මට මුලින්ම රඟපාන්න ආරධනා කළේ ගීතා

-කිෂූ ගෝමස්
ජූලි 8, 2021

 

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන ආප්තෝපදේශයට අභියෝග කරමින් කලා ලෝකයේ විවිධ තැන් හි ඔබ ඔහු හමුවන්නේය. විටෙක නිවේදකයෙක්, ගායකයෙක්, නිරූපණ ශිල්පියෙක්, විනිසුරුවෙක් වගේම මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ දිග හැරෙන පාරදිගේ ටෙලි නාට්‍යය තුළින් මෙතෙක් නොදුටු ඔහුගේ රංගන ප්‍රතිභාවද පෙන්වමින් සිටියි. ව්‍යාපාර ලෝකයේ ඔහුගේ නම නොදත්තෙකු නොමැති තරම්‍ ය. නිරන්තරයෙන් කලාව සමඟ ඔහු ගනුදෙනු කළත් මේ ඔහුගේ ප්‍රථම රංගනයයි. ඔහු නමින් කිෂු ගෝමස් ය. කලා ලෝකයේත් ව්‍යාපාර ලෝකයෙත් ප්‍රකට කිෂු ඔහුගේ මේ අලුත් වැඩේ ගැනත් තවත් බොහෝ දේ පිළිබඳවත් සරසවිය අප සමඟ ඉතාම හෘදයාංගමව පැවසුවේ මෙලෙසිනි.

බොහොම ළා බාල කාලෙදි අන් අය පාලනය කළ ඔබට අධ්‍යක්ෂවරයෙක් යටතේ පාලනය වීම දැනුණෙ කොහොමද?

ඇත්තටම ශිවගුරුනාදන් කියන්නේ නිරන්තරයෙන් විමසා බලා වැඩ කරන කෙනෙක්. මගෙන් අහනවා මේ විදිහ පහසුද මෙහෙම හරිද කියලා. මේ චරිතය තුළ මට මම වෙන්න පුළුවන්. ඒ නිසා එතැන ඇත්තටම මට වෙනසක් දැනෙන්නේ නෑ. ඒත් මට ඇතිවුණ හැඟීම නම් චරිතයක ජීවත් වීම එතරම් ලෙහෙසි පහසු නෑ. එය තවකෙකුගෙ පිටපතක්. මේ චරිතය මට සමීප වුවත් ඒ තවකෙනෙක්. එයට ආරූඪ වීම නම් මට අභියෝගයක්. එය මට දැනෙනවා. මට තේරෙනවා. විකාශය වුණ කොටස් දෙස බලන විට මීට වඩා හොඳට එය කරන්න තිබුණා කියන අදහස එනවා. උපරිම තලයකට එන්න නම් එය ප්‍රගුණ කළ යුතුයි.

 

එසේ වුවත් මේ චරිතය කියවාගැනීමේදී නම් ඔබට අපහසුවක් නොවෙන්න ඇති?

ඔව්. මේ ඇමරිකානු බහු ජාතික සමාගමක කළමණාකාර අධ්‍යක්ෂවරයෙක්. මම අවුරුදු 19ක කාලයක් ඔය තනතුර දරපු කෙනෙක්. මේ චරිතය හා වටපිටාව පිළිබඳ අවබෝධයක් තිබෙනවා. ව්‍යාපාර ලෝකයේ උපරිම මට්ටමේ රැකියාවක් මෙය. ඒ තුළ උප සංස්කෘතියක් නියෝජනය වනවා. සාමාන්‍ය නළුවෙකුට ඒ පිළිබඳ අවබෝධය අඩුයි. ඒ වගේම ඒ පරිසරය පිළිබඳ මට අවබෝධයක් තිබෙන නිසා ඇතැම් තැන් නිවැරදි කරන්නත් නිර්මාණයට බොහෝ දෑ එකතු කරන්නත් හැකි වුණා.

 

කලා ලෝකයේ සෑහෙන කාලයක සිට ගනුදෙනු කරන ඔබ ඇයි මේ වයසෙදි රඟපාන්න හිතුවේ?

මට මුලින්ම රඟපාන්න එන්න කියන ආරාධනාව කරන්නේ ගීතා කුමාරසිංහ. නොයෙකුත් අවස්ථාවල රඟපාන්න ආරාධනා කළත් එය එතරම්ම බරපතළ ලෙස මා ගත්තේ නැහැ. එය දෛවය අනුව වෙන්නට ඇති. කොහොම වුණත් මා ගොඩනඟාගත් ප්‍රතිරූපයට හානියක් නොවන පරිදි චරිත නිරූපනයයි මා කරන්නේ.

 

මේ චරිතය තුළ ඉංග්‍රීසි භාෂාවත් මනාව හැසිරිය යුතු වෙනවා?

ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ කුසලතාවය තමන්ට තිබෙනවා නම් එය ඉතාම වැදගත් ජීවිතය ජය ගන්න. බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. වෘත්තීය මනාව ජයගන්න පුළුවන්. එය අපේ ජීවිතය ජයගන්න භාවිත කරනවා මිස තත්වයක් ඇති කර ගැනීමට භාවිත කිරීම හරිම අමානුෂීයයි. නමුත් එහෙම කරන අය ඉන්නවා. සිංහල භාෂාවෙන් පමණක් රට තුළ යමක් කළ හැකි වුණාට ඉංග්‍රීසි නැතුව ලෝකය ජය ගන්න බෑ. අපි හැම වෙලේම කියනවා සිංහල අය දෙමළ ඉගෙනගන්න ඕනෙ දෙමළ අය සිංහල ඉගෙන ගන්න ඕනෙ කියලා. නමුත් අපි ආර්ථිකමය වශයෙන් ගත්තම විය යුත්තේ මේ දෙගොල්ලොම ඉංග්‍රීසි ඉගෙන ගැනීමයි.

 

ඔබ සිනෙ ස්ටාර් පදනමේ අධ්‍යක්ෂවරයෙක්. අනෙක් අතට කලාව සමඟ බොහෝ කලක සිට සබඳතා පවත්වන කෙනෙක්. කළමනාකරීත්වය තුළිනුත් ඉහළම තැනක ඉන්න ඔබට කලක් ස්වර්ණමය ‍යුගයට හිමිකම් කියූ චිත්‍රපට කර්මාන්තය අද තිබෙන තැන ගැන මොකද හිතෙන්නේ?

කෝවිඩ් එක්ක සිනමා කර්මාන්තය කොහොමද නඟා සිටුවන්නේ කියලා හිතුවොත් එය පුස් කතාවක් පමණක් වෙනවා. කෝවිඩ් නැති සාමාන්‍ය ලෝකයේ මේ ගොඩ නැඟීම කරන්නේ කොහොමද කියලා තමයි අපිට කතා කරන්න වෙන්නේ. මොකද කෝවිඩ් එන්න කලින් ඉඳලම මේ කර්මාන්තය කඩා වැටිලා තිබුණේ. මෙය ව්‍යාපාරික ප්‍රශ්නක්. කලාව කොහොමද මාර්කට් කරන්නේ? කලාවට කොහොමද ඩිමාන්ඩ් එකක් නිර්මාණය කරන්නේ? ඉල්ලුම උත්පාදනය කරන්නේ සහ ඒ ඉල්ලුම සැපයීම වෙනුවෙන් අදාළ අභිප්‍රේරණය කරලා චිත්‍රපට බලන්න එන්න කියන තැනට අවශ්‍ය සන්නිවේදනය විද්‍යාත්මකව කොහොමද කරන්නේ කියන දේ. මොකද මනුෂ්‍යාගේ කාලය සීමා සහිතයි. විනෝදාස්වාදය සැපයීම වෙනුවෙන් තරගයක් තිබෙනවා. සිනමාවම පමණක් නොවෙයි විනෝදාස්වාදය වෙනුවෙන් තියෙන්නේ. මේ තුළ ඉඩක් හදා ගන්න නම් මාකර්ටින් හරියටම කරන්න ඕන. එතැනදි අපි ඉතාම කල්පනාකාරී විය යුතුයි පරිපාලනය පැත්තෙන් වුවත්. පොදුවෙ ගත්තම සිනමා කර්මාන්තයේ නියැළෙන්නන්ට වගකීමක් තියෙනවා ඉල්ලන දේ දෙන ගමන් මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරලා හරි දේට මිනිස්සු යොමු කිරීමට. එය දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. වාණිජමය වශයෙන් පවත්වාගෙන යා හැකි ආකාරයෙන් කලා නිර්මාණ බිහි විය යුතුයි. එහි දී බොහෝ ගැටලු තිබෙනවා.

 

මොනවද ඒ ගැටලු ?

