පෙරකදෝරු බෑණා චිත්‍රපටයෙන් මතු වූ බැප්ටිස්ට් ප්‍රනාන්දු

නොවැම්බර් 28, 2019
සහනය

 

වෙන්නප්පුවේ ජෝසප් වාස් විද්‍යාලයේ ඉගෙනීම ලැබූ කඩවසම් කාය ශක්තියෙන් යුතු ශිෂ්‍යයෙක් ක්‍රීඩාවට ඇලුම් කළා මිස කලාවට ඇලුම් කර නැත. මේ අතර මේ ශිෂ්‍යයාගේ හොඳම මිත්‍රයෙක් ‘චිත්‍රපටයකට නළුවෙකු ඕනෑ කර තිබේ’ යන පුවත්පත් දැන්වීම දැක තම මිතුරාගේ අත්සන හොරට යොදා ඉල්ලුම් පතක් දැම්මේය. ලිපියට පිළිතුරක් ලැබිණ. ලිපිය ලැබුණේ මිතුරාගේ ගෙදර ලිපිනයටය.

 

කඩවසම් දේහධාරි ශිෂ්‍යයා වෙත ගිය මිතුරා තමා සමඟ ගමනක් යාමට එන ලෙස බල කළේය. මිතුරන් දෙදෙනා වෙන්නප්පුවේ සිට මීගමුව බස් එකේ නැඟී ගොස් නතර වූයේ මීගමුවේ එඩී සහ රුක්මණී පදිංචිව සිටි ‘ජයරුක්’ නිවසේය. මේ 1955 වසරය.

“උඹ මාව කොහේද එක්ක ආවේ...”

“බය වෙන්න එපා. මෙතැන චිත්‍රපටයකට අලුත් නළුවෝ ගන්නවා. මම උඹට හොරා ඉල්ලුම් පත්‍රයක් දැම්මා. උඹ ස්මාට් එකනේ. උඹට චාන්ස් එකක් ලැබෙයි.

“උඹ කොහොමද දන්නේ මට රඟපාන්න පුළුවන් කියලා. මම ඉස්කෝලේ් කොන්සට් එකකවත් ඇට් කරලා නෑ. මේ මොන පිස්සු ගමනක් ද ආවේ. අපි ආපහු වෙන්නප්පු යමු.’’

එදා එඩී හෝ රුක්මණී හෝ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න හෝ ‘ජය රුක්’ නිවසේ නොසිටියහ. ජයමාන්න පවුලේ විලී ජයමාන්න අලුත් තරුණයා දුටු මතින්ම ඔහු තමා නිෂ්පාදනය කළ “පෙරකදෝරු බෑණා” චිත්‍රපටයට එක පයින්ම තෝරා ගත්තේය.

“අපි මේ ළමයව අපේ චිත්‍රපටයට තෝරා ගත්තා. ඉතින් අපිත් එක්ක ඉන්දියාවට යන්න ලෑස්ති වෙන්න.”

මිත්‍රයෝ දෙන්නම උඩ ගිහින් බිම වැටුණෝය. එකිනෙකා මුහුණ බලා ගත්හ. ටික වේලාවකින් බියුක් මෝටර් රථයක් පැමිණියහ. එඩී හා රුක්මණී ලස්සන සිනහ රැල්ලකින් මිතුරන්ට සංග්‍රහ කළහ.

“ඩේසි මෙයා දිහා බලන්න. අපේ ෆිල්ම් එකට තෝරා ගත්තා.” විලී, රුක්මණීට කීය. එඩී තරුණයා වටා කැරකුණේය.

“මිනිහා රඟපාන්න හොඳ බව පේනවා” එඩී ද රෙකමදාරුවක් කළේය.

චිත්‍රපටයක රඟපෑමට ඉන්දියාවට යාමට වරම් ලැබූ තරුණයා තම මිතුරාට බැණ බැණ වෙන්නප්පුව බලා ගියේය.

