජේසූරිය, හර්ෂණ දිසානායක. මේ ගැන්සිය මට අමතක කරන්න බැහැ. සංගීතය පැත්තෙන් ගත්තොත් සනුක වික්‍රමසිංහ ගීතයක් හදලා බලහත්කාරයෙන් මට කියන්න දුන්නේ නැති නම් අද මම සමහරවිට ගායනා ක්ෂේත්‍රයෙන් ඉදිරියට නොඑන්න පුළුවන්. අපි යාළුවෝ එකතු වෙලා ගීත පුහුණුවීම් ගොඩක් කළා. ඒ ගීත පුහුණුවීම්වල වීඩියෝ පවා ජනතාව අතරට ගියා. ගායනය පැත්තෙන් මට කුසලතාවක් තියෙනවා කියලා දන්නේ අපේ යාළුවෝ ගැන්සිය එකතු වුණාට පස්සේ. එයාලා හරිම පරාර්ථකාමී තරුණයෝ පිරිසක්. අපි එකිනෙකාට උදවු කරමින් යන ගමනක් මේක.

 

ඇන්තනී පවුලේ ඕනෙම කෙනෙක් මොන වැඩේ කළත් "පත්තුවෙනවා". මොකද්ද රහස?

ඒකට හේතුව මගේ අම්මයි අප්පච්චි පුංචි කාලේ ඉඳලා වැඩ කරලා මහන්සි වෙලා මේ ක්ෂේත්‍රය ඇතුළේ අත්පත් කරගත්ත තැනක් තියෙනවා. ඒ තැනත් එක්ක තමයි මමයි අයියයි අක්කායි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. එක පැත්තකින් අපිට ඒක ලොකු රුකුලක් වෙනවා. අනිත් පැත්තෙන් අපි මොනදේ කළත් ජැක්සන් ඇන්තනීගෙයි කුමාරි මුණසිංහගෙයි ළමයි මේ කියලා මිනිස්සු මවුපියන්ගේ පැත්තෙන් ඒ නිර්මාණය දිහා බලන්නේ. ඒ නිසා යම්කිසි වැඩක් කරනකොට ඕනවට එපාවට වැඩක් කරන්න අපිට බැහැ. ඒ නිසා අපි පුංචි වැඩක් කළත් ඒක හරියටම කරන්න හුඟාක් මහන්සි වෙනවා. යූටියුබ් එකේ මම වීඩියෝ එකක් දැම්මත් ලොකු කට්ටක් කාලා මහන්සි වෙලා තමයි ඒක කරන්නේ. ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය කියන දේවල් ඉක්මන්ට නැති වෙලා යන්න පුළුවන්. ඒත් ඒක ලැබෙන කාලේ හරිම ආදරයෙන් ආසාවෙන් විඳීමින් ඉන්නවා.

 

සජිත යූටියුබ් වේදිකාවෙත් කරණම් ගහනවා කියලා ආරංචියි.

යූටියුබ් එක කියන්නේ හරිම ෂෝක් කලා මාධ්‍යයක්. අපි රූපවාහිනීයෙන් ටෙලිනාට්‍යයක් බැලුවොත් නාට්‍යයට වඩා යන්නේ වෙළෙඳ දැන්වීම්. අපිට අවශ්‍ය දේ නැතුව අනවශ්‍ය දේ බලහත්කාරයෙන් පෙන්වන තත්ත්වයට ටෙලිවිෂන් එක පත්වෙලා තියෙනවා. රිමෝට් එක අතේ තිබුණාට අවශ්‍ය දේ බලන්න බැරි කාලයක යූටියුබ් එකෙන් අපිට ඕනේ ඕනෑම දෙයක් බලන්න පුළුවන්. ඒ වේදිකාවට අපි හරිම ආසා වුණා. ඕනෑම නිර්මාණයක් කරලා පහසුවෙන් මිනිසුන් අතරට යවන්න පුළුවන් මාධ්‍යයක් ඒක. මම ඒ සඳහා අපේ පවුලේ අනිත් අයවත් පොළඹවනවා. පසුගිය නිරෝධායන වකවානුවේදී අප්පච්චිටයි අක්කාටයි යූටියුබ් නාළිකා දෙකක් ආරම්භ කරන්න මම අදහස දුන්නා. අක්කාගේ ඉවුම් පිහුම් හැකියාවත් අප්පච්චිගේ ඉතිහාස දැනුමත් අරගෙන මම එයාලට යූටියුබ් නාළිකා දෙකක් හදලා දුන්නා. දැන් එයාලා තනියම ඒ වැඩේ හොඳට කරගෙන යනවා. ඒ මාධ්‍යයේ රස එයාලටත් දැනිලා තියෙන්නේ.

