අලූ‍ත් හුස්මක් දෙන්න මිහිමඬල හිනස්සා

සමන්-සරත් එකතුවෙන් බිහිවුණ නිර්මාණයක්
අප්‍රේල් 30, 2020

”‍මේ නිර්මාණය වුණේ බොහොම කඩිනමින්. සරත් (ද අල්විස්) මට දුරකථනයෙන් කතාකරලා කීවා සමන් වචන ටිකක් ලියන්න ස්වභාව ධර්මයෙන් සමාව ඉල්ලලා කියලා. ඉතින් මම ඇහුවා කොහොමද ඉතිරි ටික කරන්නේ කියලා. මේ විදිහටම දුරකථන මාර්ගයෙන් තමයි කීවා. ඉතින් මම එදා ?ම ගීතය ලියලා යැව්වා. පහුවෙනිදා මට කතා කරලා දුරකථනයෙන්ම ගීතය ගායනා කරලා පෙන්නුවා.

 

මේ නිර්මාණය කිසිම ආයතනයකට හෝ වෙනත් අරමුණකට මුදල් ඉපයීම සඳහා ලියු එකක්වත් ගායනා කළ එකක්වත් නෙවෙයි. මෙයට සම්බන්ධ වුණු සියලූ‍දෙනාම කලාකරුවන්ගෙන් විය යුතු යුතුකම ඉටු කිරීමේ අරමුණ උදෙසාම කළ දෙයක්.”‍


මුළු ලොවටම අභියෝගයක් වුණු පුංචි වෛරසය ජයගන්න බොහෝ දෙනෙක් සටන් කරනවා. අපේ රටේත් සෞඛ්‍ය අංශ, ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය, ජනමාධ්‍ය ඇතුළු සියලූ‍ අංශ මේ වෙනුවෙන් තමන්ගේ යුතුකම නොපිරිහෙලා ඉටු කරද්දි කලාකරුවන්ටත් එහි තම දායකත්වය ලබා දීමට අවස්ථාව එලඹිලා. ඒ අනුව කොරෝනා සමයේ නිවසේ සිට කෙරෙන විවිධ නිර්මාණ රැුසක් බිහි වුණා. ඒත් කොරෝනා කියන වචනය එපා වෙන තරමට ඇහෙන නිසා ඒ ගැන සඳහනක්වත් නැතුව මේ උවදුරෙන් පස්සේ අප යා යුත්තේ කොතැනටද කියන එක ගැනත්, මෙවැනි උවදුරු මිනිසුන්ට වින කටින්නේ මොකද කියන හේතුව ගැනත් කතා කරන්න කීපදෙනෙක් එකතුවෙලා ගීතයක් නිර්මාණය කළා. ඒ නිර්මාණයේ විශේෂත්වය තමයි ගීත රචකයා හැරුණු විට, මේ රටේ පළමුවැනි වතාවට සංගීත අධ්‍යක්ෂවරුන් පමණක් මෙය ගැයීමට සහභාගී වීම.

මේ සංකල්පය ඇතිවෙලා තිබෙන්නේ සරත් ද අල්විස් ප‍්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයාට. ”‍මිනිස්සු සොබාදහමට කළ දේට සමාව ගන්න ඕනේ”‍ ඔහු ඒ ගැන ප‍්‍රවීණ ගීත රචක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ට කියා තිබෙනවා. ඒ අනුව අපි හිතවත්කමට ආමන්ත‍්‍රණය කරන නමින් කීවොත්, සමන් මහත්තයාගේ පන්හිෙක්‍ෂන් ගී පද පේළි ලෙස මතුවුණු අදහස තමයි මේ...

සොබාදම් දිනිතියේ

සමාවනු මැනැවී

ඔබේ අහස- ඔබෙ පොළොව

ඔබෙ සයුර- ඔබෙ සුළඟ

අවුස්සා වනස්සා

කළ පවට සරදම්

තව කුමට දඬුවම්

අලූ‍ත් හුස්මක් දෙන්න

මිහිමඬල හිනස්සා

රජකාලෙක කළ සේම

ජීවිතය උදුරාන

විස මුහුං නා සර්ප

සුළං යළි එව්වාද?