අද පවුල පිටින් ගිහින් චිත්‍රපටයක් බලනවා කියන්නේ ඉතාම ලොකු වියදමක්. එයට සාපේක්ෂව ගෙදර ඉඳලා චිත්‍රපටයක් නරඹන එක පර්ස් එකට බර නැති දෙයක්. අනෙක් අතට අපේ නිෂ්පාදනය විවිධ ජන කොටස්වලට අවශ්‍ය තෘප්තිය ගෙන යෑම වෙනුවෙන් වන නිර්මාණශීලී බව, වටිනාකම, පණිවුඩයේ ඇති විවිධත්වයත් බලපානවා. කොළඹ රුපියල් පන්සීයට ටිකට් විකුණන සිනමාහල් වගේම රුපියල් සීයයට ටිකට් විකුණන සිනමාහලුත් තිබිය යුතුයි. ඒ වගේම බෙදාහැරීම කියන කාරණය. ලංකාවේ සිනමාහල් කීයද තියෙන්නේ. ඒවායේ තියෙන පහසුකම් ඉතාම අඩු මට්ටමක තියෙන්නේ. හිර ගෙදර බත් කන්න පෝළිමේ ඉන්නව වගේ සිනමා ශාලාවෙත් පෝළිමේ ඉන්න ඕන. ඇත්තටම මෙය උඩු යටිකුරු කළ යුතු කාරණාවක්. හැමදෙනාටම විවිධත්වයක් ඇති දේ ඉදිරිපත් කිරීම, මිනිසුන්ට ගව් ගණන් යන්නේ නැතුව චිත්‍රපටයක් බලන්න සිනමාහලකුත් ළඟම තියෙන්න ඕන.

 

පාසල් කාලයේ සිටම ඔබ තුළ හරි අපූරූ ගායකයෙක් සැඟවී ඉන්නවා. මතක් කරමු ඒ අතීතය?

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් තිබෙන ඔස්කාර් පදනමේ අධ්‍යක්ෂවරයෙක් මම. මට සිංදු කියන්න පුළුවන් කියලා හඳුනගත් මගෙ ආච්චි පන්සලට එක්ක ගිහින් එහි තිබූ උත්සවයක ගීතයක් ගායනා කරන්න කිව්වම මම 'දෙව්රම් වෙහෙරේ' ගීතය ගායනා කළා. ඉතාම කුඩා කාලයේ. ඉන්පසු මා පාසලේ දී සමස්ත ලංකා මට්ටමින් ප්‍රථම ස්ථානය ලබා ගෙන තිබෙනවා. එය නම් අහම්බයක්. සිංහල පාඩමකදි මම කවි කිව්වම ගුරුතුමිය මගෙන් ඇහුවා සංගීතයද කරන්නේ කියලා. මම කිව්වා නෑ චිත්‍ර කියලා. මොකද මට මගෙ අම්මගේ අභාසයත් එක්ක හොඳටම චිත්‍ර අඳීන්න පුළුවන්. ඔයා ඇයි චිත්‍ර කරන්නේ යන්න මියුසික් මාස්ටර් ළඟට තරගයක් තියෙනවා ඒකට ළමයෙක් හොයනවා කියලා. මාව බලහත්කාරයෙන් ම ඇරියා සංගීත මාස්ටර් ළඟට. පසුව ඉස්කෝලෙන් මාව තෝරගන්නවා ගායනා තරගෙට යවන්න. තරගෙට ගියත් මට ඕන වුණේ ඉක්මනටම ගෙදර යන්න මොකද මම විතරයි පිරිමි ළමයෙකුට හිටියේ. මම කවි කියලා බැහැලා ඇවිත් මාව එක්කගෙන ආව ගුරුතුමියටවත් කියන්නේ නැතුව බස් එකේ නැඟලා ගෙදර ආවා. පහුවදා ඉස්කෝලෙ ගියාම උදෑසන රැස්වීමෙදි විදුහල්පතිතුමා මගේ නම කියද්දි මට හීන් දාඩිය දැම්මා. මම ඊයේ පැනලා ආව එක ආරංචි වෙලා ප්‍රසිද්ධියේ දඩුවම් දෙයි කියලයි මම හිතුවේ. එහෙම හිතුණ මට ඇහෙනවා සමස්ත ලංකා ගායන තරඟයෙන් කිෂු ගෝමස් පළමු ස්ථානය අරන් කියලා. හරිම සුන්දරයි ඒ අතීතය.

ඇයි ඒ ගායකයාගේ හඬ අවදි නොකරන්නේ?

මට ගායනාව ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ සඳහා බොහෝ ආරාධනා ලැබෙනවා. ඒ සඳහා අත හිත දීමටත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒත් තාම ඒකට පෙලඹුණේ නැහැ. මේ වන විට ඒ සම්බන්ධයෙන් යම්කිසි දෙයක් කෙරෙමින් පවතිනවා. ඊළඟ මාස කිහිපය ඇතුළත මම ගීතයක් කරයි. ඒ සඳහා සූදානමක් තියෙනවා.

 

ඔබේ ෆේස් බුක් පිටුව තුළ ලොකු ඉලුමක් තියෙනවා දේශපාලනයට එන්න කියලා. ඒ ගැන මොකද්ද තියෙන අදහස?

