මේ වන විට මගේ වෘත්තිය රංගනය මල්ලි පවුලේ බර කරට අරන් මට රඟපාන්න කිව්වා...

ඔක්තෝබර් 14, 2021

 

චරිතයක් නිරූපණය කරන්නට නළුවෙකුට අවස්ථාව ලැබුණාම ඔහු පිටපතට අනුව ඒ චරිතයට පණ පොවනවා. ඒ අනුව බලද්දී ඔහු නාට්‍ය ඇතුළේ තමන්ගේ ස්වරූපයට පරිබාහිර වූ හෝ ඊට සමාන වූ චරිතයකුයි නිරූපණය කරන්නේ. එහෙත් චරිතයක් තුළ තවත් චරිතයක් නිරූපණය කරන්නට තියෙනවා නම් එය නළුවාට යම් අභියෝගයක් වනු නොඅනුමානයි. ඒ චරිත ස්වභාවය එකිනෙකට වෙනස්නම් ඒක තවත් යම් වෙහෙසක් දරන්න අවශ්‍ය කාර්යයක්. එහෙම චරිතයක් තිබෙනවා ස්වාධීන රූපවාහිනියේ විකාශය වන කොළඹ ඉතාලිය නාට්‍යයේ. සමාජයේ අකටයුතුකම් කරන්නා වූ අජිත් නැමැති තරුණයාගේ චරිතය වූ එහි ගලායන හැඩය පසුව වෙනස් වනවා. ඒ ගැහැනු ස්වරූපයට වඩාත් නැඹුරු වූ පිරිමි චරිතයක් විදිහට. සමහර අවස්ථාවලදී ක්ෂණයකින් ඒ චරිත දෙකේ හැඩයන් මාරු වෙනවා. මේ චරිතය බොහොම අපූරුවට ඉදිරිපත් කරන්නේ දක්ෂ තරුණ නළුවෙක්. ඔහු නමින් ජෙනට් ඇන්තනී. වේදිකා නිර්මාණ ගණනාවකින් සිය නිසග හැකියාව ඔපමට්ටම් කරගත් ඔහු ටෙලි නාට්‍ය ගණනාවකින් ඔබ හමුවට ආවා කියා රුව දකිද්දි ඔබට මතක් වෙනවා ඇති. මේ ඒ තරුණ නළුවා සමග කළ සංවාදයක්.

 

කොළඹ ඉතාලියේ චරිතය පිළිබඳ කතා කරන්නට ප්‍රථමයෙන් මා අදහස් කළා ඔබේ රංගන ජීවිතයේ ඉතිහාසය පිළිබඳ පිරික්සා බලන්න?