“උඹ මගේ යාළුවෙක් නෙවෙයි හතුරෙක්”

“හරි බලපන්කො උඹ නළුවෙකු වුණාම අපිට අල්ලන්න පුළුවන් වෙයිද කියලා. දැන් බලපන් අපේ ජෝසප් වාස් එකේම අපිට ඉහළ හිටපු ස්ටැන්ලි පෙරේරා සිනමාවේ ජෝන් ජයපාල වෙලා දැන් මුළු රටම දන්නවා. ඊළඟ . . .”

කවුද? මේ මිත්‍රයන් දෙදෙනා?

නාමල් රේණු

චිත්‍රපට නළු වරම් ලැබුවේ වෙන්නප්පුවේ ජෝසප් වාස් විද්‍යාලයේ ශිෂ්‍ය කඩවසම් කාය ශූර බැප්ටිස්ට් ප්‍රනාන්දුය. ඔහුගේ මිත්‍රයා ඇස්. ඒ. ප්‍රනාන්දුය.

1933 ජූලි 09 වෙනිදා වෙන්නප්පුවේ කොලින් ජාඩියේ උපන් වර්ණකුලසූරිය මහ ලේකම්ගේ ජෝන් බැප්ටිස්ට් ප්‍රනාන්දු ආපසු තම පාසලට පැමිණි බැප්ටිස්ට්ට සිහියට ආවේ තම වැඩිමහල් ශිෂ්‍ය ස්ටැන්ලි පෙරේරාය. අද ස්ටැන්ලි කොතරම් ජනප්‍රියද? ලංකාව ‘ජෝන් ජයපාල’ කිව්වම දන්නවා. “පෙරකදෝරු බෑණා” චිත්‍රපටයෙන් මාවත් රටම දැනගනීවි. සමරු පොත් අත්සන් කරන්න වේවි. බස් එකේ එනතුරුම චිත්ත රූප මැවෙන්නට විය. බැප්ටිස්ට් “පෙරකදෝරු බෑණා’ ට තේරීම ගැන මා සමඟ මෙසේ කතා කළේය.

“ඒ කාලේ අනාගතය ගැන බියක් තිබුණේ නැහැ. මගේ තාත්තාගේ නම එව්ජින් ප්‍රනාන්දු. තාත්තට ඉඩකඩම් තිබුණා. මගේ අම්මගේ නම විනිෆ්‍රිඩා ප්‍රනාන්දු. මට අම්මා තාත්තා කොයිතරම් ආදරේද කිව්වොත් මට ඉඩමක් හරි විකුණලා සල්ලි දෙන්න වුණත් සූදානමකින් හිටියේ. මම පවුලේ වැඩිමලා. මට බාල නංගිලා තුන් දෙනෙකුයි, මල්ලිලා දෙන්නෙකුයි හිටියා. මට ගෙදරින් කිසිම බල කිරීමක් තිබුණේ නැහැ. මට ස්වාධීනව තීරණගන්න නිදහස තිබුණා.

“අම්මේ මාව බයිස්කෝප් එකක ඇට් කරන්න රුක්මණීල, ඇඩී ජයමාන්නලා තෝරගෙන” මම අම්මට කිව්වා.

“කොච්චර එකක් ද පුතේ රුක්මණී එක්ක ඇට් කරනවා නම් . . .”අම්මා සතුටින් කිව්වා.

“මම ලබන සතියේ රුක්මණීලා එක්ක ඉන්දියාවට යනවා”

අම්මගෙයි තාත්තගෙයි ආශිර්වාදය ඇතුව මම ඉන්දියාවට ගියා. එතකොට මම ඉස්කෝලේ ඉගෙන ගන්නවා. අස් වෙලත් නෙවෙයි ඉන්දියාවට ගියේ. එඩී, රුක්මණී, මාක් සමරනායක ළඟින් ඇසුරු කරන්න මට පුළුවන් වුණා. මේ කවුරුත් නිහතමානී මිනිස්සු.”

