මැටි කඩුලු බාධක මැද ඉලක්ක ජයගත් මිනිසුන්ගේ කතාවයි

නිමල් රත්නායක
මාර්තු 4, 2021

තම නිපුණත්වය, පරිචය, දැනුම හා අද්දැකීම් පසු හා සිතැඟි තුළින් ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය නිර්මාණකරණය වෙනස්ම ආරකට ගෙන යමින් එදා මෙදා තුර ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගත් නිර්මාණ තිහකට වඩා වැඩි සංඛ්‍යාවකට හිමිකම් කියන ඔහු, සිය නිර්මාණකරණය ආරම්භ කරන්නේ වේදීකාවෙනි. ඒ ඔස්සේ යමින් සම්මානයට පාත්‍ර වූ නිමල් රත්නායක ස්වතන්ත්‍ර නිර්මාණයක් වන මේ දිනවල ජාතික නාළිකාව ඔස්සේ රාත්‍රී 9.00ට දිග හැරෙන 'මැටි කඩුලු' ටෙලිවෘතාන්තයේ අයිතිකරුවා ඔහුයි. මෙහි කතාව, පිටපත මෙන්ම අධ්‍යක්ෂණය ද ඔහුගේය. කඩුලු බිඳ දමමින් ඉදිරියට ඇදෙන ' මැටි කඩුලු' ටෙලිවෘතාන්තය සහෘද රසිකයාට 'මේ මගේ කතාව' යැයි සිතන්නට තරම් හදවතට සමීප නිර්මාණයක් බව කිවයුතු මනාය. මිත්‍යාව, බොරුව, වංචාව බිඳගෙන නැති බැරිකම,නූගත්කම පරදවා ඉලක්ක කරා යන මිනිස්සුන්ට හා ගිය මිනිස්සුන්ට තමන්ගේ කතාව නැවත නැවතත් ආවර්ජනය කරගත හැකි නිර්මාණයකි 'මැටු කඩුලු'. 

මෙහි නිර්මාණකරුවා වන නිමල් රත්නායක නම් වූ සොඳුරු ආඥාදායකයා සමඟ සරසවිය අප එහි වතගොත සොයාබලන්නට හිතුවා. ' මැටි කඩුලු' පිළිබඳ ඔහු අපට දැක් වූ අදහසයි මේ.

වෙනත් ටෙලිනාට්‍යවලින් 'මැටි කඩුලු' වෙනස් වෙන්නේ කොහොමද?

වෙනත් ටෙලිනාට්‍යවල මෙන් මුල මැද අග නැති නම් A to Z යන සංකල්පයෙන් බැහැරව ගිහින් ගමේ හෝ නගරයේ සැරිසරන චරිතයක් තුළ මනෝභාවයන් විග්‍රහ කිරීමේ වුවමනාව ' මැටි කඩුලු ' තුළින් ගෙන එන්නට මට අවශ්‍ය වුණා. මේක හුදු කතාවක්ම නොවෙයි මෙහි චරිතයි ප්‍රබල වෙන්නේ. ඒ චරිත තුළ ඇති මනෝභාවයන්ටයි මුල් තැන දීලා තියෙන්නේ. නමුත් ගලායාම අවශ්‍ය නිසා හැප්පෙන්න අවශ්‍ය නිසා මේ කතාව එහාට මෙහාට විසිරිලා යනවා. කල්පනාවෙන් බැලුවොත්, හිතුවොත් මෙය තේරුම් ගත හැකියි. චරිත තුළ ඇති මනෝභාවයන් මෙහි විග්‍රහ වෙන්නේ වෙනස්ම ආකාරයෙන්. ආනන්දයෙන් එය විග්‍රහ කරන්න උත්සාහ කරනව. නමුත් ප්‍රඥාව ඇතුළේ තියෙනවා. උඩින් බලන කෙනෙකුට උඩින් බලන්නත්, යටිපෙළ බලන කෙනෙක්ට එහෙම බලන්නත් පුළුවන් විදිහේ උත්සහයක් තමයි මේ නිර්මාණය තුළින් ගන්න මම උත්සාහ කළේ.

