රංගන ශිල්පියෙක් මැටි පිඩක් වගේ වෙන්න ඕනේ

-දමිතා අබේරත්න
ජූලි 29, 2021

 

ඇය මෙරට කලා ක්ෂේත්‍රයේ චරිතාංග රංගන ශිල්පිනියන් අතර ප්‍රමුඛ ස්ථානයේ සිටින්නීය. දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ කලා නිර්මාණ ගොන්නකින් ප්‍රේක්ෂක හද සන්තානයේ ලැඟුම් ගන්නට සමත් චරිත මවන්නීය. සරසවිය සම්මාන, ජනාධිපති සිනමා සම්මාන, සිග්නීස් සම්මාන, සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන ඇතුළු ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන උලෙළවලදී හොඳම නිළිය ඇතුළු සම්මාන ගොන්නකට හිමිකම් කියන්නීය. 2004 වසරේදී "සුළං කිරිල්ලී" සිනමා පටයේ පෑ රංග ප්‍රතිභාව උදෙසා සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන්නීය. එදා මෙන්ම අදත් ලොකු කුඩා භේද රහිතව ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඈ සමත්වන්නීය. අන් කිසිවෙක් නොව ඒ දමිතා අබේරත්න නම් වූ සම්මානනීය රංගන ශිල්පිනියයි. ඇය මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ "වලවෙට්ටුවා" ටෙලි වෘත්තාන්තයේ චාන්දනීගේ චරිතයට පණ පොවන්නීය. වලවෙට්ටුවා ගැන සේම කලා ක්ෂේත්‍රයේ ඇගේ කාර්යය ගැන බොහෝ දෑ දමිතා අබේරත්න මෙසේ අප සමඟ පැවසුවාය.

 

ලොකු ගෑනු ළමයි ඉන්න අම්මලාගේ හිත්වල ඒ තරම් ලොකු වගකීමක් තියෙනවාද?

දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කවදාවත් ඒ දරුවාගේ වගකීමෙන් මිදෙන්නේ නැහැ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මගේ අම්මා අදටත් මං එක්ක ඉන්න විදිහ මම දන්නවා. ඒ දරුවා කොයිතරම් ලොකු වුණත් අම්මා ඒ වගකීම අත්හරින්නේ නැහැ මැරෙනතුරාවට. මටත් කාලෙකට පසුව එහෙම අම්මා කෙනෙකුගේ චරිතයක් නිරූපණය කරන්න "වලවෙට්ටුවා" ටෙලිනාට්‍යය ඔස්සේ අවස්ථාව ලැබුණා.

වලවෙට්ටුවා ටෙලිනාට්‍යයේ චාන්දනීගේ චරිතය ලැබෙන්නේ කොහොමද?

ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා රනිල් කුලසිංහ මට ආරාධනා කළා, මෙහෙම චරිතයක් තියෙනවා රඟපාන්න පුළුවන් ද කියලා. රනිල් එයාගේ පළවෙනි ටෙලි නාට්‍යයේත් මාත් එක්ක රඟපෑවේ. "සල් සපු නා" ටෙලිනාට්‍යයේ ඒ ඇති වුණු හැඳුනුම්කම දිගටම තිබුණා. රනිල්ගේ එක නිර්මාණයකට මම කලින් සම්බන්ධ වුණා. ඒත් රනිල් මාව දන්නවා කියලා මට චරිතවලට ආරාධනා කරන අධ්‍යක්ෂවරයෙකුත් නෙමෙයි. ඒ චරිතයට මාව සුදුසු නම් විතරයි මට ආරාධනා කරන්නේ. රනිල්ගේ ආරාධනාව පිට තමයි මම මේ චරිතය භාර ගන්නේ. කොහොමත් මම අම්මලාගේ චරිත කරද්දි දෙපාරක් හිතනවා. මොකද මට දිගටම අම්මලාගෙ චරිත කරලා රාමුවකට කොටු වෙන්නේ වෙයි කියලා බයකුත් තියෙනවා. ඒත් මම ඕලෙවල් කරන අවුරුද්දේ "අවිඳු අඳුර" ටෙලිනාට්‍යයේ කුඩා කාලෙන්ම අම්ම කෙනෙක් වුණ තරුණියකගේ චරිතයක් රඟපෑවා. චරිතයකට ආරාධනාවක් ආවාම හැමදාම බැලුවේ ඒ චරිතයට මට යමක් කරන්න පුළුවන්ද කියලා. "වලවෙට්ටුවා" ටෙලිනාට්‍යයේ වෙල්මාගේ අම්මා චාන්දනීගේ චරිතයටත් මට යමක් කරන්න තිබුණා.

