විජය මගේ සීයා

ටිලන් ආරච්චිගේ
මාර්තු 4, 2021

 

මෙරට සිනමාවේ බිහිවූ ජනකාන්තම නළුවා කවුද කියා අප සිනමාලෝලීන්ගෙන් ඇහැව්වොත් ඔවුන් බහුතරයක් නොඅනුමානව පවසාවි විජය කුමාරතුංග කියන නම. එතරම්ම ඔහු ජනතාවගේ සිත්සතන් තුළ ජීවමාන වුණා. ඔහුගෙන් පසු ඔහුගේ පරපුරෙන් ජීවන් කුමාරතුංග ඉන් අනතුරුව විජයගේ ඥාතියෙකු වන රන්ජන් රාමනායක රංගන ලෝකෙට පිවිසුණා. පසුකාලීනව විජය කුමාරතුංග හා සමාන ස්වරූපයක් ඇති නළුවෝ බහුතරයක් සිංහල සිනමාවට පැමිණියත් විජයගේ පරම්පරාවේ කිසිම අයකු රංගනයට ආවේ නම් නැහැ. හැබැයි මේ ඊයේ පෙරේදා දිනක එක්තරා තරුණයෙකු මුහුණුපොතට ඡායාරූප රැසක් එක් කොට තිබුණා. ඒ ඇතැම් ඡායාරූපවල ඔහුට තිබුණේ විජයට ඉතා සමාන ස්වරූපයක්. මේ තරුණයා ගැන අපට කලාශිල්පී ලාල් දිසානායක ඔත්තුවක් දීලා තිබුණා. ඔහු සඳහන් කෙරුවේ එකී තරුණයා විජය ගේ ළඟම ඥාතියෙකු බවයි. ඉතින් ඒ පිළිබඳ අපි වැඩිවිස්තර සොයා බැලුවා. ටිලාන් ආරච්චිගේ තමයි ඒ තරුණයාගේ නම. ඔහු විජය කුමාරතුංගයන්ගේ සමීපතම ඥාති වන මුණුපුරෙක්. විජය කුමාරතුංගගේ මවු පාර්ශ්වයෙන් තමයි ඔහු විජයට නෑ වෙන්නේ. සරසවිය පුවත්පතෙන් විජයට ලබා දුන්නේ මහත් තල්ලුවක්. ඔහු තම ප්‍රථම සිනමා සිනමාපටය වන හන්තානේ කතාවට සම්බන්ධ වෙන්නෙත් සරසවියේ පළවූ පුවතක් ඔස්සේ. ඉතින් ඔහුගේ ළඟම ඥාති මුණුපුරෙක් වන ටිලන් පිළිබඳත් පළමුවරට රටට කියන්නේ සරසවියයි.

 

ටිලන්, හරියටම පැවසුවොත් ඔබ විජයගේ කවුද කියලා?

මෙහෙමයි. විජය කුමාරතුංග සීයාගෙ අම්මා ඉන්නේ, ඇයගේ බාල සහෝදරයාගේ පුතාගෙ පුතා තමයි මම. ඒ කියන්නේ අපි ළඟම ඥාතියෝ.

 

ඒ නෑදෑකම භාවිත කරමින් ඔබ සිනමාවට පිවිසුණේ නැත්තේ ඇයි?

මේකයි අයියේ. මම ඒ නෑදෑකම කොහෙවත් කියන්න යන්නෙ නෑ, මම අහවල් කෙනාගේ ඥාතියෝ කියලා. ඉතින් මටම අවස්ථාව හැදෙනකම් බලාගෙන හිටියා. ඒ අතරතුරදී මම මෝස්තර නිරූපණයට යොමු වුණා. ඔය අතරේ ඉඳහිට චිත්‍රපට සඳහා රංගනයට ආරාධනා ලැබුණා. එක්තරා චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට මට කතා කළා. එහි අධ්‍යක්ෂවරයා මට කිව්වා ඒ චිත්‍රපටය රිලීස් වෙනකම් මට කිසිම වැඩකට යන්න එපා කියලා. අඩුම තරමේ ෆොටෝ ෂූට් එකකටවත්. ඒක මට යම් අසාධාරණයක් කියලා හිතුණා. මොකද මම එතකොට මෝස්තර නිරූපණ ශිල්පියකු විදිහට සාර්ථකව වැඩකරමින් හිටියේ. මම බොහෝ ඡායාරූප සඳහා මෝස්තර නිරූපණ අවස්ථා සඳහා පෙනී සිටියේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරවයි. විජය කුමාරතුංග සීයත් බොහෝ අවස්ථාවන්වල දී නොමිලේ චිත්‍රපටවල රඟපාලා තියෙනවා. මට හිතෙනවා එය හොඳ ගති ගුණයක් කියල.

