‘දිනමිණ‘ කළ සිනමා මෙහෙවර

දෙසැම්බර් 17, 2020

 

ලේක්හවුස් ආයතනයේ පැරැණි ම සිංහල ප්‍රකාශනය වූ ‘දිනමිණ‘ දිනපතා පුවත්පතෙහි එකසිය එකළොස් වැනි සංවත්සරය අදට (දෙසැම්බර් 17) යෙදී තිබේ. සියවස ඉක්ම වූ දිනමිණෙහි සිනමා මෙහෙවර පිළිබඳ කෙරෙන විමසා බැලීමෙකි මේ...

මුද්‍රිත ජනමාධ්‍යයක එක් සුවිශේෂී බලපෑමක් වන්නේ රටේ සංස්කෘතිය හා කලා නිර්මාණ සම්බන්ධයෙන් පෙනී සිටින නියෝජිතයතු වීමත් කලා ශිල්පීන්ට හා නිර්මාණකරුවන්ට උචිත වේදිකාවක් තනා දීමත් නම් එහිලා දිනමිණ පුවත්පත සියවසකට මදක් වැඩි කාලපරිච්ජේදය පුරා ඉටුකොට ඇති මෙහෙවර මිණිය නොහැකි තරම් ය. 1947 කඩවුණු පොරොන්දුවෙන් ඇරැඹි ලාංකේය කතානාද සිනමාව නව විනෝදාස්වාද මාධ්‍යයක් ලෙස පොදු ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වගකීමේ වැඩි බර පැටවුණේ දිනමිණ උරමත ය. ඒ එකල තිබූ ඒකායන දෛනික මුද්‍රිත ප්‍රකාශන මාධ්‍යය දිනමිණ පමණක් ම වූ බැවිනි. ඊට තැනුණු පත්තර වේදිකාව ‘දිනමිණ-රඟමඩල‘යි. හැම බදාදාවක ම ප‍ළ වූ මේ පිටුව සිනමාව සඳහා ම වෙන් වූවක් විය. සමාරම්භක සංස්කාරකවරයා වූයේ පසුකලෙක උන්නතිකාමී සරසවි ඇදුරකු වූ මහාචාර්ය එම්. එච්. ගුණතිලකයෝ ය. ඒ හරහා මතු ව ආ ජයවිලාල් විලේගොඩගේ අභීත-අදීන චිත්‍රපට විචාර පැටිවියේ හුන් සිංහල සිනමාවේ ප්‍රගමනයට මහත් අත්වැලක් වූවාය යන්න පොදු පිළිගැනීම යි. 1953 දී 'දිනමිණ' විශේෂාංග අංශයේ උප කර්තෘවරයකු ලෙස ලේක්හවුස් සේවයට බැඳුණු ඔහු අකල් හී වියෝ වනතුරු ම ‘දිනමිණ-රඟමඩල‘ පිටුව සංස්කරණය ක‍‍ළේය. විශේෂයෙන් දක්ෂිණ භාරතීය සිනමා යටත්විජිතවාදයට එරෙහිව පෑන මෙහෙය වූ ජයවිගේ විචාරයේ ආත්මය වූයේ දේ‍ශීයත්වය හා අදීනත්වය යි. චිත්‍රපට විචාරය ප්‍රේක්ෂකයාට මතු නොව අදාළ නිර්මාණකරුවා ප්‍රමුඛ ඊට දායකත්වය දුන් සියල්ලන්ට ම තීරණාත්මකව බලපාන විෂයයක්, කලාවක් බවට පත් වූයේ ඔහුගේ පුරෝගාමීත්වයෙනි. මෙරට සිනමා නිර්මාණ සාහිත්‍යය හා දිනමිණ අතර අවියෝජනීය සබඳතාව ගොඩ නැඟුණේ ජයවිලාල්ගේ විචාර රීතිය ඔස්සේ යන්න නොරහසකි. එම විචාර කියවා බලා චිත්‍රපට නරඹන්නට හුරු වූ ප්‍රේක්ෂක පිරිසක් එදවස ඇති වූ අතර විශේෂයෙන් රඟමඩල පළ වූ බදාදාවන් හි දිනමිණ අලෙවිය අනෙක් දිනවලට වඩා බෙහෙවින් ඉහළ යාම ඊට තිබූ සිනමාලෝලීන්ගේ කැමැත්තේ බලවත්කම පෙන්නුම් කරයි. එහි කූටප්‍රාප්තිය සනිටුහන් කළ නවසිය හැටේ දශකයේ දිනමිණ චිත්‍රපට විවේචන සිංහල සිනමාපටවල බොක්ස් ඔෆිස් ඉරණම තීරණය කරන ප්‍රධාන ම නිමිත්ත වන තරමට ප්‍රබල වූ බව පැවසේ.