ඉරපාන- සඳපාන

නිදහසේ බබලාන

මිනිස්කම් වපුරාන

ලොවට දෙන් වරදාන

කඳුළු දියවර වේය

සුසුම් මල්ඵල වේය

ඔබ දුන්නු පාඩම

යුගෙන් යුග රැුව්දේය

අලූ‍ත් හුස්මක් දෙන්න

මිහිමඬල හිනස්සා


ඉතින් මේ ගීතයේ රජ දවසක් ගැන, නා සර්ප විසක් ගැන කියන කතාව මොකක්ද කියලා සරසවිය සමන් මහත්තයාගෙන් විමසුවා.

”‍මේ නිර්මාණය වුණේ බොහොම කඩිනමින්. සරත් (ද අල්විස්* මට දුරකථනයෙන් කතාකරලා කීවා සමන් වචන ටිකක් ලියන්න ස්වභාව ධර්මයෙන් සමාව ඉල්ලලා කියලා. ඉතින් මම ඇහුවා කොහොමද ඉතිරි ටික කරන්නේ කියලා. මේ විදිහටම දුරකථන මාර්ගයෙන් තමයි කීවා. ඉතින් මම එදා ?ම ගීතය ලියලා යැව්වා. පහුවෙනිදා මට කතා කරලා දුරකථනයෙන්ම ගීතය ගායනා කරලා පෙන්නුවා. මට පුදුම හිතෙන තරමට වචනවල අර්ථය ඔප්නැංවෙන තනුවක් යොදලා තිබුණා. පස්සේ මම කිවා එහෙනම් මම ස්ටූඩියෝ එකට ඇඳිරිනීති බලපත‍්‍රයක් හදාගෙන එන්නම් කියලා. නෑ. නෑ ස්ටුඩියෝ කතාවක් නැහැ. මිනිපිරියට කියලා මේ වචන ටික ලියන හැටි ජංගම දුරකථනයෙන් පටිගත කරලා එවන්න කීවා. ඒ ගැන මම දන්නේ එච්චරයි.

මේ පද වැල සංගීතවත් කරගන්න සුඛ නම්‍ය වන ආකාරයට ගැළපීම ගැන සරත් බොහොම සතුටු වුණා. ඒ වගේම කිසිම ගායකයකුට වැඩිත් නැති අඩුත් නැති කාලයක් සමව ලබාදෙන්න පුළුවන් විදිහට වචන හසුරුවාගැනීමටත් වගබලා ගත්තා.

ඉතින් මේ ගීතයේ ඔය කියන රජ දවසේ කතාව අයිති බුද්ධෝත්පත්තියට ආසන්න සමයට. ‘අහිවාතය‘ කියන වචනය ගැන අපේ ආචාර්ය පාතේගම ඥානීස්සර හාමුදුරුවන් කියූ කතාවක් මගේ මතකයේ තිබුණා, කුම්භඝෝෂක කතා වස්තුව සම්බන්ධව. අහි කියන්නේ නාගයන් වැනි සර්පයන්ට, වාතක කියන්නේ වායුවටනේ. අහිවාතක කියන්නේ සර්ප විෂ මුසු වුණු වායුවක් කියන තේරුමින්. ඔය කියන කාලේ නාග විෂ මුසු වුණු අහිවාතක සුළඟ ඇවිත් එයට ගොදුරු වුණ මිනිසුන් බිලි ගෙන තිබෙනවා. ඒ විෂ සුළඟින් බේරෙන්න කියලා කුම්භඝෝෂකත්, බිරියත් නිවෙසේ බිත්ති කඩාගෙන ගියාලූ‍. එහෙම බිත්ති කඩාගෙන ගිය නිසාම විස මුසු සුළඟට හසුවෙලා මියැදුනාලූ‍. ඒකයි මම සොබා දම් දිනිතියගෙන් අහන්නේ එදා වගේ අහිවාතක සුළඟක්වත් ලෝකයටම එව්වාද කියලා. මොකද මෙයත් හුස්මෙන් බෝවන රෝගයක්. තවම හොයාගන්න බැරි අගක් මුලක් නැති ඇහැට නොපෙනෙන දෙයක්.

