ඛාන්ලාගේ සිනමාවේ කුමාරයා ඉර්ෆාන් ඛාන්

අප්‍රේල් 30, 2020


 ඔහු තමා ඉදිරිපිට අසුන් ගෙන සිටිනා ඉලන්දාරියා දෙස බැලූ‍වේ සැකයෙනි. මේ ඇම්ඩන්ට මෙපමණ දැනුමක් තියෙන්නට බැරිය. තමාගේ ඇස් මානයෙන් ගැලවි පළා යන්නට ඔහුට ඉඩ දිය නොහැක.පොලිස් නිලධාරියා කියන්නේ ඒකටය.
 

 රටේ සුපිරි නළුවා තමන්ගේ පාසල් සගයා බව ඇත්තය. එහෙත් දැන් ඔහු සමීපයට ලංවීමට හිතන්නට බැරිය. වෙනදාට තමා ඉදිරියේ හිස නමා කොණ්ඩය කැපූ මිනිසුන් එකවරම තමාට හිස ඔසවා සළකන්නට ගත්තේය. ඒ සියල්ල මොහොතකින් ඉවරය. පවුලේ පමනක් නොව සමාජයේ සියලූ‍ ස්ථරයන්ගෙන් තමා කොන්වීමේ වේදනාව අත් දකින්නේ එහෙමය
 
 ජීවිතයේ කිසිකලෙක රස නොවිඳි ආහාරවේලක් රස විඳින්නට මේ අවස්ථාවයි. කන්තෝරුවේ ලිපිකාර ජීවිතය නාඳුනනා ලෙස වෙනස් වනුයේ කවදා පටන්ද? එය කියන්නේ කාට ද? තනිකඩ ජීවිතයට වළලූ‍ දැමූ නාඳුනන අතකින් බෙදෙන බත්පතක් ලැබීම කෙතරම් රසවත්විය හැකිද? එය පවසන්නේ කොහොමද ?
 
 මේසා විශාල ධනයක් වැයකොට අනාගතය සදහා යෙදු දැවැන්ත ආයෝජනය අතරමග බිඳ හෙළන්නට කැමැති ධනායෝජකයඅකු වෙත්ද? ව්‍යාපාරිකයකු යනු හැමවිටම අභියෝගයකි. ඉතින් එයට මුහුණ දෙන්නේ කෙසේද?
 
 මේ පොලිස් නිළධාරියා ද බාබර් ද ලිපිකරු ද ධනවතාද එක් අයෙකි. ඇත්තටම මේ වෘත්තින් හතරටම සම්බන්ධ නැති ඔහු රූපණවේදියෙකි. එහෙත් මේ සා චරිත මැවෙන්නේ ඔහුගේ සියුම් අභිනයෙනි. එය ඉතා සියුම්ය. ඉන්දියානු නවදිල්ලි රංගන පාසලේ ඉගෙනුම ලද දේ ඔහු අත්හදා බැලූ‍වේ එහෙමය. මුලින් පැවසුවේ ස්ලම්ඩෝග් මිලියනර්, බිල්ලූ‍ බාබර්, ලන්ච් බොක්ස්. හා ජුරාසික් වර්ල්ඞ් ගැනය.
 
 නළුවා ඉර්ෆාන් ඛාන්ය. ඉන්දියානු සිනමාවට ඛාන් (කුමාරයා* ලා අඩු නැත.යූසුෆ් ඛාන් දිලිප් කුමාර් වූදා පටන් අද මේ වන තුරු ඉන්දියානු සිනමාවේ ඛාන් ලා ගිනිය නොහැකි තරම්ය. එහෙත් ඉර්ෆාන් ඛාන් කුමාරයකු නොවිණ. ඔහුට සිනමාවේ ඉහළ යන්නේ ජීවිතයේ අග්ගිස්සේය. නිවෙන්නට පෙර පහන ඉක්මනින් දැල්වෙන සේ ඔහුගේ දිවි සැරිය නිමාවන විට ඔහු ඉහළටම දැල්වුණේය. ඒ චිත‍්‍රපට සියල්ල මතක සිටින චිත‍්‍රපටයන්ය. ඔහුට ගස් වටේ දුවන්නට පෙනුමක් වූයේ නැත. ඔහු සිනමාවට පිවිසෙන විට ගස් වටේ දුවන වයස ඔහුගෙන් ඉවත්ව ගොසින්ය. එහෙත් ගස් වටේ දුවනවාට වඩා මතක සිටින්නට ඔහුට හැකි විය. ඉර්ෆාන් ගේ වටිනාකම මුලින් හඳුනා ගත්තේ බොලිවුඞ් සිනමාව නොවිණ. මුලින්ම රඟපෑ සලාම් බොම්බේ චිත‍්‍රපටයේ හිටපු එකම සීන් එකත් එඩිටර් ගේ කතුරට අසුව තිබිණ. 1967 වසරේ ජනවාරි මස 7 වැනි දින රාජස්තානයේ ජායිපූර් හි ටයර් වෙළෙන්දෙකු වූ යසීන් අලිඛාන් ටදාව සයීඩා බේගම් ඛාන්ට උපන් පුතු වූ ඉර්ෆාන් පාසල් අවදියේ නම් දැරුවේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු හැටියටය. එහෙත් සියල්ල වෙනස් වන ඉන්දියානු ජාතික සිනමා පාසලට පැමිණි පසුය.
 
