අවුරුදු 105කට පසු පිටකොටුවට සිනමාහලක්

ඔක්තෝබර් 3, 2019

ගාමිණී සිනමාහලත් ළඟදීම

සමහර කතන්දර පටන් ගන්නේ අරුම පුදුම විධියටය. මේ කතාවත් එහෙමය. කොළඹ කොටුව කිව්වාට කොළඹ කොටුවේ හතර මායිම කොතැනදැයි එහි යන එන බොහෝ අය පවා නොදනිති. ලේක්හවුස් මන්දිරයට යන්නෙකු බස් රථයේ ප්‍රවේශ පත්‍රය ගත යුත්තේ කොටුව ට යනුවෙනි. එහෙත් ලේක්හවුස් මන්දිරය ඇත්තේ කොටුවේ නොව මරදානේය.

ලේක්හවුස් මන්දිරය ඉදිරිපිට බස් රථයෙන් බසින්නෝ ඇත්තටම බසින්නේ කොළඹ 1 යන කොටුවට නොව මරදාන හෙවත් කොළඹ 10 ටය. හරියටම ලේක්හවුස් ආයතනයට මුහුණ ලා ඉදිවුණ රීගල් සිනමාහල ඉදිරිපිට ද බසින්නේ කොටුවට කියා වුවත් ඒ කොටුව නොව කොළඹ 2 හෙවත් කොම්පඤ්ඤවීදියටය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය යනුවෙන් දැවැන්ත පුවරුවක් සහිතව කොටුවේ දුම්රිය ස්ථානය ගැන සඳහන් කළත් කොළඹ කොටුවේ ඇති දුම්රිය ස්ථානයක් නැත. කොටුවේ දුම්රිය පොළ ඇත්තේ පිටකොටුවේය. එනම් කොළඹ 11 හිය. දුම්රියපොළ ඉදිරිපස දොරටුවෙන් ඇතුළුවන්නේ පිටකොටුවෙන්ය. පසුපස ඩී.ආර්.විජයවර්ධන මාවතේ ගේට්ටුවෙන් ඇතුළුවන්නේ නම් ඒ මරදානෙන්ය. කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට උපවාස කරන්නෝ ද පෙළපාලි යන්නො ද එය අරඹන්නේ කොටුවෙන් නොව පිටකොටුවෙන්ය.

කොළඹ පිටකොටුවේ දුම්රියපොළ ඉදිරිපිට පෙදෙසට කලකට ඉහත සූරිය උයන යැයි නමක් විය. ඒ එහි සූරිය ගසින් පිරුණු හෙයින්ය. කොළඹ නගරය අලුත්වන්නට වන්නට එහි තිබුණු බොහෝ පැරණි නාමයන් ද අමතකව ගොසින්ය. මිලාගිරිය, පොල්වත්ත, මෙන්ම සූරිය උයන ද අමතකව ගොසින්ය. එහෙත් වර්තමාන සිනමාවේ ද නාට්‍ය කලාවේ ද ආරම්භක භූමිය මේ සූරිය උයනයි. මල්වැවීම නිසා මල්වත්ත ලෙසින්ද ටෙනිස් පිටිය නිසා රැකට් කෝට් ලෙස ද එම බිම් කඩ හැඳීන්විණ.

වර්තමාන සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය ආරම්භයට පෙර බිහිවුණ සිනමාවේ ආදිතම යන්ත්‍රයක් වන මැජික් ලන්තෑරුමක් උපයෝගි කොට ගෙන මෙරට පැවැත්වූ මුල්ම චලන චිත්‍ර දැක්ම 1873 වසරේ දෙසැම්බර් මස 18 වැනි දින පවත්වන ලද්දේ ෆෑන්ටස්මගෝරියා නමින්ය. එදින සිලෝන් ටයිම්ස් පුවත්පත වාර්තා කරන අන්දමට මෙම දර්ශනය පවත්වන ලද්දේ චාල්ස් කෘගර් නමැත්තෙකු විසින් කොළඹ නගර සභා ශාලාවේය. මේ නගර සභා ශාලාව එකල පැවැතියේ ද පිටකොටුවේය. මේ එක් දර්ශනයකින් කෘගර් පවුම් හැත්තෑවක් උපයා ගත් වග ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 1879 වසරේ මෙරටට පැමිණෙන ආචාර්ය සිල්වෙස්ටර් නමැත්තෙකු ආලෝක චිත්‍ර දැක්මක් පවත්වනු ලබනුයේ කොළඹ සූරියකොටුවේය.

