ආචාර්ය රෝහණ වීරසිංහට යූ ටියුබ් සම්මානයක්

ජූලි 15, 2021
 
 
වත්මන් මාධ්‍ය ලෝකය තුළ යූ ටියුබ් නාළිකාවලට ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. අද බහුතරයක් දෙනා විවිධ විෂයයන් ඔස්සේ මෙන්ම , තමාට ආවේණික වූ මාධ්‍යය තුළ තමන්ගේම යූ ටියුබ් නාළිකාවන් පවත්වාගෙන යති. අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ බැබළෙන සුවිශේෂ චරිතයක් වන ආචාර්ය රෝහණ වීරසිංහයන්ද කලකට ඉහත මෙවන් යු ටියුබ් නාළිකාවක් ආරම්භ ක‍ළේය. පසුගිය මාර්තු මාසය වනවිට එම යු ටියුබ් නාළිකාවේ ග්‍රාහකයන් ලක්ෂය ඉක්මවා ගියේය. එය යු ටියුබය තුළ එක්තරා සන්ධිස්ථානයක් ලෙසින් සනිටුහන් වන බැවින් ජාත්‍යන්තර යූ ටියුබ් ආයතනය විසින් ආචාර්ය රෝහණ වීරසිංහයන් සම්මානනීය කළේය. මේ පිළිබඳත් සංගීත ක්ෂේත්‍රෙය් අලුත් තොරතුරත් සමඟ මෙවර අපේ කතා බහ ආචාර්ය රෝහණ වීරසිංහයන් වෙත යොමු විය.
 
යූ ටියුබ් යන්න බොහෝ විට තරුණ නිර්මාණකරුවන් අතර ප්‍රචලිත මාධ්‍යයක්. ඔබ මේ වෙත පිවිසෙන්නේ කොයි කාලෙද?
 
මගේ යූ ටියුබ් නාළිකාව පටන් ගන්නේ 2019 නොවැම්බර් මාසේ. කොවිඩ් තත්ත්වයට රට වහන්න කලින්. මට මේ යූ ටියුබ් සංකල්පය ගැන කිසිදු දැනුමක් තිබුණු කෙනෙක් නොවෙයි. ඒ ගැන මගේ උනන්දුවක් තිබුණෙත් නෑ. ඒත් මම දැනගෙන හිටියා අපේ තරුණ පරම්පරාව අතර මේ සංකල්පය අතිශයින් ජනප්‍රියයි කියලා. අපේ සංගීත ක්ෂේත්‍රයේ නියුතු තරුණ පරම්පරාව අතර ඉරාජ් වීරරත්න මෙතනදි ඉදිරියෙන්ම සිටියා. ඒ හැරුණුකොට භාතිය- සන්තුස්, සංගීත් විජේසුරිය, සනුක වික්‍රමසිංහ, රොමේෂ් සුගතපාල වගේ පිරිසක් හිටියා. ඔවුන් අපි වගේ ගුවන් විදුලි නාළිකා සමඟ වැඩි ගනු දෙනුවක් තිබුණේ නෑ. ඔවුන් කළේ ඔවුන්ගේ නිර්මාණ යූ ටියුබය හරහා ජනගත කරන එක. ඒකෙන් ඔවුන්ට ආදායමකුත් ලැබුණා. 
මට මේ යූ ටියුබ් සංකල්පය ගැන මුල්ම දැනුම්වත් කිරීම සිද්ධ කරන්නේ සංගීත් විජේසූරියයි. ඔහු මට ඉතාම හිතවත් නිතර කතා බහ කරන කෙනෙක්. ඔහු මාව දැනුවත් කළා. දවසක් මට රනුර පෙරේරා කියන තාක්ෂණවේදියා විසින් පැය දෙකක ප්‍රසන්ටේෂන් එකක් මේ පිළිබඳ කළා. මගේ නිර්මාණ වෙන අය අන්තර්ජාලයට දාල මුදල් හම්බකරන ආකාරයත් මේ මඟින් පැහැදිලි කර ගන්න හැකි වුණා. ඇත්තටම මේ ගැන මට හරි වැටහීමක් ලැබුණට පස්සේ මට පුදුම හිතුණා . ඊට පස්සේ මේ ගැන මම මගේ ලොකු පුතා කළිඳුට කිව්වා. එයාත් අයි. ටී සම්බන්ධව ඉගෙන ගෙන ඒ අශ්‍රිත රැකියාවක නියුතු වෙන කෙනෙක්. ඊට පස්සේ කළිඳුයි , රනුරයි එකතු වෙලා මගේ යූ ටියුබ් නාළිකාව නිර්මාණය කළා.
 