 ඔහුට මුල් යුගයේ ලබා ගත හැකිවුයේ ටෙලි නාට්‍ය රාශියක් පමණකි. මෙම ටෙලි නාට්‍යය ඉර්ෆාන් ගැන රසිකයන්ගේ අවධානය දිනා ගත්තේය . එහෙත් ඉන්දියාවේ ටෙලි හා සිනමා යනු නළු නිළියන් දෙවර්ගයකි. දිනපතා ගෙදරට එන ටෙලි නාට්‍ය නළු නිළියන් මුදල් ගෙවා බලන්නට ඉන්දයනුවෝ කැමැති නැත. එය ජයගත හැකිවූයේ එහෙමත් කෙනෙකුට පමණකි. ඉර්ෆාන් ඛාන් එහෙමත් කෙනෙකි. ඔහු ට සුප‍්‍රකට සිනමාකරු බාසු චැටර්ජිගේ කමලා කී මෝට් චිත‍්‍රපටයේ චරිත නිරුපණයට අවස්ථාව ලැබිණ. එහෙත් ඉර්ෆාන්ගේ හැකියාව බොලිවුඩ ය හඳුනා ගන්නට පෙර ලෝකය හඳුනා ගෙන තිබිණ.
 
 ඒ වොරියර් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් රඟපෑමත් සමගය. ඒ 2001 වසරේය. ඔහු බොලිවුඞ් චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිත රඟපානුයේ 2005 වසරේය. රෝග් චිත‍්‍රපටයෙනි. ඔහුගේ රඟපෑම විචාරකයන්ගේ අවධානයට යොමුවිණ. හාසිල් චිත‍්‍රපටය 2004 වසරේ හොඳම ප‍්‍රතිවීර චරිතයට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා දුන්නේය. මෙට්‍රො ඔහුට ෆිල්ම්ෆෙයාර් හොදම සහාය නළුවා සම්මානය දිනා දුන්නේය. මේ ඔහු නැගී සිටින්නට පටන් ගත් යුගයයි.
 
 ඇත්තටම ඉර්ෆාන් බොලිවුඞ් සිනමා නළුවකු ලෙස වර්ගිකරණය කිරීම සහමුලින්ම අසාධාරණයකි. ඔහු ඉන්දියාව බිහි කළ ජාත්‍යන්තර රූපණවේදියෙකි. ඉන්දියානු නළු නිළියන් කිහිප දෙනෙකු මේ වන විට විදෙස් චිත‍්‍රපට රාශියක රඟපෑවද මේ කිසිදු නළුවකුට ඉර්ෆාන් තරම් දැවැන්ත පරිමාණයක් ගොඩ නගා ගැනීමට හැකියාවක් නොවිණ. ඔහුගේ රංගනය ඉතා සියුම්ය. විටෙක ඔහුගේ දෑස ද කථා කරන්නට පටන් ගනියි. ඔහු වැවෑයමෙන් නැගුණ නළුවෙකි. ජුරාසික් පාක් නරඹන්නට මුම්බායි සිනමාහලක ප්‍රෙව්ශ පත‍්‍රයක් ගන්නට වරම් නැති වූ ඔහු ජුරාසික් වර්ල්ඞ් චිත‍්‍රපටයේ රඟපෑවේය. ඔහුගේ සිනමා නාමාවලිය පිරික්සෙන්නෙකුට ඔහු බොලිවුඞ් නාමය තුළ සිර කරන්නට නොහැකි බව පසක් වෙයි. දි අමේසිං ස්පයිඩර් මෑන්. ද ලයිෆ් ඔෆ් පායි, ද නේම්සේක්, නිව්යෝක්, පාංසිං ටෝමාර්, ගුන්ඬේ,පිකූ, ඉන්රේනෝ, හින්දි මීඩියම්, ද සෝංග් ඔසේකෝර්පියන්ස්,බ්ලැක්මේල් වැනි චිත‍්‍රපට නාමාවලිය පෙන්වා දෙයි. මේ අතර ඇතැම් ඉන්දියානු චිත‍්‍රපට වඩා සාර්ථකවූයේ ජාත්‍යන්ත.ර සිනමා වෙළධ පොළ තුළය. ඔහුගේ අවසාන චිත‍්‍රපටය වූයේ අන්ගේ‍්‍රසි මීඩියම් තිර ගතවීම ආරම්භවූයේ පසුගිය මාර්තු 13 වැනි දිනය. ලොව පුරා පැතිරුන කොරෝනා වසංගතය සමඟ එය ප‍්‍රදර්ශණය අතරමග නතර විය.
 
 වසරක කාලයක් පුරා ඔහු ස්නායු සම්බන්ධ පිලිකා රෝගයකින් පෙලූ‍ණේය. එයට වරින්වර ප‍්‍රතිකාර කළ ද එයින් පළක් නොවිණ. ඔහු විවාහව සිටියේ සුතාපා දේවේන්ද්‍ර සික්දර් සමඟය. මේ යුවළට දරුවන් දෙදෙනෙකි. ඉර්ෆාන්ගේ මරණයට දින හතරකට පෙර ඔහුගේ මෑණිියන් ද මෙලොව හැරගියාය. ඉර්ෆාන් එයින් සිව් දිනකට පසු ඇය සමග එක්වන්නට ගියේය.