එයට පෙර 1877 මැයි මස 26 වැනි දින හින්දුස්තාන් ඩ්‍රැමටික් කම්පනි මගින් පිටකොටුවේ මල්වත්ත පාරේ ඉදිවුණ පුෂ්ප ශාලාවේ ඉන්දර් සභා නම් පාර්සි නාට්‍ය වේදිකා ගතකිරීම මෙරට ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි. එය මෙරට වර්තමාන කලා ප්‍රබෝධයේ උත්පත්තියයි. එමගින් මධුර හින්දුස්ථානී ගීතයට අප පුරුදු කළා පමණක් නොව මෙරට නාට්‍ය ව්‍යාපාරයේ ආරම්භයට ද එය මගපෑධූවේය.

ලාංකික සිනමාවේ මෙන්ම ජනප්‍රිය කලාවන්ගේ ද උත්පත්තිය වන පාර්සි නාට්‍ය අප මුල්වරට දකිනුයේ පිටකොටුවේ දීය. එයින් පසු සිනමාව බිහි වන තුරුම කොටුවේ සූරිය කොටුව නැතහොත් මල්වත්ත පාර පාර්සි නාට්‍ය මෙන්ම සිංහල නාට්‍ය සඳහා ද තෝතැන්නක් විය. අප මුලින් සිංහල ගීත ලෙස අසන්නේ ද පාර්සි නාට්‍ය ගීත ආභාසයෙන් බිහිවුණ ගායනාවන්ය.

ඉන්ද්‍ර සභා මුල් වරට වේදිකා ගත වී සත් මසක ඇතුළත සූරිය කොටුවේ අලුත් මඩුවක් ඉදිවූයේ මුල්ම සිංහල නාට්‍යය වේදිකා ගත කිරීමටය. 1877 වසරේ දෙසැම්බර් මස 27 වැනි දින රොලිනා නාට්‍යය වේදිකා ගත වනුයේ මුල්ම සිංහල වේදිකා නාට්‍යය හැටියටය. එහි නිර්මාතෘවරයා වූයේ සී.දොන් බැස්ටියන් ජයවීර ය. එපමනක් නොව තවත් වසර කිහිපයක ඇතුළත එනම් 1885 වසරේ සැප්තැම්බර් 8 වැනි දින බැස්ටියන්ගේ දෙවැනි නාට්‍යය වූ රොම්ලිනා නාට්‍යය මුල්ම සිංහල නිළිය හඳුන්වා දුන්නේය. ඇය ආනා පෙරේරා නම් වූවාය. වේදිකා නාට්‍ය ව්‍යාපාරයක් ලෙස ගොඩනැඟීම ඇරඹෙන මේ සමයේ සූරියකොටුවේ ඉදිවන නාට්‍ය ශාලා සියල්ලම ජනයාගෙන් පිරී ඉතිරී ගියේය. පාර්සි නාට්‍ය මෙන්ම සිංහල නාට්‍ය ද තරගයට වේදිකා ගත විය. එහි පැවැති ජනප්‍රිය රංග ශාලාව පුෂ්ප ශාලාව නම් විය.

මෙරට මුල්ම චලන චිත්‍ර දැක්ම පැවැත්වූයේ 1898 වසරේ ජනවාරි මස 8 වැනි දින කොළඹ ඉබ්බන්වල පබ්ලික්හෝල් ශාලාවේය. එයින් පසු මුල්ම චිත්‍රපට ප්‍රදර්ශන පවත්වන ලද්දේ කොටුවේ චැතැම් වීදියේ වර්තමාන පැගෝඩා හෝටල් භූමියේය.

එහෙත් සිනමාව වඩා මහජනයා අතරට යන්නට පටන්ගත්තේ පිටකොටුවේ සිනමා ශාලා බිහිවුණ පසුවය. මෙරට මුල්ම සිනමා ශාලාව ලෙස සැලකෙන 1907 වසරේ ටී.ඒ.ජේ.නූර්බායි විසින් ඉදි කරක ලද ලන්ඩන් බයිස්කෝප් ශාලාව මෙන්ම ඉන්දියානු ජාතික වෝර්වික් මේජර් ගොඩ නැගූ එම්පයර් සිනමාහල ද ඉදිවූයේ සූරියකොටුවේය.