“පෙරකදෝරු බෑණා” චිත්‍රපටයේ බැප්ටිස්ට් චරිත දෙකක් රඟපා ඇත. එකක් පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙකුගේ චරිතයකි. අනික චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් රඟපෑ මාක් සමරනායකගේ සහචරයකු හැටියටය. ඔහු මුලින්ම රඟ පෑ ඇත්තේ රුක්මණී දේවි සහ මාක් සමරනායක සමඟය. එහි රඟපෑම එක් අවස්ථාවක ඔහු සිත් කල කිරවන්නක් වී ඇත.

“මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඒ. බී. රාජ් කියන දකුණු ඉන්දියානු අධ්‍යක්ෂවරයා. ඔහු වඩාත් හිතවත්කම් පෑවේ ජනප්‍රිය ප්‍රධාන නළු නිළියන්ට මිස ආධුනික අයට නොවේ. ආධුනිකයන් කොන් කරන ගතියක් දැනුණ නිසා මගේ හිත කළකිරුණා. මම අධෛර්ය වුණේ නැහැ. “කවද හරි මම ලංකාවේ ජනප්‍රිය නළුවෙක් වෙනවා වෙනවාමයි කියලා මම හිතා ගත්තා.” බැප්ටිස්ට් මා සමඟ කියා ඇත.

බැප්ටිස්ට් ඊළඟට රඟපෑවේ “පුරුෂරත්නය” චිත්‍රපටයේය. එහි අධ්‍යක්ෂවරයා වූයේ ද දකුණු ඉන්දියානු අධ්‍යක්ෂවරයකු වූ නාගරාජන්ය. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ප්‍රේම් ජයන්ත් හා බැප්ටිස්ට්ය. ඒ සොහොයුරන් ලෙසය. ප්‍රේම් හා බැප්ටිස්ට් සමඟ කිංස්ලි රාජපක්ෂ ද මෙහි රඟපෑහ.

ටිකිරා

බැප්ටිස්ට් සටන් නළුවකු ලෙස ද කැපී පෙනුණේය. එම්. එස්. ආනන්දන්ගේ ‘ඇතුල්වීම තහනම්’ හා ‘සත පණහ’ චිත්‍රපටවල දුෂ්ට චරිත රඟපෑ බැප්ටිස්ට් සටන් දර්ශනවලට පෙනී සිටියේය. සත පනහ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සමඟ රඟපෑ දර්ශන එදා ප්‍රේක්ෂකයින්ට හොඳට මතක ඇති. එහි බැප්ටිස්ට් රඟපෑවේ සමාජ ශාලා හිමියකු ලෙසය. මේ සමාජ ශාලවේ නළඟනක් ලෙස රඟපෑවේ සන්ධ්‍යා කුමාරිය.

තමා රඟපෑ මුල්ම චිත්‍රපටයෙන් ලැබූ කටුක අත්දැකීම් නිසා බැප්ටිස්ට් සිතුවේ කෙදිනක හෝ තමා චිත්‍රපටයක් නිපදවා එහි ප්‍රධාන චරිතය රඟපාන අධිෂ්ඨානයයි. ඉන්දියාවට ගොස් සිනමාව ගැන ඉගෙන ගත් ඔහුට එහි කැමරා ශිල්පය හදාරමින් සිට එම්. එස්. ආනන්දන් මුණ ගැසිණි. ලංකාවට පැමිණි බැප්ටිස්ට් ආනන්දන් මුල් කාලයේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලට රඟපෑමෙන් සම්බන්ධ විය. බැප්ටිස්ට් මුල් යුගයේ රඟපෑ චිත්‍රපට අතර සිතක මහිම, සැපතසොයා, සීගිරි කාශ්‍යප, සුනිලා, සත පනහ, ඇතුල්වීම තහනම්, සේයාවක් පසුපස, රන්රස, ඔබ නැතිනම් ප්‍රධාන තැනක් ගනී. චරිතාංග නළුවකු ලෙස ඔහු කැපී පෙනුණේ ඉන් පසුය. ඔහු එවකට සිනමාවෙන් ඈත්ව සිට ප්‍රේම් ජයන්ත් සමඟ එක්ව ‘සෙවන් ආට්ස්’ චිත්‍රපට සමාගම පිහිටුවා ‘සහනය’ චිත්‍රපටය නිෂ්පාදනය කළහ.