 

චාන්දනීගේ චරිතය පුරාම තියෙන්නේ මවකගේ විලාපයක්?

චාන්දනී කියන්නේ මව්පියන් නැති අනාථ නිවාසකය හැදුණු කෙනෙක්. ඉතාම පොඩි වයසකදී එයාව ඒ නිවාසයෙන් සල්ලිවලට විකුණනවා. ඒ චරිතයේ තියෙන ඛේදවාචකය පටන් ගන්නේ එතැනින්. එයාගෙ දරුවෝ දෙන්නා පවා ජීවිතයේ අනපේක්ෂිත විදිහට ලැබෙන දෙන්නෙක්. ඒ චාන්දනී කසාදයක් බැඳලා, ඉන්පසුව ලැබෙන දරුවෝ දෙන්නෙක් නෙමෙයි. ඒත් චාන්දනී කියන අම්මා මේ දරුවෝ දෙන්නා වෙනුවෙන් එයාගේ මුළු ජීවිතයම කැප කරනවා. මම මේ චාන්දනීගේ චරිතය "අම්මා" කියන තැන ඉඳලා රඟපාපු චරිතයක්. චාන්දනී එයාගෙ දරුවො ගැන නිතරම බයවෙන්නේ එයාට වුණ දේ දරුවන්ටත් වෙයි කියලා. එහෙම නොවෙන්න තමයි එයා නිතරම වගබලාගන්නේ. චාන්දනී එයාගේ දරුවන් බලාගන්න ඒ වනවිටත් රැකියාවක් කරනවා. එයාට ගෙදර ඉඳලා දරුවෝ බලාගන්න වෙලාවක් නැහැ. නාමමාත්‍රිකව ඉන්න ස්වාමි පුර්ෂයාගෙන් එයාට කිසිම පිහිටක් නැහැ. දරුවන්ගේ සියලු දේ වගකීමක් විදිහට අරගෙන කරන නිසා තමයි චාන්දනීට නිතරම දරුවන් එක්ක තරහා යන්නේ. ඒ ඔවුන්ව ළඟ ඉඳලා බලාගන්න බැරි දුකට. ඒ නිසා ඇය නිතරම දියණියෝ දෙදෙනාට බනිනවා, අවවාද කරනවා.

 

කොහොමද මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

මේ කොරෝනා වසංගතයෙන් පසුව මම රඟපාන මුල්ම නිර්මාණය. කාලෙකට පසුව කරපු මේ චරිතයට මට ප්‍රේක්ෂකයන්ගෙන් හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍යවලින් වගේම සැබෑ ජීවිතයේදීත් හමුවෙන කතාබහ කරන අය මේ චරිතය ගැන මට හොඳ කියනවා.

 

වලවෙට්ටුවා ටෙලිනාට්‍යයේ ඔබ මේ චරිතය ගොඩනඟන්නේ නවක රංගන ශිල්පීන් රැසක් සමඟ. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය?