'මැටි කඩුලු' හි අධ්‍යක්ෂණය පමණක් නොවේ.පිටපත වගේම කතාවත් ඔබේ. මේ නිර්මාණයට පසුබිම් වූ අද්දැකීම් පිළිබඳ කතා කළොත්?

වෙන රටකට ගිහින් ලියන්න ඉගෙනගෙනවත්, PHD කරලාවත් නෙවෙයි මේ.

එදා සිට මට තිබුණා මාගේ අද්දැකීම් හා බැඳුණු තාර්කික පැත්තක්. මොනවාහරි දෙයක් වන විට ඇයි මේ දේ මෙහෙම වෙන්නේ කියලා තාර්කිකව බැලීමට මං හැම මොහොතකම උත්සාහ ගන්නවා. අවට පරිසරය, ගම, නගරය, මිනිස්සු මේ ඔක්කෝම ඒකරාශි කරගෙන මා ලත් අද්දැකීම් හා අත්විදීම් එකතුපහදු කරගෙන තමයි මේ නිර්මාණය කරන්නේ. මම බූරූ ගහලා තියෙනවා. බීලා තියෙනවා. ක්‍රිකට් ගහලා තියෙනවා. නෙට්බෝල් ගහලා තියෙනවා. සම්බන්ධකම් ඇතිකරගෙන තියෙනවා. බස් එකේ කාර් එකේ කෝච්චියේ ගිහින් තියෙනවා. මිනිස්සු ඇසුරු කරනවා හොඳ නරක දෙකම අහනවා දකිනවා. මා ලබා ගත් මේ සියලු අද්දැකීම් මගෙ නිර්මාණ කෙරෙහි බලපානවා. මේ ටෙලිනාට්‍ය පුරා ප්‍රතික්ෂේප කිරීම් එකක්වත් නෑ. මං මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ නෑ. 

මෙහි එන චරිත තෝරාගැනීම් පිළිබඳ කතා කළොත්?

පුද්ගලයා ඔළුවේ තියාගෙන නෙවෙයි මම කතාව ලියන්නේ. ලිව්වට පස්සෙ සුදුසුයි කියලා හිතෙන චරිතය තෝරාගැනීමයි සිදු කරන්නේ.

ගමේ සේකර, කිසා, හීන් මැණිකේ මේ චරිත තුළ ඉඳගෙනයි මම මේ කතාව ලියන්නේ. ඒ චරිත එක්ක යන ආධාර වෙන තව චරිත තියෙනවා. මේ චරිත එක්ක වඩාත්ම ළඟින් යන චරිත තෝරාගැනීම තමයි සිදු කළේ. ' මැටි කඩුලු ' තුළ සමහර චරිත වලට මාගේ අද්දැකීම් හා අත්විදීම් නෑ. ඒවා මාගේ මනෝභාවයන් එක්ක මෙහෙම වෙන්න ඇතැයි යන සිතුවිල්ලෙන් ගොඩනැඟුණු චරිත. චරිතවලට පුද්ගලයන් තෝරා ගැනීමේදී එකම චරිතයට දෙදෙනෙකු ගැළපෙනවා නම් වැඩ කිරීමේදී වඩාත්ම පහසු කෙනාවයි ම එතැනදී තෝරා ගත්තේ.

ටෙලිනාට්‍යයේ එන සේකර කවුද?

වැව්, ගංඟා ආශ්‍රිත ගම්වල ඉස්සර සේකරලා හිටියා. මගේ ගම නුවර පොල්ගොල්ල. මහවැලි ගඟේ පළලම තැන පොල්ගොල්ල වේල්ල. ඔතැනට ඉස්සර මිනිස්සු නාන්න ආවම කෙනෙක් දියේ ගිලුණොත් ඒ කාලේ මන්තේලිස්, සුදා වගේ කිහිප දෙනෙක් තමයි හිටියේ ඒ අයව බේර ගන්න. ප්‍රදේශයකටම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න නිසා මේ අයට ලොකු අභිමානයක් තිබුණා. සේකර චරිතය ගොඩ නැඟීමේදී මට ඒ ගමේ අද්දැකීම් බොහෝ සේ බලපෑවා. සේකරත් දක්ෂ කිමිදුම්කරුවෙක් වගේම ක්‍රිකට්වලට ආස කරන කෙනෙක්. යන්ත්‍ර සූත්‍ර අපේ ජන ජීවීතයේ බොහෝ දේ වෙලාගෙන තිබුණත් තවමත් දියේ ගිළිණු කෙනෙකු බේරාගන්න නම් පුද්ගල සහයෝගය අවශ්‍යමයි.

මේ චරිතය මෝඩ චරිතයක් නොවෙයි. ඉතාම කල්පනාකාරීව බුද්ධිමත්ව වැඩ කරන කෙනෙක් සේකර. චරිතයේ ස්වාභාවයෙන්ම හරි මානූෂීයයි. කාටවත් හිරිහැරයක් නැති සේකර දුකට කාටත් පිහිට වෙනවා. ගතානුගතික ගැමි මිත්‍යාවන්ට එරෙහි වන හා ඒවට අකැමැති, සංස්කෘතික ගතිකත්වය වටහාගත්, ජීවීතයට එන සියලු ප්‍රශ්න බාධක හමුවේ, ඒ ඝට්ටන තුළ නිහඬව වේදනාව හිත ඇතුළේම දරාගෙන පිටට සැහැල්ලුවෙන් පෙනෙන චරිතයක් තමයි සේකර කියන්නේ.

සේකර විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. හඬනවානම් ඔහුට ඕනෑ තරම් එය කළ හැකියි. නමුත් ඔහුගේ හැඬීම නොව හැඟීම පමණයි ප්‍රක්ෂේපනය වන්නේ. හද තුළ වේදනාව කැකෑරෙන දුක තියෙනවා. නමුත් එය නොපෙන්වා ජීවත් වෙනවා. හඬා වැළපෙනවාට වඩා එය ප්‍රභලයි.සමාජයේ ඕනෑ තරම් සේකරලා ඉන්නවා.

රූ ගත කිරීම් හා දර්ශන ඉසව් ගැනත් කියමු?

කුරුණෑගල, මාවතගම හා මැල්සිරිපුර වගේ ප්‍රදේශවල ඉතාම දුෂ්කර ග්‍රාම්‍ය පරිසරයක තමයි රුපගත කිරීම් සිදුවන්නේ. පසුතල නිර්මාණය වූයේ සමහර තිබුණ දේවල් එලෙසම ගන්න හැකිවුණත් ඇතැම් ස්ථාන අලුතින් නිර්මාණය කරන්න සිදුවුණා. ඒ තුළ නවමු හැඩයක් එකතු කරන්න පුළුවන් වුණා.

තේමා ගීතය තුළ තියෙන්නෙත් ඔබේම වචනද?

ඔව්. මේ ගීය ලියන්නේ මම. ගායනා කරන්නේ ලාල් අමරසිංහ හා සදාශා රත්නායක. මෙහි සංගීතය හා තනු නිර්මාණය සම්මානනීය සංගීතඥ ගයන් ඝනකධාර.

ඔබ එක්ක වැඩ කරන එක හරි රසවත් අත්දැකීමක් කියලයි බොහෝදෙනා කියන්නේ. කොහොමද ඒ ආකාරයෙන් පිරිස හසුරවන්නේ?

