වැඩවලදී මට අලුත් පරණ කියලා භේදයක් නැහැ

සුජීව ප්‍රියාල්
ජූලි 8, 2021

 

දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙකු වගේම අධ්‍යක්ෂවරයෙකු විදියට විවිධ කලා නිර්මාණ ඔස්සේ නවමු අත්දැකීම් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න නිරන්තරයෙන් උත්සාහ කරන කලාකරුවෙක් ලෙස සුජීව ප්‍රියාල් හඳුන්වන්න පුළුවන්. ඔහු මෑත කාලයේ සිට නැවතත් ටෙලි නිර්මාණ රැසකින් ඔබ හමුවට එනවා. ඒ අතරින් ඔහු පණ පොවන හිරු නාළිකාවේ විකාශය වන "දිවි තුරා" ටෙලිනාට්‍යයේ තේමියගේ චරිතය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. එකී චරිතය ගැන වගේම වසංගත තත්ත්වය හමුවේ කලාවේ ඉදිරිය ගැනත් සුජීව අප සමඟ බොහෝ දේ පැවසුවා. මේ ඒ කතාබහයි.

 

*සුජීව ප්‍රියාල් නිතර දෙවේලේ රූපවාහිනියෙන් දකින චරිතයක් වෙලා?

මම සෑහෙන්න කාලෙකට පස්සේ ආයෙමත් ටෙලිනාට්‍යවල රඟපාන්න පටන්ගත්තේ. පසුගිය කාලේ 'සුපර්ණා' චිත්‍රපටයටයි ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යයටයි කාර්යබහුල වුණා. සමහර අවස්ථාවලදි ටෙලිනාට්‍යවල රඟපාන්න ආරාධනා ලැබුණත් කාර්යබහුලකම නිසා ඒවාට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. අවුරුදු පහකට විතර පසුව තමයි මම ටෙලිනාට්‍යවල රඟපාන්න පටන් ගත්තේ. චිත්‍රපටය තිරගත වුණු පසුව මට පොඩි නිදහසක් ලැබුණා. දැන් ඒ නිදහසෙන් ප්‍රයෝජන ගන්නවා.

 

මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණ ගැන කතා කළොත්?

මේ දවස්වල රූගත කිරීම් කරන්නේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන "ස්නැප්" ටෙලිනාට්‍යයේ සහ හිරු නාළිකාවේ විකාශය වන "දිවි තුරා" ටෙලිනාට්‍යයේ. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු "ඉන්‍ටර්නැසනල්" කතා මාලාවේ දෙවැනි අදියරේ රූගත කිරීම් පටන්ගත්තා. කොරෝනා තත්ත්වය නිසා ඒ කටයුතු ටිකකට නතර කළා. "ස්නැප්" ටෙලිනාට්‍යයේ අවසන් කොටස් ටික රූගත කරමින් ඉන්නවා. "දිවි තුරා" ටෙලිනාට්‍යය නම් තව ටික දවසක් රූගත කරයි.

 

මේ අතරින් ඔබ වඩා ජනප්‍රිය 'දිවි තුරා' ටෙලිනාට්‍යයේ තේමියගේ චරිතයෙන්.

තේමියෙගේ චරිතය ගොඩක් වෙලාවට ප්‍රේක්ෂාගාරය කැමති චරිතයක්. ජනප්‍රිය නාළිකාවක රියැලිටි වැඩසටහනක නිෂ්පාදකගේ භූමිකාව මට පැවරෙන්නේ. මෙවැනි චරිතවල අපට පසුබිම දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ රියැලිටි කලාව තුළ දැවැන්ත පෙරළි කරපු අය ඉන්නවා. උදාහරණයක් විදිහට නිලේන්ද්‍ර දේශප්‍රිය, නිමල් ලක්ෂපතිආරච්චි වගේ අයගේ නම් මුලින්ම සඳහන් කරන්න ඕනේ. අනෙක් නාළිකාත් මොවුන් අනුකරණය කරමින් තමයි රියැලිටි කරන්න ගත්තේ. මේ දැවැන්ත චරිත රියැලිටි වැඩසටහන්වලින් ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන්නේ නැහැ. කලාකරුවන්, තරගකරුවන්, විනිශ්චය මණ්ඩලය, නිවේදකයන් වගේ අය විතරයි පෙනෙන්න ඉන්නේ. ඒත් වේදිකාව පසුපස ඉඳලා මේ හැමදේම මෙහෙයවන චරිතය තමයි නිෂ්පාදකවරයා කියන්නේ. තේමියගේ චරිතයේ සුදු සහ කළු දෙපැත්තම තියෙනවා. ඒ චරිතයට මම ආදරෙයි. තේමිය කියන්නේ වැඩසටහන් වෙනුවෙන් තමන්ගේ නාළිකාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු චරිතයක්. තේමියට රියැලිටි වැඩසටහන තුළ ඇතැම් අයගෙ දෝෂාරෝපණයට ලක්වෙන්න වෙනවා. ඒ වගේම දිවි තුරා ටෙලිනාට්‍යය බලන ප්‍රේක්ෂාගාරයෙනුත් නිතරම ආවේගශීලීව කෑගහනවා කියලා දෝෂාරෝපණ එනවා මට. සමස්තයක් විදිහට ගත්තාම නාළිකාවල වැඩසටහන් තුළ මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ චරිත ඉන්න පුළුවන්.

