සෙනසුරාදාවක බයිසිකල් පුරුදු වී සෙනසුරදාවකම වෙන්ව ගිය බර්නාඩ් ෂෝ

දෙසැම්බර් 24, 2020

 මෙයට අවුරුදු විසි එකකට පමණ ඉහත අතීතයේ දවසක කොළඹ හොරණ පාරේ කහතුඩුව හන්දිය අදට වඩා සහමුලින්ම වෙනස් මුහුණු වරක් ගත්තේය. එක් සෙනසුරාදා උදෑසනක මේ හන්දියේ ටෙලිවිෂන් චිත්‍රපටයක දර්ශනයක් රූපගත කරමින් තිබිණ. කතාවේ හැටියට එය ආරම්භක දර්ශනය වුවත් එහි සහාය අධ්‍යක්ෂව සිටි දමින්ද මඩවල සැලසුම් කරන ලද්දේ අවසාන දිනයේ රූප ගත කරන්නටය. කිසිදු ඇහිල්ලකින් බැලිල්ලකින් තොරව කඩයක සිට මහපාරට බයිසිකලයක් දමන පත්තර විකුණන කොලුවෙකුගේ රූපගතකිරිම එහි යොදා ගෙන තිබිණ. එයට අදාළ සෙසු දර්ශන පෙර දිනයක පිළියන්දල සුවාරපොල පැත්තේ පැරැණි සුවිසල් නිවහනක රූප ගත කරන ලදී. එම දර්ශන සඳහා පෙනී සිටියේ විශිෂ්ට රංගධර ටෝනි රණසිංහ, අනුර බණ්ඩාර රාජගුරු සහ රංජිත් රූබසිංහ හා මේ බයිසිකල් පදින චරිතයට තෝරා ගෙන සිටි නළුවාය. කලින් දර්ශන අධ්‍යක්ෂවරයා ගේ සිතැඟි පරිද්දෙන්ම රූපගත කෙරුණු හෙයින් මේ ඉතිරි දර්ශනය වඩාත් හොඳීන් රූපගත කරනු ඇතැයි නිෂ්පාදන කණ්ඩායමේ සියල්ලෝම විශ්වාස කළහ. නවක නළුවා එයට කෙතරම් පේවී කටයතු කළේ ද යත් මාස කිහිපයක පටන් එහි තිරනාටකය ඉල්ලා ගෙන රෑ දාවල් වෙනසකින් තොරව අධ්‍යක්ෂවරයාට වාතයක් වන අන්දමින්ම උපදෙස් ලබා ගත්තේය. මේ ඉලන්දාරියාගේ සොඳුරු කරදරය ඉවසන්නට අධ්‍යක්ෂවරයාට සිදුවූයේ එයින් සිය නිර්මාණයට වන වාසිය සිතා ගෙනය. අලුත් නළුවා හෙමින් සීරුවේ අධ්‍යක්ෂ සමීපයට පැමිණියේය.

‘මේ සීන් එක වෙනස් කරලා ෂූට් කරන්න බැරිද අය්යේ?‘

ඔහු හීන්සීරුවේ ඇසුවේය.

‘ඇයි බං‘

‘මට බයිසිකල් පදින්න දන්නෑ අය්යේ. බයයි‘.

දර්ශන මාලාවේ සියයට අනූනවයක්ම රූපගත කර අවසන්ය.දැන් වෙනත් නළුවකු යොදන්නටත් බැරිය. මේ මොහොත වන තරු මේ හාදයා ඒ ගැන කීවේත් නැත. අධ්‍යක්ෂවරයාගේ ඇස් උඩ ගියේය. සියල්ලම නැවත රූප ගත කරනවා හැර වෙනත් විකල්පයක් නැත. නළුවාගේ බැරිබැරියාවට අමතරව එදින උදේ ආලෝකය ද හොඳ තත්ත්වයක නොවිණ. එය කැමරා අධ්‍යක්ෂ ජයදේව මෙන්ඩිස්ගේ බරබරයට හේතුව තිබිණ. මේ අතරවාරයේ කලා අධ්‍යක්ෂ රන්ජන් ප්‍රසන්න හා දැන් අප අතර නැති රවී විජේවර්ධන තඩි මුගුරු දෙකක් ගෙන නළුවා බයිසිකලයට නංවා පුරුදු කරන්නට පටන් ගත්හ. නළුවාගේ වාසනාවට තව සතියක්ම රුප ගතකිරිම් කල් දැමිණ. සතියක් ගත වුණ තැන නළුවා ආවේ බයිසිකලයෙන් වෙට්ටු දමන්නට තරම් හැකියාවක් සහිතවය. සෙනසුරාදාවක බයිසිකල් පදින්නට පුරුදු වූ නළුවා පසුගිය සෙනසුරාදා එනම් 19 වැනි දා සවස මෝටර් බයිසිකලය පැද යද්දී නවතා තිබූ ලොරියක ගැටී සියල්ලන්ගෙන් සමුගත්තේය.