මගේ උපන් ගම දෙහිවල. දෙහිවල කියලා කියන්නේ නාට්‍යවලට ටිකක් ප්‍රසිද්ධ ප්‍රදේශයක්. මගේ මව සහ පියා දෙබස් කථන මුද්‍රා නාට්‍යවලට සම්බන්ධ වූ අය. ඒ නිසා කලා හැකියාව මගේ ඇඟේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මම ඉගෙන ගත්තෙ දෙහිවල එස් ද එස් ජයසිංහ පාසලෙන්. එහෙම ඉගෙන ගනිමින් ඉන්න අතරතුරදී මාව නාට්‍යයට සම්බන්ධ කරගන්නෙ නිහාල් සමරදිවාකර කියන ගුරුවරයා. ඔහු මාව යවනවා අභිරූපණ නාට්‍ය තරගාවලියකට. මම එහි ගිහිල්ලා ඔහුගේ උපදෙස් සහ පුහුණුවීම් මත රඟපානවා. නාගරික තරුණයා කියලා පොඩි ඩ්‍රාමා එකක්. අන්න ඒකෙදි මම ඒ තරගයෙන් ජය ගන්නවා. ඉන්පසුව පාසලේ මම දිගින් දිගටම නාට්‍යවලට සම්බන්ධ වුණා. මේ වෙලාවේ මතක් කරන්ඩ ඕනේ සංඛ එදිරිසිංහ, සුජානි චන්ද්‍රිකා, චන්දන දාබරේ කියන ගුරුවරුන්. ඔවුන් තමයි මාව වැඩි වශයෙන් නාට්‍ය සඳහා යොමු කළේ. මම සමස්ත ලංකා නාට්‍ය තරග කිහිපයකදීම සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. පාසලෙන් අයින් වුණාට පස්සේ මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. යොවුන් නාට්‍ය උලෙළ සඳහා දායකත්වය දැක්වූවා. චාමික හත්ලහවත්ත සහ මංගල සේනානායක, ක්‍රිෂාන්ත ජයබාහු කියන වේදිකා නාට්‍ය ප්‍රවීණයන් එක්ක මට වැඩ කරන්නට ලැබුණා. ඒවා මගින් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් මම මගේ නාට්‍ය ජීවිතයට එකතු කරගත්තා. පාරමී තමයි මම රඟපාපු පළවෙනි ටෙලි නාට්‍යය. මට ඒ සඳහා අවස්ථාව දුන්නේ එහි අධ්‍යක්ෂ ජෝසප් පෙරේරා. කාලයක් මම රඟපෑමෙන් අයින් වෙලත් හිටියා. රොහාන් විජේසිංහ කියන අපේ රංගන ශිල්පියා පිළිබඳ ඔබ දන්නවා ඇති. කොළඹ ඉතාලිය නාට්‍යයේත් රඟපානවා ඔහු. හාරකෝටිය නාට්‍යයේ කාණු ගෙදර රංජියාගේ චරිතය රඟපෑවේ ඔහු. රොහාන් අයියා තමයි මාව ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන අධ්‍යක්ෂවරයාට හඳුන්වාදෙන්නේ. එතැනින් පසුව මම සිවා අයියත් එක්ක ලොකු ජර්නි එකක් යනවා කිව්වොත් නිවැරදියි. ඔහු අධ්‍යක්ෂණය කළ කෝටිපතියෝ, අමුතු රසිකයා, අග්නි පියාපත් කියන නාට්‍යවල විවිධ චරිත නිරූපණය කරන්නට මට අවස්ථාව ලැබුණා. ඔහොම තමයි මම මේ මගේ රංගන දිවියේ මග සලකුණු තිබ්බේ.

 

ඔබ වඩාත් ජනප්‍රිය කළ චරිතය පිළිබඳ ඇහුවොත්?

කෝටිපතියෝ නාට්‍යයේ ජෙනා කියන චරිතයෙන් මම මිනිස්සු අතරට ගියා. වර්තමානයේ නම් කොළඹ ඉතාලිය නාට්‍යයේ මම මේ නිරූපණය කළ චරිතය.

 

ඒ චරිතය පිළිබඳ වැඩි අදහසක් මෙතැන සඳහන් කළොත්?

මුලදී ඒ චරිතය එන්නේ ටිකක් මැර චරිතයක් විදියට. විවිධ අකටයුතුකම්, ඉතින් දන්නැද්ද ඔය වගේ පොඩි පොඩි වැඩ කරලා තමන්ගේ ජීවිතයට ගෙනයන්න මුදල් හම්බ කරපු චරිතයක්. පස්සේ මැර ගේමක් ගහන්න ඔය චරිතය ගැහැනු ස්වරූපයට වඩාත් ළැදි පිරිමියකු බවට හැරෙනවා. ඒ චරිතවල හැඩතල අහසට පොළොව වගේ. ඔහුගේ චරිතය ගැහැනු ස්වරූපයට වඩා වඩාත් නැඹුරු චරිතයක් බවට හරව ගන්නෙත් මැර වැඩක් කිරීම සඳහායි. දිගටම ඒ ස්වරූපයෙන් මට රඟපාන්නට වෙනවා. ඒ හැඟීම් දැනීම් ඉදිරිපත් කිරීම ලොකු අභියෝගයක් වුණා නාට්‍යය ඇතුළේ. ක්ෂණයකින් ඒ චරිතය ස්වරූපය වෙනස් වන දර්ශන තිබුණා. ඒක නාට්‍යයක් ඇතුළෙ තවත් චරිතයක් නිරූපණය කිරීමක්, අනික ස්වරූපයන් දෙකක චරිතනෙ. මට ලොකු අභියෝගයක් වුණා ඒ චරිතය නිරූපණය කරන්න. මේ වන විට කොළඹ ඉතාලියේ නාට්‍යයේ මගේ චරිතය සඳහා අසීමිතව ප්‍රතිචාර ලැබෙනවා. හිතාගන්ඩ බැරි විදිහට. ඒ ප්‍රතිචාර ලැබීම මට සතුටක්. චරිත දෙකටම විවිධාකාරයේ ප්‍රතිචාර ලැබීම තමයි ලොකුම සතුට. ඒ වගේ චරිතයක් නිරූපණය කිරීම රංගන ශිල්පියෙකුට ලොකු අවස්ථාවක් කියලත් මට කියන්නට පුළුවන්.