ඒක විශේෂයෙන් කියන්න ඕනේ. චමීර සහ ටීනා වගේම මගේ පොඩි දුවට රඟපාන්නෙත් අලුත් දරුවෙක්. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ කබඩි කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් පවා අලුත් අය. මේ හැමෝටම ලොකු උනන්දුවක් තියෙනවා කියලා පේනවා. විශේෂයෙන් ටීනා ඒ වගේ ලොකු කැපකිරීමක් මේ චරිතයට කරයි කියලා මම හිතුවේ නැහැ. අව්වේ ඉඳලා, දූවිලි කාගෙන, බිම වැටිලා ටීනා මේ චරිතයට සෑහෙන්න මහන්සි වෙනවා. මට හරිම සතුටුයි ඒ ගැන. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය චරිතය මවන්න ටීනා ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම චමීර කියන්නේ මම මෑත යුගයේ දැකපු දක්ෂ රංගන ශිල්පියෙක්. කිසිම පැකිළීමක් නැතිව ඕනෑම චරිතයක් වෙනුවෙන් බය නැතුව යෝජනා කරන්න පුළුවන් රංගන ශිල්පියෙක්. චරිතයක් ලැබුණාම ඒ චරිතයේ ගැඹුර හොයාගෙන යන කෙනෙක් චමීර කියන්නේ. තමන්ගේ චරිතය වෙනුවෙන් මේ හැමෝම සෑහෙන්න කැපවෙනවා. මේ ටෙලිනාට්‍යයේ ඉන්න බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට නවකයින්. ඒත් ඔවුන්ගේ කැපවීම, දායකත්වය උපරිමයි. මේ තරුණ තරුණියෝ හැමෝම නොදන්න දේවල් ගැන මගෙන් අහනවා. ඔවුන් එහෙම අහනකොට අපිටත් සතුටුයි. අපි දන්න දේවල් ඔවුන්ට කියලා දෙන්න අපිටත් අවස්ථාව ලැබෙනවා. අද නවකයෝ ගොඩක් ඉන්නේ වෙනත් ලෝකවලනේ. මට අදටත් මට වඩා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් සෙට් එකේ රඟපානකොට සීන් එකේ අපි නැත්නම් එතනට ගිහින් බලන පුරුද්දක් තියෙනවා. ඒත් මේ වලවෙට්ටුවා ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණ නවක රංගන ශිල්පීන් හැමෝම ඒ වෙනුවෙන් කරන කැප කිරීම හරි වටිනවා.

 

ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ දක්ෂතා ගැන මොකද හිතෙන්නේ?

නවක ශිල්පීන් බොහෝදෙනෙක්ව නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් විසින් එක් රාමුවකට කොටු කරලා තියෙනවා වගේ දෙයක් මට දැනෙනවා. රූපවාහිනී නාළිකාවලින් ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන එකෙන් ඒ අය රාමුගත වෙනවා තවත් වැඩියි කියලා මට හිතෙනවා. මොකද ඒ නාළිකාවලින් පිට වෙනත් නිර්මාණවල ඔවුන්ට රඟපාන්න නොහැකි මට්ටමක් එනවා. ඒ නිසා ඔවුන්ගේ දක්ෂතා ඇහිරෙනවා. ඒ වගේම ඔවුන් ඒ රාමුවෙන් එළියට යන්න අකමැති කමක් මම දකිනවා. සමහර චරිත වෙනුවෙන් කැපවෙන්න අලුත් අය බයයි. නපුරු වෙන්න, වෙනස් වෙන්න බයයි. රංගන ශිල්පියෙක් වුණාම එහෙම වෙන්න බැහැ. තමන්ට ලැබෙන චරිතයෙන් තමන්ට කරන්න දෙයක් තියෙනවාද? ඒ තුළින් ප්‍රේක්ෂකයාට දෙන්න යමක් තියෙනවාද කියලා කල්පනා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම රාමුගත නොවී විවිධ චරිත මඟින් තමන්ගේ දක්ෂතාව පෙන්වන අලුත් රංගන ශිල්පීන් පිරිසකුත් ඉන්නවා. ඒ අය ගැන මට හරි සතුටුයි. ඒ අය තමන්ගේ පරාසය පුළුල් කරගන්න උත්සාහ කරනවා. ලංකාවේ රංගනය ගැන ඉගෙනගන්න ගොඩක් තැන් නැහැ. අනෝජා වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, සම්පත් ජයවීර වගේ රංගන ශිල්පීන් බොහෝම ටිකදෙනයි ඒ කර්තව්‍යය කරන්නේ. මම හිතනවා ඒ වගේ නාට්‍ය හා රංග කලාව ප්‍රගුණ කරපු අය තමන් දන්න දේවල් වැඩමුළු ඔස්සේ හෝ නවකයන්ට උගන්වනවා නම් ගොඩක් වටිනවා. සමහර නවක රංගන ශිල්පීන් ඉන්නවා ඒ වගේ දේවල් හොයාගෙන ගිහින් විෂයයේ ගැඹුර හදාරන්න උත්සාහ කරනවා. ක්ෂේත්‍රයේ නවකයින් හොඳ නැහැ කියලා මම කවදාවත් කියන්නේ නැහැ. ඔවුන් ඉතාමත් දක්ෂයි. තවත් දක්ෂතා රැසක් එක්කම රංගනයට එන අයත් ඉන්නවා. ඔවුන් සතුව නර්තනය, ගායනය ආදී විවිධ දස්කම් තියෙනවා. ඒක ලංකාවේ රංගන කලාවට හොඳ ලකුණක්. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි අදටත් අපේ ප්‍රවීණයන්ට ගරු කරනවා. අපි රඟපාන තැන විනය රකිනවා. සමහර නවකයෝ ඉන්නේ වෙනත් ලෝකවල. බ්ලූටූත් එක කනේ ගහගෙන රඟපාන අලුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් මට මුණගැහිලා තියෙනවා. පෙර පුහුණුවීම්වලදි දෙබසට අමතරව ඔවුන් වෙනත් දෙයක් කිව්වාම තමයි මට තේරෙන්නේ ඔවුන් බ්ලූටූත් එක හරහා වෙන ඇමතුමක ඉන්නේ කියලා. හැමදෙයකටම කලින් තමන් කරන වෘත්තියට ගෞරව කරලා ඒකට කැපවෙන්න ඕනේ. මෙහෙම හැසිරෙන්නේ ඉතාම අතළොස්සයි. ඒ හැරුණුකොට නවකයින් බහුතරය ඉතාම ධනාත්මකව අපිට බලාපොරොත්තු තැබිය හැකි බොහෝ දෙනෙක් අලුත් පරම්පරාවේ ඉන්නවා.