 

කවදාහෝ දවසක යූටියුබ් මාධ්‍ය ප්‍රබල වෙලා සිනමාවට සහ ටෙලිනාට්‍යවලට තියෙන තැන නැති වුණොත්?

මේ ලෝකේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. කොරෝනා වසංගතයටත් අපිට අනුගත වෙන්න වුණානේ. ඒ නිසා සිනමාශාලා වැහුණා. සිනමාව කියන්නේ මම පරම ආදරේ කරන කලා මාධ්‍යය. ලෝකේම සිනමාශාලා වැහිලා රූපවාහිනියෙන් සිනමාපට බලන තැනට ආවා. දැන් ජංගම දුරකතනයෙන් සිනමාපට බලනවා. අපි කලා මාධ්‍යයකට ඇලුම් කළාට ඒ තුළම එලබගෙන ඉන්න බැහැ. ලෝකේ පරිණාමය වෙනවා. ඒ පරිණාමයට හැඩගැහුණේ නැති නම් වඳවෙලා යනවා. චිත්‍රපට බලන්නේ පුළුල් තිරයේ කියන මතයේම අපි හිටියොත් සිනමාශාලා ටික වැහිලා ගිහින් අනිකුත් මාධ්‍ය ඉදිරියට එනවා. අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි. ඒ කාලයේදී සිදුවන දේවල් එක්ක පරිණාමය වෙමින් මිනිස්සුන්ට දෙන්න උත්සාහ කරන මූලය වෙනස් නොකර ඕනෑම මාධ්‍යයක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.

 

සජිතගේ "මිහිරාව"ට කොහොමද?

මිහිරාව හොඳීන් ඉන්නවා. මමයි බුවිනිකායි විවාහ වෙලා දැන් වසර දෙකක්. අපි යාළුවෙලා දැන් අවුරුදු පහක්. එයාව මුණගැහුණු එක මගේ ජීවිතේ වෙච්ච හොඳම දෙයක්. අපි ආදරෙන් ජීවත් වෙනවා. අපි දෙන්නාට අපි ඉන්න නිසා අපේ එදිනෙදා වැඩ කටයුතු හරිම පහසුයි. "කළුවර" වගේ නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න මට සම්පූර්ණ ශක්තිය වුණේ මගේ බිරිඳ. එයා තමයි මට මුලින්ම නිර්මාණ අධ්‍යක්ෂණයට අදහස දෙන්නේ. වැඩක් කරනවිට එන ප්‍රශ්න එකින් එක විසඳලා මට වැඩ පහසු කරලා දෙන්නේ මගේ බිරිඳ. මගේ වැඩ සාර්ථක වෙන්නේ එයා නිසා. මගේ ජීවිතේ හරි හෙමින් ගියේ. මම සූරිය අරණ චිත්‍රපටයෙන් 2004දී ක්ෂේත්‍රයට එන්නේ. නමුත් මේ වෙද්දි මම රඟපාලා තියෙන චිත්‍රපටවලින් තිරගත වුණේ නිර්මාණ තුනක් විතරයි. මම විවාහ වුණාට පසුව මම වැඩ කරන ශීඝ්‍රතාව වැඩි වුණා. විවාහ වුණට පසුව මේ වසර දෙක තුළ මම ගීත පහක් කරලා, ගීත රූපරචනා දෙකක් අධ්‍යක්ෂණය කරලා චිත්‍රපට හතරක් රඟපාලා ටෙලිනාට්‍යයක් රඟපාලා තවත් ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වෙන්න සූදානම් වෙනවා. ඒ ශීඝ්‍රතාවයේ රහස බුවිනිකා තමයි. එයා ඉන්න නිසා මම දැන් පෙරටත් වඩා ශක්තිමත්.

