ඔලිම්පික් සිහිනයට ඉඩදෙන්න මරියෝගෙන් අලුත් ගීතයක්

ජූලි 29, 2021

 

ජවයෙන් දිදුලන මාවතේ

දිරියෙන් ජය රන්දා

මනුස්සකම් මුසුවෙන්නේ

බලාපොරොත්තු හඹා

 

මිතුරුදම් අතරින් පිබිදී

සිහින දකින්නන් හා

අධිෂ්ඨානයේ කඩුලු මතින්

ඉදිරියටම යනවා

 

නාමයෙන් ජාතියේ

විශිෂ්ටයින් ඉපදුණ බිමේ සැමදා

 

හදවතේ අභිමානයයි

මනුෂයත්වයේ මිණි කිරුළයි

මතුදමේ අසිරියයි

ජිවිතේ සංකේතයයි

 

මේ ශ්‍රි ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ඉදිරිපත් කළ ත්‍රයිභාෂික ඔලිම්පික් තේමා ගීතයයි. තේමා ගීතයේ හිමිකරු වන්නේ අපේ රටේ තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ ගායකයෙක්. ඔහු මරියෝ ආනන්ද. ගීතයේ පද රචනය ගැන හිතද්දි ක්‍රීඩාවට මෙන්ම මරියෝ නැමැති පුද්ගල චරිතයට මේ වචන ටික කොච්චර ගැළපෙනවද කියලා මට හිතුණා. ගෙවුණු ජිවන ගමන් මඟ තුළ ඔහුටත් ජය ගත යුතු අධිෂ්ඨානයේ කඩුලු තිබුණා කියලා මම විශ්වාස කරනවා. ජවයෙන් දිදුලන මාවතේ ඉදිරියට යන්න ඔහුටත් බලාපොරොත්තු තිබුණා.ඔහුටත් දිරියෙන් ජය ගත යුතු ඉලක්ක තිබුණා. අද ඒ ඉලක්ක පසු කරමින් ඔහු ජයග්‍රහණයේ ජයටැඹ වෙත දිරියෙන් පියමං කළ තරුණයෙක්. දක්ෂ ගායකයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් බවත් ඔහු ලෝකයා ඉදිරියේ ඔප්පු කර පෙන්වා තිබෙනවා.

 

මරියෝ ආනන්ද නම් චරිතය බිහිවන්නේ මේ රටේ සංගිත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුගේ ජානවලට උරුමකම් කියමින්. ඒ අදටත් නිසි ඇගයුමක් නොලද මේ රටේ සංගීත ක්ෂේත්‍රයට මෙන්ම චිත්‍රපට සංගීතයට අති විශාල යුග මෙහෙවරක් ඉටු කළ ග්‍රේෂන් ආනන්දයන්ගේ එකම පුතු වී ඉපදීමෙන්. එහෙත් වත්මනේ ඔහු සිටිනා ස්ථානයට පැමිණෙන්නට සිය පියාගේ නිර්මාණ හෝ ගීත කිසිවිටෙකත් භාවිත නොකරමින් , තමන්ගේ අනන්‍යතා ලක්ෂණ පෙන්නුම් කරන්නා වූ නිර්මාණ ඔහු උපයෝගි කර ගත්තා. මේ අනන්‍යතා ලක්ෂණම වත්මනේ ඔහු විසින් ගායනා කරන ලද ජාතික ඔලිම්පික් ත්‍රයිභාෂා ගීතයේ නිර්මාණ හිමිකාරිත්වය ලබන්නටද හේතුවක් වුණා.

 

‘‘ මම පසුගිය අප්‍රේල් මාසයේ ‘ රැඳී නොසැලී‘ නමින් ගීතයක් ජනගත කළා. ක්‍රීඩාව කෙරෙහි දරුවන් පොළඹවාලීමේ අරමුණ ඇතුව තමයි ඒ ගීතය ඉදිරිපත් කළේ. මේ ගීතය ජනගත කරන මොහොතට පැමිණ සිටියා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් තුමා වන මැක්ස්වෙල් ද සිල්වා මහතා සහ එහි මාධ්‍ය ප්‍රධානී රාම් පතිරවිතාන මහතා. එතුමන්ලා මගේ නිර්මාණ කාර්යය දෑසින් දැකලා තමයි තීරණය කරලා තියෙන්නේ මෙවර ඔලිම්පික් උලෙළ වෙනුවෙන් නිර්මාණය කරන මේ ගීතය මට ලබා දෙන්න. ඒ අනුව ඔවුන්ගේ ආරාධනයෙන් මම මේ ගීතය ත්‍රෛභාෂිත ගීතයක් විදියට නිර්මාණය කළා. මේ ගීතයේ සිංහල පද රචනය ඉරූෂ සමින්ත විසිනුත්, දෙමළ පද රචනය භවන්ත් සිං නිත්‍යානන්තන් විසිනුත්, ඉංග්‍රීසි පද රචනය මම විසිනුත් කළා. සංගිත අධ්‍යක්ෂණය, ගායනය, රූප රචනා අධ්‍යක්ෂණයත් කළේ මා විසින්මයි.‘