“ මට ඕනෑ වුණේ කවදා හෝ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නනේ. “සහනය” චිත්‍රපටය කලාත්මක පැත්තට නැඹුරු වූ චිත්‍රපටයක්. ගාමිණි, මාලිනී හා මම ප්‍රධාන චරිත රඟපෑවා. ධර්මසිරි ගමගේ කතාවයි තිර නාටකයයි ලිව්වා. ගාමිණීගේ යෝජනාවක් අනුව අමරදේවට ගීතයක් දුන්නා. “සිහින නෙළුම් මල ජීවිත පොකුණේ” ගීතය තනුව යොදලා අමරදේවයන් ගැයුවා.එහෙත් චිත්‍රපටයේ අනිත් ගීතත් පසුබිම් සංගීතයත් නිර්මාණය කළේ රොක්සාමි. මේ චිත්‍රපටයේ රඟපෑ දුෂ්ට චරිතය රඟපෑමේදී මම සංවේදී වුණා. අහිංසක චිත්‍ර ශිල්පියෙක් වූ පියල් ලෙස රඟපෑ ගාමිණීට මා දෙන මානසික වධ හිංසා මටත් රඟපෑමේදී වේදනාව ගෙන දුන්නා. මාලිනී රඟපෑවේ අහිංසක තම සැමියා වූ පියල්ට පණටත් වඩා ආදරය කළ චරිතයක්. මේ චිත්‍රපටයේ මගේ චරිතයට මම ආදරෙයි” බැප්ටිස්ට් ප්‍රකාශ කළේය.

දුෂ්ට චරිතවලින් හෙම්බත්ම සිටි බැප්ටිස්ට් මුල්වරට ප්‍රධාන චරිතයක් රඟපාමින් තමාම නිෂ්පාදනයකළ යුතු යයි සිතුවා. එය එක්තරා අතකින් අභියෝගයකි. 1974 තිරගත වූ දුප්පතාගේ හිතවතා අධ්‍යක්ෂණය කළේ ඇස්. වී. චන්ද්‍රන්ය. මේ චිත්‍රපටයේ බැප්ටිස්ට් සමඟ නීටා ප්‍රනාන්දු, මානෙල් වානගුරු, එච්. ඩී. කුලතුංග රඟපෑ අතර රෙක්ස් කොඩිප්පිලි, පියදාස විජේකෝන් සමඟ බැප්ටිස්ට් සටන් දර්ශනවලට සහභාගි වූයේ සුපුරුදු ගුටි කන දුෂ්ඨයා වෙනුවට වීරත්වය මතුකරවමින්.

“මට හැමදාම තිබුණේ වීරයාගෙන් ගුටි කාලා වැඩදාගෙන වැටෙන්න. අපි මේස පුටු කඩාගෙන, ජනෙල් දොරවල් බිඳගෙන වැටෙන කොට විසිල් පාර වැදුණේ වීරයාට. ඒකට කමක් නෑ. නමුත් අවුරුදු ගණනාවක්ම එකම දේ කළ හැකිද? අපිට වෙන අය වීරයාගේ චරිත නෙදෙන නිසා චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා වීරයා වෙන්න මම අදහස් කළා.” වරක් බැප්ටිස්ට් සරසවිය පත්‍රයේ උප කර්තෘ සුසිල් ගුණරත්නට (පසුව ඔහු සරසවිය කර්තෘ වුණා) කියා තිබුණා.