 

මේ චරිතය නිරූපණය කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

ඇත්තටම මම අර කියපු විදිහට මම නිරූපණය කරන චරිතය ගැහැනු ස්වරූපයට පත්වුණු අවස්ථාවන්වලදී මම රඟපාන විදිහ දැකලා අපේ නිෂ්පාදක කණ්ඩායම සෑහෙන්න එන්ජෝයි කරනවා. මට නම් ඒ චරිතයට එන නිරූපණය කරද්දී කොයි වෙලාවකවත් හිනා පහළ වෙන්නේ නැහැ. මොකද අපි චරිතයක්නෙ නිරූපණය කරන්නේ. ඒත් මට පේනවා මගේ ඉස්සරහ ඉන්න උදවිය ගොඩක් ඒ චරිතය විඳීනවා කියලා. ඒ කියන්නේ ඒ චරිතයට එවලෙම මට ප්‍රතිචාර ලැබෙනවා.

 

ඔබ වෘත්තීය නළුවෙක්ද?

ඔව්. මේ වන විට මගේ වෘත්තිය රංගනය. ඒත් මම පොඩි බිස්නස් එකක් කරගෙන යනවා ප්‍රධාන තැන දෙන්නේ රංගනයට.

 

චරිතයකට ආරාධනා ලැබුණාම මොන වගේ කරුණු කාරණාද සලකලා බලන්නෙ?

බොහෝ අවස්ථාවලදී අපිට ගැළපෙන චරිත තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේ වෙලාවලදී මම චරිතයේ ස්වභාවය අහගෙන පළුවන් නම් පිටපතක් ගෙන්න ගෙන ඒ චරිතයේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයක යෙදෙනවා. එහෙම කළාම ඒ චරිතයට හොඳ සාධාරණයක් ඉටු කරන්න පුළුවන්. රඟපෑම තෝරා බේරාගෙන කරන්න ඕනේ. ඒත් මට ගැළපෙන චරිත සඳහා තමයි මට ආරාධනා ලැබෙන්නේ. ඒ නිසා ලොකු තෝරා බේරා ගැනීමක් කරන්නේ නැහැ.

 

ඔබේ පවුලේ විස්තර සඳහන් කළොත්?

මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි, නංගියි, ආච්චි, සීයයි තමයි මගේ පවුලේ ඉන්නේ. මගේ මල්ලි මට නළුවෙක් විදිහට ඉදිරියට යන්නට ලොකු උදව්වක් දෙන්නෙ. තවත් විදිහකින් කිව්වොත් ඔහු නිවසේ බර වැඩිපුර කරට අරගෙන ඉන්නේ. මොකද මම කරන වෘත්තිය නිදහසේ කරන්න ඕනේ කියලා ඔවුන් දන්නවා. ඒ නිසා මට ඒ නිදහස උපරිමයෙන්ම ඔවුන් දීලා තිබෙනවා.