 

තේමියව සුජීවට මුණගැහෙන්නේ කොහොමද?

දිවි තුරා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ චාමර ජයවීර කියන්නේ මගේ හිතවතෙක්. ඔහුව මම කලින් ඉඳලාම දන්නවා. ඔහු එක්ක වැඩ කරලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ චාමර ජයවීර කියන්නේ ටෙලිවිෂන් කලාවේ ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක්. ඔහුට රියැලිටි වැඩසටහන් ගැන හොඳ අවබෝධයක් සහ දැනුමක් තියෙනවා. චාමර මට කතා කරලා මේ චරිතය ගැන සහ රියැලිටි වැඩසටහන් ගැන යම් යම් දේවල් කිව්වා. ඒ වගේම මම හිරු නාළිකාවේ පවත්වන සජීවී වැඩසටහන් සහ රියැලිටි වැඩසටහන් බලන්න ගියා. මට ඒක හොඳ අත්දැකීමක්. රංගන ශිල්පියෙක් වුණාම අපිට හැම වෙලාවෙම ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි අවට ඉන්න චරිතවල දේවල් උදුරගන්න තියෙනවා. මේ චරිතයේ සමහර දේවල් මම චාමරගෙන් හොරකම් කරගත්තා, සමහර දේවල් චාමර මට කියලා දුන්න දේවල්.

තේමිය කියන්නේ තමන්ගේ සගයන්ට නිතරම බණින, කෑගහන චරිතයක්. කොහොමද ඒ අත්දැකීම?

රංගන ශිල්පියෙක් තුළ පෞද්ගලිකව තියෙන යම් යම් දේවල් රංගනයකට එකතු වෙනවා. මම රංගන ශිල්පියෙක් ලෙස වැඩ කරපු කාලය තුළ මම හොයාගත්ත දෙයක් ඒක. තේමියගේ තියන හැසිරීම් රටා කිසි දෙයක් මගේ ළඟ නැහැ. මමත් අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරද්දි බොහොම සුන්දර විදිහට විහිළු කර කර වැඩ කළේ. මේ වගේ කලබලකාරී විදිහට හැසිරුණේ නැහැ. තේමිය කියන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒ නිසා මට සිද්ධ වෙනවා මා ළඟ නැති චරිත ලක්ෂණ ටිකක් වෙන අයගෙන් හොයාගන්න. තේමිය එතරම් කලබලකාරී, තරහ යන කෙනෙක් වෙන්නත් හේතුව එයා මේ වැඩේට ඒ තරම් ආදරේ කිරීම. එයා ඒ වැඩේ ගැන තියෙන උනන්දුව පෙන්නන්නෙ මේ විදියට. එයා ස්ටුඩියෝ එකට එන්නෙත් ලොකු ජවයකින්. තේමිය නිතරම කියනවා "මේ රියැලිටි වැඩසටහන් දුවන්න ඕනේ ගැටුමක් එක්ක, ගැටුමක් නැත්නම් ඒවා ජනතාව අතරට යන්නේ නැහැ" කියලා. ඒ ගැටුම ඇති කරන්න එයා මහන්සි වෙනවා. මාත් එක්ක වැඩ කරන සහෝදර රංගන ශිල්පීන් මතක් කරන්න ඕනේ. සරත් කරුණාරත්න, සංජානා ඔනාලි, හෙක්‍ටර් ඩයස්, චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය, මේ අය සමහර වෙලාවට තේමියගේ හැසිරීම් රටාවලට හිනාවෙනවා. තේමිය කේන්ති ගිහින් කෑ ගහලා පිස්සෙක් වගේ දැඟලුවම ඒකට හිනා යනවා. මේ චරිතයේ තියෙන මානුෂික පැත්ත තමයි මම නළුවෙක් විදිහට අල්ල ගන්නේ. එයාට ඉහළින් එන පීඩනය තමයි අවම කරලා එයාගේ පහළින් ඉන්න සමීරට (සරත් කරුණාරත්න) සහ ටීනාට (සංජානා ඔනාලි) දාන්නේ. තේමිය හිනාවෙන්නේ බොහොම අඩුවෙන්. රූපවාහිනී නාළිකාවල නිෂ්පාදකවරු කටයුතු කරන්නේ එහෙම තමයි. ඒ නිසා තේමිය කියන්නේ අතිශයින්ම අනුකම්පා කළ යුතු චරිතයක් ලෙස මම හිතනවා. තේමිය හරිම අහිංසක මනුස්සයෙක්. එයා දිහා ආදරෙන් බලන්න.