පළමු ලෝක මහා සංග්‍රාමය ආරම්භයත් සමග එනම් 1914 වසරේ මාර්තු මස 31 වැනි දිනට පෙර සූරිය කොටුවේ සියලු ගොඩනැගිලි පැය ගණනක් ඇතුළත ඉවත් කරන්නට අණ ලැබිණ. සූරිය උයනේ චාමස් ධාන්‍යාගාරය බිහිවිය. සූරිය කොටුව නැතහොත් සූරිය උයන නාමය ද ඒ සමග අවසන් විය. එතැන් පටන් අවුරුදු 105 ක් යන තෙක් පිටකොටුවේ කිසිදු රංග ශාලාවක් ඉදිවුණේ නැත. මල්වත්ත පාරේ සය වැනි පාවුලු මධ්‍යස්ථානයේ ජාතික කතෝලික සිනමා පර්ෂදය පැවැත්වූ කාලයේ මාටින් ටිකිරි නමින් සිනමාහලක් පැවැත්වුව ද එය එහි පැවැත්වූ සිනමා හමු සඳහා පමණක් වෙන්විය. එහෙත් නිල වශයෙන් කිසිදු සිනමාහලක් ගොඩ නැගුණේ නැත. පිටකොටුව වැනි ජනාකීර්ණ ප්‍රදේශයක පුදුමයට කරුණක් වුවත් එය ඇත්තය.

මේ ඉතිහාසය වෙනස් වීම හෙට එනම් ඔක්තෝබර් 4 වැනි දින ඇරඹෙනු ඇත.

ඒ මෙරට මුල්ම සිනමා සංකීර්ණය 1994 වසරේදී ගොඩ නැඟූ සරසවිය සම්මානනීය චිත්‍රපට නිෂ්පාදක ප්‍රදර්ශක දේශබන්දු ආචාර්ය බුද්ධි කීර්තිසේනගේ සංකල්පයක් මතය. බුද්ධි මරදානේ සිනෙසිටි සංකීර්ණයේ හිමිකරුය. මෙරට මුල්ම නූතන සිනමා සංකීර්ණය පමණක් නොව මුල්ම ඩොල්බි ඇට්මොස් ශබ්ද ක්‍රම උපයෝගී කර ගත් ශාලා සංකීර්ණය ද එයයි. බුද්ධි මෙරට පැරණිතම චිත්‍රපට ප්‍රදර්ශකයන්ගෙන් කෙනෙකි. ඔහු වර්තමානයේ ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපතිය. ඔහු සිනමා ලෝකයට පිවිසෙනුයේ කොස්වාඩියේ පිහිටි වයලට් හෝල් හරහාය. ගිය සියවසේ තුන් වැනි දශකයේ පමණ බිහිවන වයලට් හෝල් ශාලාව කොස්වාඩිය පළාතේ ජනප්‍රිය වේදිකා නාට්‍ය ශාලාවක් විය. පසුව සිනමාව බිහිවීමත් සමඟ එය සිනමා ශාලාවක් විය. පැරණි සුජාතා චිත්‍රපටය තිර ගත වද්දී උදේ සිට හැන්දෑ වන තුරු සුජාතා නැරඹූ කුඩා බුද්ධිට රෑ බෝ වූ පසු එහිම නින්ද යයි. අනතුරුව හතර අත තම මුණුබුරා සොයන ශාලාවේ හිමිකරු පීටර් ජෝන් නිදා සිටින මුණුබුරා ඔසවා ගෙනයයි. වර්තමානයේ කොස්වාඩියේ දර්ශන බුද්ධි කීර්තිසේන විසින් ඉදි කරන ලද්දේ වයලට් හෝල් භූමියේය. එපමනක් නොව සුජාතා අලුතෙන් සිනමා කෘතියක් හැටියට මෙන්ම ටෙලි නාට්‍යයක් හැටියට ද නිපදවන්නට බුද්ධි සමත්විය.

සුජාතා, යසෝමා, සිහින දේශයෙන්, මිල්ලෙ සොයා, පෙම් කැකුළ, නිමිනයක හුදකලාව ඇතුළු චිත්‍රපට රාශියක් නිපද වූ බුද්ධි කීර්තිසේන හොඳම නිෂ්පාදක ලෙස සරසවිය සම්මානයෙන් ද පිදුම් ලද්දේය. කලකට ඉහත දවස පුවත්පත් ආයතනයේ පුවතපත් කලාවේදියකු ව සිටි සමයේ ඔහු නැවතී සිටියේ පුංචි බොරැල්ලේය. සිනෙසිටි ඉදිවූයේ දිනපතා රාත්‍රියේ කාර්යාලයේ සිට පයින් බෝඩිමට එන අතරමග අමතක නොවන අකරතැබ්බයකට මුහුණ දුන් අඳුරු නිවාස පෙළක් ඇති තැනක වීම එදා බුද්ධි සරසවියට රස කර කීවේය. වර්තමානයේ සිංහල ව්‍යාපාරිකයකු සතුව කොළඹ ඇති එකම සිනමා සංකීර්ණය සිනෙසිටි ශාලා සමූහයයි.