මෙවන් නාළිකාවකට ඔබට තරම් ගීත ඇතුළත් කළ හැකි වෙනත් සංගීතඥයෙකු නැතුව ඇති. සරල ගීත ගත්තත්, කැසට් ගීත ගත්තත්, චිත්‍රපට ගීත ගත්තත් මේ සියල්ල අතරේ ඔබ ඉදිරියෙන්ම ඉන්නවා?
ඇත්තෙන්ම ඔව්. මේ වගේ චැනල් එකකට ගීත ඇතුළත් කරන්න මා තරම් නිර්මාණ සංඛ්‍යාවක් කරපු කවුරුත් නෑ. මේක පටන් ගන්න ටිකක් වියදම් කරන්න ඕන. රෙජිස්ටර් කරන්න ඕන . ගීත අප්ලෝඩ් කරන්න ඕන. 
 
දැනට සින්දු කීයක් අප්ලෝඩ් කරලා තියෙනවද?
 
මුලින්ම අප්ලෝඩ් කළේ සින්දු 1500ක් විතර. දැන්නම් ගීත 2000ත් පන්නලා ඇති. පරණ සින්දු වගේම අලුත් නිර්මාණත් දැන් අප්ලොඩ් කරනවා. මගේ සමහර ගීත අහලා සමහරු කියනවා ඒ ගීත නිර්මාණය කළේ මමද කියලා දන්නේ දැන් කියලා . විශේෂයෙන් තරුණ පරපුර ගීතය දැනගෙන හිටියට එහි නිර්මාණකරුවා ගැන දැනගෙන ඉඳලා නෑ. අනිත් පැත්තෙන් බොහෝ විට නොඇසෙන ගීතත් මේ නිසා තරුණ පරපුර අතර ජනප්‍රිය වුණා.
යූ ටියුබ් නාළිකාවෙන් අපට ආදායමක් ලබන්න මාස 4-5 ක් වැනි කාලයක් ගත වෙනවා. මම කල්පනා කළා මේ මඟින් මට ලැබෙන මුදල් තනියෙන් සාක්කුවේ දාගන්නේ නැතුව මේ නිර්මාණවලට දායක වුණු සෙසු පාර්ශ්වවලටත් ලබා දෙන්න. මම 1970 වගේ දිර්ඝ කාලයක ඉඳලා මේ නිර්මාණ කළේ  මුදල් මතම යැපෙමින් නොවෙයි. අපට අවශ්‍ය වුණේ හොඳ නිර්මාණයක් බිහි කිරීම පමණයි. ගීත රචකයා , සංගීතඥයා , ගායකයා යන තුන් දෙනාගේම මහන්සියේ , දක්ෂතාවයේ ප්‍රතිඵලයක් ඒක. ඒත් මෙතැනදි මම විශ්වාස කරනවා ගීත රචකයාට තරම් මෙයින් අසාධාරණයක් ලංකාවේ වෙන කාටවත් වෙලා නෑ කියලා. සංගීත අධ්‍යක්ෂවරයාට වුණත් ඒ මඟින් වෙන වෙන වාසි සැලසෙන්න පුළුවන්. ඉතින් මේ ගීත රචකයා කියන චරිතය මෙතැනදි අසාධාරණයට ලක්වීම, බොහෝ දෙනෙක් අමතක කර තිබිම මට හිතට හරි වදයක් වෙලා තිබුණේ. ඒ නිසා මම පටන් ගත්තා මට ලැබෙන ආදායම බෙදලා ඒ අයටත් ලබා දෙන්න. 
ජාත්‍යන්තර නීතිය අනුව , ලෝක සම්මත නීතිය අනුව ගීතයක අයිතිය තිබෙන්නේ ගීත රචකයාට සහ සංගීත අධ්‍යක්ෂවරයාටයි. ඒත් මම සුනිල් එදිරිසිංහ , නන්දා මාලිනි වැනි ගායක ගායිකාවන්ප්‍ ප්‍රමාණයකටත් මේ ආදායම ලබා දුන්නා. ඒත් වැඩිපුර ප්‍රමාණයක් දුන්නේ ගීත රචකයින්ටයි. 
 
දැන් ගීත රචකයෝ කොපමණකට ගෙවලා තියෙනවද?
 
මගේ ගීත වැඩිපුර ප්‍රමාණයක් ලියලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න , බන්දුල නානායක්කාරවසම්, කුමාරදාස සපුතන්ත්‍රී, කුලරත්න ආරියවංශ වැන්නෝ. ඔවුන්ට මට යම්කිසි ආදායමක් ලබලා දෙන්න පුළුවන් වුණා. මුල් කාලයේ මම ඔය ලැබෙන ගණන් පොත්වල ලියලා හරිම ප්‍රාථමික ක්‍රමයකට තමයි ගණන් හිලව් බේරුවේ . නමුත් දිගින් දිගටම මට ඒ කටයුත්ත කරන්න බැරිවුණා. මගේ පරිගණක දැනුමත් දුර්වලයිනේ. දැන් ලොකු පුතා ඕස්ට්‍රේලියාවේ ඉඳලා නාළිකාවේ කටයුතු හරියට හොයලා බලලා කරනවා. පොඩිපුතා ලංකාවේ ඉඳගෙන මුදල් කළමණාකරන කටයුතු ටික බලාගන්නවා. ඒවා හරිම ක්‍රමවේදයකට පිළිවෙළකට කරන්න සැලසුම් කරලා තියෙනවා. 
 
