සින්දු කියන විශේෂඥ වෛද්‍ය

මාර්තු 4, 2021

 

සෙනෙහෙ දිය රැළි නිබද නැගෙනා
මේ සොඳුරු ගං තීරයේ
ඔබේ පිය සටහන් සොයන්නෙමි
නිසල සැන්දෑ යාමයේ..

දෙපා රැඳී කිංකිණි සලඹ නද
ඇසෙයි තවමත් ගං තෙරේ
බැදුනු අතැගිලි මුදාහැර ඔබ
කිමද අබිනික්මන් කලේ..

නිහඬ තරුවක් මතින් දිදුලන
සරා සඳ ඔබ මද මගේ
ඔබ සොයා ඔබ ගිය ගමන් මග
නැකත් තරු එළියක් වගේ

කලාව විදින්න කෙනෙකුට වයස, තරාතිරම බලනොපානවා සේම කලාවට පිවිසෙන්නද එය එසේම බව පසක් කළ වෙදැදුරෙක් එක්කයි මේ කතාබහ. නමින් ඔහු විශේෂඥ ශල්‍ය වෛද්‍ය කරු නානායක්කාර. සිය වෘත්තීය ජීවීතයේ විශ්‍රාම සුව විදිමින් සිටින ඔහු කලාවට පිවිසෙන්නේ කුඩා කල සිට තමා තුළ සිටි ගායකයාව, ගී පද රචකයාව කලඑළි දක්වමිනි. තම විෂය ක්ෂේත්‍රය තුළ ශිෂ්‍යයන්ට ආදරණීය ගුරුවරයෙකු වෙමින්, රෝගීන්ට සැබෑම වෛද්‍යවරයෙකු වෙමින්, තම දිවියේ සැඳෑ සමය ගෙවන මේ අපූරූ මිනිසා ඔහු කලාවට පිවිසි මේ කෙටි කාලය පිළිබඳ අප හා පැවසුවේ මේ අයුරිනි.

 

ඔබ වෛද්‍යවරයෙක් නොවුණා නම් ගායකයෙකු වෙන්නද බලාපොරොත්තු වුණේ?

දැන් වගේ ඒ කාලේ කලාව කරන අයට ලොකු අගයක් වටිනාකමක් තිබුණේ නෑ. ඒ කාලේ පිළිගත් වෘත්තීන් තමයි වෛද්‍ය, ඉන්ජිනේරු වගේ වෘත්තීන්. ඉතින් මගේ ඒකායන අභිප්‍රාය වුණේ වෛදවරයෙක් වීම ඒ වෙනුවෙන් මම මහන්සි වී වැඩ කළා. ඒ නිසාම මට යම් ගායන හැකියාවක් තිබුණත් එය යටපත් වී තිබුණා.

 

විශ්‍රාම ගිහින් කලාවට එන්න හිතුණේ?

මම නෙවිල් ප්‍රනාන්දු රෝහලට යනවා වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීමට. ඒ දවස්වල මං යන පාරේ අතරමඟක මං දැක්කා සංගීත ආශ්‍රමයක් තියෙනවා. මට හිතුණා මට මගේ සැඟවිලා තියෙන මේ ගායන හැකියාව ඔපදමා ගන්න පුළුවන් වෙයි මෙතැනට ගියොත් කියලා. මම එහි තිබුණ නොම්බරයට දුරකතන ඇමතුමක් දුන්නා. ඒ ගුරුවරිය මංගලිකා තෙන්නකෝන්. ඇය හඳුනාගත්තා මට ගායන හැකියාවක් තිබෙනවා කියලා. ඒ ඔස්සේ දිගින් දිගටම පුරුදු පුහුණු වීම් කළා.

 

'සෙනෙහස දිය රැළි නිබඳ නැගෙනා' මේ ගීතය ලියන්නේ ඔබ. මොකද්ද මේ ගීතය පසුබිම් වන අද්දැකීම?

මේ මගේ මිතුරෙකුගේ අද්දැකීමක්. එක දවසකදි ඔහු මට ඒ කතාව කියනවා. ඔහු හා ඔහු සමඟ පෙමින් බැඳී සිටි ඇය වෙන් වෙනවා. මෙය දරාගත නොහැකි වූ ඒ ගෑනූ ළමයා මහණ වෙන්න යනවා. ඒ ආදරය කොයිතරම් ද කියනවා නම් ඔහුත් ඇය ගිය මඟ ගොස් මහණදම් පුරන්නට යනවා. මේ අත්විඳීම එක්ක දිනක් මම නිදහසේ ඉන්න වෙලාවක මේ කතාව මට මතක් වෙලා ඔය පදවැල නිර්මාණය වුණා.

 

මේ ගීතයට සංගීතය සපයන්නේ අපේ රටේ ප්‍රවීණ සංගීතඥයෙක්?

ඔව්. මම මේ ගීතය ලියලා මාගේ මිතුරෙකු සමඟ රෝහණ වීරසිංහයන් හමුවෙන්නට යනවා. එතුමා ඉතාම සුහදව මා පිළිගෙන මගේ මේ වචනවලට ලස්සන තනුවක් නිර්මාණය කරලා දුන්නා. එතුමට මම ස්තූති වන්ත වෙනවා.

 

කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම හොඳයි. මගේ එතෙර ඉන්න යාළුවෝ පවා මට සුබපැතුම් එක්කළා. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර තියෙනවා. මම හිතුවේ නෑ මේ තරමටම ප්‍රතිචාර ලැබෙයි කියලා.

 

මේ වන විට ගීත කොපමණ නිර්මාණය කරලා තියෙනවාද?

ගීත තුනක් නිර්මාණය කරලා තියෙනවා. ඒ සෑම නිර්මාණයකම පදවැල මගේ. එම ගීත Karu Nanayakkara  කියන මගේ Youtube  නාළිකාව ඔස්සේ අහන්න පුළුවන්.

 

ඔබේ නිර්මාණ කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය මොනවගේද?

මගේ බිරිඳ තමයි මට ඉන්න හොඳම ශ්‍රාවකයා. ඇයත් විශේෂඥ වෛද්‍යවරියක්. ඇය මගේ නිර්මාණ හරියට විචාරය කරනවා. ගුණ දොස් කියනවා. තව මට දුවලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය මට කියන්නේ දිගටම නිර්මාණ කරන්න කියලා.

 

ඔබේ ගීත ඔබ ජනතාව අතරට ගෙන යන්නේ රධභබභඡඥ හරහා. මේ නව්‍යකරණය ඔබට දැනෙන්නේ කොහොමද?

සමාජ මධ්‍ය ජාලා හා බැඳුණු මේ මෙවලම් තුළින් හැකියාවක් දක්ෂතාවයක් ඇති අයට තමන්ගේ නිර්මාණයක් කරලා තමන්ට ආදරේ කරන අයට බලන්න දෙන්න පුළුවන්. මගේ පිටරටවල ඉන්න මිතුරන් මගේ ගීත බලන්නේ Youtube  එකෙන්.

 

ඉදිරියේදී තව නිර්මාණ කරන්නද බලාපොරොත්තුව?

මේ ලැබෙන ප්‍රතිචාර එක්ක ඉදිරියේදී තව තව නිර්මාණ කරන්න කියලා බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මගේ මිතුරන්ගෙන් ඉල්ලීම් එමටයි. ඒ නිසාම ඉදිරියේදී තව නිර්මාණ දෙක තුනක් කරන්න බලාපොරොත්තු වෙනවා.