නාග කන්‍යාව සැඩ පහරකට හසුවෙලා

- යෙනාරා සනුකි
ජුනි 17, 2021

 

ඇය රංගනයට අත්පොත් තැබුවේ අවුරුදු හතරේදීය. ඉන් පසුව දිගින් දිගටම ළමා නිළියක් ලෙස ටෙලි සිනමා නිර්මාණයන්ට දායක වූ ඇය අධ්‍යාපන කටයුතු හේතුවෙන් රඟපෑමෙන් මඳකට ඉවත් විය. වත්මනෙහි මේ සුරූපිණිය නැවතත් රංගන කරළියට පැමිණ සිටින්නීය. ඒ සනත් අබේසේකරගේ පණ්ඩු ටෙලි සිතුවමට රංගන දායකත්වය සපයමිනි. ඇගේ නම යෙනාරා සනුකි වීරසිංහ ය. මේ ඇය හා කළ කතාබහකි.

 

 

යෙනාරා, මේ දිනවල ෂූටිං නැතුව ඇති නේද ඩ්‍රාමා එකේ?

ඔවු. බොහෝ නිර්මාණවල වැඩ කල් ගියා. මම අන්තිමට රඟපාමින් සිටිය පණ්ඩු නාට්‍යයේ මම නාග කන්‍යාවියක්. ඒ චරිතය හොඳට ප්ලේ වුණා. නාට්‍යය විකාශය වෙන කාලයේ ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. දන්නැති බොහෝ දෙනෙක් මට ඉන්ස්ටග්‍රෑම් හරහා කතා කළා. හොඳ වගේම චරිතයේ අඩුපාඩුත් කිව්වා. ඒවා හදාගෙන චරිතය ඉදිරියට රඟපාන්න සූදානමින් ඉන්නෙ.

 

පණ්ඩු නාට්‍යයේ ෂූටිං තිබුණේ කොහෙද?

අවිස්සාවේල්ල කුමාරි ඇල්ල කියන ප්‍රදේශය තමයි තිබුණේ.

 

නාග කන්‍යා චරිතය කරන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

ඒ චරිතයට මට වෙනම කොස්ටියුම් එකක් පාවිච්චි කළා. හිසටත් පලඳනාවක් තියෙනවා. එය ටිකක් දිගයි. කුමාරි ඇල්ලේ සැඩ පහරක් තිබුණු වෙලාවක ඒ පලඳනාවක් එක්ක මාව වතුරේ ගහගෙන යන්න ගියා. ඒක මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ.

 

ඔබ බොහෝ පුංචි සංධියේදිමයි රඟපෑමට ආවේ?

මුලින්ම ටෙලි නාට්‍යයක රඟපානකොට මට අවුරුදු හතරයි. දෙදහස් හතර වසරේ අනුහස් විජිතය කියන ටෙලි නාට්‍යයයේ රඟපාමින් තමයි ප්‍රථම වතාවට කැමරාවකට මුහුණ දුන්නේ. ඒ නාට්‍යයත් සනත් අබේසේකර මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. ඊට පසුව ආදරයේ නාමයෙන් හා හාර්ට් එෆ් එම්. කියන චිත්‍රපටවල චරිත කළා. කැපී පේන චරිත රඟපෑවේ පිත්තල කොණ්ඩෑරුම සහ මුරුගසන් වරුසාව කියන නාට්‍යවල. එතකොට මට අවුරුදු දහයක් විතර ඇති. මුරුගසං වරුසාවෙ මම රඟපෑවේ ගිහාන් ප්‍රනාන්දු සහ ගයාත්‍රි රාජපක්ෂ කියන නළු නිළියන්ගේ දියණිය හැටියට. ඒ වගේම ලොක්කයියා නාට්‍යයත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එහි අජිත් වීරසිංහ මහත්මයාගේ දුවට මම රඟපෑවේ. දෝණි චිත්‍රපටයෙන් පසුව මම රඟපෑමෙන් අයින් වෙනවා. එතකොටත් මට නිර්මාණ සඳහා ආරාධනා ලැබෙමින් තිබුණේ. නමුත් අධ්‍යාපන කටයුතු නිසා මම ඒ සේරම නැවැත්තුවා.

 

එහෙම වෙච්ච එක රංගනය පැත්තෙන් ඔබට වුණා පාඩුවක් කියලා හිතෙන්නේ නැද්ද?

ඒ කාලේ එහෙම හිතුණෙ නෑ. නමුත් දැන් හිතෙනවා ඒ වගේ රඟපෑම අයින් වෙච්චි එක පාඩුවක් කියලා.