 

කොහොමද ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම හොඳයි. කොරෝනා ප්‍රශ්නය නිසා අපිට නිතරම එළියට යන්න වෙන්නේ නැහැ. ඒත් ඉඳලා හිටලා හරි එළියට යන අවස්ථාවලදී හෝ සයිබර් අවකාශයේදී එන ප්‍රතිචාර ඉතා හොඳයි. ඒ ප්‍රතිචාර අතර බහුතරයක් දෙනා තේමියගේ චරිතයේ තියෙන අපූර්වත්වය ගැන නිතරම කතා කරනවා. තේමිය කියන්නේ මේ නිර්මාණයේදී ප්‍රේමවන්තයෙක් නෙමෙයි. එහෙත් ඔහුගේ සූක්ෂ්මකමට සහ ඔහු හා බැඳුණු හාස්‍යජනක සිදුවීම්වලට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ කාර්යය තුළ ඇත්තටම නිරත වෙලා ඉන්න චරිතත් මට කියන්නේ "උඹ ඇත්තම දේ කරනවා" කියලා. මම කාලෙකට පසුව නැවත වතාවක් රඟපාන්න ආවාම ඒ රංගනය ප්‍රේක්ෂකයන් ඉතාම හොඳීන් පිළි අරගෙන තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි.

 

"දිවි තුරා" ටෙලිනාට්‍යයට ප්‍රවීණ රංගන ශිල්පීන් වගේම නවක රංගන ශිල්පීන් රැසක් සම්බන්ධ වෙනවා. "තේමිය"ව ගොඩනඟන්න මේ අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

අලුත් පරණ කියලා භේදයක් නැහැ. ඕනෑම කෙනෙක් එක්ක වැඩ කරන්න මම බොහොම කැමැතියි. මමත් නවකයෙක් විදියට වැඩ කරපු කාලයක් තිබුණා. මගේ සහෝදර රංගන ශිල්පියා හොඳීන් රඟපාන තරමට තමයි මට රඟපාන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කෙනාටත් පහසුවෙන් රඟපාන්න හැකි ආකාරයෙන් මමත් මගේ උපරිම සහයෝගය ලබාදෙනවා. මම හිතනවා හැම කෙනෙක්ම තමන්ගේ තියෙන අත්දැකීම් ප්‍රමාණය සහ ලැබෙන අවස්ථාව අනුව හොඳීන් ඒ ඒ චරිත කරනවා.

අලුත් රංගන ශිල්පීන් එක්ක ඔබ නිතරම වැඩ කරනවා. ඔවුන් ඇත්තටම රඟපානවාද?