1955 වසරේ සංවිධාන කළ දිනමිණ චිත්‍රපට තරගය, පුරෝගාමී යුගයේ ලාංකේය චිත්‍රපටය ලක් පො‍ළොව මත පැ‍‍ළ කරන්නට දිනමිණ කළ දැවැන්ත ම කර්තව්‍යයකි. මාස ගණනාවක් පුරා පැවැති මේ අපූර්ව තරගයේ අවසන් ප්‍රතිඵල 1955 දෙසැම්බර් 9 වැනි දා (සිකුරාදා) දිනමිණ මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය වී තිබිණි. එහි ශීර්ෂපාඨය වූයේ ‘රුක්මනී-ප්‍රේම්ජයන්ත් මුල්තැනට‘ යන්නයි. සිරස්තලයට දෙපසින් රුක්මනී දේවිගේ හා ප්‍රේමජයන්ත්ගේ අලංකාර සේයා රූ 2ක් පළ කෙරිණි.

රුක්මනීදේවී ඡන්ද 100,091ක් ලබා ගනිමින් ජනප්‍රිය ම නිළිය ලෙසින් මෙහි දී සම්මාන දිනූ අතර බ්‍රිටිෂ් ඉලෙක්ට්‍රික්ස් සමාගමේ අනුග්‍රහයෙන් ඇයට ගාන්ඩිස් ටේප්රෙකෝඩර් යන්ත්‍රයක් පිරිනැමිණි. එහි දෙවැනි හා තුන්වැනි ස්ථාන පිළිවෙළින් ප්ලොරීඩා ජයලත් (ඡන්ද 13616) සහ ක්ලැරිස් ද සිල්වා (ඡන්ද 3704) දිනා ගත්හ. ජනප්‍රිය ම නළු සම්මානය දිනා ඇත්තේ පාඨක ඡන්ද 90,999ක් ලබා ගත් ප්‍රේම්ජයන්ත් ය. ඔහුට හිමි වූ ත්‍යාගය වෑල්ව් 9 මර්පි ගුවන්විදුලි යන්ත්‍රයකි. රිචඩ් පීරිස් සමාගම ඒ සඳහා අනුග්‍රහය දක්වා තිබිණි. ප්‍රේමජයන්ත්ට දෙවැනි හා තුන්වැනි වූවෝ ස්ටැන්ලි පෙරේරා (ඡන්ද 11,912) හා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න (ඡන්ද 5237) ය. දිනමිණ චිත්‍රපට තරගයේ දී ජනප්‍රිය ම සිනමා නිර්මාණය ලෙස වැඩිම පාඨක මනාපය දිනුවේ ඡන්ද 96,666ක් ලැබූ ‘කැලෑහඳ‘ චිත්‍රපටය යි. ඡන්ද 81,090ක් දිනා ගත් ‘මනරංජන දර්ශනීය ලංකා‘ ජනප්‍රිය ම ගීතය වූවාය. තරගයේ වැඩිම පාඨක අවධානය දිනා ගත් අංගය වූයේ අවසන් ප්‍රතිඵලයේ නිවැරදි අනාවැකිය කී පාඨකයාට දහසින් බැඳී පියලි පිරිනැමීමයි. එහි වාසනාවන්තයා වූයේ පාදුක්ක පොරේගෙදර ඇස්. ඇල්. විජයතුංග මහතා ය.

ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය ලාංකේය රිදී තිරයේ දිග හැරී දසවසක් ඉක්මයාමටත් මත්තෙන් සංවිධාන කළ මේ නවමු තරගය ළදරු සිනමාවේ අභ්‍යුදය පිණිස වුවා සේම පුවත්පතේ අලෙවිය කෙරෙහි ද තීරණාත්මක බලපෑමක් කළා නිසැක ය. සිනමාලෝලීන්ට ආගන්තුක අත්දැකීමක් වූ මේ තරගය සඳහා එක්ලක්ෂ විසිපන්දහස ඉක්මවූ කුසපත් සංඛ්‍යාවක් ලැබීම ම එය ලද පාඨක ජනාදරයේ තරම කියා පායි.

ලංකා සිනමා ඉතිහාසයේ කුලුදුල් සිනමා උලෙළ පැවැත්වීමේ ගෞරවය ද දිනමිණට හිමි ය. ඒ 1956 මාර්තු දෙවැනි දාය. ‘දිනමිණ රඟමඩල‘ චිත්‍රපට උලෙළ ලෙස එය නම් කොට තිබිණි.