 

සජිත දැන් පුංචි දුවෙක්ගේ බාප්පා කෙනෙක්.

ඔව්. මම චූටි අප්පච්චි කෙනෙක්. අපේ අයියාගේ දුව ආරණ්‍යා බබා ඉපදුණු දවසේ ඉඳලා එයා හැමෝගෙන්ම පුදුම ආදරයක් ලබනවා. එයා හරිම වාසනාවන්ත බබෙක්. අපේ පවුලේ ඊළඟ පරම්පරාවේ මුලින්ම ආපු පුරුක එයා. එයාට හැමෝගෙම ආදරය ලැබෙනවා. දැන් එයාට තියෙන ආදරය වැඩි වෙලා මටත් අප්පච්චි කෙනෙක් වෙන්න හිතිලා තියෙන්නේ. (සිනාසෙමින්)

 

ඒ කියන්නේ සජිතත් ඉදිරියේදී අප්පච්චි කෙනෙක් වෙයිද?

තවම එහෙම මුකුත් නැහැ. (සිනාසෙමින්) බලමුකෝ ඉදිරියේදී. මගේ ජීවිතයේ සැලසුම් හරි අඩුයි. අද ඊයේ හෙට ඔක්කොම දවස්වල මම ජීවත් වෙනවා.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල "නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍ය විකාශය වෙනවා. අනුරුද්ධ ජයසිංහ අලුත් ටෙලිනාට්‍යයක් කරන්න සූදානම් වෙනවා. ඒ සඳහා මට ආරාධනා ලැබුණා. ඉන්දික ධර්මතිලක නමැති තරුණ අධ්‍යක්ෂවරයාගේ "අඳුන්ගිර" ටෙලිනිර්මාණයටත් මම රංගනයෙන් දායක වෙනවා. සිනමාව පැත්තෙන් ප්‍රසන්න විතානගේගේ "ගාඩි" චිත්‍රපටය, අප්පච්චිගේ (ජැක්සන් ඇන්තනී) "එකගෙයි සොකරි" චිත්‍රපට, සශික හේරත්ගේ "සිහින සමීකරණ" චිත්‍රපටය, චන්න දේශප්‍රිය මාමාගේ "දුශ්‍රා" චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. මේ චිත්‍රපට හතරම පසුගිය වසරේ තිරගත වෙන්න තිබුණේ. ඒත් පවතින තත්ත්වයත් එක්ක කල් ගියා. "කළුවර" ගීතයෙන් පසුව මගේ තව ගීතයක් එළිදැක්වන්න නියමිතයි. මේ දිනවල දෙරණ නාළිකාවේ වැඩසටහනක් නිවේදනය කරනවා. මගේ "සජ් ක්‍රියේෂන්" ආයතනයෙන් තව නිර්මාණ කීපයක් අධ්‍යක්ෂණය කරන්නත් නියමිතයි. මම අවසානයට කළා නදීමාල්ගේ ගීතයක්. අමල් පෙරේරා සහ ළහිරු පෙරේරා මට ගීත දෙකක් දීලා තියෙනවා රූපරචනා නිර්මාණය කරන්න කියලා.

 

සජිතට අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ?

කලාකාරයෝ ගොඩක් දෙනා දිහා බලාගෙන ඉන්නකොට ප්‍රේක්ෂකයන් හිතනවා කලාකරුවන් හරිම සැපෙන් සතෝසයෙන් රජ්ජුරුවෝ වගේ ජීවත් වෙන ජාතියක් කියලා. එයාලා හිතන විදිහ ඇත්ත. ඇත්තටම අපි රජවරු වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ රජවරු භුක්ති විඳීන සැප සම්පත් නිසා නෙමෙයි. රජවරුන්ට ඉන්නවා රටවැසියෝ. ඒ වගේම කලාකරයන්ටත් ප්‍රතිචාර දක්වන්න ප්‍රේක්ෂකයෝ ඉන්නවා. එයාලා තමයි කලාකරුවගේ ධනය. මේ වෙද්දි මට ආදරය කරන ප්‍රේක්ෂයන් සියල්ලන්ටම මම ස්තූතියි කරන්න කැමතියි. ඒ ආදරය නිසා තමයි අපි ඉන්නේ.