සිනෙසිටි සංකල්පයේ දෙවැන්න සමඟ හෙට උදේ සුබ මොහොතින් කොළඹ පිටකොටුවේ සොඳුරු ජල තටාකය අසල බුද්ධි කීර්තිසේන අලුත් සිහිනයකට මුළ පුරන්නේය. ඒ සිනෙසිටි වොටර්ෆ්‍රන්ට්ය. නැතහොත් සිනෙසිටි සිනමා උයනයි. වෝටර්ෆ්‍රන්ට් කී සැනින් අපට සිහිපත් වනුයේ ද ඔන් ද වෝටර්ෆ්‍රන්ට් නම් ලෝක සිනමාවේ අතිශය විශිෂ්ට චිත්‍රපටයකි. මාලන් බ්‍රැන්ඩෝ එහි ප්‍රධාන චරිතය රඟපෑවේය. එලියා කසාන්ගේ විශිෂ්ටතම චිත්‍රපටය ද එයයි. මෙරට සිනමා උයනෙහි සිනමා ශාලා ත්‍රිත්වයකි. චිත්‍ර අත්කම් ආදිය සඳහා කලාගාරයකි. එයට අමතරව සිනමා මුහුරත් උලෙළ හා සම්මන්ත්‍රණ සඳහා ද සිනමා උත්සව සඳහා ද මේ උයනේ ඉඩ වෙන් කෙරේ. සිනමා අධ්‍යයනාගාරයක් ද එයට ඇතුළත්ය. සිනමා උයන මධ්‍යයෙහි කුඩා අවන්හල්ය. ජාත්‍යන්තර සිනමා උලෙළක් මරදානේ හා පිටකොටුවේ නව සිනමා සංකීර්ණයේ පැවැත්වීම බුද්ධිගේ අනාගත බලාපොරොත්තුවයි. රුපියල් මිලියන 220 ක ආයෝජනයක් වන මෙය ලබන වසරේ මැයි මාසයේ විවෘත කෙරෙනු ඇත. දවසේ ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක සිනමා ශාලාවකට ගොඩ වැදී චිත්‍රපට නැරඹීමේ අවස්ථාව හිමිවන මුල්ම සිනමා අත්දැකීම ද මෙරට දී අපට මුල්වරට ලැබෙන්නේ එහිදීය.

සිනෙසිටි ව්‍යාපෘතිය එයින් නොනැවතී තවත් ඉදිරියට යන්නට නියමිතය. එහි තෙවැන්න මරදානේ ගාමිනී සිනමාහල යළි ඉදිකිරීමයි. සිංහල සිනමාවේ ජනප්‍රියම සිනමාහලක් ව තිබී තිස් හය වසරකට පෙර එක් බිහිසුණු රැයක එය ගිනි තබා විනාශවූයේ දාමරිකයන් අතිනි. කොළඹ නගරය නූතන ලෝකය හා බද්ධ කෙරෙන වැඩ පිළිවෙලේ තවත අංගයක් වන සිනෙසිටි වෝටර්ෆ්‍රන්ට් වෙනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු එහි සමස්ත කාර්ය මණ්ඩලයට ද ආචාර්ය බුද්ධි සිනමාලෝලියකු ලෙස කෘතවේදී වන බව සඳහන් කළේය. සිනෙසිටි සිනමා සංකීර්ණයේ මුල් පියවර අවස්ථාවේ එවකට ඇමැති එස්.බී.දිසානායක මහතා විසින් සැලසුම් කළ ජන මන්දිර නම් ව්‍යපෘතිය නිසි ලෙස ක්‍රියාත්මකවූවා නම් රට පුරා මෙබඳු සිනමා ශාලා රාශියක් ගොඩනැගෙනු ඇති බව ද ඔහු සරසවියට වැඩි දුරටත් පැවසුවේය.

වටම ගොහින් ගෙටම ඇවිත් යනුවෙන් සිංහල කියමනක් වෙයි. අපේ රටේ සිනමා ප්‍රේක්ෂකයන් ඉපැදුණේ පිටකොටුවේය. ඔවුන් ගොඩ නැගුණේ මරදානේය. සිනෙසිටි වෝටර්ෆ්‍රන්ට් ඉදිවන්නේ ඒ හරි මැද්දේය. දිය මංකඩක හැදෙන සිනමා උයනේ අලුතෙන් පිපෙන පුෂ්පය මෙරට සිනමා රසිකයන්ට අයිතිය.

ලාංකික සිනමා රසිකයා උපන් ගමේ මෙරට නාට්‍ය යුගයේ ආදිතමයා වූ බැස්ටියන් නමින් නම් කළ මාවතක සිනමාවේ අලුත් ලෝකයක මතු දවස ඉපදීම ගැන සිතෙන්නේ මෙහෙමය. සමහර කතන්දර පටන් ගන්නේ අරුම පුදුම විධියටය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.