නළුවා බර්නාඩ් ෂෝ ප්‍රේමසුන්දර දිසානායක නම් විය. නළුවකුයැයි පැවසුව ද ඔහු ලේඛකයකු විය.ඡායාරූප ශිල්පියකු විය. අපූරු රසවතකු විය. නමේ හැටියටම අපූරු ගැටවරයකු වූ බර්නාඩ් වසර ගණනාවකට පෙර ලේක් හවුස් ආයතනයට පැමිණ මා හමුවූයේ ඔහු ගැන විස්තරයක් පළ කරවා ගන්නටය. බර්නාඩ් ෂෝ නමැත්තකු මා හමුවන්නට පැමිණ ඇතැයි පැවසූ සැණින් මට සිතුණේ එය කාගේ හෝ ලණුවක් හැටියටය. එකල කන්තෝරුවල එබඳු ලණු සුලභ විය. එහෙත් එබන්දෙක් පැමිණි ඇතිවග සනාථ වූයෙන් එවකට දන්නා ඉංග්‍රිසි සියල්ලම කටපාඩම් කරගෙන සුද්දකු මුණ ගැසෙන්නට ගියෙමි. මට මුණ ගැසුණේ පාසල් විය නිම කළ වයසේ සිටි ගැටවරයෙකි. ගම මීරිගමය. ඒ වන විටත් ඔහු ජයන්ත චන්ද්‍රසිරි ගේ රංගන පාඨමාලාවක් හදාරා උන්නා මට මතකය. මේ දවස්වල සරසවිය කර්තෘව සිටියේ ඒ.ඩී.රංජිත් කුමාරයන්ය. රංජිත් අය්යාගේ පුත් වර්තමාන සරසවිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර ඒ දවස්වල පාසල් සිසුවකුව සිටි අවධියයි. බර්නාඩ් ඔහු සොයා ගෙන පාසලට ද ගොස් තිබිණ. ඒ බව දැනගත්තේ පසුවය. මම බර්නාඩ් ගැන කෙටි සටහනක් පුවත්පතට ලිව්වෙමි.

මීරිගම පළාතේ හොඳ උගතකුවූ සිය මුත්තනුවන් තම මුණුබරුට බර්නාඩ් ෂෝ යැයි නම දමා තිබිණ.

බර්නාඩ් සිය ඉලක්කයන් කරා ගියේ හීන්සීරුවේය. මීරිගම සිට කොළඹ පැමිණ නාට්‍ය, සිනමා පාඨමාලාවන් පමණක් නොව කැමරාකරණය පිළිබඳවද ඔහු හැදෑරුවේය. ඔහුට ලැබුණේ සුළු චරිතයක් වුව එයට කැපවූයේය. වරක් රැයක් නිදිවරා රඟපෑ චිත්‍රපටයක සංස්කරණයේ දී ඉතිරිව තිබුණේ ඔහුගේ අත පමණකි. එහෙත් ඔහු සිය උත්සාහය හෝ බලාපොරොත්තුව අත් හැරියේ නැත. කවදාක හෝ සිනමා කෘතියක් අධ්‍යක්ෂණයක් කිරීමත් එහි ප්‍රධාන චරිතය රඟපෑමත් ඔහුගේ බලාපොරොත්තුව විය. විශිෂ්ට ලේඛකයකු වීමත් ඔහුගේ ප්‍රාර්ථනාවක් විය.මෙය කිසිවකුගේ සිනහවකට හේතුවිය හැකි වුවත් මිනිසකුගේ බලාපොරොත්තු යනු හාස්‍යයට ලක් කළ යුතු ඒවා නොවේ. අකාල සන්ධ්‍යා සිට මෑතකාලයේ ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් දක්වා චිත්‍රපට හා ටෙලිනාට්‍යය රාශියක ඔහු චරිත මැවුවේය. ඒ හැම චරිතයක්ම කුඩා වුවත් බර්නාඩ් කාටත් මතක සිටියේය. ඔහු සිය රංගන දිවියේ ගුරු කොට ගත්තේ ජයන්ත චන්ද්‍රසිරි හා මහාචාර්ය ආරියරත්න ඇතුගලය. රඟපෑමට අමතරව ඔහුගේ වෘත්තිය වූයේ ඡායාරූපකරණයයි. සුනිල් මිහිඳුකුල යුගයේ සරසවිය පුවත්පතට ඔහු නිතර ඡායාරූප ලබා ගත්තේය.