 

ඒ කියන්නේ දමිතා අබේරත්න වගේ සම්මානනීය චරිතාංග රංගන ශිල්පිනියන් නව පරම්පරාවෙන් බිහි වෙයි ද?

එහෙම බිහිවෙයි. මට හිතෙන විදිහට එහෙම බිහිවෙන්න ඕනේ. මම බලන නිර්මාණ බොහෝම අතළොස්සයි තියෙන්නේ. ඒ නිර්මාණවල ඉන්න අය බොහොම දක්ෂයි. ඒ අය අනිවාර්යයෙන්ම සම්මානවලට පාත්‍ර විය යුතුයි. නවකයින් අතර හොඳ අය දැක්කාම, රංගනයට ඔවුන්ගේ තියෙන දායකත්වය සහ කැපකිරීම දැක්කම ඒ ගැන හරි පෙරේතයි. ඒ වගේම මට හරි ආසයි, ලංකාවේ රංගන ක්ෂේත්‍රය තවත් හොඳීන් ඉදිරියට කරගෙන යන පිරිසක් ඉන්නවා කියලා හිතෙනවා.

 

රංගනය ගැන තමන් දන්න දේවල් නවකයින්ට විධිමත්ව උගන්වන්න කැමති නැද්ද?

මට ගුරුවරයෙක් වගේ උගන්වන්න තේරෙන්නේ නැහැ. ඒ සඳහා මම තව බොහෝ දේවල් ඉගෙන ගන්න ඕනේ. මහා සාගරයක් වගේ දෙයකින් එක දිය බිඳක් වගේ දෙයක් විතරයි මම දන්නේ. ඒ රංගනය කියන මහා සාගරය ගැන තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. හැමදාම ලෝකේ රංගනය කියන දේ යාවත්කාලීන වෙනවා. මේවා අපි ඉගෙනගන්නේ අන්තර්ජාලය හරහා. ඒත් ඊටත් වඩා මට විධිමත්ව ශාස්ත්‍රීය අංශයන්ගෙන් මේ විෂයය හදාරන්න පුළුවන් වුණොත් එදාට මම දන්න දේ අනිත් අයට උගන්වනවා. අනෝජා වීරසිංහ අක්කා එංගලන්තයේ ලැම්ඩා රංගන පාසලෙන් ඉගෙනගත්ත කෙනෙක්. මහේන්ද්‍ර පෙරේරා අයියා ආචාර්ය සොලමන් ෆොන්සේකා යටතේ ගුරුහරුකම් ලබපු අය. සම්පත් ජයවීරත් වේදිකාවේ බොහෝ කාලයක් ඉඳලා ඉතාම ප්‍රවීණ ශිල්පීන් යටතේ නාට්‍ය හා රංග කලාව හදාරලා තියෙනවා. මේ අයට පිළිගත හැකි මට්ටමේ දැනුමක් තියෙනවා. මටත් රංගනය ගැන වැඩිදුර හදාරන්න අවස්ථාවක් තිබුණොත් අනිවාර්යයෙන්ම රංගනය ගැන උගන්වනවා. ඒ හැර රූගත කිරීම්වලදී මගෙන් යමක් අහන ඕනෑම කෙනෙක්ට මම දන්න හැමදෙයක්ම රංගනය ගැන කියලා දෙන්න මම පැකිළෙන්නේ නැහැ.