 දුප්පතාගේ හිතවතා

“දුප්පතාගේ හිතවතා” සාර්ථකව තිරගත විය. වීරයන්ගෙන් ගුටි කෑ බැප්ටිස්ට්ට “දුප්පතාගේ හිතවතා” හි රඟපෑ වීර චරිතයට ගැලරියෙන් ලැබුණු අත්පොළසන් හඬ ඔහු එවැනිම චරිත රඟපෑමට දිරියක් විය. ඉන්පසු ඔහු නිෂ්පාදනය කළ “ටිකිරා” මුල් චිත්‍රපටයටත් වඩා ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත විය. 1978 තිරගත වූ “ටිකිරා” චිත්‍රපටයේ ඔහුගේ පෙම්වතිය වූයේ ජෙනිටා සමරවීරය. මානෙල් වානගුරු, බොනිපස් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, බන්දු මුණසිංහ මෙහි රඟපෑහ. අධ්‍යකෂවරයා වූයේ ෂර්ලි පී. විජේරත්නය.

සිනමාවේ අලුත් වීරයක් බිහි විය. ඒ ටිකිරාය. තමා සිනමාවට අහම්බෙන් පිවිස එහි ගිරි දුර්ග තරණය කළ අසීරු ගමන ඔහු නිහතමානීව සිහිපත් කළේය.

“එදා මම පාසල් යන කාලේ අපේ වීරයා අපේ පාසලේම පන්ති දෙකකට ඉහළ ඉගෙන ගත්ත ස්ටැන්ලි පෙරේරා. අපේ ගමේම කොල්ලෙක්. ඊළඟට බිහි වූ නළුවා මම. මම පාසල් යන කාලේ කුලෑටියි. වැඩිය කා එක්කවත් කතාවට නොගිය නිශ්ශබ්ද චරිතයක්. හුඟක් දෙනෙක් හිතුවේ මම ආඩම්බර, ඔළුව ඉඳිමුණු ශිෂ්‍යයෙක් කියලා. මට එහෙම මොළේ අමාරුවක් තිබුණේ නැහැ. මේ ගතිගුණ අදත් මට තියෙනවා. ඒක ජීවත් වෙන්න හොඳ උපාය මාර්ගයක්. නාත්තන්ඩියේ පල්ලියේ මංගල්‍යයට මම යන්නේ මගේ හොඳම මිත්‍රයා ප්‍රනාන්දු (එස්. ඒ. ප්‍රනාන්දු) එක්ක. දවසක් පල්ලිය ගාවට ඡායාරූප ගන්න කෙනෙක් ආවා. කළු රෙද්දකින් කැමරාව ආවරණය කරගෙන මිනිසුන්ගේ පින්තූර ගන්නවා. ඒ කාලේ පින්තූරයක් ගන්නවා කියන්නේ දුර්ලභ දෙයක්.

සුදු අයියා

“මචං අපි දෙන්නා හැම අවුරුද්දෙම මංගල්‍යයට නාත්තන්ඩියට එනවා. සිහිවටනයක් හැටියට අපි දෙන්නගෙම පින්තූර ගමු”. ප්‍රනාන්දු බැප්ටිස්ට යෝජනා කළා.

අපි දෙන්නගෙ පින්තූරෙකුයි, තනිවම පින්තූරය එදා ගත්තට මගේ මිත්‍රයා ඒ පින්තූර මට දුන්නේ නැහැ. ‘පෙරකදෝරු බෑණා’ චිත්‍රපටයට නළුවෙක් ඕනෑ කියන දැන්වීමට මගේ එදා ගත්ත තනි පින්තූරයක් මගේ යාළුවා යවලා තියෙනවා. මම චිත්‍රපට නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් වුණේ මගේ මිත්‍රයාගේ බල කිරීම නිසා.

මට මේ අවස්ථාවේ මතකයට එනවා 1970 තිරගත වූ “ඔහොම හොඳද” චිත්‍රපටය. ගාමිණී වීරයා. මම දුෂ්ටයා. ගමේ ඉඳලා කොළඹ ආපු නිවට ගැමියෙකු ලෙස රඟපාන ගාමිණීට මම වරෙක ආකාරුණික ලෙස කසයකින් පහර දෙනවා. ඔහු වසර කිහිපයකට පසු කොළඹ හැදී, ධනවත් වී සමාජ ශාලාකදී මට කසයකින් පහර දෙන්නේ ගීතයක් කියමින්

 

