ආදර ගීතාවලිය නෙතු දැහැන් බිඳී

අප්‍රේල් 4, 2019

එපා සඳේ ඔබේ සිනා මේ රැයේ

එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ සිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ

අඹ මල් යායේ බිඟු දැල් හීයේ
මිහිලොල් සරා හැඟුම් පීදුණා
ළතැවුල් සේදී හසරැල් පාවී
ැගේ වත පාවී සිනා

හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුවරොන් සැලී ලවන් සේදුණා
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ

ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ



----------------

දවසින් දවසට කොළයෙන් කොළයට

දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ

පුරපස අවපස වෙනසක් වූව ද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සැබඳේවිද
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

සිතුවෙමි සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසක් ඉතිරිව ඇත්තේ

සිතන්න බොළඳියේ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා


ගී පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය - රෝහණ වීරසිංහ

--------------

නෙතු දැහැන් බිඳී හද විමන් වදී

නෙතු දැහැන් බිඳී හද විමන් වදී
සුරගනක් වගෙයි කුමරී
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ගනඳුරෙන් මිදී තරු රැහැන් එබී
සිහිනයෙන් වඩී කුමරි
මීදුමෙන් ඇදී සිහිලකින් එතී
නෙතු අගින් බලයි සොඳුරි

හසඟනන් පිරි පෙති පියුම් හැරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී තුරු අගින් මිදී
නෙත දසුන් මවයි කිඳුරි


ගී පද - සරත් ආනන්ද ඩිරෙක්ස්
සංගීතය - කළණි පෙරේරා


------------
මේ ඉර හඳ යට හමු වී

මේ ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතක වත් නෑ

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මඟ සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා


ගී පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - එම්. ආර්. චුලසිංහ


------------
මගේ කඳුළින් නිමා වූ මාවතේ මාවතේ

මගේ කඳුළින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ
මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු
ඔබට හිරු සඳු වේවා

වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් චේතනාවෙන්
නිහඬ වූ වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා

පාළු කුටියේ මා පරාජිත වී
නිදා නොනිදා හිඳින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුණු පහන්
නොනිමි පහනක් වීලා


ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

----------
වසන්තයේ අග හමුවෙමු සොඳුරිය

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ළවැලි තලාවක විසුල කුසුම් මත
අතින'ත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු
ළා සඳ නැගෙනා හෝරාවේ

ගිමන් නිවන්නට ජීවිතයේ
යළි කෙදින ද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා

දොරගුළු හැරලමු අපි දෙහදේ
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ


ගී පද - කපිල කුමාර කාලිංග
සංගීතය - එඩ්වඩ් ජයකොඩි


--------------
සුළං කෝඩයක මහා මේඝයක

සුළං කෝඩයක මහා මේඝයක සැඟ වී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුළේ

සිහිල් දිය වැලෙක සුනිල් වන ගැබෙක තනි වී හිඳිමී
වසත් සිහිනයෙක මනෝ ධ්‍යානයෙක නිදහස දකිමී
නොඑන් මා කරා
සමාධියෙන් මා මුදවා
මා නුරා මතින් පුරවා
අවාරයේ පිපි මල් කැකුළේ

වහල් දිවි මගෙන් නුවන් යුග සරින් හැමදා මිදෙමි
ගිමන් නිවාලන තපෝ වාසයෙක රැඳිලා හිඳිමි
දුහුල් සළු උනා
ධ්‍යානයෙන් මා මුදවා
මා සිතේ බවුන් බිඳ දා
අවාරයේ පිපි මල් කැකුළේ


ගීපද - ගීතනාත් කුඩලිගම
සංගීතය - වික්ටර් රත්නායක


------------
සිඳු රළ වෙරළේ

සිඳු රළ වෙරළේ - හැපී හැපී බිඳෙන සේ
මතකය වැලපේ - සිත් වෙරළ ඉමේ
ආදරය මේ වගෙ - අරුතක් දෙන්නද
මගෙ හිත අද්දර - නතර වුණේ ඔබ
මගෙ හිත අද්දර නතර වුණේ

ආදරය කිමැයි - නාඳුනන ඔබට
ආදරේ පිදූ - වරදට මෙතරම්
සිර කුටියක සිත - සිර කරලනු හැකි නම්
දිවි ඇති තුරු - සිර ගත කරනෙමි

ආශා රැහැණින් බැඳ - මුලා කරන්නට
ළයට තුරුලු වූ - ලෙසින් නොවේ
යළි එකම වතාවක් - තුරුලුව හි ඳ මට
ඉකිලන හඬ අහනවද හිතේ


ගී පද - අයිරාංගනී මද්දුම බණ්ඩාර
සංගීතය - චන්දීප ජයකොඩි


-------------
අකීකරු ද ඔබේ සිතත්

අකීකරු ද ඔබේ සිතත්
වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරු මගේ සිතත්
හමනා තුඩ සුළඟක් වාගේ
ඒ සුළඟේ පාව එන්න
වළා රොදක් සේ නැගෙන්න