මම කැමති නැහැ "මෙයා රඟපානවා, මෙයා රඟපාන්නේ නැහැ" කියලා කියන්න. ඒ අය වැඩ කරන්නේ ඒ අයට තියෙන අත්දැකීම් අනුව. අපි වේදිකා නාට්‍යවල රඟපාලා යම් යම් අත්දැකීම් අරගෙන තමයි රංගන ක්ෂේත්‍රයට එන්නේ. ආවා ගියා අය වගේ නෙමෙයි. දැන් වසර විසිහතකට ආසන්න කාලයක් තමවත් ඉගෙන ගනිමින් අත්දැකීම් ලබමින් ක්ෂේත්‍රයේ ඉන්නවා. අලුත් පරම්පරාවට අපට වගේ අවස්ථාවන්, අත්දැකීම් ලැබිලා නැහැ. ඒ නිසා ඒ අයට චෝදනා කරන එක හරි නෑ කියලා මම හිතනවා. අලුත් පරම්පරාවට මේ ඩිජිටල් වුණු ලෝකය තුළ රඟපාන්න වෙලා තියෙන්නේ. මම තරුණ පරම්පරාවට ආදරෙයි. උන් ඉස්සරහට එන්න නම් අපි උන්ට මොරාල් එකක් දෙන්න ඕනෑ. මෑත කාලයේ සරත් කරුණාරත්න, දසුන් පතිරණ, කලණ ගුණසේකර, සජිත අනුත්තර, කෝකිල පවන් වගේ හොඳ තරුණ රංගන ශිල්පීන් ඉන්නවා. ඒ අය ගැන බැලුවොත් ඔවුන් කොහේ හරි තැනකින් හොඳ පසුබිමක් හදාගෙන තමයි වැඩ පටන් අරගෙන තියෙන්නේ. නමුත් ඒ අවස්ථාව හැම කෙනකුටම ලැබිලා නැති වෙන්න පුළුවන්. තරුණ අය එක්ක වැඩ කරන ප්‍රවීණයෝ ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මහේන්ද්‍ර අයියා. ඔහු රංගනයට හොඳ තරුණ පරම්පරාවක් හදමින් පවතිනවා. එදා ඉඳලා අද වෙනකන් මමත් ඔහුගෙන් ඉගෙනගන්නවා.

 

'මචං' චිත්‍රපටය අපිට අමතක කරන්න බැහැ.?

'මචං' චිත්‍රපටයේ මමයි මහේන්ද්‍ර අයියයි එකට රඟපානවා. ඒ වගේ ප්‍රවීණයෙකුගේ ඇසුර අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ හොඳ තැනකට එන්න නම්. ඒ කාලේ අපිව බල්ලෙක්වත් දන්නේ නැහැ. උබෙර්තෝ පැසොලිනි කියන අධ්‍යක්ෂවරයා ඒ චිත්‍රපටයට ටෙලිනාට්‍යවලින් කවුරුත්ම නොගෙන වෙනම තිරපරීක්ෂණයක් තියලයි කට්ටිය ගත්තේ. මම, ධර්මප්‍රිය, නාමල් අපි ඔක්කොම තිරපරීක්ෂණයකින් තේරුණේ. ඒ කාලේ වෙද්දි අපි කවුරුත් එහෙම ජනප්‍රිය අය නෙමෙයි. අපිත් එක්ක ඒ කාලෙත් මහේන්ද්‍ර අයියා වැඩ කළා. ඒ ඇසුර අපිට සෑහෙන්න වටිනවා. කොහොමත්ම නිකං නළුවෝ බිහිවෙන්නේ නැහැ. ලස්සන පාට තිබුණාට, ඇඟපත තිබුණාට, කොන්ඩෙ ලස්සන වුණාට නළුවෙක් හැදෙන්නේ නැහැ. චරිතාංග නළුවෙක් වෙන්න නම් හොඳ පසුබිමක් තියෙන්න ඕන.

 

සුපර්ණාට මොකද වුණේ?

"සුපර්ණා" චිත්‍රපටය කොරෝනා පළමු වෙනි රැල්ලට හසු වුණා. පළමු වෙනි රැල්ල ආපු ගමන් සිනමාශාලා වැහුවා. ඒත් එක්කම චිත්‍රපටය පෙන්නගන්න බැරි වුණා. චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ පෙබරවාරි 16 වැනිදා. සතියක්වත් තිරගත කරන්න ලැබුණේ නැහැ. ඉන්පසුවත් කොරෝනා දෙවැනි, තෙවැනි රැලි ආපු නිසා දෙවැනි වරට චිත්‍රපටය තිරගත කරන්නත් අපිට ලැබුණේ නැහැ. චිත්‍රපටය නැවත වතාවක් තිරගත කරන්න කැමතියි. ඒත් මේ වසංගත තත්ත්වයත් එක්ක ඉදිරිය අපිට පැහැදිලි නැහැ. මගේ පෞද්ගලික මතයත් පිරිසක් එකතු වෙන විදිහට වැඩක් කරනවට වඩා ටෙලිනාට්‍යයක් කරගෙන ඉන්න එක හොඳයි කියන එක. අපි මේ ගත කරන්නේ සංක්‍රාන්ති කාලයක්. කලාවට විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයකටම ඒක අදාළයි.