“රජකම් කෙරුවත් කළ කම් පල දේ

මේ වාරේ මාගේ ගිය වාරේ උඹේ”

“එදා ජෝතිපාලයන් පසුබිමින් ගැයූ ගීය ගාමිණී චිත්‍රපටයේ රඟපෑවේ මට කසයකින් පහර දෙමින්. මට ගහන හැම කස පහරකට ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දුන්නා. අත්පොළසන් දුන්නා. චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් ප්‍රදර්ශනය වුණා. මේක මට හොඳ පාඩමක්. මම “තුෂාරා” චිත්‍රපටයේ විජය කුමාරතුංගගෙන් ගුටි කනවා. එදත් චිත්‍රපටයේ ඒ දර්ශනවලට විජයට අත්පොළසන් දුන්නා.

“මගේ දුප්පතාගේ හිතවතා - ටිකිරා තිරගත වන විට මම බන්දු මුණසිංහට, රෙක්ස් කොඩිප්පිලිට සටන් දර්ශනවල පහර දෙන කොට ගාමිණීට විජයට වගේම මටත් ප්‍රේක්ෂකයෝ අසුන්වලින් නැඟිට අත්පොළසන් දුන්නා. මගේ පැතුම ඉටු වුණා” බැප්ටිස්ට් වරක් අපට කීහ. බැප්ටිස්ට් රඟපෑ චිත්‍රපට අතර රන්රස, ඔබ නැතිනම්, සුගතියක් කරා, හොඳට හොඳයි, සිරිල් මල්ලී, ප්‍රදීපේ මා වේවා, කවුද රජා, දෙවියනි ඔබ කොහිද, චිං චිං නෝනා, ඇගේ ආදර කතාව, වනගත කෙල්ල, මගේ රන් පුතා, රජ කෙල්ලෝ, සුභානි, ඔරුතෙලෙ කාදල්, අහිංසා, මමයි රාජා, ශක්තිය ඔබයි අම්මේ, වලව්වේ හාමු, ක්‍රිස්තු චරිතය, ශක්ති, සැබෑ මිතුරා, සිහින විමානෙ රාජ කුමාරි, චෙරියෝ ඩාලිං චිත්‍රපට ද විය.

දෙවියනි ඔබ කොහිද

 

බැප්ටිස්ට් නිෂ්පාදනයකළ චිත්‍රපට මෙසේය. සහනය (1972), දුප්පතාගේ හිතවතා (1974), ටිකිරා (1978), ඔරුත තෙලෙ කාදල්(1980) සුදු අයියා, ඒක දිග කතාවක්, නාමල් රේණු (1984), අංගුලිමාල (1989) ය. ඔහු අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය අංගුලිමාලය. බැප්ටිස්ට් නිපද වූ චිත්‍රපටවල නළු නිළියෝ ගිවිසුම් අත්සන් නොකිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. නළු නිළියෝ මෙන්ම කාර්මික ශිල්පියෝ ද බැප්ටිස්ට ආදරය කළෝය. උත්සාහයෙන්, ආත්ම ශක්තියෙන් සිනමාව ජය ගත් මේ දිරිය මිනිසා ශ්‍රී ලංකා නළු නිළි සංගමයේ භාණ්ඩාගාරික ලෙස ද කළ සේවය ප්‍රසංශනීයය. බැප්ටිස්ට් ප්‍රධාන චරිතය රඟපාමින් නිෂ්පාදනය කළ ‘ඒක දිග කතාවක්’ චිත්‍රපටයේ ඔහු රඟපෑ ලාල්ගේ චරිතය මනෝ විද්‍යානුකූලව ගොඩනැඟූ ඔහුලේ රංගනයේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කළේය. මෙහි තිර නාටකය ශ්‍රී නිහාල් ජයසිංහගෙනි. බැප්ටිස්ට්ගේ හොඳම හා කැමති චිත්‍රපට චරිතය ද මෙය විය.

 

ඔබ නැතිනම්                                                                                ඒක දිග කතාවක්

 

ඇතුල්වීම තහනම්

 

 

 

Add new comment