වේදිකාව තුළ ඔබට මීට වඩා යමක් කරන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?

වේදිකා නාට්‍ය සඳහා මට ගොඩක් අවස්ථා ලැබුණා. ඒත් අනෙකුත් රංගන කටයුතු සමඟ කාර්යබහුල වුණ නිසා තමයි මම වේදිකාව අතහරින්නේ. වෙදිකා නාට්‍ය ශිල්පීන් කියන්නේ ගොඩක් ලොකු කැප කිරීමක් කරන කොටසක්. ඔවුන් ඉතාම පොඩි වේතනයකට ලොකු කැප කිරීමක් කරනවා. මගේ ජීවිතයේ ඒ වගේ කැප කිරීමක් කරන්න අමාරු තැනක මම හිටියේ. ඒත් මම තවමත් ලංකාවේ වේදිකා නාට්‍යවල ඉන්න සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්ට හිස නමා ආචාර කරනවා. වේදිකා නාට්‍ය තමයි රංගනය කියන එක හොඳටම හදාරන්න පුළුවන් එකම තැන. වේදිකා නාට්‍ය කියන්නේ සජීවී ප්‍රේක්ෂකාගාරයක් සමඟ සම්බන්ධ වෙන කලා මාධ්‍යයක්. එතැනදී තමයි අපිට රංගනයට මිණුම් දණ්ඩක් හදාගන්න පුළුවන්. මමත් වේදිකා නාට්‍ය කීපයකට සම්බන්ධ වුණා. ඒ වැඩ කරපු කුඩා කාලයේදී මම ඉගෙනගත්ත දේවල් බොහෝමයි. වේදිකාවක් උඩ අපේ රංගනය හසුරුවා ගන්නේ කොහොමද? කියන එක මම ඉගෙනගත්තා. ටෙලිනාට්‍යවලදී සහ සිනමාවෙදි අපිට දර්ශන තල තියෙනවා. ඒ අනුව හැසිරෙන්න පුළුවන්. ඒත් වේදිකාව තුළ සීමිත ඉඩකඩක අපිට අපිව මෙහෙයවාගන්න වෙනවා. මේ දේවල් නවකයින් පවා ඉගෙනගන්නවා නම් මම හරි සතුටුයි. ඒත් මට වේදිකාව තුළ වැඩි කලක් රැඳෙන්න හැකි වුණේ නැහැ. ඒ ගැන මම අදටත් කණගාටු වෙනවා. ඒත් මම වේදිකා නාට්‍ය නිතරම බලනවා.

 

මෙතෙක් රඟපෑ චරිත අතර වඩාත් සිත්ගත් චරිත පෙළගස්වන්න කිව්වොත්?

මම කැමතියි "සෙනෙහෙවන්තයෝ", "අවිඳු අඳුර" ටෙලිනාට්‍යවලට. ඒ වගේම මගේ පළවෙනි ප්‍රධාන චරිත නිරූපණය කරපු "දඬුබස්නාමානය" ටෙලිනාට්‍යයට කැමතියි. ඒ වගේම "සුළං කිරිල්ලි", "ප්‍රවේගය", "බඹර වළල්ල" යන චිත්‍රපටවල මම නිරූපණය කරපු චරිතවලට මම කැමතියි. පොදුවේ ගත්තොත් මම රඟපාපු හැම චරිතයකටම කැමතියි.

 

කොහොමද එකිනෙකට වෙනස් මේ චරිතවලට අවතීර්ණ වෙන්නේ?