 

මොකක්ද ඔබේ අනාගත අරමුණ?

හොඳ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තුව. ඒ අතරතුර දී දිගටම රඟපෑමේ කටයුතු කරගෙන යනවා.

 

ක්ෂේත්‍රයේ ඉන්න තරුණ නිළියො ජනප්‍රියත්වය වැඩි කර ගැනීමේ උදෙසා විවිධ ඉසව් එහෙම පවත්වනවා. ඒ ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ?

ඇත්තටම ඒක බොරු වැඩක්. කෙනෙකු ජනප්‍රිය වෙන්නේ ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය මත. ඒක අපි කරන රඟපෑම හෝ වේවා ගායනය හෝ වේවා ඒවාට ලැබෙන රසික ප්‍රතිචාරයත් එක්ක තමයි ජනප්‍රියත්වය හිමි වෙන්නේ. නමුත් ඉන් පරිබාහිරව විවිධ ඉසව් සංවිධානය කරමින් ලබන්නාවූ ජනප්‍රියත්වය තාවකාලිකයි කියලා මට හිතෙන්නේ.

 

ඔබ රඟපෑමෙන් දායකවූ තවත් නිර්මාණ මොනවාද තියෙන්නෙ?

ඇත්තටම මම ප්‍රධාන චරිත නිරූපණය කරපු ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙන්නට තියෙනවා. ඒ එක නාට්‍යයක නම ළිහිනි. අනෙක් නිර්මාණය සිරිතුංග පෙරේරාගේ ටෙලි නාට්‍යයක්. ඒ නිර්මාණ දෙක විකාශය වනතුරු තමයි මම මේ බලාගෙන ඉන්නෙ.

 

තරුණ ශිල්පිනියක් විදිහට ඔබට කට කතා හැදිල තියෙනවද?

කට කතාවලටත් වැඩිය අපි ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරද්දි, විශේෂයෙන්ම අපිව රූපවාහිනියේ දකිද්දී යම් යම් දෙනා කියනවා ඕවට කොහොම යනවාද දන්නෑ කියලා. නමුත් අපි තමයි දන්නෙ මේ ක්ෂේත්‍රය තුළ කරන්නාවූ කැපකිරීම. ඒව කාටවත් පේන්නෙ නැහැ. නමුත් කතා කියන්න නම් ඕන තරම් අය ඉන්නවා. මම හිතන්නේ ඕවට එච්චර අපි සැලෙන්න හොඳ නෑ.

 

යෙනාරා මේ වන විට පෙම්වතියක්ද?

නැහැ. නමුත් මගේ ආදර සම්බන්ධයක් තිබුණා. නොගැළපීම් මත අපි වෙන් වුණා.

 

මේ වගේ වයසකදී පෙම්වතියක් වීම ඔබේ කලා කටයුතුවලට කරදරයක් කියල හිතුනද?

ඇත්තටම ඒක යම්තාක් දුරකට කරදරයක්. අපි නිර්මාණ සඳහා යද්දි අරකට යන්න එපා මේකට යන්න එපා කියලා වාරණ වැටෙනවා. අපි ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්න පටන්ගත්ත විතරනෙ. අපිට ගමනක් යන්න තියෙනවා. ඒ වගේ බාධක ආවාම අපිට අපේ ගමන හරියට යන්න බැරි වෙනවා.

 

නොකියා කියන්නේ ඔබ කවදාහරි කලා ක්ෂේත්‍රයේ කෙනෙකු හා විවාහ වෙනවා කියලද?

ඒක ඊටත් වැඩිය කරදරයිනෙ. මොකද ක්ෂේත්‍රය ගැන ඕනවට වැඩිය දැනගත්තට පස්සේ අවුල්. කොහොමත් යම් චරිත වලට මාව යවන එකක් නැහැ. විශේෂයෙන්ම පෙම්වතියගේ චරිත වලට. මම හිතන්නේ ඔය කෝකටත් වැඩිය මේ ක්ෂේත්‍රය පිළිබඳ ඉතා හොඳීන් තේරුම් ගන්ට පුළුවන් කෙනෙක් සමග විවාහ වෙන්න ඕනි කියලා.

 

යෙනාරාගේ ගම් පළාත කොහෙද?

මම වැලිවේරිය.

 

ඉගෙන ගත්ත පාසලත් මතක් කළොත්?

කොළඹ යසෝදරා විදුහල

 

උපන්දිනය?

2000 ජුනි මාසෙ 17 වැනිදා

 

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න?

මම හරිම සරල කෙනෙක්.

 

 

 

සේයාරූ - හිරුෂ සෙනෙවිරත්න