ඔහ පුවත්පත්වලට ලියන ලිපි හා ඡායරූප නිසා අලුත් නිළියන් රාශියකටම සිනමාවේ ටෙලිවිෂනයේ දොර ඇරිණ. ඔහු ඒ වෙනුවෙන් අබමල් රේණුවක්වත් ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවූ වග ගෞරවයක් ලෙස සටහන් කරන්නට කැමැත්තෙමි.

පසුගිය වකවානුවේ ඔහුට ස්ථිර රැකියාවක් ලැබිණ. ඒ මහාචාර්ය ආරියරත්න ඇතුගල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කරන සමයේය. ඉතා ඉක්මනින් තම දක්ෂතා ඉස්මතු කර ගන්නට බර්නාඩ් එහිදී සමත් විය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැමරා ශිල්පියකු ලෙස තනතුරක් ලැබුණේ ඔහුගේ කුසලතාව මතය. සැබැවින්ම ඔහු හොඳ ඡායාරූප ශිල්පියකු විය. ඔහු හැමවිටම තමන්ට ලැබෙන රාජකාරිය දේවකාරියක් සේ සැලකුවේය. එමෙන්ම මහාචාර්ය ඇතුගල කළ උපකාරය ඔහු හැමවිටම සිහියේ තබා ගත්තේය. සිය දිවිය ඇතුළත තම මව්පියන් ද භාර්යාව ද උතුම්කොට සලකන්නට ඔහු පුරුදුව සිටියේය. බර්නාඩ් සිය ජීවිතයේ ඉලක්ක සපුරා ගැන්මට කළ කැපවීම හා ඉපැයූ ධනය එය ලාබ පාඩු බලන ව්‍යාපාරිකයකුට නම් ශේෂ පත්‍රය සෘණ අගයක් සේ පෙනෙනු ඇත. එහෙත් සතුට යනු පරම ධනය ලෙස ඇදහූ බර්නාඩ්ට එය ඉහළ ලාභංශ ගෙන ආවක් විය.

ඉතා මෑතක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දොරටුව අබියස ඔහු මට මුණ ගැසිණ.

‘මෝටර් සයිකලයක් ගත්තා අය්යේ‘

ඔහු මට අලුත් ආරංචියක් පැවසුවේය.

‘අය්යා හින්දනේ මට බයිසිකල් පදින්න පුළුවන් වුණේ ‘

මා යමක් කියන්නට පෙර ඔහු සිහිපත් කළේය. ඇත්තය. කහතුඩුව හන්දියේ බයිසිකල් පදින්නට නොහැකි බව පැවසීමෙන් බර්නාඩ් විසින් ඇස් උඩ ඉන්දවන ලද අධ්‍යක්ෂවරයා මම වීමි.

‘මම මේ දවස්වල ෆේස්බුක් එකේ පරණ ඒවා ලියනවා. අය්යා ගැනත් ඉස්සර හට ලියනවා.‘

ඔහු ලියන ලද ෆේස්බුක් සටහන් අපූරු මතක සටහන්වලින් යුක්ත විය.

ඔහු මා ගැන ලියන්නට සිතාසිටියේ කුමක්දැයි මා දන්නේ නැත. එහෙත් මා ලියූ මේ කෙටි සටහන කියවන්නට ඔහු අප අතර නැත. ඔහු ගේ අවසන් හුස්ම සමඟ සපුරා ගත නොහැකි දහසක් සිහින ද වාතලයට මුසු වන්නට ඇතැයි මට සිතේ. ඔහු බයිසිකල් පදින්නට සිත හදා ගත්තේ මා නිසායැයි සිතෙන විට නම් මට මා හට සමාව දිය නොහැකිය.