 

ඔබ විජය වගේ කියලා බොහෝ දෙනා කියනවා ඇති?

මුහුණු පොතේ මගෙ පින්තූරවලට වැටෙන බොහොමයක් කමෙන්ට්වලින් මට කියන්නෙ ඔබ නම් විජයම තමයි කියන අයත් ඉන්නවා. ඒක ඉතින් ප්‍රේක්ෂයින්නෙ කියන්නෙ. සමහරු මට පොඩි විජේ කියලත් කතා කරනවා. එතකොට නම් මට සියුම් සතුටකුත් දැනෙනවා.

 

විජය කුමාරතුංග වගේ සින්දු කියන්න ඔබටත් පුළුවන්ද?

මට ගීත ගැයීමේ පුංචි හැකියාවකුත් තියෙනවා. ගෙදර සංගීත භාණ්ඩ කිහිපයකුත් තියෙනවා. මම ඔය විශේෂ අවස්ථා වල ගීත ගයද්දි සමහරු කියනවා විජය මතක් වෙනවා කියලා. හැබැයි ඉතිං ඒක තීරණය කරන්න ඕනේ මම නෙවෙයි නේද?.

 

විජය අනුකරණය කරමින් පසුකාලීනව නළුවෝ රැසක් බිහි වුණා?

ඇත්ත. නමුත් විජයගේ ඥාති වෙන කෙනෙක් සිනමාවට ආවේ නෑනේ ජීවන්, රන්ජන්ගෙන් පස්සෙ. ඒ හිඩැස තවම එහෙමම තියෙනවා කියලා මම හිතනවා. මේ මගේ කුලුඳුල් පුවත්පත් ලිපිය. මෙයින් පසුව බොහෝ දෙනෙක් මා ගැනත් හඳුනාගනීවී.

 

ඔබගෙ මාමා කෙනෙකු වන ජීවන් කුමාරතුංග මේ දිනවල චිත්‍රපටයක් කරනවා ඔබ එහි නැද්ද?

ඉන්නවා. ජීවන් මාමා මට ඒ චිත්‍රපටයට කතා කළා. එයින් පසුව මම බලාපොරොන්තු වෙනවා තවත් චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙන්න.

 

ඔබ වැඩිය මතු නොවුණේ ඇයි?

ඒකට ප්‍රධානම හේතුව වන්නේ මං ගැන කවුරුවත් දන්නැති එක. අනික මට හිතෙනවා මට ලැබුණු අවස්ථාවන් නොයෙක් හේතු මත අහිමි වුණා කියලා. ඒකට හිතේ දුකක් නැහැ. නමුත් ඉදිරියේදී හොඳ චිත්‍රපට කරන්න තමයි මම උත්සාහ කරන්නේ. මට ඕනේ මගේ ගමන පාඩුවේ ඉදිරියට යන්න.

 

දේශපාලන වැඩකටයුතු වලට ඔබට ආරාධනා ලැබුණේ නැද්ද?

අම්මෝ මොකද නැත්තෙ. කොච්චරවත් මට දේශපාලන වැඩ කටයුතු වලට කතා කරනවා. නමුත් මේ රූපා ආච්චි, ඒ කියන්නේ විජය සීයගෙ සොයුරිය. ඇය මට නිතරම කියනවා ඔය දේශපාලන වැඩවලට යන්න එපා කියලා. සමහරු මගෙන් ප්‍රයෝජන අරගෙන ඒ අය වාසි ප්‍රයෝජන ගන්න පුළුවන්ලු. රූප ආච්චි කියන්නේ, කලා ලොවේ ඉස්සරහට යන්න ඕන උදව්වක් කරනවා, ඒත් දේශපාලන වැඩවලට නම් කිසිම උදව්වක් කරන්නේ නැහැ කියලා.

 

ඔබගේ ගම පළාත සඳහන් කළොත්?

මම දිවුලපිටියේ.

 

ඉගෙන ගත්තු පාසල?

සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර විදුහල හුණුමුල්ල.

 

විජයගේ ස්වරූපය නිසා ඔබට කාන්තා ආකර්ෂණය නොඅඩුව ඇති?

ඒක නම් එහෙම තමයි. ඒත් මම සිනමාවේ ඉදිරියට යන්න ඕන නිසා මටම වෙන්වුණු ප්‍රතිපත්තිවලට අනුව තමයි ජීවත් වෙන්නේ.

 

 

තිලක් පෙරේරා

 

Location - The Barge By Barracuda