වැඩි පීඩනයකට ලක් නොකර ඔවුන්ගෙන් නිර්මාණයට අවශ්‍ය දේ ලබා ගැනීම මගේ ස්වාභාවය. තබ්ලාව වගේ සංගීත භාණ්ඩයක් අනිවාර්යයෙන්ම රූපගත කිරීම් කරන විට මං අරගෙන යනවා. අපි සිංදු කියනවා. රස විදිනවා. අප අතර කෙනෙක් යම් කිසි පීඩනයකින් සිටිනවානම් ඒ අයට යම්තාක් දුරකට හෝ අස්වැසීමක් ලැබෙනවා යන්න මගේ හැඟීම. ඒ තුළ නිර්මාණය කිරීමට පහසුයි. මෙය ඉතින් එක්තරා ආකාරයක උපක්‍රමයක්. අපි කලාව කරන්නේ නම් අප තුළ මෙවැනි සුන්දර දේ තිබිය යුතුයි. 

දුර පළාතකට ගිහින් බොහෝ දුෂ්කරතා මැද මෙවැනි නාට්‍යක් කිරීමේදී අමතක නොවෙන සිදුවීම් එහෙම ඇති?

මෙහි මුල් කොටස් කිහිපය රූපගත කිරීම් ආරම්භ කරන්න යෙදුණේ මීට අවුරුදු එක හමාරකට පමණ පෙර. ඒ වනවිට සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයට මුහුණ දීලා රටේ ඇඳීරිනීතිය හැම තැනම. ඔය දවස්වල අපි නගරයට ආසන්නයේ ඇති පාර අයිනක තිබුණ හෝටලයක තමයි නවාතැන් ගෙන සිටියේ. ඒ දවස්වල හැමදාම හැම තැනින්ම කඩු හොයාගන්නවා. අපි හැමෝටම හිතුණා අපිටත් කොටලා යයි කියලා. ඒ නිසා ජනප්‍රියද ප්‍රසිද්ධද කියලා නෑ. හැම කෙනා ළඟම අලවංගු යකඩපොලු තියාගෙන තමයි නිදාගත්තේ. (සිනාසෙමින්)

ඊට පස්සේ රූ ගත කිරීම් ඇරඹුවම කොරෝනා මුළු රටම වෙලාගෙන. මේ ටෙලිනාට්‍යයේ ඇතැම් කොටස් රූ ගත කරන්න තිබුණේ නගරය තුළ. මාස්ක් දාලා මිනිසුන් ගමන් කරනවා. මාස්ක් ගලවන්න කිව්වම අපිට බනිනවා. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම කළත් හැමෝටම කියන්න බැහැනේ. ඔය වගේ දේවල් නිසා හොඳට බැනුම් අහන්න ලැබුණා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

' මැටි කඩුලු' සඳහා ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබෙනවා. මෙයට සමාජ මාධ්‍යයන්ගේ ක්‍රියාත්මකවීමත් එක හේතුවක්. ප්‍රේක්ෂකයා අතර තරඟයක් තිබෙන බව පේනවා. මේ ඔස්සේ සංවාද ගොඩ නැඟෙනවා. එය හොඳ ප්‍රවණතාවක්. අපි පොඩි පඥඵඥචපජඩ එකක් තුළින් පොඩි අත්හදා බැලීමක් කළා මේ ළඟදී. එහිදී ' මැටි කඩුලු' ඉදිරියෙන්ම තිබෙන බව පෙනුණා.

ඇයි ඔබ මෙවැනි වූ තේමාවක් යටතේ මේ නිර්මාණය කරන්න හිතුවේ?

සමාජය එක්ක ඉදිරියට යනවානම් වෙනස්ව සිතන්න වෙනස්ව දකින්න අවශ්‍යයයි. ඒ ආකල්පමය වෙනස ඇති නොකරන මැටි කඩුල්ල මොකද්ද? අපිට පනින්න බැරි ඒ කඩුල්ල අපි හිතනවාට වඩා වෙනස්. ඒක මැටි කඩුල්ලක්. මෙය බිඳගෙන ඉස්සරහට යන්නේ කොහොමද? අන්න එයට පොඩි උත්තේජනයක් ලබාදීමට තමයි මා මෙය නිර්මාණය කරන්නේ.

තිළිණි රාජපතිරණ