ඊට පස්සේ කියන්නේ ඉරපාන සඳපාන නිදහසේ බබලන යුගයක් එළඹෙන්න ඕනේ මිහිමඬලට සිනාසෙන්න නම්. එවැනි යුගයක් ගැන මිනිසුන්ට හිතන්න සිදුවෙනවා මින් පස්සේවත්. දිගින් දිගටම සොබාදහමට එරෙහිවෙලා දිනන්න බැහැ. ඒ පණිවිඩය දෙන්නයි වචන ටික ගැළපුවේ.

අනෙක් කිව යුතුම දේ තමයි මේ නිර්මාණය කිසිම ආයතනයකට හෝ වෙනත් අරමුණකට මුදල් ඉපයීම සඳහා ලියු එකක්වත් ගායනා කළ එකක්වත් නෙවෙයි. මෙයට සම්බන්ධ වුණු සියලූ‍දෙනාම කලාකරුවන්ගෙන් විය යුතු යුතුකම ඉටු කිරීමේ අරමුණ උදෙසාම කළ දෙයක්.”‍

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගෙන් පසු අප යොමු වුණේ නිර්මාණයේ පුරෝගාමී සරත් ද අල්විස් මහත්මා වෙතටයි.

”‍මේ අවස්ථාවේ තිබෙන පසුබිම ගීතයක් කරන්න පුළුවන් වාතාවරණයක් නෙවෙයි. ඒත් හැමෝම කතාකරන්නේ කොරෝනා වසංගතය මඩින ක‍්‍රියාදාමය ගැන. ඒක හරි. අපි මේ විදිහට ගෙවල්වලට වෙලා නිදහසේ ඉන්නේ අපි වෙනුවෙන් පිරිසක් දිවා ? නොබලා මේ උවදුර මර්දනයට වෙහෙසෙන නිසා. ඒ ගැන අපේ හදවත පත්ලෙන්ම නැගෙන ගෞරවය පුද කළ යුතුයි. හැබැයි, ලෝකයේම අපි මනුෂ්‍යයෝ විදිහට ප‍්‍රශ්නවලට ඒ ඒ වෙලාවට මුහුණ දෙනවා මිස ඒ ප‍්‍රශ්න මතුවන හේතු හොයලා ඒවාට පිළියම් යොදන්න හිතනවා අඩුයි. අනෙක ලෝකයේ බලවත්තු ධනවත්තු හිතාගෙන හිටියා අපි තමයි වීරයෝ, දක්ෂයෝ කියලා. අන්තවාදීන් කොටසක් බලනවා ලෝකේ විනාශ කරලා තමන්ගේ ආගම පතුරුවන්න, තවත් අය හිතනවා අපි තමයි මුලින්ම හඳට ගියේ, අඟහරු ඇල්ලූ‍වේ ඒ නිසා අපියි බලවත් කියලා. ඒ සියල්ල අතර තවත් අය හිතනවා අපි තමයි ආයුධ අතින්, ආර්ථිකයෙන් ශක්තිමත්ම ඒ නිසා යුද්ධ කරලා දිනන්න පුළුවන් කියලා නේද? ඒ වගේම මහාබි‍්‍රතාන්‍යයේ රජ පවුල කියන්නේ කොයි තරම් ආරක්ෂක සේවයක් තිබෙනවාද? ඒත් අන්තිමට ඇහැට නොපෙනෙන දෙයක් මේ සියලූ‍ දේවල් අබිබවා ගියානේ. හැමෝම බියවැද්දුවානේ. ත‍්‍රස්තවාදියෙක් එනවා නම් අපට දුවන්නවත් පුළුවන්. එත් අද අපි කාටවත් කොහේ කියලා දුවලා බේරෙන්න පුළුවන්ද? ඇත්තෙන්ම දාර්ශනිකයන් පහළ වුණේ මේ වගේ ප‍්‍රශ්න තිබෙන කාලවල ඒවායින් අප ගලවාගන්න. බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියේ චූලෝදර මහෝදර යුද්ධය බේරන්න. ඒ වගේම සොබාදහමත් මේ ආකාරයෙන් නොපෙනෙන වෛරසයක් එවලා මිනිසුන්ට කීවේ මේ යන ගමන වැරැුදියි කියලා.