මේ නාළිකාව නිසා ඔබට ලැබුණු සම්මානය පිළිබඳ කතා කළොත්?
 
අපි හිතුවේ නෑ මේක මේ තරම් ඉක්මනින් ජනප්‍රිය වෙයි කියලා. 2021 මාර්තු මාසය වෙනකොට මගේ නාළිකාව නරඹන ග්‍රාහකයෝ ලක්ෂය ඉක්මවා ගියා. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව ඒකට මට රිදී සම්මානය ලැබුණා. ඒ වෙනුවෙන් නිර්මාණය වුණු රිදී ඵලකයක් ඔවුන් මට තැපෑලෙන් එවලා තිබුණා. මේ විදියේ ජයග්‍රහණ හිමිකර ගත්ත යූ ටියුබය නිතර පාවිච්චි කරන තරුණ පිරිස් ඇති. නමුත් මම වගේ කෙනෙක් , අපිට තිබුණ ශෛලියත් එක්ක මේ වගේ දෙයකින් ඉදිරියට ගියා කියන එක විශේෂත්වයක්. පටන් අරන් වසර එක හමාරක් වැනි කාලයක් තුළ මට ඉන්න නරඹන්නෝ වැඩියි. අවස්ථා කිහිපයකදීම අංක එකට ආවා. දැනට මේ නාළිකාව හරහා වීඩියෝ 200 ක් පමණත්, ගීත 2000 ක් පමණත් ඇතුළත් කරලා තියෙනවා. 
 
මීට කලින් ඔබේ ගීත ඔබ දන්නෙත් නැතුව විවිධ පුද්ගලයන් අප්ලෝඩ් කරපු අවස්ථා ඇති?
අනන්තවත් තියෙනවා. මගේ නිර්මාණ ජධමඥප ඵධදඨ සඳහා යොදා ගත් අවස්ථාත් තියෙනවා. මම ඒවා දන්නෙත් නෑ. මට කලින් ඒවා දාලා තියෙනවා නම් ඒවා මගේය කියා ඔප්පු කිරීමට මට සාධක තිබිය යුතුයි. මගේ ගීත ලැයිස්තුව නීත්‍යානුකූලව රෙජිස්ටර් වුණාට පස්සේ ඒවා අවභාවිත කරන්නත් මේ නිසා බැරිව යනවා. 
 
මේ දිනවල ඔබේ අලුත් නිර්මාණ කටයුතු මොනවද?
 
පහුගිය දිනවල ස්වාධීන රූපවාහිනි සේවයට කොරියන් කතාවක තේමා ගීත ගායනයෙන් හා සංගීතයෙන් දායක වූණා. මේ දිනවල විකාශය වන සූරිය කුසුම ටෙලි වෘත්තාන්තය තමයි ඒ නාට්‍යය. අතුල රන්සිරිලාල්ගේ දෙබස් කැවිමක් වන මේ නාට්‍යයේ මම තේමා ගී ගායනය කරන්නේ තරුණ ගායන ශිල්පිණියක් වන සශිකා නිසංසලා සමඟ. අතුල රන්සිරිලාල් මිට කලින් කරපු බොහෝ නිර්මාණ සඳහා මම මීට කලිනුත් දායක වෙලා තියෙනවා . ඔහු මට මෙවරත් ආරාධනා කළා. විශේෂයෙන්ම මම වගේ වියපත් මිනිසෙකුට සශිකා නිසංසලා වැනි තරුණ ගායන ශිල්පිණියක සමඟ  යුග ගීත ගයන්න ලැබීමත් සුවිශේෂ අවස්ථාවක් විදියට මම දැක්කා. මේ ගීතය මම නිර්මාණය කළෙත් කොරියානු සංගීතය ඇසුරු කරගෙන. ඊට අමතරව මේ දිනවල මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අලුත් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒ සමඟම බොහෝ තරුණ ගායක ගායිකාවන්ගෙන් , ගීත රචකයන්ගෙන් ඉල්ලීම් තිබෙනවා ගී තනු නිර්මාණය සඳහා. ඒ නිර්මාණ කටයුතුත් සමඟ තමයි මේ දිනවල කාලය ගත වෙන්නේ .