මරියෝ විසින් අධයක්ෂණය කරන ලද මේ ගීතය මෙන්ම මින් පෙර කරන ලද ගීතයේ රූප රචනා දිහා බලන කල ඔහුගේ පෙනුම වඩාත් ළං වනුයේ ක්‍රීඩකයෙකුට බව පැහැදිලිය. එය ගීතය සඳහා වන රංගනයක් පමණක් නොව ඒ වෙනුවෙන් පුහුණුවීම්වල නියුතු වෙමින් ඔහුද ක්‍රිඩකයෙකු බවට පත් වී කරන ලද රූප රචනයකි. එබැවින් එහි දැක්වෙන ජවය සැබෑම ක්‍රීඩකයෙකු වෙතින් ලැබෙන ජවයක් බැවින් රූප රචනයේ තාත්විකත්වය වඩාත් ඔප් නැංවුණා. මෙවර ඔලිම්පික් ගීතය වෙනුවෙන්ද ඔහු එවැනිම පුහුණුවීම්වල නිරතවෙමින් වෙහෙස මහන්සියක් ගත් බව පැවසුවා.

"ඇත්තටම දරුවන් යොදා ගනිමින් ක්‍රීඩාවේ නියම ජවය පෙන්නුම් කරමින් මෙවැනි රූප රචනයක් කිරිම අතිශයින්ම දුෂ්කර කාර්යයක්. මේ සඳහා සුදුසු දරුවන් සොයා දීමට මට බොහෝ පිරිසක් උපකාර කළා. ඒ අතර මගේ වූෂූ පුහුණුකරු ධර්මප්‍රිය සර්ත් ඉන්නවා. ඒ වගේම මේ ගීතයේ රූප රචනා කරද්දි මට දැනුණ , අවබෝධ වුණු දෙයක් තමයි අපේ රටේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇරුණ කොට වෙනත් එවැනි ක්‍රීඩාංගණයක් නොමැති බව. ගිතයට රූප රචනා කරන්න ලොකේෂන් හොයද්දි සුගතදාස හැරුණු කොට අන්තර්ජාතික මට්ටමට නිමැවුණු වෙනත් ක්‍රීඩාංගණයක් අපට නෑ කියලා පැහැදිලි වුණා. අඩුම තරමින් අනුරාධපුරය, යාපනය වැනි ප්‍රදේශයක මෙවැනි ක්‍රීඩාංගණ දෙකක් ඉදිවුණොත් කොයි තරම් හොඳද කියලා මට හිතුණා. අපේ රටේ ක්‍රිකට් ක්‍රිඩාංගණ ඕනෑ තරම් තියෙනවා. ඒත් සුගතදාස නැතිනම් ඒ ආකාරයේ වෙනත් විකල්පයක් අපට නෑ.‘

 

මරියෝ කියන්නේ ජිවිතය මල් අතුළ මාවතක ගමන් ගත් තරුණයෙකු නොවේ. එහෙත් ඔහු පැමිණි දුක් පැණි රසයැයි සිතමින් ජිවිතේ බොහෝ දේ තම උත්සාහයෙන් ළඟා කර ගත් තරුණයෙක්. මේ ජීවිතය තුළ මුදල් පසු පස හඹා යෑම ඔහු කවදත් ප්‍රතික්ෂේප කළ කෙනෙක්. මුදලට ඔහුගේ ජීවිතේ කවදත් හිමිවුණේ දෙවැනි තැන හෝ ඉන් පසු තැනක්. ඒ ඔහුට මුදල් යහමින් තිබුණ නිසා නොවෙයි. යහමින් මුදල් නොතිබුණු නිසා. හෙමින් ගමනක් ගොස් හොඳ නිර්මාණ කරන්නට , මිනිසුන්ට, සමාජයට යහපතක් කරන්නට මනස හදා ගත් ඔහු හිමින් හිමින් ජීවත් වෙන්නට අවශ්‍ය කරන මූලික දේවල්ද ගොඩ නඟා ගත් කෙනෙක්. ඔහුගේ පියා මිය යනවිට සත්‍ය වශයෙන්ම ඔවුනට හිසට වහලක්වත් තිබුණෙ නෑ. එහෙත් අද ඔහු උත්සාහයෙන් ඒවා දිනා ගත් තරුණයෙක්.

