පැය තුනක් නොසෙල්වී වතුරේ සිට ගත් ඡායාරූපයක්

-සංගීතා වීරරත්න-
මාර්තු 4, 2021

Cover Story

ෆොටෝ ගන්න වතුරට බැහැපු පළවෙනි සැරේ

නිරූපිකාව බලාගන්න දාහක් හිටියට ඡායාරූප ශිල්පියාව බලාගන්න කවුරුත් නැහැ

 

කාලෙකට පසුව සංගීතාගේ වෙනස් විදිහක ඡායාරූපයක් අපි දැක්කා.

ඔව්. ඒක කාලෙකට පසුව මම කරපු ෆොටෝ ශූට් එකක්. ඒක රැෆෙලා ප්‍රනාන්දුගේ සෙලිබ්‍රිටි කැලැන්ඩරයට කළේ. මේ සේයාරූ සංකල්පය රැෆෙලාගේ. ඇයට අවශ්‍ය වුණා මාව කවුරුත් දැකලා නැති විදිහකට වෙනස් කරලා ෆොටෝ ශූට් එකක් කරන්න. මමත් කැමති වුණා ඒ වැඩේට. රැෆෙලා ප්‍රනාන්දු කියන්නේ අලුත් විදිහට හිතන, ගොඩක් දක්ෂ තරුණ ඡායාරූප ශිල්පිනියක්. එයාගේ ඡායාරූපකරණයට මම හරිම ආසයි.

 

සංගීතා මේ වගේ ඡායාරූප පෙළකට මීට කලින් පෙනී ඉඳලා නැහැ කියලා ආරංචියි.

වතුරේ ඉඳලා තමයි රැෆෙලාට මේ ඡායාරූප පෙළ ගන්න ඕනේ වුණේ. මම මීට කලින් වතුරේ ඉඳලා ෆොටෝ ශූට් එකක් කරලා නැහැ. සිනමා නිර්මාණවලදී නම් ඕනේ තරම් වතුරේ ඉඳලා රූපගත කිරීම් කරලා තියෙනවා. ඒත් ෆොටෝ ශූට් එකකට මේ වගේ වතුරේ හිටපු පළමු වතාව මේක.

 

වේශ නිරූපණ සියල්ල සමඟ වතුරේ ඉන්න එක වෙහෙසකර වැඩක්?

ඇත්තටම එහෙම එකක් තේරුණේ නැහැ. මගේ හැඩගැන්වීම් කළේ ධනංජය බණ්ඩාර. කොණඩය හැදුවේ අසංග. මේකප් පොදක්වත් වතුරේ දිය නොවන විදිහට කරලා තිබුණා. මේකප් කරලා තිබුණාට මේකප් කළේ නෑ වගේ පෙනුමක් රැෆෙලාට ඕනේ වුණේ. ඒක ධනංජය ඒ විදිහටම කළා. ගොඩක් මහන්සි වෙලා සංකල්පයට ඕනේ විදිහට අසංග කොණ්ඩෙ හැදුවා මගේ. මාව හැඩගන්වපු වෙලාවේ ඉඳලා මම මේ ශූට් එක කරන්න නොඉවසිල්ලකින් හිටියේ. වෙහෙසකර බවක් දැනුණේම නැති තරම්. ඒත් මගේ අත නිල්පාට වුණා වතුරේම ඉඳලා. වතුරේ හිටියාට චලනය වෙන්නේ අඩුවෙන් නිසා මාව සීතල වුණා. ශූට් එකට පැය තුනක් විතර වතුරේ හිටියා. මගේ අත පයවල රේඛා මතු වෙද්දි තමයි මට හිතුණේ ගොඩක් වෙලා වතුරේ හිටියා නේද කියලා.

 

කාන්තා ඡායාරූප ශිල්පිනියක් සමඟ වැඩ කරන එක පහසුයිද?

නිරූපිකාවක් හැටියට ගත්තොත් මට අනුව කැමරාව පිටිපස්සේ ඉන්නේ ටැලන්‍ට් එකක්. ගෑනුද පිරිමිද කියන එක වැඩවලදි මට බලපාලා නැහැ. දක්ෂතාව තමයි මට බලපාන්නේ. මම පොඩි කාලේ ඉඳලා කැමරාව එක්ක හැදුණු කෙනෙක්. ඒ නිසා කැමරාව ඉස්සරහා ඉන්න එක මට ගෙදර වගේ දැනෙන හැඟීමක්.

 

ඡායාරූප ශිල්පිනියක් සෙලිබ්‍රිටි කැලැන්ඩරයක් වගේ අලුත් වැඩක් කරන එක ගැන මොකද හිතන්නේ?