මම හැමදාමත් කිව්වේ දේශපාලනයට එන්නේ නැහැ කියලා. ඔබ කියනවා වගේ මට බොහෝ සේ ආරාධනා ලැබෙනවා අලුත් තරුණ කණ්ඩායමක් එක්ක ඇවිත් මේ රට ගොඩ දාන්න කියලා. දේශපාලනය කියන්නේ නරක දෙයක් නෙවෙයි. හොඳීන් තේරුම් ගෙන නියමාකාරයෙන් ක්‍රියාත්මක වුණොත් ඒ හරහා මිනිසුන්ට ලොකු සේවයක් කළ හැකියි. එහෙත් පවතින ක්‍රමවේදය තුළ දේශපාලන සංස්කෘතිය හැදිලා තියෙන විදිහ එක්ක තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් දේ සීමා සහිතයි. මම මෙතෙක් දේශපාලනයට එන්නේ නෑ කිව්වත් මම යමක් කළ යුතුයි නේද කියන ප්‍රශ්නය මගෙන්ම මම අහනවා.

 

ඔබත් බොහෝ වෙලාවට විනිසුරුවරයෙක් ලෙස දකින්න ලැබෙන ලංකාවේ පැජන්ට් ගැන ඔබට තියෙන්නේ මොනවගේ අදහසක්ද?

පැජන්ට් කියන විට මටත් වරදකාරී හැඟීමක් එනවා. මොකද අවුරුද්දට පැජන්ට් දෙක තුනක මමත් විනිශ්චය කරනවා. දැනට වසර විසි පහක පමණ කාලයක සිට මම එය කරනවා. ලංකාවේ ඉතා විශාල ප්‍රමාණයක් පැජන්ට් තියෙනවා. මේවායේ කිසිම ප්‍රමිතියක් නැහැ. විනිශ්චය පිළිබඳවත් නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. ඇතැම් වෙලාවට මේවායේ සංවිධායකවරු අපේ විනිශ්චය හා එකඟ නොවන අවස්ථා තිබෙනවා. පෞද්ගලිකව මමත් ඒ අද්දැකීම ලබලා තියෙනවා. මගේ අදහස නම් මේවට යම් නියාමනයක් තියෙන්න ඕනේ. රජය හෝ මැදිහත්වීමෙන් යම් වැඩ පිළිවෙළක් මේ වෙනුවෙන් ගොඩ නැඟිය යුතුයි. ජාතික මට්ටමින් තිබිය යුතු තරග හා ඒවා සිදු කළ යුතු ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් නියාමනයක් තිබිය යුතුයි. ඒ වගේම යම් පැජන්ට් එකක් තියන්න නම් අදාළ සංවිධායකවරයා කෙතරම් සුදුසුද යන්න බැලීමට වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

 

ලංකාවේ නම ගිය නිෂ්පාදන බොහොමයක සන්නාම තානාපති වන්නේ ඔබ?

මම තෝරාගෙනයි එය සිදු කරන්නේ. එන හැම බ්‍රෑන්ඩ් එකම එහෙම කරන්නේ නෑ. අවුරුදු දෙකකට සැරයක් මගේ ප්‍රතිරූපයට හානියක් නොවන මගෙන් යම්කිසි දෙයක් දෙන්න පුළුවන් රටට වැදගත් රටේ ආර්ථිකයට හානියක් නොවන ගුණාත්මක නිෂ්පාදනයක් තියෙනවා නම් මම එහි සන්නම තානාපති කෙනෙක් ලෙස ඉදිරිපත් වනවා.

 

කොහොමද ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම ඉහළයි. ඒ එක්කම තව පිරිසක් මම රඟපාන්නේ ඇයි කියන ප්‍රශ්නය මතු කරනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ව්‍යාපාර ලෝකයේ ඉන්න කෙනෙක් මේ මොකද්ද කරන්නේ කියලා. මම ව්‍යාපාර ලෝකයෙන් පිට ගිහින් කරපු හැම දේකදීම මිනිසුන් එය එකවර වැලඳ ගන්න අකමැති වුණා. මට එක් අවස්ථාවක බ්‍රෑන්ඩ් එකක ප්‍රමෝෂන් කරද්දි එහි නිරූපණ ශිල්පියා විදිහට කමිසය නැතුව කෝට් එක විතරක් ඇදින්න වුණා. ඒ අවස්ථාවේ අහුවා ඇයි කිෂු ගෝමස් පපුව පෙන්නගෙන ඉන්නේ කියලා. ටැලන්ට් ෂෝ එකට යද්දි ඇහුවා ඇයි කිෂු ඕවට යන්නේ කියලා. මම දන්නවා ඒ අය මම ගොඩනඟාගත් ප්‍රතිරූපයට හානියක් වේ යැයි බියෙන් මට තියෙන ආදරයට මෙහෙම කියන්නේ කියලා. ඒත් මේ විවිධ දේ කිරීම තුළින් අවසානයේ තමන්ගේ ජීවිතයෙන් තමන් වැඩ ගන්න ගමන් අනෙකාට යම්කිසි ආදර්ශයක් සපයන ගමන් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට හැකියි.