නළුවෙක් හෝ නිළියක් මැටි පිඩක් වගේ වුණොත් තමයි ඕනේ විදිහකට රූපයක් අඹාගන්න පුළුවන් වෙන්නේ. මැටි ගොඩ අනලා ඕනේම හැඩයකට හදාගන්න පුළුවන්නේ. එහෙම වුණාම අධ්‍යක්ෂවරයාට හරි පහසුයි ඒ රංගන ශිල්පියා හෝ ශිල්පිනියව එයාට ඕන විදියට හසුරවන්න. මම පිටපතක් කියවලා චරිතය ගැන දේවල් මවාගෙන රඟපාන්න ගියොත් මම හිතපු එක නෙවෙයි නම් අධ්‍යක්ෂවරයාට ඒ චරිතයෙන් අවශ්‍ය වෙන්නේ එතකොට ඒ චරිතය අසමත් වෙනවා. මම කියන්නේ හොඳ අධ්‍යක්ෂවරුන් ගැන. ගොඩක් අධ්‍යක්ෂවරු ඉන්නවා නළු නිළියන් හරහා ගොඩයන්න. නළු නිළියො තමයි ඒ චරිත උලුප්පලා, ලස්සනට ගොඩනඟලා අධ්‍යක්ෂවරුන්ව ගොඩදාලා තියෙන්නේ. එහෙම අධ්‍යක්ෂවරු කොටසකුත් ඉන්නවා. ඒත් මම කතා කරන්නෙ තමන්ගෙ ඔළුවේ දැක්මක් තියෙන නිර්මාණය ගැන ආකල්පයක් තියෙන අධ්‍යක්ෂවරයෙක්ට ඒ චරිතය මගෙන් මවාගන්න පුළුවන් වෙන්නේ මම මැටි පිඩක් වගේ දර්ශනතලයට ගියොත් තමයි. ඒ නිසා මම දර්ශන තලයට යන්නේ පිටපත නිකන් කියවලා හිස් ඔළුවක් තියාගෙන. ඒ වගේම සමාජයෙන් චරිතයට ගන්න පුළුවන් දේවල් මම ගන්නවා. ඉනෝකා සත්‍යාංගනී අධ්‍යක්ෂණය කරපු "සුළං කිරිල්ලි" චිත්‍රපටය රඟපාද්දි ඉනෝකා අක්කා මාව වෙළෙඳ කලාපයට එක්කන් ගිහින් ඒ දේවල් පෙන්නුවා. මම දකින දේවලින් මම චරිතය ගැන හිතට කොටසක් දාගන්නවා. මම හිතට දාගන්න කොටසයි අධ්‍යක්ෂවරයාට අවශ්‍ය කොටසයි දෙක සම්මිශ්‍රණය වෙන්නේ මම චරිතය නිරූපණය කරන වෙලාවට විතරයි. මේ වගේ විවිධ තලවල චරිත රඟපාන්න ජීවිතයේ අපිට අත්දැකීම් ඕනේ. ඒ දේවල් දැකලා විඳලා මිනිස්සු ආශ්‍රය කරලා තියෙන්න ඕනේ. රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් තමුන්ගේ අත්දැකීම් වගේම දැකපු දේවල් බොහෝමයක් ප්‍රතිනිර්මාණය කරනවා චරිතවලින්. අදටත් මම මේ මහපොළොවට බැහැලා මිනිසුන් ආශ්‍රය කරනවා. ඔවුන්ගේ චරිත නිරීක්ෂණය කරනවා. ඒ චරිත නිරූපණය කරද්දි එක චරිතයක තියෙන ලක්ෂණ නෙවෙයි, ඒ වගේ චරිත ගොඩක තියන ලක්ෂණ එකතු කරනවා රංගනයට. එහෙම එක්කරගන්නේ අධ්‍යක්ෂවරයාට ඕනෑ දේට ඒ දේවල් ගැළපෙනවා නම් පමණයි.

 

නැවතත් කලා නිර්මාණයක් අධ්‍යක්ෂණය හෝ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