 

මිනි සීරීස්, ටෙලි ෆිල්ම් වගේ ටෙලිවිෂනය හා සම්බන්ධ නව අත්හදා බැලීම් මේ වෙද්දි කෙරෙනවා. ඒ වගේ අලුත් වැඩක් කරන්න අදහසක් නැද්ද?

අලුත් වැඩක් කරන්න බොහොම කැමැතියි. මේ හැමදෙයකම අවසානයට වාණිජ පරමාර්ථයක් තියෙනවා. එතකොට ඒ පරමාර්ථය තුළ කවුරු හරි කෙනෙක් නිර්මාණයකට මුදල් යොදන්නේ පර්යේෂණ කරන්න නෙමෙයි. ඔවුන් මුදල් දාන්නේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන්. ඒත් දැන් මාධ්‍ය ආයතන පවා රටේ තියෙන තත්ත්වයත් එක්ක අමාරුවෙන් යන්නේ. ටෙලිනාට්‍යයකට යොදවන මුදල් නැවත ගන්න අපහසුයි. අලුත් වැඩ කරන්න කැමැතියි. ඒත් දැන් තියෙන තත්ත්වයත් එක්ක ඒ වැඩවලට ප්‍රතිපාදන යොදවන්න නිෂ්පාදකයන් මැළි වෙනවා.

 

දැන් සයිබර් අවකාශයේ වෙනත් වේදිකා හදාගෙන කලාකරුවන් විවිධ වැඩ කරනවා ?

අපිත් ඒ වෙනුවෙන් යම් යම් දේවල් කරමින් ඉන්නේ. මම, දුලීකා, මිහිර අපි තුන්දෙනා එකතුවෙලා යූටියුබ් එකට ටෙලි සීරීස් එකක් හදමින් ඉන්නේ. මේ දිනවල එහි සංගීත කටයුතු කරමින් ඉන්නෙ. මම හිතනවා ඒක අලුත් අත්දැකීමක් වෙයි කියලා. මේ රටේ මිනිස්සුන්ගේ චර්යා චින්තන, ආකල්ප වෙනස් කරන්නෙ කොහොමද කියල අපි නිතරම කතා කරනවා. ඒක කලා නිර්මාණයකින් කොහොමද වෙන්නේ කියලා අපි පෙන්නනවා. ඒකේ නම "පොඩ්ඩෙ රාළහාමි". "ච්භතඥඥඬච ර්චපචනචදච" යූටියුබ් නාළිකාවෙන් අපි ඒක ජනගත කරන්න බලාපොරොත්තු වෙනවා.

 

කොරෝනා වසංගතය නිසා වේදිකාව හැමෝටම අමතක වෙන තැනට ඇවිත් නේද?

ඔව්. ඒ ගැන ඇත්තටම මට කණගාටුයි. වේදිකා නාට්‍යයක් තියන්නේ වේදිකාව උඩ මිසක් වෙන කොහේවත් නෙමෙයි. ඒක වීඩියෝ කළාට වේදිකා නාට්‍යයක් වෙන්නේ නැහැ. ඒක සජීවී මාධ්‍ය ප්‍රකාශනයක් නිසා අත්දැකීම සජීවී වෙන්නම ඕනේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේ වේදිකා නාට්‍යයක් කරන්න අපි සැලසුම් කළා. ඒ කටයුතු නතර කරන්න වුණා කොරෝනා නිසා. වේදිකාව ගැන තවමත් බලාපොරොත්තු තියාගෙන අපි ඉන්නවා. වේදිකාවේ අනාගතය ගැන දැන්මම අපිට හිතන්න බැහැ. චිත්‍රපටවලට නෙට්ෆ්ලික්ස් වගේ වෙනම මාධ්‍යයක් හොයාගත්තා වගේ වේදිකාවටත් වෙනම මාධ්‍යයක් ඉදිරියේදී එයි කියලා හිතනවා. ඒත් මම තවමත් හිතන්නේ වේදිකා නාට්‍ය‍යක් තියෙන්නේ වේදිකාව තුළ මිසක් වෙන කොහෙවත් නෙමෙයි කියලා. වේදිකාවෙන් ජීවත් වුණ පිරිසක් ඉන්නවා. ඒ අය ජීවත් වෙන්නේ කොහොමද කියන ගැටලුව තවමත් තියෙනවා.