සිනමාවේ අභිවර්ධනයත් තිර පැවැත්ම ඉතසිතින් පැතූ දිනමිණ ඒ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින්නට ද පසුබට නොවූ බවට නිදසුන් රැසකි. විශේෂයෙන් මෙරට ජනාදරය දිනූ සිනමාවේදීන්ගේ නළුනිළියන්ගේ අන්තර්ජාතික ජයග්‍රහණ සේ ම අභාවයන් ආදිය සෑම විටෙක ම මුල් පිටුවේ ඉහළ ම වටිනාකමක් දී පළ කළ අතර රුක්මනී දේවී, ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, පණ්ඩිත් අමරදේව වැනි සුවිශිෂ්ටයන්ගේ අභාවයන් වාර්තා කළේ පළමු වැනි පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්ති වශයෙනි.

දිනමිණ සෙවණ ලද මාධ්‍ය සගයන් රැසක් පසු කලෙක විවිධ ඉසව් ඔස්සේ සිංහල සිනමාවේ ප්‍රගමනයට දායක වූ බව දිනමිණ සිනමා මෙහෙවර විමසන මේ මොහොතේ සිහිපත් නොකළහොත් එය වරදෙකි. මාර්ටින් වික්‍රමසිංහ (නවකතාකරු-සිනමා විචාරක) ජී.බී.සේනානායක (නවකතාකරු), කලාකීර්ති එඩ්වින් ආරියදාස (ජනමාධ්‍ය උපදේශක), මහාචාර්ය අජන්තා හපුආරච්චි (චිත්‍රපට විචාරක), වසන්ත ඔබේසේකර (සිනමාවේදී), සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර (චිත්‍රපට නළු), තිලකරත්න කුරුවිට බණ්ඩාර (චිත්‍රපට විචාරක හා ගීතරචක), ආචාර්ය අජන්තා රණසිංහ, (ගීතරචක), සමන් චන්ද්‍රනාත් වීරසිංහ, විමලවීර පෙරේරා (තිරනාටක හා ගීත රචක), කේ.එස්.පෙරේරා (නවකතාකරු), ධර්මසිරි ගමගේ (ගීතරචක හා අධ්‍යක්ෂ), අනුර බණ්ඩාර රාජගුරු (චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු), සුසිල් ගුණරත්න (චිත්‍රපට, ටෙලිනාට්‍ය හා වේදිකා නළු-අධ්‍යක්ෂ), සුනිල් මිහිඳුකුල (චිත්‍රපට විචාරක හා ලේඛක), කුමාර සිරිවර්ධන (පිටපත් රචක, නළු හා පරිවර්තක), උපාලි සමරසිංහ (ලේඛක), ගාමිණි ජයලත් (චිත්‍රපට, ටෙලිනාට්‍ය හා වේදිකා නළු), කථිකාචාර්ය චින්තක රණසිංහ, ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර (චිත්‍රපට විචාරක හා ලේඛක), ආචාර්ය නුවන් නයනජිත් (සිනමා ලේඛක හා පර්යේෂක), වේහැල්ලේ පියතිලක (කලා අධ්‍යක්ෂ), විජිත සල්ගාදු (ටෙලිනාට්‍ය හා වේදිකා නළු), දුමින්ද සෙනරත් (චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු), චන්න දොළපිහිල්ල (ටෙලිනාට්‍ය නළු හා ලේඛක), ෆවුස් මොහොමඩ් (සිනමා ලේඛක) ඉන් මතකයට නැඟෙන නම් කිහිපයක් පමණි.

අප මේ සටහන නිමා කරන්නේ එදා මෙදාතුර ලාංකේය සිනමා ඉතිහාසයේ පහළ වූ අද්විතීය තිරනාටක රචකයා වූ ආචාර්ය තිස්ස අබේසේකරයන් දිනමිණ පුවත්පතේ 75 වැනි සංවත්සර අතිරේකයට 1984 දෙසැම්බර් 17 වැනිදා ලියූ ආරාධිත ලිපියේ වූ වාක්‍ය ඛණ්ඩයකිනි. ඒ දිනමිණ සිනමා මෙහෙවර මේ යැයි පෙන්වා දිය හැකි ඊට වැඩි වටිනා සහතිකයක් අප අත නොවන බැවිනි.

‘...දිනමිණ පුවත්පතේ සිනමා පිටුවත් එහි සංස්කාරක ජයවිලාල් විලේගොඩත් මගේ සිනමා අධ්‍යාපනයේ හෝඩි පොත් ය. පසු කලෙක පතපොතින් හා භාවිතයෙන් සිනමාව පිළිබඳ මා ලද දැනුමට යටින් ඒ හෝඩි පොත් ඇසුරෙන් ලද චමත්කාරය තවමත් මා තුළ ශේෂව තිබේ...‘

(දිනමිණ 17/12/ 1984)