මම ඇඬුවේ ප්‍රසිද්ධිය ගන්න නෙමෙයි

-උමාරියා සිංහවංශ
පෙබරවාරි 25, 2021

 

මේ සමාජය කාන්තාවකට වටිනාකමක් දෙන්න අකමැති සමාජයක්

 

මම නිසා හරි මේ හිංසන ගැන හැමෝම කතා කරනවා නම් හොඳයි

 

තරුවක් කියන එක අමතක කරලා මනුස්සයෙක් විදිහට මම දිහා බලන්න

 

ඊළඟ පරපුරට මෙහෙම වෙන්න හොඳ නැහැ

 

පසුගිය දිනක ජනප්‍රිය නිවේදක ළහිරු මුදලිගේ විසින් කෙරෙන හරි ටීවී යූටියුබ් නාළිකාවේ "Stand By With Lahiru" වැඩසටහනට ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පැමිණ එහිදී තමන්ට සමාජ ජාලාවලදී සිදුවන හිරිහැර, හිංසන සම්බන්ධයෙන් වූ කතාබහක සංවේදීව හඬන අවස්ථාව බොහොදෙනාගේ අවදානයට ලක් වී ඇත. තමන්ගේ නොවන නමුත් තමන්ගේ යැයි පවසමින් සමාජ ජාලාවල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයක් හේතුවෙන් තමන්පත් වී ඇති අපහසුතාව සහ එයින් වන මානසික පීඩාව ගැන ඇය බොහෝ සංවේදීව එම වැඩසටහනේදී අදහස් පළ කළාය. මේ සිදුවීම් මාලාවත් සමඟ නැවතත් සමාජ ජාලාවලදී කාන්තාවන්ට සිදුවන හිරිහැර සහ හිංසන සම්බන්ධයෙන් සියල්ලන්ගේ දෑස් යොමුවී ඇත. සමාජ ජාලා භාවිත කරන්නන්ගේ ඍණාත්මක හැසිරීම් තරුවකට සහ කාන්තාවකට කොයිතරම් බලපෑමක් කරන්නේද යනවග විමසන්නට අපි උමාරියා සිංහවංශව මෙසේ සම්බන්ධ කරගත්තෙමු.

 

උමාරියාට වෙච්ච සිදුවීමත් එක්ක නැවත සමාජ මාධ්‍යවල කාන්තාවන්ට වන හිංසා ගැන සංවාදයක් ගොඩනැඟිලා?

මම හිතන්නේ මේවා කතා කරන්න ඕනේ දේවල්. කාටහරි හානියක් සිදුවුණාට පසුව කතා කරන්න ඕනේ තත්ත්වෙට එන්න ඕනේ දේවල් නෙමෙයි. ඒ ගැන මට දුකයි. මට වුණු සිදුවීමත් සමඟ මේ ගැන කිසියම් මාධ්‍යයකින් කතා කරන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. කාන්තාවකගේ වටිනාකම මේ සමාජය දැනගන්න ඕනේ. මේ සමාජය කාන්තාවට වටිනාකමක් දෙන්න අකමැති සමාජයක්. මට වුණු සිදුවීමත් එක්ක නැවත මේ ගැන කතාබහක් ඇති වෙලා හෝ සමාජය මේ ගැන කතා කරනවා නම් මම කැමතියි.

 

ඔබගේ නොවන අසභ්‍ය වීඩියෝ පටයක් ඔබේ නමින් සංසරණය වීම ඔබට කොයිතරම් මානසික පීඩනයක්ද?

මම තරුවක් කියන එක අමතක කරන්නකෝ. මමත් මනුස්සයෙක්. අනිත් මිනිස්සු වගේම හුස්ම ගන්න කෙනෙක් මම. මගේ වෙනසකට තියෙන්නේ මට සින්දු කියන්න පුළුවන් හැකියාවක් තියෙන එක. මගෙත් හිත රිදෙනවා. මටත් සතුට දැනෙනවා. මට ඇඬෙන දවස් තියෙනවා. මට තරහා යන දවස් තියෙනවා. අපි පොදුවේ ගත්තොත් අපි ඔක්කොටම බලපාන ප්‍රශ්නයක් මේක. මම සාමාන්‍යයෙන් Negative Comments දාන පුද්ගලයන්ට අවධානයක් දෙන්නේ නැහැ. මට social media team එකක් ඉන්නවා. එයාලා හෝ මම ඒ Negative Comments දාන පුද්ගලයන්ව වාරණය කරලා දානවා.

 

කොතැනද හැදෙන්න ඕනේ?