"පිරිමි ලස්සන වයසට ගියාට පසුව" බව බොලිවුඩ්, හොලිවුඩ් රංගන ශිල්පීන්ගෙන් වගේම ලංකාවේ රංගන ශිල්පීන්ගෙනුත් ඔප්පු වෙනවා කියලා සමාජ මතයක් හැදිලා තියෙනවා. සයිබර් අවකාශයේ ඔබවත් ඒ සඳහා උදාහරණයට ගන්නවා.

ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ වයස නෙමෙයි. තමන් හිතන විදිහයි ප්‍රශ්නේ. හැමෝම මගෙන් අහනවා කොණ්ඩේ පාට කරලාද කියලා. එතකොට මම කියන්නේ පාට කරන එක නතර කළා කියලා. මගේ වයස දැන් අවුරුදු හතලිස් අටක්. ඒ වයසට මම මෙහෙම ඉන්නවා. ඇත්තටම ඔය හැඩරුව ගැන ප්‍රතිචාර මං බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි. සුපර්ණා චිත්‍රපටයේ රඟපාන රංගන ශිල්පීන්ව මොරාල් කරන්න මමත් මගේ කොණ්ඩෙ තට්ටෙ ගෑවා. තට්ටෙ ගාලා ආයෙමත් කොණ්ඩේ එද්දී තමයි මම දන්නෙත් මේ වගේ කොණ්ඩයක් මට තියෙනවා කියලා. දැන් ඒක වෙනම විලාසිතාවක් වෙලා තියෙනවා.

 

රංගනය ගැන තමන් දන්න දේ අනිත් අයට උගන්වන්න සුජීව කැමති නැද්ද?

ඒ වැඩේ මට හරියන්නේ නැහැ. අපේ පරම්පරාවේ හොඳ ගුරුවරයෙක් තමයි නාමල් ජයසිංහ කියන්නේ. කෙනෙක්ට යම්කිසි විෂයයක් ගැන දැනුම සහ අවබෝධය දෙන්න ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය දැනගන්න ඕනේ. මම අධ්‍යක්ෂණය කරන වැඩවලදි ඒ අධ්‍යක්ෂණය තුළ යම් යම් දේවල් නළුවන්ට කියලා දෙන්න දන්නවා. ඒ හැර වෙනම අධ්‍යාපනය දෙනවා කියන්නෙ වෙනම කාරණාවක්. හොඳට රඟපාන්න පුළුවන් කියලා හැමෝටම ඒක ගැන උගන්වන්න බැහැ. ගොඩක් දේවල් කරන්න යනවාට වඩා පුළුවන් දේ හරියට කරන එක තමයි වැදගත්. (සිනාසෙමින්)

 

නැවත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?

නැහැ. මට දීර්ඝකාලීන සැලසුම් නැහැ. මම කෙටිකාලීනව සැලසුම් කරලා වැඩ කරන කෙනෙක්. කාලෙකට පසුව නැවතත් මම රඟපානවා. මට රඟපාන්න ආරාධනා ලැබෙමින් තියෙනවා. මම අධ්‍යක්ෂණයට ගිය නිසා රංගනය මඟහැරුණා. දැන් රඟපානවා. ඒක අවසානය නෙමෙයි. ඉදිරියේදී වෙනත් අධ්‍යක්ෂණ කටයුතු කරයි.

 

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?

'ඉන්ටර්නැසනල් 2' ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ළමයි ටිකක් වැඩිපුර දාලා කරන වැඩක් නිසා රටේ තත්ත්වය යහපත් අතට හැරෙන තෙක් ඉන්නේ රූගත කිරීම ආරම්භ කරන්න. ඒ වගේම අපේ යූටියුබ් නාළිකාවේ අලුත් වැඩේ "පොඩ්ඩේ රාළහාමි" අධ්‍යක්ෂණ කටයුතුත් මම කරන්නේ. ඒ වගේම වේදිකා නාට්‍යයක් පෙන්වන්න පුළුවන් කාලෙක අලුත් වේදිකා නාට්‍යයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.