රැෆෙලා මේ වගේ වැඩක් කරන එක ගැන මම හරිම ආඩම්බරයි. කාන්තාවක් මේ වගේ වැඩක් කරන එක ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. ඡායාරූපකරණයේදී දක්ෂතාව කියන්නේ කැමරාව එක්ක ඇහැ හසුරවන විදිහ. ඒකට ගෑනු පිරිමි භේදයක් නැහැ. රැෆෙලාගේ දක්ෂතාවය හරිම වෙනස්. එයාගේ සංකල්ප හරිම නැවුම්. රැෆෙලා කියන්නේ ඡායාරූප ශිල්පිනියක් විතරක් නෙමෙයි. මෝස්තර නිර්මාණ ශිල්පය, සංකල්ප ගොඩනැඟීම මේ හැමදෙයක්ම හොඳට ප්‍රගුණ කරපු කෙනෙක්. රැෆෙලාගේ ඡායාරූපකරණය එයාටම අනන්‍ය වෙච්ච දෙයක්. එයා දන්නවා එයාට ඕනේ එක. ඒක නිරූපණ ශිල්පියාගෙන් එයා ලස්සනට ගන්නවා. මගේ ජීවිතයේ කැමරාවත් එක්ක අත්දැකීම් එක්ක බැලුවොත් රැෆෙලා වයසින් පොඩි වුණාට, ක්ෂේත්‍රයට අලුත් වුණාට ඒ ආර්ට් එක හැමෝටම නැහැ. ඒ නිසා ඇය එක්ක මම හරිම ආසාවෙන් පහසුවෙන් වැඩ කළා.

 

ඡායාරූප ශිල්පිනියන් මේ ක්ෂේත්‍රයේ අඩුවෙන්න හේතුව මොකක්ද?

කාන්තාවක් ඡායාරූප ක්ෂේත්‍රයට එනවා නම් ඕනේ තැනක ඕනේ දෙයකට මූණ දීලා වැඩ කරන හැකියාවක් තියෙන්න ඕනේ. ශූට් එකකදි නිරූපණ ශිල්පියාට පහසුකම් තිබුණාට ඡායාරූප ශිල්පියාට පහසුකම් නැහැ. නිරූපිකාව බලාගන්න දාහක් හිටියට ඡායාරූප ශිල්පියාව බලාගන්න කවුරුත් නැහැ. ඒක හරිම අමාරු වැඩක්. කාන්තාවකට මේ දේවල් දරාගෙන වැඩ කරන්න අමාරුයි. කැමරාවක් අරගෙන ඕනේම අවස්ථාවක් රූපගත කරන එක අමාරුයි. විශේෂයෙන් Fashion photographyවලට කාන්තාවන් එන්නේ අඩුවෙන්. මංගල ක්ෂේත්‍රයට දුලානි ෆොන්සේකා ඉන්නවා. සිනමාවටත් කැමරාකරණයට කාන්තාවන් දෙතුන් දෙනෙක් හිටියා. ඒ බැරෑරුම් කර්තව්‍ය ඉදිරියට අරගෙන යන්න කැමැත්තෙන් ඉදිරිපත් වුණු කාන්තාවක් දෙතුන් දෙනෙක් ඉන්නවා. ඡායාරූපයක් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි.

 

ඇයි සංගීතා කැමරාව අත්හැරියේ?

තාත්තා (තිමති වීරරත්න) මට කැමරාව යම්තාක් දුරට පුරුදු කළා. ඉස්සර ඡායාරූපකරණය දැන් වගේ ලේසි පහසු නැහැ. දැන් වගේ තාක්ෂණය දියුණු නැහැ. ඡායාරූපකරණය ඉගෙන ගන්නවා නම් ඉස්සර editing, Finishing, printing  ඉගෙනගන්න ඕනේ. ඒ කාලේ පින්තූර මුද්‍රණය කළේ අතින්. ඩාර්ක් රූම්වල වැඩ කරන්න ඕනේ. මේ දේවල් එක්ක මම සිනමාවට ආවාට පසුව කාලයත් එක්ක ඡායාරූපකරණය මඟහැරුණා.

 

ඒ ගැන පසුතැවෙනවාද?

ඇත්තටම ඔව්. මට හරිම දුකයි. තාත්තාගෙන් තව ටිකක් ඒ ගැන ඉගෙන ගන්න තිබුණා මට. තමන්ගේ හැඟීම් කලාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් එක් ප්‍රබල මාධ්‍යයක් කැමරාව කියන්නේ.

 

මේ දිනවල ඔබේ කලා කටයුතු ගැන නොකිව්වොත් මේ සංවාදයට ඒක අඩුවක්.

මම ජීවන් කුමාරණතුංග මහත්මයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයේ රඟපෑවා. වසර ගාණකට පසුව චිත්‍රපටයක රඟපෑවේ. තව ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න මම සූදානම් වෙනවා.

 

රැෆෙලා ප්‍රනාන්දු