මේ වෛරසය කොහොමත් තව ටික දවසකින් අවසන් වෙලා යයි. ඒත් අප ආපසු හැරිලා බලද්දි දැක්කේ මොනවාද? ගස් කපනවා, වැලිගොඩදානවා, කර්මාන්ත දුම් මේවාගේ දේවල් නිසා පරිසරය විනාශ වෙනවා ඔරොත්තු නොදෙන තරමට. ඒ නිසා මම සමන්ට (චන්ද්‍රනාත් වීරසිංහ* කීවා සොබාදහමෙන් සමාව ගන්න අදහසක් ලියන්න කියලා. අපට සුළඟ ඕනේ හැබැයි කුණාටු එපා, අපට මුහුද ඕනේ හැබැයි සුනාමි එපා ඒ වගේ තමයි ලෝකයක් අවුළුවන්න නෙවෙයි අපට ගින්දර ඕනේ.

පදරචනය ලැබුණට පස්සේ මම ඒකට සංගීතය යොදලා අපේ රටේ පළමුවැනි වතාවට සංගීත අධ්‍යක්ෂවරු පමණක් යොදාගෙන මේ ගීතය ගයන්න තීරණය කළා. සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපතිත් හැටියට මම ඒ තීන්දුව ගත්තේ ඉතිහාසයේ කවදාවත් එහෙම එකතුවකින් ගීතයක් තැනී නැති නිසා. මගේ ස්ටූඩියෝ එකට ආවේ රෝහණ බෝගොඩ සහ මහින්ද බණ්ඩාර විතරයි. අනෙක් සියලූ‍ දෙනාටම මම තනුවේ ට‍්‍රැක් එක ඊමේල් කළාම ඒ අය නව සන්නිවේදන තාක්ෂණය යටතේ මට ආපසු එව්වා. ඒ ගායනා කරන අවස්ථාවත් ජංගම දුරකථනවලින් රූපගත කරලා එව්වා. සංගීතය සහ තනුව වගේම කීබෝඞ් වාදනයත් මගේ. (සරත් ද අල්විස්*, ලීඞ් සහ රිදම් ගිටාර් මහින්ද බණ්ඩාර, වයලීනය තිසර බණ්ඩාර, බේස් ගිටාරය සංගීත් වික‍්‍රමසිංහ, තාල භාණ්ඩ වාදනය ජනනාත් වරකාගොඩ ගායනයෙන් එකතු වුණ සංගීත අධ්‍යක්ෂවරුන් වන්නේ එඞ්වඞ් ජයකොඩි, රෝහණ බෝගොඩ, කීර්ති පැස්කුවල්, ෂර්ලි වෛජන්ත, ජගත් වික‍්‍රමසිංහ, සමන්ත පෙරේරා, අනන්ද විද්‍යාරත්න, නවරත්න ගමගේ, ලක්ෂ්මන් හිල්මි, ජනනාත් වරකාගොඩ, කසුන් කල්හාර සමඟ සුනෙත් කැලූ‍ම් ඒවා එකතු කරලා සුනෙත් කැළුම් ශබ්ද සංයෝජනය කළා. ඒ වගේම එවූ දර්ශන කොටස් ඇසුරෙන් රූප රචනය කරන්න රංගන දායක වුණා. සියලූ‍ම සංගීත අධ්‍යක්ෂවරුන් විවිධ තාක්ෂණික හා කාර්යබහුලත්වය නිසා එකතු කරගන්න බැරි වුණත් සෑහෙන පිරිසක් මේ වෙනුවෙන් කිසිම මුදල් අයකිරීමකින් තොරව එකතු වුණා. අපි මේ දේ කළේ හුදෙක් සොබාදහම වෙනුවෙන්මයි.”‍

සකල ලෝක සත්ත්වයා වෙනුවෙන් දියදම් දිනිතියගෙන් සමාව අයදින්නට අපේ සංගීත අධ්‍යක්ෂවරුන් එකතුව කළ ඒ නිර්මාණය ඔබට සරසවිය වෙබ් අඩවියෙන් වගේම සරත් ද අල්විස් මහතාගේ මුහුණුපොතෙනුත් රසවිඳින්න පුළුවන්. ඔවුන්ගේ පැතුමට අපිත් එක්වෙමු. අලූ‍ත් හුස්මක් ගන්න මිහිමඬල හිනස්සා! ඒ අලූ‍ත් හුස්ම ගන්න ඇවැසි ලොවක් බිහිවේවා!