අපි මිනිස්සු විදිහට පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්නවා තවත් කෙනෙක්ට ගරු කරන්නේ කොහොමද, කරුණාවන්ත වෙන්නේ කොහොමද කියලා. මේ කාරණා දෙක හදාගත්තොත් අපේ සමාජය මීට වඩා හොඳ තැනකට යයි කියලා හිතෙනවා. මේ අපිට වෙන දේවල්වලින්වත් ඒ හැදියාව ඇවිල්ලා ඉදිරි පරම්පරාවවත් මේකෙන් බේරුණොත් හොඳයි. සමාජයේ හැසිරෙන්න ඕනේ කොහොමද කියලා ලංකාවේ පාසල් අධ්‍යාපනයට වෙනම විෂයක් දාන්න වන තරමට මේ සමාජය පිරිහිලා තියෙන්නේ. අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවන විදිහට හැසිරෙන හැටි ජීවත් වෙන හැටි නැවත නැවතත් හැමෝම ඉගෙන ගන්න ඕනේ.

 

තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙන දේවල් සමාජ ජාලාවල සැරිසරද්දි උමාරියා ඒ දේවල්වලට ප්‍රතිචාර දක්වපු විදිහ වෙනස්?

මට ඕනේම ඍණාත්මක ප්‍රතිචාරයක් භාරගන්න මට පුළුවන්. ඒ අය මගේ ඡායාරූපවලට එක එක ඍණාත්මක දේවල් දානකොට පවා මම බොහොම නිහඬව හිටියා. මගේ හිත රිදුණාට මගේ පීඩනය වැඩි වුණාට මම නිහඬව හිටියා. ඒත් මගේ නොවන මගේ කියලා කියන අසභ්‍ය වීඩියෝ එකක් හැමතැනම යද්දි මම හිතුවා කතා කරන්න. මොකද ගිය අවුරුද්දෙත් ගීත ගායනා කරන පොඩි ගෑණු ළමයෙක්ට සමාජජාලවල වද දුන්නා. හරිම කැත විදිහට විවිධ කතා කිව්වා. ඒත් කවුරුත් ඒකට කතා කළේ නැහැ. මේ සමාජයේ කාන්තාවන්ම තමයි කාන්තාවන් පහළට දාන්නේ. මට වුණු සිදුවීමත් එක්ක මම හිතුවා හැමෝම වෙනුවෙන් මේ හිංසන ගැන කතා කරන්න ඔනෙ කියලා. කවදාහරි අපි හැමෝම මේ ලෝකෙන් යනවා. ඒත් ඊළඟට එන පරම්පරාවේ කාන්තාවකට මෙහෙම දෙයක් වුණොත් ඒකට අපිත් වග කියන්නේ ඕනේ. ඒ නිසා ඒ වේදිකාවේ මම නිහඬව ඉන්නද මේ ගැන කතා කරන්න ඕනේද කියන තැන හිටියේ. ඒ නිසයි මම ඒ වැඩසටහනේදී ඒ ගැන කතා කළේ.

 

සමහරු කියනවා උමාරියා ඇඬුවේ තමන්වම මාකර්ට් කරගන්න කියලා.

ඒක වැරදි දෙයක්. මම එතනදී සංවේදී වුණේ කිසිම ලාභ ප්‍රයෝජනයක් ලබාගන්න නෙමෙයි. මගේ හිත රිදුණ නිසා මම මනුස්සයෙක් නිසා ඒ වැඩසටහනේදී මට ඇඬුණා. නමුත් මම එතනට ගියේ කාන්තාවක් විදිහට මේ ගැන පුළුල් ලෙස කතා කරන්න. නැතුව එතනට ගිහිල්ලා බොරු ප්‍රසිද්ධියක් අරගෙන මට ඡන්දය දෙන්න කියලාවත් සම්මානයක් ගන්නවත්, The Voice රියැලිටි වැඩසටහනේ ඉන්න නිසා ප්‍රසිද්ධියක් අරගෙන මගේ කණ්ඩායම දිනවන්නවත් නෙමෙයි. භෞතික දේවල් පිටිපස්සේ දුවන්නේ නැහැ කියලා මම හැමදාම කියනවා. ඒ නිසා මට ඒ ප්‍රසිද්ධිය කිසිසේත්ම අදාළ නැහැ.

 

මේ කතාබහ මෙතැනින්ම නතර වෙයිද?

එහෙම වෙන්න බැහැ. මම හිතනවා දැන් හැමෝම මේ ගැන කතා කරනවා වගේම ක්‍රියාවෙනුත් ඒක කරලා පෙන්නයි කියලා. ඉදිරියේදිවත් ඕනේම මනුස්සයෙක්ට ගරු කරලා කරුණාවන්ත වෙලා හැසි‍රෙන හැටි සමාජය පුහුණුවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සමාජ ජාලාවල ඍණාත්මක හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න අදාළ පාර්ශ්ව නෛතික රාමුවක් හදයි කියලාත් බලාපොරොත්තු වෙනවා.