මම කලා නිර්මාණ කීපයක් නිෂ්පාදනය කළා. ඒ වගේම "සසර සරණිය" ටෙලිනාට්‍යයත් අධ්‍යක්ෂණය කළා. "සසර සරණිය" ටෙලි නාට්‍යය තමයි ප්‍රේමසිරි කේමදාස මාස්ටර් අවසානයට සංගීත අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍යය. ඒ තේමා ගීතය ගායනා කරන්නෙ ඉන්දිකා උපමාලි. කේමදාස මාස්ටර් මට සින්දුව හදලා දුන්නා. ඒත් ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නවත් මාස්ටර් ජීවත් වුණේ නැහැ. මට සින්දුව හදලා දීලා මාස්ටර් රෝහල්ගත වුණා. මම භාග්‍යවන්තයි එතුමාව මගේ නිර්මාණයකට සම්බන්ධ කරගන්න ලැබුණු එක ගැන. හොඳම තේමා ගීත නිර්මාණය වෙනුවෙන් සම්මාන උලෙළ කීපයක එතුමාගේ නම යෝජනා වුණා. සසර සරණියේ රඟපෑමට කෝකිල පවන් පුතාට හොඳම ළමා නළුවා වෙනුවෙන් සම්මාන ලැබුණා. ඉන්දිකා උපමාලි හොඳම ගායිකාවට නම් වුණා. ඒ ජයග්‍රහණය ගැන මම අදටත් සතුටු වෙනවා. මං තුළ අධ්‍යක්ෂවරියක් ජීවත් වෙනවා. තව ටික කාලයක් ඉඳලා අධ්‍යක්ෂණයට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා. තව අත්දැකීම් ගොඩක් එකතු කරගෙන දවසක හොඳ නිර්මාණයක් කරනවා. මම කලාවට හරි පෙරේත මනුස්සයෙක්. ඒ වගේම හොඳ කලා නිර්මාණවලටත් ආසයි. මගේ ක්ෂේත්‍රයට හොඳ නිර්මාණ දීලා මැරෙන්න තිබුණොත් මට ඇති.

 

මේ දවස්වල කෙරෙන අනෙකුත් කලා කටයුතු ගැන කිව්වොත්?

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන සාලින්ද රත්නායකගේ අධ්‍යක්ෂණයක් වුණ "පෝර්ක් වීදිය" ටෙලිනාට්‍යයේ මම රඟපානවා. කොරෝනා වසංගතයත් එක්ක අපි දැක්කා ගොඩක් හොඳ වෘත්තීන් කරන අය තමන්ගේ පෞද්ගලික වාහනයේ ඇවිත් පෝර්ක් සහ පොල්‍ රොටි පාර අයිනේ තියාගෙන විකිණුවා. එය ආශ්‍රිතව ගොඩනැඟුණු කතාවක් මේක. ධර්මප්‍රිය ඩයස්ගේ බිරිඳ වන කමනිගේ චරිතය මම රඟපාන්නේ. වයසට ගියත් ආදරයෙන් නිදහසේ ජීවත් වෙන්න උත්සාහ කරන භාර්යාවකගේ චරිතයක් ඒක. ඔවුන්ට ප්‍රශ්න මිරිකෙන්න තිබුණත් ඒ ප්‍රශ්න එක්ක සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම සුරංග අල්විස් චිත්‍රපටයකට ආරාධනා කළා"අධධථ ව්ධ. 106" කියලා. ළඟදීම එහි රූගත කිරීම් ආරම්භ වෙයි. ඒ වගේම මීට කලින් මම රඟපාපු තට්ටු දෙකේ ඉස්කෝලේ, කබඩි, හිතුමතේ ජීවිතේ යන චිත්‍රපට තුනම ඕස්ට්‍රේලියාවේ තිරගත වෙනවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික රසිකයන්ගෙන් ඒ සඳහාත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

 

දමිතා අබේරත්න කියන සම්මානනීය රංගන ශිල්පිනියගේ කාර්යසාධනයෙන් නවක රංගන ශිල්පීන් ශිල්පිනියන්ට ගන්න තියෙන හරය මොකක්ද?

කලාකරුවා කියන කෙනා හොඳ මනුස්සයෙක් වෙන්න ඕනේ. අනෙකාව දැනෙන, අනෙකාට ගරු කරන, සමාජයේ සියලුදෙනා දිහා සංවේදීව බලන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මං තුළ එහෙම කෙනෙක් ඉන්නවා. සතා සිවුපාවාට ආදරය කරන ඕනෑම කෙනෙකු දිහා සංවේදීව බලන්න පුළුවන් හිතක් මට තියෙනවා. ඒ තුළ තමයි අපිට කලාව අතපත ගාන මිනිස්සු වෙන්න පුළුවන් වෙන්නේ. ගස්වල කොළ සුළඟට වැනෙන රිද්මය පවා දැනෙන, මිනිස්සුන්ගේ හුස්ම පවා දැනෙන කෙනෙක් වෙන්න පුළුවන් නම් හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්. හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන් නම් තමයි කලා ශිල්පියෙක් වෙන්න පුළුවන් වෙන්නේ. මං තුළින් දෙන්න උත්සාහ කරන්නේ ඒ පණිවිඩය.