සුළඟ සැරෙන් හමනා විට
ගිනි දැල් තව තව ඇවිලේවි
ඒ ගින්දර නිවාලන්න
ඒ සුළඟට විවරණ දේවී

වෙරළේ රළ සැඩ වූවොත්
මරු කඳ කනපිට පෙරලේවි
නිසල වුණොත් ඒ රළ පෙළ
සුවසේ අප මෙගොඩ කරාවි


ගී පද - බන්ධුල නානායක්කාරවසම්
සංගීතය - එච්. එම්. ජයවර්ධන

---------
නිහඬ කල්පනා ලොවක තනිවෙලා

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එළෙසමයි

ඉවත පාවෙලා යන්න සිතුණි දෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැඳුණිදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතෙන්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

අසරණයි මෙමා වැරදි නෑ කළේ කිසි දිනේ
ඔබ සිතේ සමා දෙනු මැනේ ළඳේ පා සෙනේ
හදවතේ බිඳී වේදනා සුසුම් පා වුණේ
නැතිවදෝ අපේ සිත් සදා ලෙසින් යා වුණේ


ගී පද - හේමසිරි හල්පිට
සංගීතය - සුනිල් ධර්මසේන


-------------
සෙනෙහසේ නවාතැනේ

සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ
මල් පිපී ඔබේ මගේ අනාගතේ
වාසනා මැවේ
ඔබ මගේ පැතුම ජීවිතේ

මා ඔබේ කියා කියූ දිනේ
වෑහුණාය හදවතින් සෙනේ
ඒ පැතූ ලෙසේ - මා සදා ඔබේ
ආදරේ අපේ බිඳී නොයේ

සෝක වේදනා නිමා වෙලා
ජීවිතේම ගීතයක් වුණා
වාසනා ගෙනා - ප්‍රාර්ථනා නිසා
ආදරේ අපේ සැබෑ වුණා


ගී පද - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්
------------
මුව මුක්ත ලතා - පිපි හංසාංගනා

මුව මුක්ත ලතා - පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණ වර්ණ පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ - රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා

ආකාස ගං චන්ද්‍ර නෞකාවේ
තනිවෙන්න යං පෙම් රසෝජාවේ
රූ සරු කළ්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රියෙන් විපුල් වොරැඳි
මනසානන්ද මන්දෝදරී

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා - රෑ තව දිගුවේවා
ඔබ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ


ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආනන්ද පෙරේරා

------------
අහස් ගැබේ තරු කැට ගානේ

අහස් ගැබේ තරු කැට ගානේ
පොළෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි - මං ආදරෙයි

වදුළු සිරස පිපි මල් ගානේ
විහඟු තුඩක කිචි බිචි ගානේ
සිහින සිඹින මද නල ගානේ
ආදරෙයි මං ආදරෙයි

පිපෙන මියෙන හිරු සඳු ගානේ
සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
සිහින ගෙනෙන හැම රෑ ගානේ
ආදරෙයි මං ආදරෙයි


ගී පද - විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

-----------

කොහේදෝ නුඹ ගිහින් හිටියේ

කොහේදෝ නුඹ ගිහින් හිටියේ
වේදනා දොර ඇරුණා
කළුවරේ හිත රිදුණා
කොහේදෝ නුඹ ඇවිත් හිටියේ
අනෝරා වැහි වැටුණා
වසන්තේ මඟ හැරුණා
කොහේදෝ නුඹ ගිහින් හිටියේ

කුණාටුව මැද බිඳී විසිවෙන
හිතේ හසරැල් ලුහුබඳිනා
සිතිජයට දුර අහස කෙළවර
නුඹ ඇතැයි යළිත් මට සිතුණා

ඉඩෝරය ළඟ හුස්ම අරගෙන
හිතේ කොතැනද රැඳුණා
පමා වී යළි ආ වසන්තයේ
මගේ හෙට දවස මුණ ගැසුණා


ගී පද - රඛිතා වාකිෂ්ට
සංගීතය - තිලින රුහුණගේ


------------
වසන්තයේ එක දවසක

වසන්තයේ එක දවසක
අඳුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් - දෙතොලින් අරන්
පිරූ පෙම් දම - තාම මතකයි
ආදරේ නම් සිහිනයකි

සිහින සිරිපොද වැහැලා
ඔබෙ ආදර උණුසුමේ
පාට මල් පෙති සේදුණා
අතැර ගිය ඒ මතකයෙ
කොනක හෝ මග නැවතිලා
තාම මං ඉන්නවා

නෙතක කඳුළක දැවටිලා
සරා සඳ ළතැවෙනා
අඳුර ගලනා වීදියේ
බිඳී විසිරුණු සිහිනයේ
විසුළ කඳුළැලි හමු වෙලා
තාම මං ඉන්නවා


පද - නීතිඥ දයානන්ද රත්නායක
සංගීතය - ගායනය - චන්දීප ජයකොඩි


-----------
මේ මල් යායේ මා හා එක්වීලා

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළං වෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා

මා දෑතේ වෙලිලා එදා
රෑ සීතේ සඳපානේ පිය නැඟුවා
ඒ ඡායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දෑලෙ දුක හැදුවා

සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනි වූ සේ මට හැඟුණා
ඈ මා හා පෙර දා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුණා


ගී පද - හේමසිරි හල්පිට
සංගීතය - සුනිල් ධර්මසේන

---------
මල් මාලතී ලතා

මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී

හැඬූ සිතේ විඩා නිවා
ඇදේ මාරුතේ
හැපී බිඳෙන ප්‍රේමයේ
සෝ සුසුම් ලෙසේ
කිසිදාක නොමැත ආදරේට - ලැබී ආදරේ

ගැලූ සිනා ගඟේ ගිලී
ගියෙද ආදරේ
හඬා වැටේ ප්‍රාර්ථනා
පෙම් උයන් තෙරේ
කවදාක සුවඳ යළි දැනේද - නැවුම් ස්නේහයේ


ගීපද - කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - සරත් ද අල්විස්


------------

පාවෙන වලා අතර

පාවෙන වලා අතර
ඔබ සැඟ වී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලියුවා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුණා පමණයි

රමණීය මේ මධුර ජවනිකා
වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා
ඇළ දොළ ගලා බසීවි
වන මල් රේණු නෙළාලා

ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
ජීවන මිහිර කියා දුන්
ඔබෙ ළය පහන් කරන්නම්


ගී පද - රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - එඩ්වඩ් ජයකොඩි


------------
මාලතී වසන්තේ

මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ

නෙතු දැහැනේ රැඳෙනා සිහිනේ
හද මැඳුරේ බිඳෙනා සුසුමේ
ප්‍රේම ප්‍රාර්ථනා - නේක වේදනා
මා සොයා ඇදේවී

මුතු හසරැල් සැලෙනා දෑසේ
පිනි කඳුළැල් පුරවා රහසේ
මේ පහන් රැයේ - මා නෙතින් මිදී
ඈ බලා හිඳීවී


ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ


-------------
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
මල් පිපෙන සුළඟ නීල වළා තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ - පෙළහර
දකිනු රිසින්
මගෙ හිත ගොළු වෙලා

ළැම හසුන් රැඟුම් පා මන මත් කළාදෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකීදෝ
සිත සතුට ගෙනාවේ - ඔබමය
මගේ හිතත්
ඔබ ළඟ නැවතිලා


ගී පද - අමරසේන කංකානම්ගේ
සංගීතය - රෝහණ වීරසිංහ

---------
ඔබේ අහසේ

ඔබේ අහසේ
සුවහසක් තරු පායලා
මා නොදිලෙන එක තරුවක්
ඔබේ උයනේ
කුසුම් දහසක් පීදිලා
මා මැලවුණු එක කුසුමක්

ඔබ වෙත ආවේ ඔබගේ තනියට
ඔබ ළඟ දැල්වෙන්නයි
ඔබ වටකර තරු පොකුරු පොකුරු දිලුණා
මා ඒ මැද එක තරුවක්

ඔබ වෙත ආවේ සුවඳින් නහවා
ඔබ ළඟ සුපිපෙන්නයි
කුසුම් රැසක් ඔබ වට කරගෙන පිපිලා
මා ඒ මැද එක කුසුමක්


පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - චන්දීප ජයකොඩි


------------
ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුලින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප සිතු හැටි මිහිරියි

ආදර ගී විය ජය මංගල ගී
කුරුලු කැදල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි උපදුණ හැටි හරිම අගේ

සිඟිති සණ්ඩු මැද හිනා වෙවී
කිරුළු පලන් ජීවිත ගමනේ
දෝර ගලා
දෝර ගලා කරදර ආවත්
ඉඳිමු එදා මෙන් වෙනස් නොවී


ගී පද - කුසුම් පීරිස්
සංගීතය - රෝහණ වීරසිංහ

---------

ලතා මඬුල්ලක් කතා කරනවා

ලතා මඬුල්ලක් කතා කරනවා
සෙවණට එන්න කියා
මේ මල් උද්‍යානේ - නවතිමු හැන්දෑවේ
වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා
බෑ නවතින්න කියා
මේ මල් උද්‍යානේ - වෙන්වෙමු රෑ බෝවේ

වෙන් වී යන්නේ රෑ තනි යානේ
තනිකම නොදැනේ දෝ
ඒ තනි යානේ තනිය මකන්නේ
මතක සුවඳ නේදෝ

උදයේ හමු වී හවසට වෙන් වී
යළි හෙට හමුවේදෝ
සදහට නැවතී ඉන්නට එන්නම්
දෙසිතක් නෑ නේදෝ

රන් තරු යායේ සඳ පායන්නේ
අප දැකලා නේදෝ
හඳපානේ අප හමුවන්නේ
හෙට දිනයේ නේදෝ

කල් බලමින්නේ අතැඟිලි ගැන්නේ
හමුවෙන තුරු නේදෝ
මුතු පළඳින්නේ මුතු කරලන්නේ
නැකැත් බලා නේදෝ


ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය - සරත් දසනායක
  

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.