 

‘මුදල් පස්සේ දුවන්න මට ඔනේ වුණේ නෑ. එහෙම ඕනෙ වුණා නම් තාත්තගේ ගීතවලින් මට අද කිසි කරදරයක් නැතුව ඕනෙ තරම් මුදල් හම්බ කරන්න තිබුණා. මට නොතේරෙන කාලෙදි මම මගේ තාත්තා ගැන හිතුවේ මහ දුර්වලයෙක් විදියට. ඒත් අද මම එහෙම හිතුව එක ගැන ලැජ්ජා වෙනවා. මොකද තාත්තා එහෙම මුදල් පස්සේ දුවපු කෙනෙක් නොවෙයි. තාත්තා ඔහුගේ ප්‍රතිපත්ති පාවලා දුන්නේ නෑ. එයාගේ අවශ්‍යතා වෙනුවෙන්. එදා තාත්තා ප්‍රතිපත්ති පාවලා දෙමින් එක එක්කෙනාගෙන් ප්‍රතිලාභ ලබා තිබුණා නම්, අද මට මේ විදියේ අභිමානයකින් ජිවත් වෙන්න බැරි වෙනවා. ඒ ආත්මගරුත්වය අද මට තිබෙනවා. අද මම කාටවත් ණය නැති නිදහස් මනුස්සයෙක්.‘

 

මරියෝ වසරකට ආසන්න කාලයක් කොළඹින් ඈත ප්‍රදේශයක ජීවත් වුණා. මොණරාගල බුත්තල අවට ප්‍රදේශයක සිට ඔහු මේ කාලය වැය කර තිබුණේ ක්‍රීඩකයෙකු වීමට අවශ්‍ය පුහුණුවීම් ලබා ගැනීම සඳහායි. ඔහු මේ දුෂ්කර ගම්වල දරු දැරියන් සමඟ හරි හරියට දිව්වා. ඔවුන් සමඟ දුක සතුට බෙදා ගත්තා. ඔහුගෙන් ඔවුන්ට ලැබිය හැකි බොහෝ දේ දුන්නා. ඒ ඇසුරින් ඔහු සිය ජිවිතයට බොහෝ අත්දැකිම් ද ළඟා කරගෙන තිබුණා.

 

‘‘ තාත්තාගෙන් මට ලැබුණු මහා ජානමය ශක්තිය වගේම මගේ අම්මගේ ආශිර්වාදයත් මගේ ජීවිතේ මේ තරම් දුර ගෙනියන්න හේතුවක් වුණා. මගේ අම්මා ශ්‍රීමා , තාත්තාගේ සංගීත දිවිය පසු පස්සේ හිඳීමින් බොහෝ දුක් වලඳපු කෙනෙක්. අම්මා බලාපොරොත්තු වුණා එයාගේ එකම පුතාගේ අනාගතය සුබ වෙනවා දකින්න. ඒක ඕනෑම අම්මා කෙනෙකුගේ ප්‍රාර්ථනයක්. ඒත් මම අම්මට පැහැදිලි කරලා දිලා තියෙනවා සම්ප්‍රදායික සාමාන්‍ය තරුණයෙකුගේ ජිවිතයට නෙමෙයි මම කැමැති කියලා. මම යන විදියක් තියෙනවා. මම ආස කරන විදියක් තියෙනවා. ඒ විදියට තමයි මේ ගමන යන්නේ . ඒකට මගේ අක්කාත් එකඟයි. මගේ අම්මා වගේම මගේ දෙවැනි අම්මා වුණේ මගේ අක්කා. මගේ ජිවිතේ හැම දෙයක් පසුපසම මේ දැවැන්ත හස්ත දෙක බොහොම ආදරෙන් මගේ ළඟ ඉන්නවා. මගේ සිතුම් පැතුම්, ගති පැවතුම් ඒ දෙන්නා හොඳාකාරවම අවබෝධ කරගෙන සිටිනවා. ඔලිම්පික් ගීතය කරන්නත් මට වැඩිය වෙහෙසක් ගත්තේ මගේ අක්කා. ඇය මං වෙනුවෙන් කරපු කැප කිරිම් ගැන කියන්න වචන මට නෑ. අම්මගෙත් අක්කාගෙත් ආශිර්වාදය මැද්දේ මගේ ඉදිරි නිර්මාණ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා."